එම්.ජේ. හා රිජ්වේ

එම්.ජේ. හා රිජ්වේ
  • (රිජ්වේ තිලකරත්න ගුණ සමර නිමිත්තෙනි)

ලංකා ගුවන් විදුලියේ ඉතිහාස කතාවේ කීර්තිමත් යුග දෙකක් ඇත. පළමු වැන්න එම්. ජේ. පෙරේරා යුගයයි. දෙවැන්න රිජ්වේ තිලකරත්න යුගයයි. මේ පුද්ගල චරිත දෙකම ප්‍රසිද්ධව ඇත්තේ ශූර පරිපාලකයන් දෙදෙනකු වශයෙනි. ගුවන් විදුලියේ සාර්ථක පරිපාලනයට ඔවුන්ගේ ප්‍රඥා පාටවය හා කෘතහස්ත භාවය උපස්තම්භක වූ බැව් නිසැකය. එහෙත් ඔවුන් අතින් ගුවන් විදුලිය උද්දීප්තියට පත් වූයේ ඊට සපුරා වෙනස් වූත් වෙසෙස් වූත් සංස්කෘතික සාධකයක් කරණ කොට ගෙනය. එය වූකලී මෙරට ශ්‍රාවක ජනයාගේ ඥාන හා වින්දන මට්ටම නංවා ලීමට ඔවුන් දෙදෙනා දැරූ ප්‍රශස්ත ප්‍රයත්නයයි.

පනහේ දශකයේ ඇරඹි එම්.ජේ. පෙරේරා යුගයේ අග භාගයේ ළමා ශිල්පියෙකු ලෙස ගුවන් විදුලියට පා තැබූ මට එම යුග නිර්මාතෘ වර පළමු සංස්කෘතික ප්‍රාඥයා සමීපව ඇසුරු කිරීමේ භාග්‍යය නොලැබුණි. එහෙත් ඔහු එහි බිහි කර ගිය සංස්කෘතික චරිත හා සංස්කෘතික දායාද නිසා මම මාධ්‍ය මාන්දමට ගොදුරු නොවීමි.

ගුවන් විදුලියේ දෙ වැනි කීර්තිමත් යුග නිර්මාතෘ වර රිජ්වේ තිලකරත්න නම් සංස්කෘතික ප්‍රාඥයාගේ සම්ප්‍රාප්තිය සිදු වූයේ හැත්තෑවේ දශකයේ අග භාගයේය. ඔහු මගේ ගුවන් විදුලි නාට්‍ය රසිකයෙකු වීම ඔහු සමග සමීප ඇසුරක් වැඩීමෙහි ලා මහත් පිටුබලයක් වී යැයි සිතමි. සමකාලීන කවියන්ගේ කාව්‍ය රචනා ඇතුළත් 'අද ලියැවෙන කවි' නමැති ගුවන් විදුලි වැඩ සටහන සම්පාදනය කොට ඉදිරිපත් කිරීමේ කාර්යය ඔහු මට පැවරුවේ මෙසේ පවසමිනි.

"කරූ , වැඩ සටහනේ නම 'අද ලියැවෙන කවි' වුණාට මේකට ගන්න ඕනැ අද අපේ රටේ ලියැවෙන කවි විතරක් නෙමෙයි. ලෝකෙ පුරාම අද ලියැවෙන කවි ඇතුළත් කරන්න. අපේ රසිකයන්ට වගේම කවියන්ටත් ඒක දුර්ලභ අත්දැකීමක් වෙනවා. කවිය කවියක් නම් දෙපද සතරපද බහුපද මොන විරිත වුණත් කමක් නෑ . මොන මාත්‍රා නියමය වුණත් කමක් නෑ. මොන ඡන්දස වුණත් කමක් නෑ.

'කෙළ සුවහස් විරිත් -සඳස් ලකුණු දනු එළුවේ

එබඳුත් හොත් කිවියරන් - නොවිරිත් නමැයි කො විරිත්'

'එළු සඳස් ලකුණ' ලිව්ව භද්‍ර හාමුදුරුවන්ගෙ අන්න ඒ උපදේශය හොඳට මතක තියාගන්න."

මේ නිදසුන දඹදෙණි යුගයේ සිටි 'භද්‍ර' නම් හිමියන්ගේ 'එළු සඳස් ලකුණ' ග්‍රන්ථයෙහි එන 114 වන ගීයයි. තේරුම නොදන්නා එෆ් බී රසිකයන්ගේ අවබෝධය සඳහා එහි සරල තේරුම දක්වමි.

