වසංගතයේ අඳුරු සෙවනැල්ල වෙත ආලෝක ධාරාවක්

වසංගතයේ අඳුරු සෙවනැල්ල වෙත ආලෝක ධාරාවක්

සෑම වසරකම, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය වන නොවැම්බර් 25දා සිට ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වන දෙසැම්බර් 10දා දක්වා ‘ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි 16 දින ක්‍රියාකාරීත්වය’ නම් ගෝලීය ක්‍රියාමාලාව පැවැත්වේ. ඒ වෙනුවෙන් ලොව පුරා සංකේතාත්මක ගොඩනැගිලි තැඹිලි පැහැයෙන් ආලෝකවත් කිරීම සිදු වේ. මෙම 16 දින තුළදී, රජයන්, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, සිවිල් සමාජය සහ ක්‍රියාකාරිකයන් එක්ව ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳ සමාජය දැනුවත් කරනු ලැබේ.

ලෝකය කොවිඩ්-19 වසංගතයට ගොදුරු වන්නට පෙර පවා, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය ලොව දැවැන්තම මානව හිමිකම් උල්ලංඝණයක් විය. වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ආරක්ෂක පියවරක් ලෙස ලොව පුරාම නිරෝධායන ක්‍රියාමාර්ග ගන්නා ලදී. ඒ සමගම තවත් භයානක වසංගතයක් පිළිබඳ සාක්ෂි ඉදිරියට පැමිණියේය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වසංගතයේ අඳුරු සෙවනැල්ලක් ලෙස සැලකිය හැකිය. එමගින් කාන්තාවන් දැනටත් මුහුණදෙමින් සිටින අසමානතා තවදුරටත් ඉහළ නංවනු ලැබේ.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට නිරතුරු මුහුණ දෙන ලොව අනන්ත කාන්තාවන් සංඛ්‍යාවකට හිටිවනම හිංසකයන් සමග නිවසෙහි රැඳී සිටීමට සිදු විය. ජීවිත බේරා ගැනීමෙහිදී වැදගත් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවා ලබාගැනීමේ අවස්ථාව ඔවුන්ට අහිමි විය. එසේම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාර දැක්වීම සඳහා බලධාරීන්ට තිබුණු හැකියාවද එයින් අඩපණ විය. එසේ සිදු වූයේ කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එවැනි සේවාවන් වැඩි වැඩියෙන් අවශ්‍ය අවස්ථාවකදීය.

කොවිඩ්-19 සම්බන්ධ කටයුතුවල අධික බර සෞඛ්‍ය අංශය වෙත පැවරී තිබියදී, කාන්තාවන් සඳහා වූ බොහෝ රැකවරණ නිවාසද ඒවාට දරාගත හැකි උපරිමය වෙත ළඟාවිය. එයට හේතුව වන්නේ උපකාර සොයා ජාතික ක්ෂණික දුරකථන උපකාරක සේවා වෙත ඇමතුම් ලබාදෙන පීඩාවට පත් කාන්තාවන් සංඛ්‍යාවද ඉහළ යාමත් සමගයි. එහෙත්, මෙය වනාහි ප්‍රශ්නයේ මතුපිටට පෙනෙන සුළු කොටසක් පමණි.. බිය හා නින්දා සහගත හැඟීම නිසා බොහෝ සිදුවීම් වාර්තා වන්නේ නැත.

වසංගතය අතරතුර, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය නිසා පීඩාවට පත්වන කාන්තාවන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකිය. එමගින් කාන්තාවන්ගේ මානසික සෞඛ්‍යයට හා යහපැවැත්මටත්, ඔවුන්ගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යයට හා හිමිකම්වලටත්, අර්බුදයට විසඳුම් ලබාගැනීම සඳහා ඔවුන්ට තිබෙන හැකියාවටත් විවිධ බලපෑම් ඇති වේ.

‘ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි 16 දින ක්‍රියාකාරීත්වය’ අතරතුර, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විදුලි සංදේශ නියාමන කොමිෂමෙහි සහයෝග ඇතිව ‘ලෝකය තැඹිලි පැහැයට හැරවීමේ’ ප්‍රචාරණ ක්‍රියාමාලාව සමග සම්බන්ධ වෙයි. එහිදී දකුණු ආසියාවේ උසම ඉදිකිරීම වන නෙළුම් කුලුන තැඹිලි පැහැයෙන් ආලෝකවත් කරනු ලබන අතර එහි අරමුණ වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය නම් ඡායා වසංගතය වෙත ලෝකයේ අවධානය යොමුකිරීමයි.

සැමට සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීම සඳහා කැප වී වසංගත මර්දන කටයුතුවල ඉදිරිපෙළේ සිටින සෞඛ්‍ය සේවකයන් හා සේවා සම්පාදකයන්ට උපහාර පිරිනැමීම සඳහාද අපි මෙම අවස්ථාව යොදාගන්නෙමු. වසංගතය අතරතුරදී පවා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය කෙරෙහි අඛණ්ඩව ප්‍රමුඛතාව ලබාදෙන ලෙස අපි ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් ඉල්ලා සිටිමු. කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට තම නිවස සුරක්ෂිත ස්ථානයක් බවට පත් නොකර ලෝකයට සෞභාග්‍යය උදාකරගත නොහැකිය. මෙය වනාහි කිසිවකු අත නොහැරීමේ අපගේ ප්‍රතිපත්තියෙහි වැදගත් අංගයකි.