හැදින්වීම
සිංහල සිනමාවේ දක්ෂ නළු නිළි පරපුර අත්කරගෙන ඇති සාර්ථකත්වයත් ජනප්‍රියත්වයත් 75 වසරක සිංහල සිනමාවේ වර්ධනයට හේතුවී තිබේ - මෙම පිරිස අතරින් මාලනී ෆොන්සේකා අත්කරගෙන ඇති සාර්ථකත්වය සුවිශේෂ වෙයි - සිනමාව කලාවක් වන අතරම එය කර්මාන්තයක් ද වෙයි - කතෘ සිනමාව (Author Cinema) සහ ජනප්‍රිය සිනමාව (Popular Cinema) යනුවෙන් දෙවර්ගයක සිනමාවක් ඇත්තේ එබැවිනි - සිනමාවේ ගැහැණිය යනු කලාත්මක සිනමාවේ ගැහැණිය නිරුපණය පමණක් නොවේ - මාලනී ෆොන්සේකා මෙම ධාරා දෙකෙහිම මැනවින් පයගසා සිටි නිළියයි.
මාලනීයගේ ප්‍රවේශය
මාලනී ඇයටම ආවේණික ශෛලියක් අනුගමනය කරන රංග වේදිනියකි. බාහිරට පෙනෙන, ක්‍රියාශීලී, අතපය වීසි කරන නාට්‍යමය රංගනය වෙනුවට අභ්‍යන්තර නාට්‍යමය බව විදහා දක්වන සියුම් රංග විලාසයක නිරත වන රංගවේදිනියකි.
සිනමා රංගනය වෙනුවෙන් මුල්ම ජාත්‍යන්තර සම්මානය හිමිකර ගන්නේ ඇයයි. ඒ 1975 09 වන මොස්කව් අන්තර්ජාතික සම්මාන උළෙලේදීය. මින් පසුවද ඇයගේ රංගනය උදෙසා 1977 දී දිල්ලි අන්තර්ජාතික සිනමා උළෙලේදී ගෞරව සම්මාන සහතිකයක් හිමිකර ගනී. ඒ සිරිපාල හා රන්මැණිකා චිත්‍රපටයටයි. ඇය පසු කලකදී තවත් සම්මානයක් හිමිකර ගන්නේ ආකාස කුසුම් චිත්‍රපටය වෙනුවෙනි.
ඉහත ජාත්‍යන්තර ඇගයීම් තුනම ඇයට හිමිවන්නේ සංකීර්ණ චරිත නිරූපණය සඳහායි. එසේම ඒවා ඉතාමත් සංයමයෙන් හා සියුම් ලෙස ගොඩනගන ලද රංග වියමන් වේ. ක්‍රියාශීලී, නටන, දඟලන, දුවන පනින රංගනයට වඩා මනා සංයමයකින් ඉදිරිපත් කළ යුතු මෙම රංග විලාසය වඩාත් අසීරු බව අපගේ විශ්වාසයයි.
මාලනී සිනමාවට පිවිසෙන්නේ වේදිකාව හරහා ය. මේ වන විට ඇය හැටේ දශකයේ කැපී පෙනෙන නාට්‍යකරුවන් කිහිපදෙනෙකු සමඟ වැඩ කිරීමෙන් කිසියම් පලපුරුද්දක් සහිතව සම්මානයක් ද හිමිකර ගෙනයි ඇය සිනමාවට පිවිසෙන්නේ. සබකෝලයෙන් තොර වීම හැර ඇය වේදිකාවේන් ගෙන ආ දෙයක් නොමැති බව පවසන ගාමිණි වේරගම ඇය සිනමාවේම නිෂ්පාදනයක් බව පවසයි. (වේරගම : 2009 : 119)
මාලනීගේ සිනමාගමනය
මාලනීගේ සිනමා ගමනය සිදුවන, 1960 දශකය සිංහල සිනමාව කලාත්මක ලෙසත් කර්මාන්තයක් ලෙසත් හොඳින් තහවුරු වෙමින් සිටි කාලයයි. මෙම තහවුරු වීම කෙතරම්ද කියනවා නම් ඒ වන විට සිංහල සිනමාවේ කැපී පෙනෙන ධාරාවන් තුනක් බිහිව තිබිනි - එනම්, නැටුම්, ගැයුම්, වැයුම් පිරුණු, ආකර්ෂණය දිනාගත්, විනෝදාත්මක සිනමාවත්, ජීවිතය හා සමාජය සැබෑ ලෙස නිරූපණය කරන්නට උත්සාහා කළ කලාත්මක සිනමාවත්, මෙම අන්ත දෙකේම මිශ්‍රණය වු සමාන්තර සිනමාවත් හොඳින් තහවුරු වෙමින් තිබුනු වකවානුවයි.
