ලංකාවේ වැඩිම සේවක සංඛ්‍යවක් සේවය කළ වැල්ලවත්ත රෙදි මෝලට මොකද වුණේ  ( 1 කොටස)

ලංකාවේ වැඩිම සේවක සංඛ්‍යවක් සේවය කළ වැල්ලවත්ත රෙදි මෝලට මොකද වුණේ  ( 1 කොටස)

“රෙදි මෝල බහින්න" යයි හයිලෙවල් පාරේ බස්වල අයට අසන්න ලැබීම අමුත්තක් නොවේ. සමහරු පුරුද්දට එහෙම කිව්වත් අද වැල්ලවත්තේ රෙදි මෝලක් නැත. වැල්ලවත්ත කියා අද බොහෝ දෙනකු කියන්නේ ගාලුපාර අද්දර වැල්ලවත්තට  වුණත් වර්තමාන හැව්ලොක් සිටි පිහිටි පළාතට ශත වර්ෂයකට එහා කීවේ ද වැල්ලවත්ත කියාය. නමුත් ඒ ස්ථානය ජනප්‍රිය වුණේ රෙදි මෝල කියාය. ඒ ප්‍රදේශය උතුරු වැල්ලවත්ත වූ අතර ගාලු පාර කලාපය දකුණු වැල්ලවත්ත විය.

වැල්ලවත්ත රෙදි මෝල යනු පසුගිය සියවස ආරම්භයේ දී ලංකාවේ තිබූ විශාලතම  කර්මාන්ත ශාලා වැඩබිමයි. එහි ඉතිහාසය සොයා ගැනීම පහසු නැත. මන්ද ඒ පිළිබඳ කිසිවකු ලියා තියා  නැත. දන්න කියන අය ද ජීවත් වෙන්නේ ඉතාම ටික දෙනෙකි. රෙදි මෝලේ ඒ ඉතිහාසය සොයා ගිය ගමනේ සටහනයි මේ.

ලංකාවේ තිබූ ලොකුම කර්මාන්ත ශාලාව

1890 දී වැල්ලවත්ත රෙදි මෝලේ ස්ථාපිත කරන්නේ ඉන්දීය  ජාතිකයන්ය (කුමාරි ජයවර්ධන). ජේෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා මහතාට අනුව එහි අයිතිය හිමි වූයේ ටී. ඒ. ජී. නූර්බායිටය. නූර්බායි යනු එකල ඉන්දියාවේ සහ ලංකාවේ සිටි ධනවත්ම ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු නැව් හිමියෙක් ද විය.මෙරට පළමු නිහඬ චිත්‍රපටය වන ඇන්.ඇම්.පෙරේරා රඟපෑ  "රාජකීය වික්‍රමය" චිත්‍රපටය නිෂ්පාදකයා  ද 1920 වැල්ලවත්ත ප්ලාසා  සිනමාහල ඉදි කළේ ද  නූර්බායි මහතා බව ප්‍රියන්ජන් සුරේෂ් මහතා පෙන්වා දෙයි.

weaving and spinning mill හෙවත් වැල්ලවත්ත රෙදි මෝල  එදා පටන් මිනිස්සු හැඳින් වූයේ " වැල්ලවත්ත රෙදි මෝල" කියාය.එසේම රෙදිමෝල  අසල ජීවත් වූ "විජයන්" නමැති ලේඛකයා ලියූ කෙටි පොතක සඳහන් වන්නේ ඉන්දියාවේ Koyaliya මහරාජා මෙම රෙදි මෝලේ අයිතිකරු සහ ආරම්භකයා බවය. වැල්ලවත්ත රෙදි මෝලේ සේවය කළ 85 හැවිරිදි ඒබ්‍රහම් ජෝර්ජ් ආතර් මහතා ප්‍රකාශ කරන්නේ "ගෞරියර්" නැමති මහරාජා මෙහි හිමිකරු වූ  බවයි. ඔහු වෙනුවෙන් මෙම රෙදි මෝලේ පරිපාලන කටයුතු කළේ, ඊ. එස්. කැප්ටන් නම් පාර්සි ජාතිකයෙකු බවයි. කෙසේ නමුත් මෙම වැල්ලවත්ත රෙදි මෝලේ ආරම්භකයා සහ හිමිකරු ඉන්දියානු ජාතිකයෙකු බව නිශ්චිතය.

කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී එල්. ආර්. ස්ටීවන් මහතා පවසන්නේ වැල්ලවත්ත රෙදි මෝලේ හිමිකරු රසල් නමැති සුද්දෙකු බවය. නමුත් රසල් යනු හිමිකරු නොව එහි ප්‍රධානියා බව ලියුම්කරුගේ මතයයි. බ්‍රිතාන්‍ය යුගයේ මෙරට සියලු මහා පරිමාණ කර්මාන්ත ශාලා සහ ව්‍යාපාර ඉංග්‍රීසීන් සතුව පැවති අතර  ඉන්දියානුවෙකුට හිමි ව තිබූ එකම කර්මාන්ත ශාලාව වැල්ලවත්ත රෙදි මෝල බව ආතර් මහතා අවධාරණය කරයි.

අයිතිය තිබුණේ ඉන්දීය ව්‍යාපාරිකයකුටයි

1956 බලයට පැමිණි  බණ්ඩාරනායක මහතා එකල ලංකාවේ තිබූ සියලුම  විදේශීය සමාගම් සීමාසහිත සමාගම් (Limited) බවට පත්කොට ඒවායේ කොටස්  මෙරට පුරවැසියන්ට නිකුත් කරන ලෙස පනතක් ගෙන ආ බවත්, ඒ අනුව මෙම රෙදි මෝලේ ද කොටස් ලංකාවේ පුරවැසියන්ට 49% ක් හිමි වූ බව ද 80 දශකයේ වැල්ලවත්ත  රෙදි මෝල ඈවර කරන විට එහි වැඩිම කොටස් හිමිව තිබුණේ එන්. යූ. ජයවර්ධන මහතාට බව ආතර් මහතා සිහිපත් කරයි.

කාර්මික විප්ලවයෙන් පසු ජේම්ස් වොට්  කපු කැටීමේ යන්ත්‍රය නිපදවීමත් සමඟම ගෘහස්ථ අත්යන්ත්‍ර කර්මාන්තයක්ව පැවති රෙදිපිළි නිෂ්පාදනය මහා පරිමාණ කර්මාන්තශාලා හෙවත් weaving mills ලෙස ලෝකයේ ප්‍රධාන නගරවල ස්ථාපිත වෙමින් පැවතුණි.

එහි  ආසියානු  ආරම්භකයන් වූයේ එකල (වර්තමාන පකිස්ථානය) ඉන්දියාවේ කරච්චි, ලාහෝර් ආදී ප්‍රදේශවල ජීවත් වූ ඉරාන සම්භවයක් සහිත පාර්සි ජාතිකයන් ය.පසු කලෙක මහත්මා ගාන්ධි ඉන්දියාවේ චරකය හා අත්යන්ත්‍ර රෙදි  කර්මාන්තය උසිගන්වා එය ඉංදීය ජාතික ව්‍යාපාරය ලෙස ගොඩ නැගුවේත් මේ පසුබිමේ ය. 

ජනසතු කිරීම

වැල්ලවත්ත රෙදි මෝලේ ඉතිහාසය ගැන අහන්න අද ජීවත්ව සිටින්නේ ඉතාම සීමිත පිරිසකි. ඔවුන් කියන මේ ඉතිහාසය ලියා තබන්නේ මතු පරම්පරාවේ දැන ගැනීමටය.

රෙදි මෝල ආසන්නයේ තිබූ පැරණි ලැයිම හෙවත්  Bombay සමූහ නිවාස ආකෘතික (Chaul)  දෙමහල් නිවාස පේලිය (2018) පසුගිය කාලයේ මහ පොළොවට සමතලා කළේ නාගරික ඉතිහාසය, නාගරික පුරාවිද්‍යාව හෝ අන්‍ය දේශජ සම්ප්‍රදායේ වාස්තු විද්‍යා සම්ප්‍රදායන් පිළිබඳ මේ රටේ දේශපාලනඥයන්ට සහ නාගරික සංවර්ධන උගතුන්ට ඇති අල්ප දැනුම හා තබන අවම බර නිසාය.