( හෙළ බසේ කෙළ කෝටියක් විරිත් තනා ගත හැකි ඡන්දස් බිහි කළ හැකි බව දැන ගත යුතුයි. කවියන් කවි බඳිනවා නං මොන විරිතද විරිතක් නොවෙන්නෙ!)

මෙසේ උපදෙස් දුන් ඔහු වඩාත් අනුබල දෙන අටියෙන්, ඉංග්‍රීසියට නැගූ රුසියානු කාව්‍ය සංග්‍රහයක්ද මට තෑගි කළේය. එය තවමත් මගේ ගෙදර පොත් රාක්කයේ සුරැකිව වැජඹෙයි.

ලංකා ගුවන් විදුලි ඉතිහාසයේ උජ්ජ්වලිත යුගයක් බිහි කළ පළමු ලාංකික ගුවන් විදුලි අධ්‍යක්ෂ ජෙනරාල් එම්. ජේ.පෙරේරයනුත් අනික් උජ්ජ්වලිිත යුගය බිහි කළ එවකට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, ප්‍රවෘත්ති අමාත්‍යාංශ ලේකම්, ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ සභාපති යන සතර තනතුරුම එකට ඉසිලූ රිජ්වේ තිලකරත්නයනුත් මවිසින් සංස්කෘතික ප්‍රාඥයන් දෙදෙනෙකු ලෙස හඳුන්වන ලද්දේ මන්දැයි ඔබ අන්ද මන්ද වීමටද ඉඩ නැත්තේ නොවේ. පුවත් පත, ගුවන් විදුලිය, රූප වාහිනිය වැනි ජන

සන්නිවේදන ආයතනයෝ සංස්කෘතික ආයතනයෝ වෙති. විඥත්වය හා අඥත්වය සමගත් රසිකත්වය හා අරසිකත්වය සමගත් ඒවා තදින් බැඳී පවත්නා හෙයිනි.එම ආයතන උපයෝගී කොට ගෙන මිනිස් සිත් සතන් අධමත්මයට නොහෙළා

උත්තමත්වයට ඔසවා ලිය හැකි දැකුම් හා විකුම් ඇත්තේ සංස්කෘතික ප්‍රාඥයන් තුළ මිස අසංස්කෘතික අඥයන් තුළ නොවේ. කීයේ මැ නො?

"සාහිත්‍ය සංගීත කලා විහීන:

සාක්ෂාත් පශු: පුච්ඡ විෂාණ හීන:

තෘණං නඛාදන්නපි ජීවමාන:

තද් භාගධේයං පරමං පශූනාම්"

(සාහිත්‍ය සංගීත කලා ආදියෙන් තොර වූ එකා වලිගේ හා අං නොමැති ගොනෙකි. ඌ තණ කොළ නොකෑම අනික් ගොනුන්ගේ පරම වාසනාවකි.)

සංස්කෘතික ආයතන සේ ගිණිය

යුතු මාධ්‍ය ආයතනවල අධිපති තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමේදී ඔවුන්ගේ පරිපාලන පරිචය මෙන්ම ඔවුන් තුළ ඇති සාහිත්‍ය,සංගීත හා කලා විඥානයද අනිවාර්ය සාධකයක් කොට ගත යුතු නොවේද? එවන් ගුණාංගයන්ගෙන් උපශෝභිත වූවන්ම සංස්කෘතික ප්‍රාඥයන් ගණයට වැටෙන හෙයිනි. ඒ ගණයට නොවැටෙන්නවුන් කවුරුන්දැයි ඉහත දැක්වූ'නීති ශතක' ශ්ලෝකයෙන් මීට සිය වස් ගණනකට පෙර අපට හඳුන්වා දී ඇත්තේ භර්තුහරි කවියාය.

