ILOව තුල ත්‍රෛපාර්ශ්වීය පාර්ශව කරුවන්ගේ කාර්යභාරය

ILOව තුල ත්‍රෛපාර්ශ්වීය පාර්ශව කරුවන්ගේ කාර්යභාරය

ජගත් කම්කරු සංවිධානය (ILO) වූකලි ත්‍රෛපාර්ශ්වීය ව්‍යුහයක් සහිත එක ම ජාත්‍යන්තර සංවිධානය යි. සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ නියෝජිතයෝ රජයන්ගේ නියෝජිතයන් ලෙස එක සමාන තත්ත්වයක හිඳ එහි වැඩ කටයුතුවලට සහභාගි වෙති. ILO සතු මෙම සුවිශේෂී ලක්ෂණයෙන් අදාළ වෘත්තීය සංවිධානවලට, විශේෂයෙන් ම ජගත් කම්කරු ප‍්‍රමිතීන් පිළිබඳ ක්ෂේත‍්‍රයේ දී එම පාර්ශවකාර සංවිධානවලට පවත්නා විශේෂ අයිතිවාසිකම් සහ බැඳීම් පිළිබිඹු කරයි.

සම්මුතීන් සහ නිර්දේශයන් සකස් කිරීමේ දී සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ සංවිධාන අතීතයේ සිට ම ක‍්‍රියාකාරී කාර්ය භාරයක් ඉටු කරති. ILO පාලක මණ්ඩලය Governing Body තුළ සිටින එම සංවිධානවල නියෝජිතයෝ, ප‍්‍රමිතීන් සකස් කිරීම සඳහා ජගත් කම්කරු සමුළුවේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් කළ යුතු විෂයයන් තේරීමේ දී ද, ILO සම්මුතීන් පිළිබඳව සාකච්ඡා කිරීමේ දී සහ ඒවා සම්මත කිරීමේ දී සිය ජගත් කම්කරු සමුළු (ILC) නියෝජිතයන් මාර්ගයෙන් ද සහභාගි වෙති. එපමණක් නොව, ILCහි න්‍යාය පත‍්‍රයේ විෂයන් සම්බන්ධ ප‍්‍රශ්නාවලීන්ට රජය සපයා ඇති පිළිතුරු පිළිබඳව, සේවා යෝජකයන් සහ සේවකයන් ගේ වඩාත්ම නියෝජකත්වයක් උසුලන සංවිධාන වලින් අදහස් විමසීම් කළ යුතු යැයි ILO පාලක මණ්ඩලය නිර්දේශ කර ඇත. එමෙන් ම, 1976 අංක 152 දරණ ත්‍රෛපාර්ශ්වීය අදහස් විමසීම් (ජගත් කම්කරු සංවිධාන ක‍්‍රියාකාරකම්) පිළිබඳ නිර්දේශය යටතේ ඉඩ සැලසෙන පරිදි සමුළුවේ දී සාකච්ඡා කිරීමට යෝජිත ලියවිලි සම්බන්ධයෙන් රජයන් කර ඇති අදහස් දැක්වීම් පිළිබඳව ද එම පාර්ශවකාර සංවිධානවලින් අදහස් විමසීම් කළ යුතු යැයි එය නිර්දේශ කර ඇත. 1976 අංක 144 දරණ ත්‍රෛපාර්ශ්වීය (ජගත් කම්කරු ප්‍රමිති) මත විචාරනය පිළිබඳ සම්මුතියට Tripartite Consultation Convention අත්සන් කර ඇති රාජ්‍යයන් එවැනි මත විචාරන consultation සිදුකිරීම අනිවාර්ය වේ. 