මේ දුර්ලභ ගණයේ ඉතිහාස කතාව හොයාගෙන එම බෝම්බේ නිවාස පේළිය වෙනුවට රජය ලබා දුන් නව මහල් නිවාස සංකීර්ණය වන "ලක්මුතු සෙවන" මහල් නිවාස සංකීර්යේ ප්‍රජා නායකයෙකු වන සිද්දික් මොහොමඩ් ෆාසිල් (33) සමග අපි ගියෙමු.

එහි දී මුලින්ම හමුවූයේ 79 හැවිරිදි බී. එම්. ෆාරුක් මහතාය.

ඓතිහාසික ගොඩනැගිලි අද නෑ

"මගේ සීයා තමයි මුලින්ම රෙදි මෝලේ වැඩ කළේ. ඊට පස්සේ අපේ තාත්තත් මමත් එකේ වැඩ කළා.  තාත්තා බුහාරි. සීයා සේරුවඩාන් ඉන්දියාවේ මදුරාසිවල ඉඳන් ආවේ. එයා වැඩ කළේ මොලේ වීවින් අංශයේ. මේ රෙදි මෝල දැම්මෙ ඉන්දියාවේ බායිලා. ඒ ගොල්ලො ඒකේ වැඩට ඉන්දියාවේ මිනිස්සු අරන් ආවා. මොකද මේ weaving machine වැඩ දන්න අය ඒ කාලේ ලංකාවේ හිටියේ නැහැ. බෝම්බේ, මැඩ්රාස්වල හා කේරළයේ මලයාලම්  මිනිස්සු තමයි මේ weaving mill වල වැඩ කරපු පළපුරුදු අය හිටියේ.  60 දශකය වන තුරු වැල්ලවත්ත රෙදි මෝලේ සේවය කළ අයගෙන් 60%  වඩා සේවය කළේ මලයාලම් අය බව පැරණි වාර්තා වල දැක්වේ.

"මෝලේ ලොක්කෝ හිටියේ  සුද්දො. ඒගොල්ලො තමයි මේ මැෂින්වල ඔක්කොම දන්නේ. සිංහල, දෙමළ, මුස්ලිම්, මලයාලම් සේරම වැඩ කළා. අපි බොහොම  සහෝදරත්වයෙන් එකමුතුව තමයි හිටියේ. කවදාවත් අපි අතර ජාතිවාදී ප්‍රශ්න ආවේ නෑ. අදත් මේ පැත්තේ ඒවා නැහැ.

අපේ සීයලා ආවේ කොහොමද ආවේ දන්නේ නැහැ. ඒගොල්ලො  ඇවිල්ලා හිටියේ මෙතනම  එහා පැත්තෙ ලැයිමේ. ඒකේ  මුලින්ම තිබුණේ ලැයිම් පේළියක්. ඒවා හැදුවේ කොයි කාලෙද දන්නෑ. ඒවා කාමර වගේ. මැද ලොකු තාප්පෙකින් වෙන්වෙලා තියෙනවා. එක පේලියක ගෙවල් 12 ගානේ දෙපැත්තෙම කාමර 24 තියනවා. ඒවා හරියටම වතු ලයින් වගේම තමයි. ඒ වගේ ලයින් හතරක් තිබුණා. පස්සෙ ඉඩ මදි නිසා තමයි මෑතක දී කඩපු 1921 හදපු තනි තට්ටුවේ සොල්දර

ගෙවල් (Chaul) හැදුවේ.  පස්සේ තනි පේලියේ ලැයින් ටික ටික කැඩුණා.මේවා මුලින්ම හැදුවේ තනියම ආපු කොල්ලන්ට බැචුල ක්වාර්ටස් වගේ.පස්සේ ඉතින් තමන්ගෙ පවුලත් ඒකෙම තියාගත්තා.ඉන්දියාවෙන්  ආව සමහර අය එනකොට ඉන්දියාවේ පවුල  අරගෙන ආවා.සමහරු දරුපවුල ඉන්දියාවේ තියලා තනියම  ආවා. පස්සේ ඒගොල්ලෝ ඉන්දියාවටම ගියා.තනියම ආපු අය මෙහෙ ගෑනු අරගෙන කසාද බැඳ ගෙන මෙහෙම පදිංචි වුණා.