එම්. ජේ. පෙරේරා සහ රිජ්වේ තිලකරත්න යන චිර පරිචයෙන් යුත් පරිණත පරිපාලකයන් දෙදෙනා සංස්කෘතික ප්‍රාඥයන් ලෙස හැඳින්වීම යුක්ති යුක්ත විය හැක්කේද? හැක්කේමය .මන්ද යත්, ඔවුන් දෙදෙනාම, විශ්ව විද්‍යාල උපාධි ලබා ඇත්තේ සිංහල පාලි සංස්කෘත යන ප්‍රාචීන භාෂාසාහිත්‍යෝද්ග්‍රහණයෙනි. එහෙත් ඔවුන් දෙදෙනාම සැඟවුණු නිර්මාණ කුසලතා ඇත්තන් බව සැඟවුණු රහසක්ම වී ඇත. ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ සභාපති යන තනතුරු හොබවන කාලයේ රිජ්වේ තිලකරත්නයන් කාන්තා නාමයකට ආරූඪව ගීත ලියූ බව පසුව හෙළිව ගියද ඔහුගේ සාහිත්‍ය ලෝලය හා නිර්මාණ ආවේශය කෙසේ පිබිදුණක්ද යන්න බොහෝ දෙනා නොදන්නා කරුණකි. ඔහුගේ සාහිත්‍ය සංගීත කලා ආසා ලතාව ලියලා වැඩී යෑමට ආලවාලය හෙවත් තෝතැන්න වූයේ සිරි අයියාගේ ගුවන් විදුලි ළමා තීරයයි. රිජ්වේ තිලකරත්නයන් සමග ඒ තෝතැන්නෙන්ම මතු වූ තම පාසල් සගයෝ නම් කරුණාරත්න අබේසේකර ,ගුණදාස අමරසේකර, හෙන්රි ජයසේන ,සුමන අක්මීමන ආදීහුය.එකල ගුවන් විදුලි ළමා තීරය මෙහෙයවූ සිරි අයියා වනාහි ඔවුන් සියලු දෙනාම එකට ඉගෙන ගත් කොළඹ නාලන්දා විදුහලේ ඔවුන්ගේ සිංහල ගුරු යූ.ඒ.එස්.පෙරේරා නම් සුප්‍රකට කිවිඳුය. තමා අනාගතයේ දිනක ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ සභාපති යන තනතුරු දෙකම හොබවතියි එදා ගුවන්විදුලි ළමා ශිල්පී රිජ්වේ තිලකරත්නයන් කෙසේ සිතන්නද?

ගුවන් විදුලියේ පළමු ලාංකික අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වන එම්. ජේ. පෙරේරයන් සාහිත්‍යකරණයෙහි යෙදුණු බවක් කිසිවෙකු කිසි සේත් දනිතියි නොසිතමි. වරක් එම රහස අප ඉදිරියේ හෙළි කළේ ඔහුගේ විශ්ව විද්‍යාල මිත්‍ර ත්‍රිමූර්තියෙන් එක් අයෙකු වන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ය.

සුනන්ද මහේන්ද්‍රයන් ගුවන් විදුලියේ නිබන්ධ සම්පාදක තනතුර හොබවන කාලයේ ගිය ගමනක් මෙවේලේ මගේ සිහියට නැගේ. ගුවන් විදුලි වෑන් රියකින් අප ඒ ගමන ගියේ කෑගල්ලේ පින්නවල සලා ගුරුන්නාන්සේ සොයාගෙනය. ඔහු පැරණි ජන නාට්‍යකරුවෙකි. සුනන්ද මහේන්ද්‍රයන් මේ ගමන සංවිධානය කළේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ යෝජනාවක් අනුවය. සුනන්ද මහෙන්ද්‍රයෝ, සුනිල් සරත් පෙරේරයෝ, නාරද දිසාසේකරයෝ සහ මම එදා සරච්චන්ද්‍ර මහාචාර්යතුමාගේ ගමන් සගයෝ වීමු. ලංකා ගුවන් විදුලියේ පළමු ලාංකික අධ්‍යක්ෂ ජෙනරාල් එම්.ජේ. පෙරේරයන්ගේ සැඟවුණු නිර්මාණ කුසලතා මහිමය මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මුවින් අපට නෑඹුලින් අසන්නට ලැබුණේ මේ ගමනේදීය. 

"විශ්ව විද්‍යාලයෙ ඉගෙන ගන්න කාලයෙ එම්.ජේ.යි  ඩී.ජී. දයාරත්නයි මායි අඹ යාලුවො. එම්. ජේ. විශ්වවිද්‍යාලයෙදි කෙටි කතා ලිව්වා. ඒවා ඒ කාලෙත් ඉතා හොඳ මට්ටමක තිබුණා. එම්. ජේ. සිවිල් සේවයට බැඳෙන්නේ නැතුව දිගටම කෙටි කතා ලිව්ව නං එයාට උසස් කෙටි කතා කාරයෙක් වෙන්න උපනිශ්‍රය තිබුණා."