මාලිනී ට නිළියක් ලෙස මෙම ධාරා තුනේම හොඳින් සැරිසරන්නටත්, එහි තහවුරු වන්නටත්, හැකිවි ය. මෙම ධාරා තුනේම මේතරම් තහවුරු වන්නට හැකි වු වෙනත් නිළියක් සිංහල සිනමාව තුළ අපට හමු නොවේ. බොහෝ විට විනෝදාත්මක සිනමාවේ ගැහැණිය ඒකකාරි, ස්වාධීනත්වයෙන් තොර, පුරුෂ පීඩනය නිහඬව ඉවසන චරිතයක් වූ අතර එම චරිතය තිරයට ආවේ ඉන්දියානු අතිශෝක්තියට බර රංගන විලාශයකිනි - කලාත්මක සිනමාවේ ගැහැණිය යථාරූපී බවක් උරුමකරගත් අතර සාමාන්තර සිනමාව විනෝදාත්මක වුනත් සාමානය ගැහැණියකගේ ගති ලක්‍ෂණ පෙන්වීය.
විනෝදාත්මක සිනමාවේත්, සාමාන්තර සිනමාවේත්, මාලනීගේ ස්ථාවරත්වය හා ඇය නිරූපණය කළ ස්ත්‍රී චරිතයන්ගේ සුවිශේෂත්වය ගැන ගාමිණි වේරගම දකින්නේ මෙලෙසිනි. “මාලනීගේ සිනමා ජීවිතයේ මුල් අදියරේදී දක්වන ප්‍රමුඛ ලක්ෂණය වූයේ විනෝදාත්මක සිනමාවේ ද්විවිධ ලක්ෂණ යාකරමින් සාමාන්‍ය රසිකයාට ස්පර්ෂකළ හැකි ආකාරයේ ස්ත්‍රි චරිතයක් නිර්මාණය කිරීමයි - සරල විනෝදාත්මක චිත්‍රපට තැනූ ශිල්පීය අංශයෙන් නිපුණ එහෙත් හොද අරමුණෙන් බැහැරව නොගිය සිනමාකරුවන්ගේ ද චිනෝදය මුල්කරගත් ජීවිතයට සමීප අත්දැකිම්වල පිහිටීමට සතුටු සිනමාකරුවන්ගේ ද ආකර්ෂණය තමා වෙත ලඟාකරගැනීමට සමත්වූ මාලනී එහි පිහිටීමෙන්, මේ චිත්‍රපට ධාරා දෙක ඒකරාශී කලා පමණක් නොව. ද්වි ලක්ෂණවලින් යුත් තරුණියක් ප්‍රතිනිර්මාණය කිරීමට ද සමත් වූවාය. (වේරගම : 2009 : 120)
දැන් මතකද (1970), හතර දෙනාම සුරයෝ (1971), එදත් සුරයා අදත් සූරයා (1972), තුෂාරා (1973), කස්තුරි සුවඳ (1974), ආවා සොයා ආදරේ (1971) , කවුද රජා (1976), සැලි (1978), ආදරේ හිතෙනවා දැක්කම (1972) විනෝදාත්මක සිනමාවේ ඇගේ මුද්‍රාව තැබු චිත්‍රපට කිහිපයකි. ඇය තාරකාවක් බවට පත් කරනු ලැබුවේ මෙවැනි චිත්‍රපට විසිනි. මෙහිදී ද ඇය විශේෂය. විශේෂයෙන් සඳහන් කලයුතු වන්නේ මාලනී අධම - අවර ගනයේ විනෝදාත්මක චිත්‍රපට සඳහා දායක වීමට උත්සාහ නොකිරීමයි. (තුසිත ජයසුන්දර, 2014 :57)
මාලනී නම් තරුව
රුක්මණීට පසුව බහි වු තාරකාවිය ඇයයි. රුක්මණී දිව්‍යමය බවක් හා ආකර්ෂණයක් ලගා කර ගන්නා විට මාලනී ඊට වෙනස් වෙමින් සාමාන්‍ය බවය සමීප අසාමාන්‍ය බවක් ඉසිලු තාරකාවියක් බවට පත්විය.