ඒ කාලේ (1940 )මේ ගෙදර කුලිය රුපියල් හතරයි. එකත් කොම්පැණිය පඩියෙන්ම කපා ගන්නවා. ඒ කාලේ අපේ ගෙවල්වල ලයිට් තිබුණේ නැහැ. කුප්පි ලාම්පු චිමිනි පත්තු කළා. සමහර ගෙවල්වල  පැට්‍රෝල් මැක්ස් තිබුණා. අපේ ගෙදරත් එකක් තිබුණා. ලයිට් ආවේ හැත්තෑ  ගණන්වල  විතර මට මතක විදිහට" යැයි  ෆාරුක් මහතා  සිහිපත් කළේය.

"මලයාලම් අය ගොඩක් කැමති ලංකාවේ ගෑනු බඳින්න. මොකද ලංකාවේ ගෑනු හරි හොඳයි  කියලා ඒගොල්ලෝ කියනවා.  ඒ වගේම  ඒගොල්ලො තමන්ගෙ ගෑනිට හරි ආදරේ නිසා, සිංහල පිරිමි වගේ මලයාලම්  මිනිස්සු ගෑනුන්ට ගහන්නේ නැති, වද දෙන්නෙ නැති අය නිසා ලංකාවේ ගෑණුත් හරි කැමති වුණා මලයාලම් පිරිමි බඳින්න.

මලයාලම් මිනිස්සු බඳින ලංකාවේ ගෑණුන්ට ඒ කාලේ  සිංහල මිනිස්සු එක එක කතා, ඇනුම් පද  කිව්වා කියලත් අහලා තියෙනවා. ඒ වගේම සිංහල ගෑනු බැන්ද කිසිම  මලයාලම්  මිනිහෙක් ඒ ගෑනිව දාලා තනි කරලා අසරණ කරලා ගිහිල්ලා නැහැ කියන එක තමයි අදටත් තියෙන ඇත්ත. එහෙම මලයාලම්  මිනිස්සු බැන්ද අයගේ දරුපවුල් අදත් මේ පළාතේ ඉතාම හොඳින් ඉන්නවා. ඒගොල්ලො ගොඩක් දැන් සිංහල  කතෝලික අය විදිහට ජීවත් වෙන්නේ." යැයි ෆාරුක් මහතාගේ කතාවට ඌන  පූරණයක් එකතු කරමින් ආතර්  මහතා ද පැවසීය.

 "ලැයිමට මෙහායින් පස්සේ හදපු  තනි තට්ටුවේ ගෙවල් හදලා තියෙන්නේ 1921. ඒක දැනට අවුරුදු දෙක තුනකට කලින් කඩලා දැම්මා. ඒකේ හිටපු අපිට  මේ ප්ලැට් එකේ ගෙවල් දුන්නා."  යැයි ඔවුහු පෙන්වා දෙති.