මෙවන් සංස්කෘතික ප්‍රාඥයන් අධිපතියන් ලෙස වැජඹෙන සමයක ගුවන් විදුලිය බැබළෙනු කවර අරුමයක්ද!

දැනුදු මගේ ගෙදර පුස්තකාල කුටියේදී ඇතැම් දවසක රිජ්වේ තිලකරත්නයෝ මට හමුවෙති. එසේ හමුවන්නේ කාලිදාස, ශුද්‍රක ,ශ්‍රී හර්ෂ දේව වැනි සංස්කෘත කවියෙකුගේ ඇතැම් කාව්‍ය කෘතියක් තුළ හෝ වෙනත් කෘතියක් තුළය. එවැන්නක මුල් පිටුව මුදුනේ පෑනෙන් ලියූ W. R. Tilekaratne, University of Colombo ,1951. යන ඉංග්‍රීසි සටහන ඇස ගැටෙයි. එසේම වෙනත් ඉංග්‍රීසි හෝ ජපන් (ඉංග්‍රීසියට පරිවර්තිත) කවි පොතක කවරය පසු පැත්තේ හංස පූට්ටු සිත්තමක් සහිත ලේබලයක් ඇස ඇලෙයි. ඒ මත "සක්කෝ උජූච සූජූච" (හැකියාව, අවංක කම ,වැඩි අවංක කම)යන කරණීය මෙත්ත සූත්‍ර පාඨය ලොකු අකුරින් මුද්‍රිතය. දියෙන් කිරි වෙන් කර ගැනීමට සමත් හංස සංකේතය හා කරණීය මෙත්ත සූත්‍රයේ එන අර සනාතන ආදර්ශ පාඨය තම පොත්වල අනන්‍ය ලාංඡනයක් බවට පත් කිරීම මගින් රිජ්වේ ජීවන දැක්ම ඉඳුරා උජ්ජ්වලිත වෙයි. මගේ ගෙදර පුස්තකාලයෙන් හදිසියේ හමුවුණු කිසියම් සංස්කෘත සාහිත්‍ය මධු චෂකයක හෝ බටහිර කාව්‍ය පුෂ්ප මකරන්දයක මහද ගිලී ගිය සඳ රිජ්වේ තිලකරත්නයන් එක් වරම මවෙත සැපත්ව මා සමග හිනැහෙනු මා අවට දැවටෙනු මා හට යමක් තෙපලනු ඇසී දිසී වැසී යයි. රිජ්වේ තිලකරත්නයන්ගේ එකම මලණුවන් වන අශෝක තිලකරත්නයන් නොවන්නට ඔහුගේ ඒ කීර්තිමත් සොයුරා මගේ පොත්ගුල තුළ මෙසේ යළි යළි දිවමන් නොවනු ඒකාන්තය.රිජ්වේ තිලකරත්නයන් මෙලෝ හළ පසු ඔහු පරිශීලනය කළ විශිෂ්ට සංස්කෘත කාව්‍ය හා නාට්‍ය ග්‍රන්ථ කීපයක් සමග බටහිර කාව්‍ය හා සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ කීපයක් මගේ සොඳුරු මිතුරු අශෝක තිලකරත්නයන් විසින් මට පරිත්‍යාග කරන ලද්දේ සංස්කෘත සාහිත්‍යය විශේෂ කොට බටහිර සාහිත්‍යය කෙරෙහි මා තුළ පවත්නා බද්ධ ප්‍රේමය ඔහු මැනැවින් දත් හෙයිනි.

රිජ්වේ තිලකරත්න නාම ධේය ඒ පරිණත සංස්කෘතික ප්‍රාඥයා පරිශීලනය කළ එකී මාහැඟි පොත් මගේ පුස්තකාලයට අධ්‍යාත්ම නිධානයකි. ඔහු ඒවා අතරින් නැඟී සිට මා අබියස මෙසේ යළි යළිත් දිවමන් වීම කවර අරුමයක්ද!

(රිජ්වේ ගේ රුව වම් පසත් එම්.ජේ. ගේ රුව දකුණු පසත්  දිස් වේ.)

karunarathna amarasinghe

          | කරුණාරත්න අමරසිංහ

(කරුාරත්න අමරසිංහ මහතාගේ FB පිටුවෙනි)