සම්මුතීන් සහ නිර්දේශයන් ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ මූලික වගකීම දරන්නේ සාමාජික රාජ්‍යයන් වුව ද, සාමාජික රාජ්‍යයන් නිතිපතා තොරතුරු සහ වාර්තා සැපයිය යුතු ය යන පදනම මත, ILO ව්‍යවස්ථාව සහ ක‍්‍රියා පටිපාටි යටතේ, රජයන් මේ සම්බන්ධයෙන් සිය බැඳීම් සපුරා ලන්නේ ද යන්න ජාත්‍යන්තර අධීක්ෂණයට ලක් වන අතර, මෙහි දී සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ සංවිධානවලට ද වැදගත් කාර්ය භාරයක් ඉටු කළ හැකි ය. ILO ව්‍යවස්ථාවේ 23 වන වගන්තියේ 2 වන ඡේදය යටතේ දක්වා ඇති පරිදි, රජයන් ILO වෙත සපයන තොරතුරුවල සහ වාර්තාවල පිටපත් සේවා යෝජකයන් සහ සේවකයන් නියෝජනය කරන සංවිධාන වලට සන්නිවේදනය කල යුතු ය. අදාළ පාර්ශවකාර සංවිධානවලට මෙම කාරණා සම්බන්ධයෙන් සිය රට ගෙන ඇති ස්ථාවරය පිළිබඳව අදහස් දැක්වීමට අවස්ථාවක් ඇත. සම්මුති හා අනුකූලතාව නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් වගකීම දරන ස්වාධීන මණ්ඩලයක් වන සම්මුති හා නිර්දේශ ක‍්‍රියාවේ යෙදවීම පිළිබඳ විශේෂඥ කමිටුව CEACR වෙත සලකා බැලීම සඳහා මෙම අදහස් දැක්වීම් ඉදිරිපත් කරනු ලැබේ. එමෙන් ම, විශේෂඥ කමිටු වාර්තාව පදනම් කර ගෙන ඒ ඒ රටේ ස්ථාවරය සාකච්ඡා කිරීම සඳහා සමුළුව විසින් වාර්ෂිකව පිහිටුවන ත්‍රෛපාර්ශ්වීය කමිටුවක් වන සම්මුති සහ නිර්දේශ ක‍්‍රියාවේ යෙදවීම පිළිබඳ සමුළු කමිටුවේ Conference Committee වැඩ කටයුතුවලට සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ නියෝජිතයන්ට සහභාගි විය හැකි ය. 

ප‍්‍රමිතීන් ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධ ILO ක‍්‍රියා පටිපාටිවල ප‍්‍රධාන අංග සහ ප‍්‍රමිතීන් ක‍්‍රියාත්මක කිරීමේ දී සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ සංවිධානවලට ඉටු කළ හැකි කාර්ය භාරය පහත ලපි වලින් සාකච්ඡා කෙරේ. 

– ජාතික නිසි බලධාරි ආයතන වෙත ප‍්‍රමිතීන් ඉදිරිපත් කිරීම – ප‍්‍රමිතීන් ක‍්‍රියාත්මක කිරීම
– අත්සන් කළ සම්මුතීන් පිළිබඳ වාර්තා සැපයීම
– රාජ්‍යයන් විසින් අපරානුමත නොකළ Unratified සම්මුතීන් පිළිබඳව සහ නිර්දේශයන් පිළිබඳව වාර්තා කිරීම
– රජය ILO වෙත සපයන වාර්තාවල පිටපත් පාර්ශවකාර සංවිධාන වෙත ලබාදීමට පවත්නා බැඳීම
– වෘත්තීය පාර්ශවකාර සංවිධාන විසින් සම්මුති විධිවිධාන ක්රියාත්මක කිරීමට දායකවීම
– සම්මුතීන් සහ නිර්දේශයන් ක‍්‍රියාවේ යෙදවීම සම්බන්ධයෙන් සමුළු කමිටුව තුළ සිටින සේවායෝජක සහ සේවක සාමාජිකයන්ගේ කාර්ය භාරය
– සම්මුති හා නිර්දේශ ක්‍රියාවට නගනු පිණිස සඳහා වන ILO භූමිකාව 

මූලාශ්‍රය: www.ilo.org