මලයාලම් අය වැඩට ආවා

මේ නිවාස සහිත ගොඩනැගිල්ල ඉදිකර තිබුණේ බෝම්බේ බහුලව දැකිය හැකි ඉංදියාවේ නාගරික අවවර ප්‍රසාදිතයන් සඳහා ඉදි කළ Chaul  නිවාස  ආකෘතියටය. මෙවැනි ගෙවල් ඉන්දියාවේ බොහෝ නගරවල ජනාකීර්ණ නිවාස තදබද මුඩුක්කු කලාපවල අදත් ගරාවැටුණු ජරාජීර්ණ වී නිසි ප්‍රතිසංස්කරණයක් නොකළ ස්වභාවයෙන් දැකිය හැක. නමුත් එම බොම්බායේ චාවුල් නිවාසවලට සමාන ගෙවල් අහුරක්  ලංකාවේ තිබුණේ රෙදිමෝල කම්කරුවන් සඳහා ඉදිකළ  මෝල අසල තිබූ මෙම නිවාස පද්ධතිය පමණි. 2021 වසර දක්වා එය පැවැත් වුණා නම් ඉන්දියාව සහ ලංකාව අතර එය අතිශය වටිනා ජාතික උරුමයක් බවට පත්වන්න තිබුනි. නමුත් එවැනි උරුමයන් හා එවැනි උරුමයන් හි  වටිනාකම නොදන්නා නාගරික සංවර්ධන බලධාරීන් මෙම ගොඩනැගිල්ල මේ වන විට පොළොවට සමතලා කර හමාරය.

එය ඉන්දියානු ආහාර හා වෙළඳ  සංකීර්ණයක් ලෙස ඉතා අපූර්ව ට පරිවර්තනය කර ඉන්දියානුවන්ගේ සිත් නගන්නා, ස්වීය අනන්‍යතාවය ලංකාවේ ඇති තැනක් බවට (India tour Destination)  පත් කිරීමට හොඳටම අවකාශ තිබියදී ය ඔවුන් මෙම ගොඩනැගිල්ල කඩා බිම හෙළුවේ. නාගරික සංවර්ධන බලධාරීන් එහි දී දුටුවේ මෙම ඉඩමේ වාණිජ වටිනාකම පමණි. එය බිම හෙළා වසර ගණනක් ගත වුවද මේ දක්වා එහි කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර නැත.

අපේ රටේ නාගරික සංවර්ධනයේ ප්‍රඥාවේ තරම එසේය.

"මොලේ සිකුරුටි අයට ඉන්ඩ තමයි ස්වර්ණ පාරේ දැන් පන්සල ළඟ තියෙන ගෙවල් ටික හැදුවේ. රෙදිමෝල  කොනේම පීටර්සන් පාරේ තණකොළ කොටුව (අද කුරේ ක්‍රීඩාංගනය ) ලඟ තව ගෙවල් ටිකක් හැදුවා." යැයි ආතර් මහතා සහ ෆාරුක් මහතා පවසයි.

"ඒ වගේම ස්වර්ණ පාරේ මුල ඉඳන්ම තියෙන ලැටිස් ගෙවල් ටිකත් රෙදිමෝලේ  නිවාස" බව එහි තවත් පැරණි සේවකයෙකු වන ලැම්බට් පෙරේරා මහතා පවසයි.

නැවතත් අපි රෙදි මෝලට යමු.

නාගරික සංවර්ධනේ මෝඩ වැඩ

ආරම්භක යුගයේ දී මෙහි දහසකට ආසන්න පිරිසක් සේවය කර ඇත. නමුත් අවසානයේ 1984  රෙදි මෝල වසා දමන අවස්වේ එහි සේවක සංඛ්‍යාව හත් දහසකට ආසන්න ව සිටි බව ලැම්බට් පෙරේරා මහතා පවසයි.  එයට හේතුව වූයේ දිනෙන් දින  වැල්ලවත්ත රෙදි මොලේ රෙදිවලට තිබූ ඉල්ලුම  ධාරිතාවය ඉහළ ගිය නිසාය.

මුල් කාලයේ වැඩ කළ අය පැය දාසයක් දවසකට වැඩ කළ බවත් පසුව පැය නවයක් දක්වා තිබී  පනහ දශකයේ දියත් කළ වැඩ වර්ජන තුළින්.

එය පැය අටක් දක්වා අඩු කරගැනීමට හැකි වූ බව ආතර් මහතා පවසයි.

1958 වයස අවුරුදු 15 දී රෙදිමෝලේ සේවයට ගිය ෆාරුක් මහතා ලද පලමු  මාසිකව පඩිය රුපියල් සියය ඉක්ම වේ නැත. වයස අවුරුදු 13 දී (1950) රෙදි මෝලේ වැඩට ගිය අතර් මහතා ලද පළමු වැටුප රුපියල් 60 කි. ඔහුගේ පියා (ඒබ්‍රහම් ජෝර්ජ්) වොචර් ලෙස ලද  වැටුප රුපියල් විස්සකි.

