--------- අපි කම්කරු ළමයි ---------

--------- අපි කම්කරු ළමයි ---------
හොඳම මිතුරිය වත්සලාගේ
තාත්තා නම් ලිපිකරුය
නිර්මලා පන්තියේ අන්තිම
වුණත් අප්පා වෙදැදුරුය
ලෝයර් නිසාදෝ ඇගෙ තාත්තා
රුවනි හරි ආඩම්බර ය
මමත් මොකටද දෙවෙනි වෙන්නෙ
මගෙ තාත්තා කම්කරුය
'
පොලිටිකල්වල පැසිස්ට්වාදෙදි
අනේ පව් අර යුදෙව්වන්
කියපු ලිබරල් අපේ සෙට් එක
නාසිවාදී හදවතින්
මාක්ස් පිස්සෙක් කියලා කිව්වම
මගේ පැත්තෙ උන් ලෙනින්
වැඩ කරන උන් කළේ විප්ලව
කීවාම හිනැහිමි තුටින්
'
අයිලයේ නොව බාලිකාවේ
අල්තිනාලා අසරණයි
ටීචරුත් සිඹ වැළඳගත්තේ
පෝසත්ම අයගේ ළමයි
රිපොට් එක පළවෙනියා කිව්වත්
එයත් රැස්වීමෙන් නිමයි
පන්ති නායක කමක්වත් නෑ
මොකද අපි කම්කරු ළමයි
'
නාටකේකට ගත්තා නම් ඒ
දාසිගේ චරිතෙට තමයි
කුමරියන්ගේ චරිතවලටත්
පාට හැඩ මදිනං තමයි
හොඳම නිළියට සුදුසු කීවත්
සම්මානෙ කුමරිට තමයි
කලා උළෙලේ ඒ කලාවට
හේතුවත් කම්කරු තමයි
'
පොතක් පෑනක් පැන්සලක් වුව
දුන්නා නම් අණ බෙර ගසා
අනේ පව් කී දහක් ඇස් යට
දුටුව පිළිකුල් බව නිසා
කැලේ පායන හඳ කැලේටම
තල්ලු කළෙ කරමින් මුසා
තක්සලාවත් වැඩ බිමක් වගෙ
තාත්තා කම්කරු නිසා