මරදානේ මස්කඩේ යූසුෆ් හිටියේ නැතිනම් කේමදාස කෙනෙක් නෑ.

premasiri-kemadasa

ප්‍රේමසිරි කේමදාස, නැත්නම් බොහෝ දෙනා විසින් හඳුන්වන විදියට "කේමදාස මාස්ටර්" කියලා කියන්නේ ජීවිතයේ දැඩි දුක් කම්කටොලු මැද සංගීතයෙන් ඉහළට ආපු දැවැන්තයෙක්.

සිනමා සංගීතඥයෙකු වෙන්න කලින්, "බැරිසිල්" නමැති ගීතමය නාටකය නිර්මාණය කරනකොට කේමදාස හිටියේ ආර්ථික වශයෙන් පතුලේ. ඒ නිසා ඔහු "බැරිසිල්" කරන්න මුදල් හොයාගත්තේ ණයට අරගෙන. එවකට මරදානේ පංචිකාවත්තේ තිබුණු, කේමදාසගේ 'සංගීත මංජරිය' අසල මස්කඩයක් කරපු යූසුෆ් නමැති මුස්sලිම් මුදලාලි කෙනෙක් හිටියා. ඔහුගෙන් 10% මාසික පොලියට ඉල්ලාගත්තු රුපියල් 300 එවකට ලොකු මුදලක්. තවත් කිහිපදෙනෙකු කේමදාසට ණය දුන්නා.

"බැරිසිල්" ගීත නාටකය ඒතරම් ජනතාව අතරට ගියේ නෑ. ඒ නිසා කේමදාස මාස්ටර් විශාල ණය කන්දරාවක් හිසමත තබාගෙන අසරණ වුණා. අනික් ණයකරුවෝ දිගින් දිගටම කේමදාසට කරදර කළත් යූසුෆ්, මාස්ටර්ට ඔවුන් තරම් කරදරයක් වුණේ නෑ. ඒත් එක් දවසක යූසුෆ් මුදලාලි ඇවිත් කිව්වා ඔහුට හදිසියකට මුදල් නැවත අවශ්‍ය නිසා වහාම ණය ගෙවන්න කියලා.

ඒ වෙනකොටත් යූසුෆ්ගේ ණය ගෙවන්නට සෑහෙන ප්‍රමාදයි. ඒත් අනික් ණය ටිකවත් ගෙවාගන්න බැරිව හිරවෙලා හිටපු මාස්ටර් මුළු දවසක්ම නොකා නොබී කොළඹ වටේ ඇවිද්දා. ඒත් යූසුෆ්ට දෙන්න මුදල් හොයාගන්න බැරිවුණා. මාස්ටර් අපේක්ෂා භංගත්වයෙන්, බඩගින්නෙන් 'සංගීත මංජරියට' එනකොට යූසුෆ් ඉන්නවා එතන. මාස්ටර් ඔහුට කිව්වා සල්ලි නැති බව.

ඒත් යූසුෆ් කිව්වේ ඔහුට මුදල් අවශ්‍යම බවයි. මාස්ටර් "නෑ" කියනවා-යූසුෆ් "ගෙවන්න" කියනවා. ටිකෙන් ටික උත්සන්න වුණු දෙන්නගේ කතාව වාදයක් බවට පත්වුණා. මාස්ටරුත් යූසුෆ් මුදලාලිත් සැරට කතා කරන්න පටන් ගත්තා. "තමුසෙට ණය ගෙවන්න ඕන වෙන්නෙ මම ජීවත්වෙලා හිටියොත්නේ!", උදේ ඉඳලා නොකා නොබී ණය බරිනුත් පීඩනයට පත්වෙලා හිටපු මාස්ටර් තරහින් එහෙම කියාගෙන, ගොඩනැගිල්ලේ දෙවැනි තට්ටුවේ බැල්කනියට දිව්වේ දිවිතොර කරගන්න හිතාගෙන.

යූසුෆ් මුදලාලි ආබාධිතයෙක්. ඒත් ඔහු නොන්ඩි ගහමින්ම මාස්ටර්ගේ පිටිපස්සෙන් දිව්වා. දුවලා ගිහින් මාස්ටර් බැල්කනියෙන් බිමට පනින්න ළංවෙද්දීම මාස්ටර්ව බේරගත්තා. මිනිත්තු කිහිපයක් ඉදිරියට ඇදුණු ඒ පොරය අවසන් වුණාට පස්සේ යූසුෆ් කිව්වේ, "මහත්තයො, මට මහත්තයගෙ සල්ලි එපා", කියලා. එහෙම කියලා නොන්ඩි ගගහ පහළට බැහැපු යූසුෆ් දිහා බලාගෙන කේමදාස ඇඬුවා.

එදා යූසුෆ් නොහිටියා නම් පසුකාලීනව චිත්‍රපට, ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය, ඔපෙරා, ගීත නාට්‍ය රාශියකට සංගීතය සපයපු කේමදාස කෙනෙක් අපට ඉතිරිවෙන්නේ නෑ. එක්කෝ ඉතිරිවෙයි අතපය කැඩුණු මිනිහෙක්. කිව්වා වගේම යූසුෆ් නැවත සල්ලි ඉල්ලන්න ආවේ නැතත්, මාස 06ක් විතර දඟලලා මුදල් හොයාගත්තු කේමදාස මාස්ටර් යූසුෆ්ව හමුවෙන්න ගියා. යූසුෆ් මොනවා කියයිද කියලා මාස්ටර්ට කුකුසක් තිබුණා. ඒත් යූසුෆ් කිව්වේ, "ආ මහත්තයා, කොහොමද? හුඟ කාලෙකින් ආපු නිසා තේ එකක් බීලම යං", කියලා.

සල්ලි ගැන කිව්වහම යූසුෆ් මුදලාලි කිව්වා ඔහු ඒක අමතක කළ බව. ඒත් කේමදාස මාස්ටර්ගේ පෙරැත්තය මත මුදල් නැවත ගන්න යූසුෆ් එකඟ වුණා. ඔහු පොලිය එපා කිව්වා. ඒ වුණත්, "ආයෙත් කලාකාරයන්ට නම් ණය දෙන්නේ නෑ", කියලා කියපු යූසුෆ්ගෙන් මාස්ටර් ඇහුවා "ඇයි?" කියලා. මස්කඩේ යූසුෆ් මෙහෙම කිව්වා.

"කලාකාරයො කියන්නේ සල්ලි පස්සේ දුවන මිනිස්සු නෙමෙයි මහත්තයෝ. මහත්තයාම තමයි මට ඒක කියලා දුන්නේ"

*මේ කතාව තියෙනවා 'අහස' ප්‍රකාශනයක් වුණු, අසංක සායක්කාරගේ "කේමදාස සිංහාවලෝකනය", කියන පොතේ.

| අසංක හදිරම්පෑල | Asanka Hadirampela මුහුණ පොතින්