වසංගත තත්ත්වය හමුවේ වැඩබිමේ සමානාත්මතාවය වෙනුවෙන් අරගලය

වසංගත තත්ත්වය හමුවේ වැඩබිමේ සමානාත්මතාවය වෙනුවෙන් අරගලය

කොරෝනා වසංගතය මේවන විට ලොව පුරා රටවල් ග්‍රහණයට හසුකරගෙන සිටියි. මේ අතර ව්‍යවසනාකාරී වටපිටාවක ලොව පුරා රටවල වැඩකරන පංතියේ ජනයාට රැකියා අහිමිවීම්, වැටුප් කප්පාදු කිරීම්, අනාරක්ෂිත සේවයේ යොදවාගැනීම් ආදී අනේකවිධ ගැටලුවලට මුහුණදෙන්න‌ට සිදුව තිබේ. මෙහිදී වඩාත් අනාරක්ෂිත තත්ත්වයට, නොසලකා හැරීම්වලට පත්වන්නට සිදුව ඇත්තේ කාන්තාවන්ටය. ලාංකේය අත්දැකීම් ආශ්‍රයෙන් සලකා බලද්දී ද පසුගියදා සේවා ආයතන ප්‍රධානියා විසින් කළමනාකරණ සහකාර තනතුරක නියැළී සිටින කාන්තාවකට පහරදීමේ සිදුවීමක් සමාජජාල වෙබ් අඩවි තුළ සංසරණය වනු දැකිය හැකි විය. පීඩාවට පත් කාන්තාව විසින් වගකිව යුතු පිරිස් වෙත තමාට වූ අකටයුත්ත පිළිබඳ නිල වශයෙන් දැනුම්දීම් සිදුකළද, මෙම ලිපිය ලියැවෙන මොහොත වන විටත් අදාළ ස්ත්‍රීයට සාධාරණය ඉටුවූ බවක් දැනගන්නට නැත. මෙය එක්තරා ආකාරයට ලොව පුරා අත්දැකිය හැකි කනගාටුදායක තත්ත්වයකි. වැඩබිමේ දී ස්ත්‍රීයට වෙනස්කම් සිදුකිරීම, හිරිහැර හා පීඩාවන්ට ලක් කිරීම ඇතුළු සකලවිධ අකටයුතුකම් වලට අප එරෙහි විය යුතුය.

කොරෝනාවසංගතය වැඩකරන ස්ථානයන්හි සියළු ආකාරයේ ලිංගික කණ්ඩායම්වලට හිමිවිය යුතු සමානත්වය (gender equality) කෙරෙහි අති විනාශකාරී බලපෑමක් එල්ල කරනු ලැබ ඇතැයි "ෆෝසෙට් සංගමය" (Fawcett Society) පවසයි. ඒ කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුව ඇති බවත්, ඒහෙත් ඒ අතරම "බලාපොරොත්තුවේ ඡායාවක්" ද මෙම වටපිටාව තුළ පවත්නා බව එම සංවිධානයේ අදහසයි.

ඒ් පහසු නම්‍යශීලී සේවා රටාවක් පවත්වාගනු ලැබීම සහ පියවරුන් දරුවන් සමඟ ගතකරන කාලය වැඩිකර ගැනීමට කොරෝනා වෛරසය හේතුවිය හැකි බැවින් යයි එම සංවිධානය පෙන්වාදෙයි.