තරුවේ ප්‍රතිරූපය වෙනත් මාධ්‍ය ගණනාවක බෙදා හැරෙයි. එසේම එම ප්‍රතිරූපය වෙනත් භූමිකා ලබා ගැනීම සඳහා ආයෝජනයක් ද වේ. මාලනීගේ ප්‍රතිරූපය ද විවිධ මාධ්‍ය වල බෙදා හැරිණි. පුවත් පත්, සඟරා, කැලැන්ඩර්, දින දර්ශන, වල පැතිරී ගිය, බෙදාහැරුණු ප්‍රතිරූපයක් ඇයට තිබුණි. එම ප්‍රතිරූපයේ අලෙවිය නිසාම ඇය වෙත වෙනත් භූමිකා වැඩි වැඩියෙන් ලැබිනි. 70 දශකයේ පමණක් ඇය රඟ පෑ චිත්‍රපට ගණන 64 කි. 80 දශකයේ ඇය රඟ පෑ චිත්‍රපට ගණන 45 කි. 70 සහ 80 දශක මාලනී නම් තාරකාවියගේ දශක ලෙස නම් කළ හැකි මට්ටමට ඇයගේ ජනප්‍රියත්වය හා ඉල්ලුම ඉහළය.
තරුව ප්‍රාග්ධනයක් සේම ආයෝජනයක්ද වේ. චිත්‍රපටයේ ජනප්‍රියත්වයත්, අලෙවිය හා ප්‍රදර්ශනයත්, තරුව මත රඳා පවති. චිත්‍රපටය සඳහා වැය වන මුදල, ඉන් ලැබෙන ආදායම කෙරෙහි තරුවේ කාර්යය හා භූමිකාව විශේෂ බව රිචඩ් ඩයර් පවසයි. ( Dyer, 2007 ; 10 - 11)
70, 80 දශකවල සිංහල චිත්‍රපටය කර්මාන්තයක් ලෙස පැවතීමට තාරකාමය ගුණය හේතු විය. ඒ සඳහා මාලනීගේ තාරකා ප්‍රතිරූපය තීරණාත්මකය. ගාමිණි - මාලනී, විජය - මාලනී, යුගය ලෙස හැඳින්වෙන්නේත් මේ කරුණයි.
තාරකාවක් ලෙස මාලනීගේ ප්‍රතිභාව, භූමිකාව, සහ අනන්‍යතාවය පිළිබඳව සරල පැතලි චරිතයකට මිනිස් හැඩතල ලබාදෙමින් විනෝදාස්වාදය සමඟ කිසියම් ජීවන අරුතක් ද ලබාදීමට සමත්වීම නිසා ඇයට සදාතනික තරුවක් බවට පත්වීමට හැකිවිය (වේරගම : 2009 : 123). ආවා සොයා ආදරේ, තුෂාරා වාසනා, කස්තුරි සුවඳ, හතරදෙනාම සූරයෝ වැනි චිත්‍රපට ඉහළ ආදායම් තැබුවේ මේ කරුණු සනාථ කරන සාධක බවට පත්වෙමිනි.
ලන්ඩනය ප්‍රමුඛ යුරෝපීය නගර කේන්ද්‍රීයව මතුවුනු සමාජ සංස්කෘතික හා දේශපාලන ප්‍රවණතාවල මුලික හරය වුයේ සංස්කෘතික හා දේශපාලන නිදහසයි. සාම්ප්‍රදායික බැඳීම් වලින් මිදුණු වඩා නිදහස් ජිවිතයක් තරුණයන් ඉල්ලා සිටියේ මේ යුගයේදීය. ප්‍රේමය හා ලිංගික නිදහස වඩාත් කැපී පෙනෙන මේ යුගයේ නව ඇඳුම් පැළඳුම් හා විලාසිතා, කරලියට පැමිනේ.
