කැප්ටන් ජැක් ස්පැරෝ ගෘහස්ථ හිංසන සුළි කුණාටුවෙන් බේරෙයි

johnny depp

විවාහ සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගවලදී පිරිමි පාර්ශ්වයට එරෙහිව නැගෙන ජනප්‍රිය චෝදනාවක් වන්නේ ගෘහස්ථ හිංසනයයි. ලෝකය විශාල ප්‍රමාණයක් කාන්තාවන් ගෘහස්ථ හිංසනයෙන් පීඩා විඳින අතර එලෙස ගෘහස්ථ හිංසනයට ලක් වන පිරිමින් ද සිටින බව තේරුම් ගත යුතුයි. මේ කතාව ආරම්භ වන්නේ එලෙස කාන්තා පාර්ශ්වය විසින් පිරිමියාට ගෘහස්ථ හිංසන චෝදනාවක් එල්ල කරමින් ලියූ පුවත්පත් ලිපියකට එරෙහිව පිරිමි පාර්ශ්වය විසින් අපහාස නඩුවක් ගොනු කිරීමේ සිදුවීමත් සමගයි. මෙය ඉතා ඉක්මනින් ලොව පුරා ප්‍රසිද්ධ වූ අතර එයට හේතු වුණේ ගෘහස්ථ හිංසන චෝදනාවට ලක් වූ තැනැත්තා ලෝකය පුරා ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ගත් සම්මානනීය නළුවෙකු වීම නිසායි. ඒ වෙන කිසිවෙකු නොව ජෝන් ක්‍රිස්ටෝපර් ඩෙප්, එසේත් නැතිනම් ජොනී ඩෙප් ය.

වාණිජ සිනමාව හරේහා දැවැන්ත ප්‍රේක්ෂකාකර්ෂණයක් මෙන් ම විශාල මුදලක් ද ඉපැයූ අයෙකු ලෙස ජොනී ඩෙප් ප්‍රසිද්ධය. ඔහු එක් කාලවකවානුවක දී ලෝකයේ වැඩිම ගෙවීම් ලද නළුවාගේ වාර්තාවට ද හිමිකම් කීවේ ය. ලොව පුරා අතිශය ජනප්‍රිය වූ පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්ස් චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතයට එනම් කැප්ටන් ජැක් ස්පැරෝගේ චරිතයට පණ පෙවූයේ ද ජොනී ඩෙප්ය. ඊට අමතරව චාලි ඇන්ඩ් ද චොකලට් ෆැක්ටරි චිත්‍රපටයේ විලී වොංකා ලෙසත්, ෆැන්ටෑස්ටික් බීස්ට් චිත්‍රපට මාලාවේ ග්‍රිමෙන්ඩවෝල්ඩ් ලෙසත් මෙන් ම ඇලිස් ඇන්ඩ් වොන්ඩර්ලෑන්ඩ් චිත්‍රපටයේ ද ඔහු රංගනයෙන් දායක විය.

1998 දී ඔහු ජනප්‍රිය ප්‍රංශ නිළියක සහ ගායිකාවක වූ වැනීසා පැරඩිස් විවාහකරගන්නා අතර ඔවුහු දෙදෙනා 2012 වසරේ දී දික්කසාද වූහ. මෙම කතාවේ කතා නායිකාව සමග ජොනී ඩෙප් ආදර සබඳතාවක් ඇති කරගන්නේ ඉන් පසුවයි. ඇම්බර් හර්ඩ් ඒ වන විට හොලිවුඩ් සිනමාවට අලුතෙන් පැමිණි නිළියකි. ඇගේ ජනප්‍රිය වීම ආරම්භ වූයේ ඒ කාලවකවානුවේදියි. වසර ගණනක ආදාර සම්බන්ධතාවකින් පසුව ඔවුන් දෙදෙනා 2015 දී විවාහ වූ අතර 2016 දී ඇම්බර් විසින් දික්කසාද නඩුවක් ගොනු කළ අතර 2017 දී ඔවුහු දික්කසාද වූහ.

