ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16ට පෙරවදනක්

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16ට පෙරවදනක්

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 ක්‍රියාකාරීත්වය වාර්ෂිකව සිදුවෙන ජාත්‍යාන්තර ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වෙන අතර එය කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය වන නොවැම්බර් 25 වන දිනෙන් ආරම්භ වී මානව හිමිකම් දිනය වන දෙසැම්බර් 10 දක්වා ක්‍රියාත්මක වේ.

සෑම වසරකම කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය වන නොවැම්බර් 25 වැනිදා සිට ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වන දෙසැම්බර් 10 වැනිදා දක්වා ස්ත්‍රී - පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි 16 දින ක්‍රියාකාරිත්වය නම් ගෝලීය ක්‍රියාන්විතය දියත් වේ. ලොව පුරා සංකේතාත්මක ගොඩනැඟිලි තැඹිලි පැහැයෙන් ආලෝකවත් වන්නේ ඒ වෙනුවෙනි. මෙම 16 දින ක්‍රියාන්විතය තුළදී රජයන්, එක්සත් ජාතීනගේ නියෝජිතායතන, සිවිල් සමාජ හා ක්‍රියාකාරීන් එක්ව මේ පිළිබඳ සමාජය දැනුම්වත් කිරීම සිදුවේ. 1991 වර්ෂයේදී ගෝලීය කාන්තා මධ්‍යස්ථානය විසින් මෙම ජාත්‍යන්තර ව්‍යාපාරය ආරම්භකර තිබෙන අතර ගෙලීය කාන්තා මධ්‍යස්ථානය විසින් සෑම වසරකම පවත්වනු ලබයි.

කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය වශයෙන් නොවැම්බර් 25, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ, එක්තරා අනුවේදනීය සිදුවීමක් පාදක කර ගනිමිනි. 1950 ගණන්වලදී ඩොමිනිකන් ජනරජයේ කුරිරු ආඥාදායක පාලකයකු වූ රෆායෙල් මෘජිලෝ ගේ පාලනයට එරෙහිව පැට්‍රියා, මිනර්වා සහ මරියා තෙරේසා මිරාබල් නම් මිරාබල් සොහොයුරියන් තිදෙනා යටිබිම්ගත ව්‍යාපාරයක් සංවිධාන කළහ. මේ එකම පවුලේ සහෝදරියන් තිදෙනාම විවාහක මෙන්ම දරුවන් ද සිටි අය වූ අතර ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් ද එම ව්‍යාපාරයට සහාය දැක්වූහ.

මිරාබල් සොයුරියන්ගේ මෙම ක්‍රියාකාරකම් හේතුවෙන් ඔවුන් කිහිපවතාවකදීම අත්අඩංගුවට ද පත්විය. එහෙත් බිය නොවූහ. අත්අඩංගුවේ සිටි සිය සැමියන් දැකීමට සිරගෙදරට ගොස් ආපසු එමින් සිටියදී, සොහොයුරියන් තිදෙනා ඔවුන්ගේ රියැදුරා ද සමඟ ඝාතනයට ලක්වූයේ නොවැම්බර් 25 වැනිදාය. ඒ වන විට ඔවුහු 36, 34 සහ 25 හැවිරිදි වියේ පසුවූහ. මෙම ඝාතනය ටෘජිලෝගේ ඝාතන කල්ලියක් සිදුකළ බව පසුව හෙළිදරව් කෙරිණි. ඉන් සය මසකට පසුව ටෘජිලෝ ද ඝාතනයට ලක්විය. මිරාබල් සොයුරියන් ‘සමනලියන්‘ යනුවෙන් ද ප්‍රකටය. 1970 ගණන්වල අගදී ඩොමිනිකන් රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති වූ අතර මිරාබල් සොයුරියන් තිදෙනා ප්‍රජාතන්ත්‍රවාදයේ හා ස්ත්‍රීවාදී ව්‍යාපාරවල සංකේත බවට පත්ව සිටියහ. නොවැම්බර් 25 වැනිදා කාන්තා හිංසනයට එරෙහි අන්තර් ජාතික දිනය වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් ප්‍රකාශයට පත් කළේ 1999 දීය. ඒ, මෙම සොයුරියන්ට කරන උපහාරයක් ලෙසිනි.