මෙම සමාජ ප්‍රවනතා ලංකාවේ දක්නට ලැබෙන්නේ මාලනීගේ දශකයේ දී ය. මාලනී යුගයෙන් යුගයට සිනමාවේ පැන නැගුණු ප්‍රවණතාවන්ට සාපේක්ෂව වෙනස් වූ නිළියකි - කළින් කළ පහල වූ විලාසිතාවන්ට ඕ මැනවින් අනුගත වූවා ය- ( නයනජිත්, 2009: 256)
ප්‍රකට ප්‍රංශ නවරැල්ලේ බලපෑම ලංකාවට පිවිසෙන්නේ ද, 60 දශකයේ සහ 70 දීය. එම නිදහස්, සැහැල්ලු කාන්තා ප්‍රතිරූපය සිංහල සිනමාවේ ප්‍රකාශකරන, එය ප්‍රවණතාවක් ලෙස තහවුරු කරන සිංහල සිනමාවේ ස්ත්‍රී හැඩය ගෙන එන්නේ මාලනී ය. විශේෂයෙන් විනෝදාත්මක සිනමාවේ ඇයගේ භූමිකාව හා බැඳුණු චර්යාවන්, විලාසිතා, මාලනීගේ තාරකා ප්‍රතිරූපය තුළ ඇය මුදා හැරීමට සමත් විය. මෙම දශකය ගැන අදහස් දක්වන පෝලා රීඩ් ‘පොප් කලාව පැතිර යමින් තිබු අතර වර්හොල්ඩ් හා හොකිංග්ස් කල්ට් වීරයන් බවට පත් වෙමින් සිටිබවත්, තරුණයන් වඩදියක් ලෙස නැගී ආ බවත්, වීදුරු බිඳෙන හඬ අසන්නට ලෝකය ආසා කල බවත් පවසයි . ( Reed, 2007 ; 10 - 11)
නිලි තරුව
මාලනී තරුවක් පමණක් නොව තාරකා නිලියකි. එනම් තාරකාවක් ලෙස ඉහළම ජනප්‍රියත්වයක් හිමිකරගන්නා අතර, චරිතාංග නිලියක් ලෙෂ ද දැක් වු ප්‍රතිභාව අද්වීතිය ය.
ලෙස්ටර්ගේ නිධානයම මේ සඳහා ආරම්භයක් ලෙස ගතහොත් එය වරදක් නොවේ. වලව්වේත් ඒ චරිත වලත් රැඳුණු ගූඪත්වය මැද , අහිංසක ලද බොළඳ, ඇත්තියක ලෙසත්, විලීගේ ප්‍රතාපවත්භාවයට යටත්ව ස්වාමි භක්තිය රඳවා ගනිමින් ද ඔහු වෙත අචල දයාවක් දක්වමින් ද කිසිවක් නොදැන, මරණය දක්වා ගමන් කරන පවිත්‍ර , අහිංසක ස්ත්‍රීයකගේ භූමිකා නිරූපණය ප්‍රේක්ෂක මතකයෙන් කිසිදා බැහැර නොවේ.
නිධානයේ අයිරින්ට සියළු ව්‍යාකූලත්වයන්, ගූඪත්වය මැද හමුවන එකම සහනශීලී මොහොත වන්නේ විලි අයිරින්ට ප්‍රේම කරන්නට පටන් ගන්නා අවධියේ සිදුවන ආලිංගන නැටුමයි. විලීගේ උරහිසට අත තබා ඔහුගේ උරහිසට මඳක් උඩින් අවකාශය දෙස බලා සිටින අයිරින්ගේ බැල්ම සියුම් රංගනයට කදිම නිදසුනකි. ඇයගේ දෙනෙත එහිදි ඔහුගේ උරහිසට ඉහළින් බොහෝ ඈතට යොමු වී නැත. බොහෝ මෑතට යොමුවී ද නැත. එය යොමු වී ඇත්තේ මඳ දුරකටය. ඈත අනන්තය වෙත යොමුනොවන එහෙත් මෑත දුරට යොමු වන ඇගේ දෑස අවිනිශ්චිත , තරමක ව්‍යාකූල හැඟීම් පලකරනා , මොහොතක අසිරියකි. මේ සියුම් බැල්ම මැවිය හැක්කේ මාලනීගේ දෙනෙතටම පමණි. මාලනී ගොඩනැගූ එම චරිතය ලියනගේ අමරකීර්ති දකින්නේ මෙසේය.