දෙදෙනා අතර මෙම ගැටුම පටන් ගන්නේ මීට වසරකට පමණ පෙර සිටය. ඇම්බර් ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතට ලිපියක් ලියමින් තමා ගෘහස්ථ හිංසනයකට ලක්වූ බව ප්‍රකාශ කළාය. එහි තමාගේ නම සඳහන් කර නොතිබුණද ඒ හරහා තමාට අපහාසයක් වූයේ යැයි ජොනී ඩෙප් ඇම්බර් හර්ඩ්ට එරෙහිව අපහාස නඩුවක් පවරන ලදි. ඇම්බර් හර්ඩ් ද තමාට ගෘහස්ථ හිංසනයක් සිදු කළේ යැයි ඔහුට විරුද්ධව නඩු පැවරුවාය. මෙම ලිපිය පළ වීමත් සමග ජොනී ඩෙප්ගේ අත්සන් තබා තිබූ ගිවිසුම් රැසක් අවලංගු කිරීමට චිත්‍රපට නිෂ්පාදකයෝ කටයුතු කළහ. කැප්ටන් ජැක් ස්පැරෝගේ චරිතයෙන් පවා ඔහුව ඉවත් කිරීමට ඩිස්නි සමාගම තීරණය කරන ලදි.

නඩු විභාගය පසුගිය සති හය පුරාවට සිදු කෙරුණු අතර ඔවුන් දෙදෙනාගේම ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයෝ එය සජීවීව නැරඹූහ.

ඇම්බර් හර්ඩ්ගේ නීතිඥවරුන් විසින් ඇයට ගෘහස්ථ හිංසනයට ලක් කළ බව කියන කාරණය සනාථ කිරීමට ඉදිරිපත් කළ සාක්ෂිවලට වඩා ප්‍රබල සාක්ෂි ජොනී ඩෙප්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කිරීමට සමත් වූ අතර එම සාක්ෂිවලින් කියවුණේ ඇමබර් විසින් ජොනී ඩෙප්ව ගෘහස්ථ හිංසනයට ලක් කර ඇති බවයි. මෙය ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ අවධානයට ලක් වූ අතර ජොනී ඩෙප්ගේ ප්‍රේක්ෂකයන්ට එය මහත් අස්වැසිල්ලක් විය. නඩුව ආරම්භයේ දී ඇම්බර්ගේ පාර්ශ්වයට වාසි සහගත බවක් පෙනී ගිය ද නඩුවේ සාක්ෂි විමසීම ගලා යාමත් සමග වාසිය ඩෙප්ගේ පැත්තට හැරුණි.

ඇම්බර් විසින් ජොනීට පහර දෙන ලද බවට අනාවරණය වන ඔවුන් දෙදෙනා අතර ඇති වූ සංවාදවල හඬපට සහ ඇම්බර් විසින් ඩෙප්ට පහර දීමට සමාව අයදින හඬපට ද ඊට ඇතුළත් වූ අතර ඇම්බර්ගේ පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ සාක්ෂිවලට වඩා ඩෙප් ඉදිරිපත් කළ සාක්ෂි ප්‍රබල විය.

ඔවුන් දෙදෙනා විවාහ වී සිටි සමයේ දී මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වූ වෛද්‍යවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ඩෙප් ස්වයං පාලනයක් සහිතව සිටි පුද්ගලයෙකු බවත් බොහෝ ගැටුම්වලට මුල් වී තිබුණේ ඇමබර් බවත් ය. එලෙස ඇති වූ ගැටුම්වල දී දෙදෙනාම දෙදෙනාටම හානි කරගෙන ඇති බව එම මනෝවෛද්‍යවරයා පෙන්වා දුන්නේ ය.

අවසානයේ දී ජොනී ඩෙප්ට අසාධාරණයක් සිදුව ඇති බවට ජූරිය තීරණය කළ නිසා ඔහුට එම නඩුව ජයග්‍රහණය කළ හැකි වූ අතර ඔහුට වන්දි මුදලක් ගෙවන ලෙසට ඇම්බර් හර්ඩ්ට නියෝග කෙරිණි. ඩෙප් මෙතෙක් කල් තමා විශ්වාස කරමින් තමා සමග රැඳී සිටි ප්‍රේක්ෂකයන්ට ස්තූතිය පළකරමින් ෆේස්බුක් සටහනක් යොදා තිබුණි. පදනම් විරහිතව ජොනී ඩෙප් සමග පැවති ගිවිසුම් අත්හැර දැමූ සමාගම් ඔහුට වන්දියක් ගෙවා එම නිර්මාණවලට ඔහුව නැවත ගත යුතු බව ප්‍රේක්ෂකයන්ගේ මතයයි.