"අවුරුදු තුනකට සැරයක් පඩිය වැඩි වෙනවා සත පහකින් දවසකට "ආතර් මහතා සිහිපත් කරයි.

ඒ කාලේ රෙදි මෝලේ වැඩට මිනිස්සු ගන්නේ උදේට මෝලේ ගේට්ටුව ළඟට එන මිනිස්සුන්ව සුද්දා කතා කරලා අරගෙන එක එක සෙක්ෂන්වලට එක එක දවස්වලට දානවා.

තුන් හාර දහසක් දවසකට වැඩ මුර තුනක් වැඩ කළ වැල්ලවත්ත රෙදි මෝලේ කැන්ටිමක් තිබී නැත.

"කට්ටිය පිටින් ඇවිල්ලා තමයි ඇතුලේ ඒවා වික්කේ. ඒවගේ පොඩි පොඩි කඩ දාපු කීපදෙනෙක් හිටියා. අපේ සෙක්ෂන් ලඟම බොයිලේරුවෙන් එන  උණුවතුර අරන් තේ හදලා වික්කා.එහෙම ඒ තේ කඩයප්පන් වික්ක අය තමයි මීරාසා, රාජන්, දසනායක, ජෝන් අයියා ලඟ තමයි ප්ලේන්ටි තියෙන්නෙ. කඩයප්පම් වලට ගේන්නේ ඉදිආප්ප, මයියොක්කා, මුං ඇට වගේ ඒවා. ඉඳියප්ප දෙන්නෙ පොල් සම්බෝල එක්ක තව මැල්ලුමක් මොන හරි දෙනවා. ඉඳියාප්ප මුලක් සත දහයයි. ලොකු ටින්වල තමයි තේ හදන්නේ. තේ දෙන්නේ බෙලෙක් කෝප්පවල. (ආතර් අයියා කියන විදිහට වීදුරුවලත් තේ දීලා තියෙනවා.)

ප්ලේන්ටියක් ශත තුනයි. ටී එකක් සත හයයි. ඒ කාලේ සිගරට් එකක් සත අටයි. ඒ කාලෙ තිබුණ සිගරට් ටින් ගණන් තියාගෙන බිව්වේ ලොකු සුද්දෝ තමයි.අපේ සුද්දෙක් හිටියා හිටියා "ඉන්ටබොටන්" කියලා. මිනිහ අතේ හැම තිස්සෙම සිගරට් ටින් එකත් තියෙනවා. අපි බොන්න  සිගරට් එකක් අරගෙන තමයි." යැයි ෆාරුක් මහතා පැවසීය.

කැන්ටීන් නෑ

ලියුම්කරුගේ ප්‍රශ්න කිරීම් ඔස්සේ  ෆාරුක් මහතා තමන්ගේ මතකයන් නැවත නැවත අවදි කළේය.

 "මයුරා ප්ලේස් එකේ දෙපැත්තෙ ඉඳලා ලුම්බිණියේ ඇල ලඟට යනකනුත් මෝල් පිටිපස්සේ කුරේ පාර්ක්  එකට යනකන් මේ ඉඩම සම්පුර්ණයෙන්ම අයිති වුණේ රෙදි මෝල අයිති ඉන්දියන්කාරයාටයි. ඒක අක්කර පනහකට වැඩියි. ඒ කාලේ මේ හරියට කිව්වේ "රෙදි මෝල වත්ත" කියලා."

"පස්සෙ කාලෙක කිව්වා 69 වත්ත කියලා" යැයි මගේ පෙර ගමන් සගයා වූ ෆාසිල් මහතා පැවසීය.

"රෙදි මෝලේ ලොක්කන්ගේ බංගලා තිබුණෙත් මේ හරියෙම තමයි. මෝලේ ලොක්කා කැප්ටන් හිටියෙත් මේ එහා පැත්තෙ ජීවන්ගේ (ජීවන් කුමාරතුංග) මාමන්ඩි (පියසේන සේනාරත්න) හිටපු ගෙදරට මෙහා පැත්තේ බංගලාවේ.