ඇවිදිනවිට, ගෙල හරවනවිට මද සිනා නඟනවිට නැතිනම් මොනයම් හෝ දෙයක් කරනවිට පවිත්‍රත්වය මතුවනසේ ඇය රඟන හැටි රඟපාන්නට නොදන්නා ටෙලි නිළි රූපවලින් පරිසර දූෂණයට ලක්වූ මෙකල දෘෂ්‍යකලාවන්ට ආදර්ශයක් සේය (අමරකීර්ති : 2011 : 11).
ධර්මසේන පතිරාජගේ චිත්‍රපට 3 ක මාලනී මවන්නේ එකිනෙකට වෙනස් භූමිකා තුනකි. එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටය කෙලිලොල් දැරියකගේ සිට වැඩුණු ගැහැණියක් ලෙස විවිධ දුක් දොම්නස් රැසක් හරහා යන ඇය, ධෛර්යයෙන් ජීවිතය ජය ගන්නට උත්සහා ගනි. මේ අතර කාලයේදී ප්‍රේමයෙන් වෙලීමත් මැරවරයෙකු අතින් දූෂණයට ලක්වීමත් වැනි විවිධ අවස්ථා, දුක් දොම්නස් වලට මැදි වුණ සුසිලාගේ ජීවිතයට විවිධ තලමාන මාලනී හසු කරගන්නේ ඉතා සංයමකින් වන අතර මේ සියල්ල තුළ ඇය අතිශයින් සිත් ගන්නා සුළු සැහැල්ලු ස්වරූපයකින් හා නිදහස් රංගනයකින් චරිතයට පිවිසෙයි.
බඹරු ඇවිත් චිත්‍රපටයේ දී බලවේග දෙකක් නියෝජනය කරන ප්‍රබල චරිත දෙකක් මැද පමණක් නොව තමාගේ අත පතාගෙන එන ගමේ තරුණයා වන සිරිල්ව ප්‍රතික්ෂේප කිරීමට හෙලන්ට සිදුවේ. ඔහුව ප්‍රතික්ෂේප කරන ඇය වික්ටර්ට වසඟ වේ. වික්ටර්ගේ වසඟයත්, ඇය වසඟයට පත්වීමත් සිදු වන්නේ කිසිදු බලහත්කාරයකින් නොව නොදැනීමය. මිනිස් ජීවිත තුනක් විනාශ වන අතරම නිසංසලව තිබු ගම මහා අවුල් ජාලාවක් බවට පත්වේ. වික්ටර් නැවත නගරයට පලා යයි. හෙලන් වෙරළේ තනි වෙයි.
හෙලන් වික්ටර්ගෙන් මෙසේ අසයි. “එතකොට බේබි මහත්තයා, මට මොකද වෙන්නේ මොහොතක් බලා සිටින වික්ටර් බිම බලාගෙන ඇයගෙන් ඉවතට යයි. මාලනී (හෙලන්) සිය අතේ තිබෙන මාළු දැල තෙවරක් වතුර මත සොලවයි. පසුතැවීම, කඩාවැටීම, ශෝකීය බව, කැටිකරගත් සියුම් හා සංයමයකින් ඇය කරන මෙම රංගනය ඇගේ භූමිකා නිරූපණයේ විශිෂ්ඨතා පසක් කරන්නට වෙනත් නිදර්ශන අවශ්‍ය නොවන තරමට ප්‍රබලය. මෙම චිත්‍රපටයේ මාලනී පමණක් නොව විජයගේත් රංගනයේ සංයමය හා සියුම් බව ජෝ. අබේවික්‍රමගේ විශිෂ්ඨ රංගනය ඉක්මවා යන බව අපගේ හැඟීමයි. ඒ බාහිරට පෙනෙන, ක්‍රියාශීලී,අතපය වීසි කරන නාට්‍යමය රංගනය වෙනුවට අභ්‍යන්තර නාට්‍යමය බව විදහා දක්වන සියුම් රංග විලාසයක මාලනීගේ රංග නියෝජනයයි
සමාජ විරෝධී ක්‍රියාවල නිරත වන, සමාජ විරෝධියෙකුට පෙම් බදිමින් දරුවන් ජිවත් කරවමින් ජීවිතය ගැට ගසා ගැනීම සඳහා අසීමිත දුක් විඳින රන්මැණිකා වෙත දයාබරව අපට බලන්නට සිදු වන්නේ වියළි කලාපයේ දුක් විඳින ගැහැණිය පිළිබඳ සංවේදී චිත්‍රයක් මාලනී විසින් ගොඩනගන බැවිනි. ඒ සිරිපාල හා රන්මැණිකා චිත්‍රපටයේ දී ය.