මෙම නඩු තීන්දුව එක්තරා ආකාරයකින් සුවිශේෂ එකක් වෙයි. ඒ මෙම නඩුව ගොනුවූයේ කාන්තාවකට ගෘහස්ථ හිංසනයට ලක් වන්නට සිදු වූ සිදුවීමක් පිළිබඳව පවසමින් වුවත් අවසානයේ එහි සම්පූර්ණ අනෙක් පැත්ත හෙවත් පිරිමියා ගෘහස්ථ හිංසනයට ලක්ව ඇති වී ඇතැයි හෙළි වීමත් සමගය. සාමාන්‍යයෙන් එවැනි නඩු පිළිබඳව අසන්නට ලැබෙන්නේ ද කලාතුරකිනි. ප්‍රසිද්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් එවැනි දේ අසන්නට ලැබෙන්නේ නැතිම තරම් ය.

කෙසේවෙතත් ජොනී ඩෙප් නිවැරදිකරු වීමත් සමග දැන් දැන් ඔහු සමග පෙර ගිවිසුම්ගතව සිටි සමාගම් ඔහු පිළිබඳව නැවත අවධානය යොමු කර ඇති බව පෙනෙන්නට තිබේ.■

නඩුවේ වැදගත් අවස්ථා පෙළගැස්මක්

සති හයක් පුරාවට ඇම්බර් හර්ඩ් සහ ජොනී ඩෙප් විවාහයේ අවාසනාවන්ත සිද්ධීන් උසාවිය හමුවේ ඉදිරිපත් විය. ජොනී ඩෙප්ට ජයග්‍රහණය හිමිකර දෙමින් ජුනි 1දා නඩුව අවසන් වූ අතර, ඔහුට වූ අපහාසය සඳහා වන්දි වශයෙන් ඩොලර් මිලියන 15ක් ගෙවීමට හර්ඩ්ට නියම විය.

ඩෙප්ට එරෙහිව ඉදිරිපත් කළ චෝදනාවලින් එකක් ඔප්පු කිරීමට හර්ඩ් සමත්වූයෙන්, ඇයට ද වන්දි ලෙස ඩොලර් මිලියන දෙකක් ගෙවීමට නියම විය.

හර්ඩ්, වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ලිපියක් ලියමින් (ඔහුගේ නම සඳහන් නොකර) තමා ගෘහස්ථ හිංසනයකට ලක්වූ බව ප්‍රකාශ කළ අතර, එය අපහාසයක් ලෙස සැලකූ ඩෙප් ඇයට එරෙහිව නඩු පැවරීය. ඇය ද ඔහුට විරුද්ධව නඩු පැවරුවා ය. සති හයකට වැඩි නඩු විභාගයකින් පසු දින දෙකකට ආසන්න කාලයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජූරි සභිකයන් තීරණය කළේ, ඇම්බර් හර්ඩ් ඇගේ විවාහය පිළිබඳ සිදුකළ ප්‍රකාශ ‘අසත්‍ය බව’ හා ඇය ‘ද්වේෂසහගතව’ ක්‍රියාකර ඇති බව යි.

අන්‍යොන්‍ය අපයෝජකයෝ

ඇතැම් නිරීක්ෂකයින්ට අනුව ඇම්බර් සහ ඩෙප් යන දෙදෙනාම වචන දෙකක් මඟින් හැඳින්විය හැකි ය: ඒ, ‘අන්‍යොන්‍ය අපයෝජකයන්’ යන්න යි.

මේ, ඩෙප් හා හර්ඩ් විවාහ වී සිටි කාලය අතරතුරු ඔවුනට මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර සැපයූ මනෝවිද්‍යාඥ ලෝරල් ඇන්ඩර්සන්ගේ වදන් ය. ඇය ඩෙප් වෙනුවෙන් කරුණු දක්වමින්, දෙදෙනාගේම වෛවාහක අරගල පිළිබඳ කරුණු දැක්වූවා ය. තව ද, ඩෙප් ‘ස්වයං පාලනයෙන්’ යුතු අයෙකු බවත්, මින් පෙර සහකාරියන් වෙත හිංසනයන් නොකර ඇති බවත් සහ බොහෝ රණ්ඩුවල මූලිකත්වය ගෙන ඇත්තේ ද ඇම්බර් බවත් ඇය ප්‍රකාශ කළා ය.