ලොක්කගෙ පුතා හිටියා සෝඩි කැප්ටන් කියලා. එයාට මේ පැත්තේ Sheco brush කියලා brush  කොම්පැනියක් තිබුණා.

එයාගේ දුව ඩයනා මිසී. එයා හරිම ලස්සනයි. ඒ කාලේ ආණ්ඩුකාරය ඔලිවර් ගුණතිලක හිටිය පාර්ක් රෝඩ් එකේ (දැන් ගුණතිලක ගාර්ඩ්න්) එයා මේ ඩයනා මිස් බලන්න  සමහර වෙලාවට එනවා. නැංගුරම ඉස්සරහ ගහපු කාර් එකක තමයි  එන්නේ.

 ඒ කාලේ වැල්ලවත්ත රෙදි මෝල කියන්නේ රතු සමසමාජ, කොමියුනිස්ට් බලකොටුවකි.

ඒ පිළිබඳ හොඳම විස්තර කිව්වේ ආතර් මහතා.

"ඒ කාලේ සුද්දෝ  තේ රබර් පොල් තමයි වගා කළේ. BCC, Liver brothers, ලිප්ටන්, බවර්ස් වගේ  කොම්පැනි අයිති වුණේ සුද්දන්ට යි. ඉන්දියන් කාරයෙක් ඇවිල්ලා  ලංකාවේ දාපු පළමුවෙනි කොම්පැණිය තමයි රෙදි මෝල. ඒ කාලේ හැටියට ලංකාවේ තිබුණ ලොකුම කොම්පැණිය තමයි රෙදිමෝල. මේකට ඒ කාලේ ඉදන් මම කිව්වේ වැල්ලවත්ත weaving and spinning mill  කියලා. පටන් ගන්නකොටම අටසීයක් මේකේ වැඩ කළා.  ඒ කාලේ  කම්කරු නිතී මුකුත් තිබුණෙ නෑ. අපේ තාත්තලා පැය දාසයක් වැඩ කළා. පහසුකම් මුකුත් නැහැ. හැමෝම වැඩ කළේ හිටගෙන තමයි. වීවින් සහ මිල් මැෂින් වැඩ හොඳටම දන්න සුද්දො  තමයි සුපවයිසර් හිටියේ. මේකට පුළුන් විතරයි ගේන්නේ. කපු පුළුන් ගේන්නේ පකිස්ථානයෙන්. මේ කිළුටු පුළුන් සුද්ද කරන තැන ඉඳන්  අනිත් පැත්තෙන් එන්නේ රෙදි. එක ලයින් එකට මැෂින්  පනහක් විතර තියෙනවා. එක මැෂිමකට කංකානිලා පස් දෙනෙක් ඉන්නවා.

ගුණසිංහ ජාතියවාදය වපුරයි

රෙදි මෝලේ මුලින්ම යූනියන් එකක් හැදුවේ ගුණසිංහ.1923, 1926, 1929 යන වර්ෂවල ගුණසිංහ රෙදිමෝලේ වැඩවර්ජන මෙහෙයවා ඇත. නමුත් එයා 1933  රෙදි මෝලේ  ස්ට්‍රයික් එක පාවලා දීලා ගියා. ඒ කාලයේ  රෙදි මෝලේ හිටිය යූනියන් ලීඩර් තමයි කන්දසාමි. කොළඹ නගරයේ විවිධ ආයතනවල හිටිය ගුණසිංහගේ යුනියන් ලීඩර්ලා අතර කන්දසාමිට  විශාල පිළිගැනීමක් තිබු බව පැරැන්නෝ කියති.

 

මේ වැඩ වර්ජනය  අවස්ථාවේ දී ගුණසිංහ කළ පාවාදීම සමග වර්ජක නායකයන් කීප දෙනෙකුට රැකියා අහිමි විය.