බැද්දේගම පුංචිමැණිකා, මතවාදයට තුඩුදුන් රංගනයකි. වුල්ෆ්ගේ ගම චිත්‍රපටය තුළින් සොයා යෑමට උත්සහා කිරීමත් චිත්‍රපටයත්, නවකතාවත්, එකක් යැයි පිළිබඳ තිබු අනවබෝධයත් අමතරව වියළි කලාපයේ පුෂ්ඨිමත් ගැහැණු සහ මිනිසුන් නැතැයි යන වැරදි ආකල්පයත් මෙම මතවාදයට හේතු විය. පියා වටා දැවටෙන, දැරියකගේ සිට, වියපත් ගැහැණිය දක්වා විශාල පාරාසයකට, මිනිස් හා ස්වභාවික බලවේග මැද හසුවන ගැහැණියකගේ භූමිකාව ඇය සියුම්ව නිරූපණය කරයි.
ඉන්දූටමල් මිටක් හි දි පුද්ගලයන් දෙදෙනෙකු මැද දෝලනය වෙමින් , රෝගී නිසංසලා, පශ්චාත්තාපයත් හුදකලාවත් උරුමකරගත් ජීවිතය සංවේදී චරිතයක් ලෙස අපට හැඟෙන්නේ ඇය ඉදිරිපත් කරන සියුම් රංග ප්‍රතිභාව නිසාය.
ආරාධනා හි ජීවිතයේ සිදුවන විවිධ හැල හැප්පීම් මැද පෙම්වතියක්, දියනියක් හා හුදකලා බිරිඳක් ලෙස මාලනී ගෙන එන රංගනය, විවිධ මාන ඇය හසුකරගන්නා රමණීයතාව හා සියුම් බව සමන්ත හේරත් දකින්නේ මෙසේය. “ආදර රැහැනේ එකී නැළවෙන පියකරු පෙම්වතියක් ලෙසත් අනපේක්ෂිත ගැටුමකින් දරුණු ලෙස හුදකලාවෙන බිරිඳක් ලෙසත්, මාලනී රංගනයෙන් ගෙන එන රම්‍යතාව චිත්‍රපටය පුරා පැතිර පවතී (හේරත් : 2009 : 136).
පිරිමින් දෙදෙනෙකුගේ සංකීර්ණ ආකල්ප මත සිරවන, ස්වාමියාගේ සැකයටත්, ඒ නිසා සිදුවන හිරිහැරයන්ටත් මැද තවත් එවැනිම දෝලනීය චරිතයක් මාලනී නිරූපණය කරන්නේ මධු සමය චිත්‍රපටයේදීය. සැකය විසින් වේදනාවට පත් කරන, එහෙත් සියල්ල දරා සිටින, හැඟීම් බර චරිතයක් ඇයට නිරූපණය කල හැකි වන්නේ ම ඇගේ රංගනයේ සියුම් බව හේතුවෙනි. චරිත කිහිපයක් අතර දෝලනය වන චරිතයක්, එක් අන්තයකට හෝ බර වුනොත් වෙනත් අර්ථ උපදී. මාලනී මෙය ජයගන්නේ පැහැදිලි අවබෝධයෙන් හා සියුම් රංගනයෙනි.