‘ඇම්බර් නිසා එයා ඇවිස්සුණා. මට පේන විදියට දෙන්නාම අන්‍යොන්‍ය අපයෝජකයන්.’

එක්වරකට වැඩි වාර ගණනක්, ඩෙප් නිවසින් පිටව යාම වැළැක්වීම සඳහා හර්ඩ් ඔහුට පහර දී ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවා ය.

‘ඇම්බර්ව පුච්චමු‘

නඩු විභාගය පැවති දින හතරක් පුරාවට, ඩෙප් යැවූ කෙටි පණිවිඩ සහ ඊමේල් කිහිපයක්ම හරහා, එවක බිරිය වූ හර්ඩ්ට දරුණු අපහාස කර ඇති ආකාරය සභාවට ඉදිරිපත් විය.

එවන් එක් අවස්ථාවක් වූයේ, 2013 දී බි්‍රතාන්‍ය නළු පෝල් බෙටනි වෙත යැවූ කෙටි පණිවිඩ කිහිපයකි.

‘එයාව පුච්චලා දාමු’ හර්ඩ් පිළිබඳ සඳහන් කරමින් ඩෙප් ලියයි. ‘පුච්චන්න කලින් එයාව වතුරෙ ගිල්වමු’. මෙම අශ්ලීල යෝජනා ඉදිරියට ගෙනයමින් ‘එතකොට හරියටම දැන ගන්න පුළුවන් මැරුණ ද කියලා’යි ද ඔහු සටහන් කර තිබුණි.

පිළිතුරු ලෙස ඩෙප් ප්‍රකාශ කළේ, මෙය කුඩා කල ඔවුන් නැරඹූ ‘මොන්ටි පයිතන්’ නමැති චිත්‍රපටය ආශ්‍රයෙන් විහිළුවට කී යමක් පමණක් බව යි. මේ සම්බන්ධයෙන් තමා දැඩි ලැජ්ජාවට පත් වන බවත් ඔහු ජූරියට කීවේ ය.

අධික මත්ද්‍රව්‍ය භාවිතය

ඩෙප් අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි ව සිට ඇති බව ද නඩු වාර අතරතුර දී වාර්තා විය. ඩෙප් පවසන්නේ 2014 දී ඔක්සිකෝඩෝන් භාවිතය නවතා දැමීමත් සමග, හර්ඩ් හා විවාහය පුරාවට තමා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටි බවයි.

එහෙත් හර්ඩ් පවසා සිටියේ, ඩෙප් සිය දරුවන් ඉදිරියේ පවා මත්පැන්, කොකේන් සහ වේදනා නාශක අධික ලෙස භාවිත කළ බව යි. එය නවතා දමන්නැයි තමා ඉල්ලා සිටියත්, ඔහු එය ප්‍රතික්ෂේප කළ බව ඇය පැවසුවා ය. ඩෙප් වරක් බහාමාස්හි පිහිටි ඔහුට අයත් පෞද්ගලික දූපතක දී තම පුතා ඉදිරියේ සිහිසුන්ව වැටී සිට ඇති බවත් ඇය පැවසීය. ඩෙප් පාර්ශ්වය මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, ඇම්බර් ද ඇතැම් අවස්ථාවල මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කළ බව පෙන්වා දිනි.

ඇම්බර්ට ‘කිසිවිටෙක’ පහර දුන්නේ නැහැ

ඩෙප් උසාවියට කරුණු ඉදිරිපත් කරමින්, ඇයට ඔහු පහරදුන්නැ යි හර්ඩ් කළ ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කළේ ය. ‘මම කවදාවත් හර්ඩ් මෙනවියට පහරදීලා නැහැ. මම මගේ ජීවිතේ කවදාවත් කාන්තාවකට පහර දීලා නැහැ.’ ඔහු දිවුරා සිටියේ ය.

ඩෙප් පවසන්නේ ඔහුට අපහාස සහ අපචාර සිදුකළ හර්ඩ් ඔහුට පහරදීම් ද සිදු කළ බවයි.

‘සමහර වෙලාවට ඒක පටන්ගන්නේ කම්මුලට ගහන එකෙන්, එක්කෝ තල්ලු කරන එකෙන්. නැත්නම් ටීවී රිමෝට් එක වීසිකරලා මගේ ඔළුවට ගහනවා.’ ඔහු පැවසුවේ ය. ‘එයාට හැම තිස්සේම ප්‍රශ්නයක් ඇති කරගන්න ඕන. හේතුවක් නැතුවම එහෙම කරනවා.’