මිරාබල් සොයුරියන් පිළිබඳ මෙමම අනුවේදනීය වෘතාන්තය In the Times of Butterflies මැයෙන් සිනමාවට ද නැඟුණු අතර ඔවුන් පිළිබඳ සැමරුම් බොහෝ ය. මෙම 16 දින සමයේම කාන්තා හිංසනයේ තවත් ඛේදනීය සිදුවීමක් දෙසැම්බර් 6 වැනිදා සැමරේ. ‘මොන්ට්‍රියල් ඝාතනය‘ මැයෙන් ප්‍රකට එහිදී කැනඩාවේ මොන්ට්‍රියල් සරසවියේ ඉංජිනේරු උපාධි අපේක්ෂිකාවන් 13 දෙනකු පිරිමින් පමණක් අත්පත් කර ගෙන සිටි ක්ෂේත්‍රයකට පිවිසීම මත කුපිත වූ එක් තැනැත්තකු විසින් වෙඩි තබා ඝාතනය කෙරිණි. මෙවැනි ඉතිහාසගත සිදුවීම් පාදකවී වර්තමානය වනවිට ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ක්‍රියාකාරීත්වයේ දින 16 තුළ ලෝකයේම අවදානයට ලක්ව ඇත.

ඒ ඒ වර්ෂවල තෝරා ගන්නා තේමාවන්ට ආවේණික වූ ,  වැඩසටහන්,  අධ්‍යාපනය, දැනුම එයට අදාළ ගැටලු නිරාකරණය කිරීමට මුල් තැන ගන්නා අතර ඒ තුළින් කාන්තාවන් හා ගැහැණු ළමුන් අපයෝජනය, හිංසනය, ප්‍රචණ්ඩත්වයට ලක් වීම වැළැක්වීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ  අසමානතාවයන් පිටුදැකීම, හිංසනයට ගොදුරු වූවන්ට හා වින්දිතයින්ට සහාය වීම, මුළු මහත් සමාජයටම කාන්තාවන්ගේ අයිතීන් සම්බන්ධව ලෝකයාව දැනුවත් කිරීම  මෙම දින 16  ව්‍යාපාරයෙහි මූලික අරමුණ හා කාර්යභාරයයි.

2021 නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා ක්‍රියාත්මක වන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ක්‍රියාකාරීත්වයේ මෙම වසරේ දින 16 ක ගෝලීය තේමාව වන්නේ “තැඹිලි ලෝකය: කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය දැන්ම අවසන් කරන්න!” යන්නයි.

මෙවර තේමාව තෝරා ගැනීමේදී 2021 ගෝලීය දින 16 ව්‍යාපාරයේ 30 වැනි සංවත්සරය සනිටුහන් කිරීමද මූලිකව තිබෙන අතර එහිදී මෙම ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණ හා ඉතිහාසයේ ආභාෂය මත විවිධ ජාත්‍යන්තර සංවිධාන දැනට ගෝලීය වශයෙන් බලපා ඇති අර්බුදයන් සමඟ ඊට අදාල තේමාවන් වශයෙන් covid 19 වසංගතයේ අඳුරු සෙවනැල්ල තුළින් ඉස්මතු වන කාන්තාවන්ට හා ගැහැනු ළමුන්ට එරෙහි හිංසනය  පිටු දැකීමටත් ,සමාජයේ දී කාන්තාවන්ට හා ගැහැනු  ළමුන්ව ඝාතනයට භාජනය නොකිරීම, වැඩ ලෝකය තුළ කාන්තාවන්ට එරෙහි හිංසනය හා ප්‍රචණ්ඩත්වය නිමකිරීම සඳහා C190 සම්මත කිරීමත් ඒ වගේම ගෘහස්ථ හිංසනය පිටු දැකීම මෙම වර්ෂයේ තේමාව තෝරා ගැනීමේ මූලික අරමුණ වී තිබේ.