රංගනයේ සියුම් බව ප්‍රකාශ වන විශිෂ්ඨතම නිදසුන් ද්විත්වය වන්නේ සිරිමැදුර සහ ආකාස කුසුම් චිත්‍රපටවල්දීය. ඉතා සෙමින්, චරිත වල හැඩතල විමසන, භාවාත්මක තලයේ උච්ච අවස්ථාවන් කරා නොයන, ඉතා සෙමින් අවස්ථා ගොඩනැගෙන අකාස කුසුම් චිත්‍රපට යෙහි විලාශය, මැනවින් හඳුනාගෙන, ඉතා සංයමයෙන්, සෙමින් ඇය චරිතයට ප්‍රවේශ වේ. කලක් ඉතා ජනප්‍රිය තාරකාවගේ තත්වයේ සිටි නිලියක් ලෙසත්, එම ජනප්‍රියත්වය සේදී ගිය පසු විවිධ හැල හැප්පීම් මැද වගකීම් සහගත ගැහැණියක් ලෙසත්, පශ්චාත්තාපී මානසිකත්වකින්, ඇතැම් විට අතීත දිවිය පිලිබඳ මොහොතක අසිරිය විඳින, ගැහැණියක ලෙසත් , මාලනී ගෙන එන රංගනය අතිශයින්ම මනරම්ය. හඬ පාලනය කරමින් මුහුණේ හැඟීම් වෙනස් කරමින්, ඉතා සැහැල්ලු ආංගික අභිනයන් කිහිපයක් දක්වමින් ඇය අපට පෙන්වන්නේ, කිසිවක් නොකරන බවකි. ඇය මෙම චිත්‍රපටයේ පෙනී සිටිනවා පමණි. එහෙත් කුමක්දෝ ආශ්චර්යයකින් ඇය ඒ චරිතයට අදාල හැඟීම් හා චර්ය්‍යා අප වෙත ගෙන එයි.
සිරි මැදුරේ නාට්‍යකීය චරිතය ලීලායි. අපගේ අවධානය එකවර යොමුවන්නේ ඇයටයි. වඩාත් ක්‍රියාකාරී ඇයයි. සම්පත්, සිරිල් හා ලීලා මැද අභ්‍යන්තර නාට්‍යකීය බව ගොඩනගන්නේ මාලනීය. එය නිහඬයි. කිසි කලබලයක් නැත. කෑ ගසන, මොරදෙන, දුවන පනින, නාටකීය බව පරදවන ඇය, සංයමකින් හා හික්මීමකින් චරිතය ගොඩනගයි. සිරි මැදුරේ නිර්මලා ලෙස ඇය ඉදිරිපත් කරන්නේ මන්ද්‍ර රංගනයකි. ( Under Playing) සංයමයකින් හා ඉවසිලිවන්තභාවයකින් කළ යුතු අසීරු රංගනයකි ඒ. සියුම් රංගනය නැතහොත් සියුම් භාව ප්‍රකාශය සිදු කළ හැකි රංගවේදිනියකට පමණක් කළ හැකි රංගන කාර්යයකි ඒ.
දෙවරක් එනම් 1977 සහ 1981 දී ඇය එකිනෙකට වෙනස් චිත්‍රපට 6 ක ඉතා සංකීර්ණ, එකිනෙකට වෙනස් චරිත නිරූපණයක යෙදුණි. එය ඇගයීමට ද ලක්විය. එයා දැන් ලොකු ළමයෙක්, සිරිපාල සහ රම්මැණිකා, දෙවියනි ඔබ කොහෙද, බැද්දේගම, සොල්දාදු උන්නැහේ, ඉන්දුට මල් මිටක් මේ චිත්‍රපට හයයි. මේවා එකිනෙකට වෙනස්, වෙනම ලයමාන සහිත සංකීර්ණ හා සියුම් චරිතයි. ඒ ඒ චරිත වල අනන්‍යතා හඳුනාගෙන ඒවා අනුරූප ලෙස ලයමානයන් පිහිටුවා, ඇය ඉදිරිපත් කරන නිරූපණය කිසිවෙකුට සමකළ නොහැක.
සමාලෝචනය
ජනප්‍රිය සිනමාවත්, සාමාන්තර සිනමාවත්, කාලාත්මක සිනමාවත්, එකමට්ටමින් ජයගත් වෙනත් නිළියක් සිංහල සිනමාවේ නැත. එය ඇය ලද භාග්‍යයකි. මෙම ප්‍රවණතා ත්‍රිත්වයේ එකවර රඟපෑමත්, එහි සාර්ථක වීමත් ලෙහෙසි කටයුත්තක් නොවේ.