ඩෙප් පාර්ශ්වය මෙය සනාථ කිරීමට ඇම්බර්ගේ හඬපට හා ලියුම් යොදා ගත්තේ ය.

එක් හඬපටයක ඇම්බර් ඩෙප්ට පහරදුන් බව පිළිගනිමින්, ඔහු ළදරුවෙකැ යි ද පවසමින් අපහාස කරනු ඇසෙයි. තවත් ලිපියක් හරහා ඇය ‘පිස්සියක සේ හැසිරුණාට’ සමාව අයැද සිටියි.

‘ඔයාට රිද්දුවාට සමාවෙන්න’ ඇම්බර් ලියයි. ‘මට හිත රිදුණාම මට හරියට තරහා යනවා.’

ඩෙප්ගේ ඇඟිල්ල සහ එඩිට් කළ ඡායාරූප

2015 දී වරක් ඇය ඩෙප්ට වොඩ්කා බෝතලයකින් පහර දී තිබූ අතර, ඉන් තමාගේ මැද ඇඟිල්ලේ කෙළවර කැපී ගිය බව ඩෙප් කීය. එයින් දැඩි කම්පනයට පත්වූ ඔහු ඇඟිල්ලෙන් ගැලූ රුධිරයෙන් බිත්තියේ ඇම්බර්ට පණිවිඩ ලියූ බවත් පැවසීය. මෙය ප්‍රතික්ෂේප කරමින් ඇම්බර් පැවසුවේ එදින ඔහු තමාට මත්පැන් බෝතලයක් යොදාගනිමින් ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව යි.

නමුත්, ඩෙප්ගේ ඇඟිල්ලේ නියපොත්තේ වැඩි කොටසක් හානි රහිතව පවතින බැවින් ඩෙප් කියන ආකාරයේ යමක් සිදුවන්නට ඉඩක් නොමැති බව හර්ඩ් වෙනුවෙන් උසාවියේ දී කතා කළ ශල්‍ය වෛද්‍යවරයකු කියා සිටියේ ය.

නඩුවේ තාරකාවක්

හොලිවුඩ් තරු වූ ඩෙප් හා හර්ඩ් උසාවිය වෙත තරු ගුණය රැගෙන ආව ද, නඩු විභාගයේ තාරකාව වූයේ වෙනත් තැනැත්තියකි – ඒ, ඩෙප්ගේ නීතිඥවරියක වූ කැමීල් වැස්කස් ය.

තරුණ නීතිඥවරියක වූ ඇයට විශාල ජනතා ප්‍රසාදයක් හිමිවූ අතර, ඇගේ සේයාරුව යෙදූ ටී ෂර්ට් පවා නිපදවනු ලැබිණ. ඇම්බර් හර්ඩ් හරස් ප්‍රශ්න කිරීම්වලට ලක්කරද්දී වැස්කස්ගේ තියුණු විලාසය විශේෂයෙන්ම කැපී පෙනිණි. දෙදෙනා අතර වූ වචන හුවමාරුවීම් විටින් විට උණුසුම් අතට හැරුණි.

ඉන් එක් අවස්ථාවක් වූයේ, වයින් විසිරුණු ඡායාරූපයක් සම්බන්ධයෙන් ඩෙප් හා හර්ඩ් වාදකරගත් මොහොත යි. එය, 2016 දී යුවළ අතර ඇති වූ විශාල ගැටුමක් ඩෙප් ඇයට පහරදීමෙන් අවසන් වූ බව කියමින් හර්ඩ් ඉදිරිපත් කළ පින්තූර කිහිපයෙන් එකකි. වැස්කස්ගේ ප්‍රශ්න කිරීම් අතරතුර දී හර්ඩ් ජූරි සභිකයින් වෙත හැරී, ඇගේ හිටපු සැමියාගේ නඩුවට ප්‍රයෝජනවත් වනු පිණිස ඔහුගේ නීතිඥයින් විසින් එම ඡායාරූප නැවත සකස්කර හෝ සංස්කරණය කර ඇතැ යි කියා සිටියා ය.

‘ඔබ ජූරි සභාවට තර්ක ඉදිරිපත් නොකරනවා නම් මම අගය කරනවා’ වැස්කස් එහිදී දැඩි ලෙස පැවසුවා ය. ‘මම ඔයාගෙන් කිසිම දෙයක් ඇහුවේ නැහැ.’