අසරණ වූ ඔවුන් රෙදි මෝල අසලම  "යමුනා" නිවසේ  (පසු කලෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමට මූලික සාකච්ඡා පැවැත්වූ  නිවස) පදිංචි තරුණ නීතිඥයකු වූ එච්. ශ්‍රී නිශ්ශංක හමු වී මේ අවනඩුව කීවේය. ඔහු වර්ජකයන්ව එකල "දකුණු කොළඹ තරුණ සංගමයේ" ක්‍රියාකාරිකයෙකු වූ මෑතක දී  ලංකාවට පැමිණි කොල්වින් ආර් ද සිල්වා වෙත යොමු කළේය. ඒ අනුව කොල්වින් ආර් ද සිල්වාගේ නායකත්වයෙන්  වැල්ලවත්ත රෙදි මෝල කම්කරුවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් "වැල්ලවත්තේ කම්කරු සංගමය" ඒ අවස්ථාවේ පිහිටුවනු ලැබීය. එහි සම ලේකම්වරයෙකු වූ පිලිප් ගුණවර්ධන වෘත්තීය සමිතියේ  කටයුතු කරට ගත් අතර අප්පුහාමි, කුට්ටන් හා රාමයියා යන කම්කරු  නායකයින් ද ඔහු සමඟ එකතු වූහ.

කොල්වින් සටන අතට ගනී

මේ අතර ගුණසිංහ ජාතිවාදය අවුලමින් සිංහලයන්ගේ රස්සා මංකොල්ල කන "මලයාලම්  කාරයන් එලවමු" කියන අදහස පෙරට ගත්තේය.

නමුත් ගුණසිංහගේ ජාතිවාදයේ සටන් පාඨවලට රෙදි මෝලේ කම්කරුවෝ හසු නොවී සාමුහිකව සටන ගෙන ගිය නිසා, ගුණසිංහ වරායේ  තමන්ගේ යූනියන් එකේ මිනිස්සු රෙදි මෝලේ වැඩට ඇතුල්කර  මලයාලම් විරෝධී ව්‍යාපාරයක් ඇති කළ බවත්, "ගුණසිංහ ගෙන ආ මේ හොරිකඩ මැරවරයන් නිසා රෙදිමෝල ඇතුලේ  සිංහල හා මලයාලම් මිනිස්සු අතර කෝලාහල ඇති වී බරපතළ තත්ත්වයක් ඇති වූ" බව පොලිසිය සඳහන් කර ඇත.

 

අවසානයේ ශක්තිමත් කම්කරු සමිතියක් වූ කොල්වින්ගෙ වැල්ලවත්ත රෙදිමෝල  කම්කරු සංගමයේ  ප්‍රබල සටන්කාමීත්වය නිසා රජයට මෙයට මැදිහත් වෙන්න සිදු වී, 1931 කාර්මික ආරවුල් ආඥා පනත යටතේ කොමිෂන් සභාවක් පත්කර, ඒ යටතේ දෙපාර්ශ්වයටම සෑහෙන පරිදි තීන්දුවක් ලබා දී ඇත. මෙම රෙදි මෝලේ වැඩවර්ජනය පිළිබඳ අවසානයේ බලධාරීන් රජය දුන් වාර්තාව වන්නේ " අපට කටයුතු කිරීමට සිදු වී ඇත්තේ වෘත්තිය සමිතියක් සමග නොව දේශපාලන සංවිධානයක් සමග බැවින් මෝලේ  පාලක තැන ඉතා දුෂ්කර තත්වයකට පත් වී ඇතැයි කම්කරු පාලක තැන වාර්තා කර ඇතැයි " යන්නය.

මේ වනවිට ලංකා සමසමාජ පක්ෂය පිහිටුවා හෝ නොතිබුණි. කොල්වින් ඇතුළු අය කටයුතු කළේ දකුණු කොළඹ තරුණ සංගමය නමිනි.ඒ අනුව "ලංකාවේ වමේ වෘත්තිය සමිති ව්‍යාපාරයේ  තිඹිරිගෙය වැල්ලවත්තේ රෙදිමෝල" යයි කීම වරදක් නොවේ.

Upul Janaka

| උපුල් ජනක ජයසිංහ