මාලනී ඉදිරිපත් කළ භූමිකාවලට සමාන ඒවා තවත් නිළියන් ඉදිරිපත් කර ඇතත්, ඒවා මාලනීට හිමිවු තරම් සංකීර්ණ චරිත නොවේ. ඇයට හිමිවු චරිත විවිධ අවධි පසු කරන, තලමාන සහිත විවිධ තානයන්ගෙන් යුක්ත භූමිකාවලියකි. විවිධ පරාසයන් ඇයට හිමිවේ. ඉන් අතිබහුතරයක් විශේෂයෙන්ම කලාත්මක සිනමාවට අයිතිය. සංකීර්ණ අවස්ථා වලට මුහුණ දෙන, විශේෂයෙන් චරිත කිහිපයක් අතරමැද සිරවුනු, ඒවා අතර දෝලනය වන, අතිශය සියුම්, සංකීර්ණ චරිත වේ. බඹරු ඇවිත්, සිරිපාල හා රම්මැණිකා, එයා දැන් ලොකු ළමයෙක්, දෙවියනි ඔබ කොහෙද, සැලී, එක්ටැම් ගේ, දඬුමොණර, ඉන්දුට මල් මිටක්, ආරාධනා, සොල්දාදු උන්නැහේ, බැද්දේගම, සිරිමැදුර, මධු සමය, අන්තිම රැය, ආකාස කුසුම්, වෑ කන්ද වලව්ව භූමිකා මෙයට නිදසුන් සපයයි. මෙම චරිත බොහෝමයක් නාට්‍යකීය බවින් අඩු, සියුම් රංගනයන් ඉල්ලා සිටින, සංකීර්ණ චරිතයි. නැගී සිටින, අරගල කරන, දුවන පනින චරිත නොව නිහඬ, මන්ද්‍ර ලයක් හා රිද්මයක් පවතින චරිත වේ. ඒවා නිරූපණය කල හැක්කේ සියුම් භාව ප්‍රකාශනයේ සමතෙකුට පමණි. මාලනී එය මැනවින් ඉටු කළ නිළියයි. මතුපිට පෙනෙන, පහසුවෙන් හඳුනාගත හැකි දෘශ්‍යමය නාට්‍යකීය බව නොව, අභ්‍යන්තර නාට්‍යකීය බවයි ඇය නිරූපණය කලේ. වෙනත් අයුරකින් කියන්නේ නම් ඇයගේ රංගනයේ තිබුනේ චෙකොවියානු නාට්‍යකීය බවයි.
පුරුෂයාට එරෙහිව නැගී සිටින, අරගල කරන, ආසාධාරණයට එරෙහිව නැගෙන, ප්‍රවේගකාරී ස්ත්‍රී භූමිකාවන් පමණටවඩා ඔසවා, අභ්‍යන්තර නාට්‍යකීය බව සහිත මාලනීගේ සියුම්, මන්ද්‍ර රංගනය නිසිලෙස ඇගය නොකීරීම කනගාටුවට කරුණකි. එය එසේ වුව ද මාලීනිගේ අභ්‍යන්තර නාට්‍යකීය බව සහිත සියුම් රංගනය. විශිෂ්ට සම්ප්‍රදානයකි.
ආශිත ග්‍රන්ථ
වේරගම, ගාමිණි (2009) මහා නිළියකගේ භුමිකාවග ධම්මික දිසානායක (සං) මාලිනීග කොළඹ: ෆාස්ට් ඇඩ්ස්
නයනජිත්, නුවන් (2009) දේශීය සිනමා නිළි රැජින ගේ පුරෝගාමී භුමිකාවග ධම්මික දිසානායක (සං) මාලිනී. කොළඹ: ෆාස්ට් ඇඩ්ස්.
ජයසුන්දර, තුසිත (2009) ලෙනින් නීල් හා යසපාලිතග කොළඹ: සරසවිය.
Dyer, Richerd, (2007) Stars. London: Routledge.
Reed, Paula, (2012) Fifty Fashion Looks. London: Octopus Ltd.
අමරකීර්ති, ලියනගේ (2009) නිධානය හා ලෙස්ටර් කෘතියෙන් වියමනට.
කොළඹ: ලංකා අක්ෂය.
හේරත්, සමන්ත (2009) සිනමා රංගනයෙහි අද්විතීය සම්ප්‍රදානයග ධම්මික දිසානායක (සං) මාලිනී කොළඹ: ෆාස්ට් ඇඩ්ස්.
| ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අතූල සමරකෝන්
(the leader)