කේට් මොස් උසාවියට

අවසන් මොහොතේ බි්‍රතාන්‍ය නිරූපිකාවක වන කේට් මොස් සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුවට එකතු වූවා ය.

ඇයට ඩෙප් සමග 1994-98 කාලයේ පෙම් සබඳතාවක් පැවති අතර, ඩෙප් ඇය පඩිපෙළකින් තල්ලු කළ බවට හර්ඩ් පැතිරවූ කටකතාවක් පිළිබඳව විමසීමට ඇය උසාවියට කැඳවනු ලැබිණි.

හර්ඩ්, ඩෙප් හා ඇය අතර 2015 දී සිදුවූ ආරවුලක් විස්තර කළා ය. එවර තමා ඩෙප්ට පහර දුන්නේ ඔහු තමාගේ නැගණිය පඩිපෙළකින් තල්ලු කළ නිසා බව ඇය පැවසුවා ය. වීඩියෝ ඇමතුමක් ඔස්සේ උසාවිය හා සම්බන්ධ වෙමින් මොස් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළා ය.

‘වැස්ස දවසක මම කාමරෙන් එළියට එද්දි ලිස්සලා පඩිපෙළෙන් වැටිලා කොන්ද රිදෙන්න ගත්තා’ මොස් පැවසුවා ය.

‘එයා (ඩෙප්) දුවගෙන ඇවිල්ලා මට නැගිටින්න උදව් කරලා, මාව කාමරේට උස්සගෙන ගිහින්, වෛද්‍යවරයෙකුට කතා කළා.’

‘එයා මාව තල්ලු කළේවත්, පඩිපෙළෙන් වැටෙන්න පයින් ගැහුවේවත් නැහැ’ මොස් වැඩිදුරටත් කීවාය.

සිය ගණනක් මරණ තර්ජන

නඩු විභාගයේ අවසන් දිනයේ දී, ඩෙප්ගෙන් දික්කසාද වීමෙන් පසු තමා විඳදරාගත් හිරිහැර ගැන හැඟීම්බර ප්‍රකාශයක් හර්ඩ් විසින් ඉදිරිපත් කෙරිණි.

‘මට දිනපතාම මරණ තර්ජන සියගාණක් එනවා. මේ නඩුව පටන්ගත්තාට පස්සේ දහස් ගාණක් එනවා. මිනිස්සු මට සමච්චල් කරනවා, මගේ සාක්ෂිවලට හිනාවෙනවා.’ ඇය පැවසුවා ය. ‘මට දිනපතාම ඒ කම්පනෙත් එක්ක ජීවත්වෙන්න වෙලා.’

නඩු විභාගය ‘ඝෝර’ හා ‘නින්දාසහගත’ එකක් ලෙස ඇය හැඳින්වූවා ය.

‘අමතක කරන එක ලේසි ඇති, ඒත් මාත් මනුස්සයෙක්.’ ඇය කියා සිටියා ය. ‘මට දැන් වෘත්තියක් කරන්න බැහැ. මට තියෙන මරණ තර්ජන නිසා, අඩුගාණේ තව කෙනෙක් එක්ක වැඩ කටයුතු කරන්නවත් බැහැ.’

වර්ජිනියාවේ ෆෙයාර්ෆැක්ස්හි ජූරි සභාව බොහෝ දුරට ඩෙප්ගේ කතාවට පක්ෂ විය. සත් පුද්ගල විනිසුරු මඬුල්ල සිය තීන්දුවෙන් කියා සිටියේ, හර්ඩ් සිය විවාහය පිළිබඳව කළ ‘අසත්‍ය’ ප්‍රකාශ මඟින් ඇගේ පෙර සැමියා අපකීර්තියට පත්කර ඇති බව යි. එම ප්‍රකාශයන් ‘සැබෑ ද්වේෂයෙන්’- විපාක පිළිබඳ නොසැලකිලිමත්ව සිදුකර ඇති බව ද ඔවුහු පැවසූහ.

ජූරියේ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඇයට අවස්ථාව තිබේ. ඇගේ ප්‍රකාශිකාවක් පවසා ඇත්තේ ඇය එසේ කිරීමට අදහස් කරන බව යි.

(බීබීසී සිංහල වෙබ් අඩවියෙනි - අමන්දිකා කුරේ -anidda)