ෆෝසෙට් (Fawcett Society) ශුභසාධක සංවිධානය විසින් Covid-19 වසංගතයේ බලපෑම සම්බන්ධයෙන් කරන ලද සමීක්ෂණයකින් අනතුරුව ඉහත අදහස් ඇතුළත් සිය ප්‍රකාශනය නිකුත්කර තිබෙන්නේ "සමාන වැටුපක් සහතිකකර ගැනීමේ දිනය" (Equal Pay Day) එළඹීමත් සමඟය. වැටුප් සාමාන්‍යය ගත්විට පුරුෂ පක්‍ෂයට සාපේක්ෂව කාන්තාවන්ට ගෙවන වැටුපේ අඩුවක් ඇතිබව පෙන්නුම් කෙරෙන බව ඔවුන්ගේ අදහසයි. "ෆෝසෙට්" පුණ්‍යායතනය සිය සමීක්ෂණය සඳහා වැඩිහිටියන් 8,400ක් සහභාගි කරගනු ලැබ ඇත. එවිට අනාවරණය වූ එක් කරුණක් වන්නේ සිය රැකියා සහ රැකියාවේ ඉහළට යාම අතින් කාන්තා පක්‍ෂය කණස්සල්ලෙන් පසුවෙන බවය.

වැඩකරන මව්වරුන්ගෙන් තුනෙන් එකකට පමණ වසංගත සමය තුළ රැකියා අහිමිවීමකට හෝ එසේත් නැත්නම්, දරුවන් බලාගැනීමේ කාර්යයේ නිරතවීම නිසා වැඩකරන පැය ගණනේ අඩුවකට මුහුණදීමට සිදුවූ බව සමීක්ෂණයේ දී හෙළිවූ බරපතළ කරුණකි.

කළුජාතික, ආසියානු සහ වෙනත් සුළුජන (BAME) කොටස්වලට අයත් මව්වරුන් ගත්විට ඉහත සඳහන් කරන ලද වෘත්තීය ප්‍රශ්නයට මුහුණදීම 44%ක් තෙක් ඉහළ ගොස් ඇත.

පුරුෂයන් සහ කාන්තාවන් අතර ගෙවනු ලබන සාමාන්‍ය වැටුපේ පවතින ලිංගිකත්වය අනුව ඇති පරතරයේ අනතුරක් ඇති බවත් "ෆෝසෙට්" පුණ්‍යායතනය පවසයි. ඔවුන් විසින් පවතින තත්වය විග්‍රහකරන්නේ "තීරණාත්මක මොහොතක්" ලෙසය. පවතින තත්ත්වය වැඩකරන ස්ථානවල ගුණාත්මකභාවයේ ප්‍රගතිය කෙරෙහි වසර ගණනාවක් බලපානු ඇත යන්න එම සංවිධානයේ තවත් ප්‍රකාශයකි.
සිය තනතුරට සමාන තනතුරු හොබවන පුරුෂයන්ට තමන්ට ලැබුණ වැටුපට වඩා 50% කට වැඩි මුදලක් ගෙවන බව පවසමින් බීබීසී යේ චීන කටයුතු පිළිබඳ සංස්කාරිකා කැරී ග්‍රේසි සිය ඉල්ලා අස්වීම ද සිදුව තිබීම විශේෂත්වයකි. කෙසේවුවද, පෙර පැවති තත්වයට සාපේක්ෂව, තමන් මෙම වසංගත කාලය තුළ දරුවන් බලාකියා ගැනීමට ගතකරන කාලය දෙගුණයකින් වැඩිවී ඇති බව සමීක්ෂණයට සහභාගි වූ පියවරුන් ප්‍රකාශ කිරීමත් සමඟ, වසංගතය අවධියෙහි තත්වයේ වෙනසක් සිදුවීමට ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරන ලද බවත් සමීක්ෂකයෝ පවසති.

එම තත්වය සාමාන්‍ය දෙයක් බවට හැරී දිගටම පැවතුනොත්, එමගින් ඊනියා "මාතෘ වැටුප් දඬුවමෙහි" අඩුවීමක් සිදුව ඒ සමඟ ලිංගිකත්වය අනුව සිදුවෙන වැටුප් පරතරයේ අවම වීමකට ද එය ඉවහල්වනු ඇතැයි "ෆෝසෙට්" පුණ්‍යායතනය විසින් විශ්වාසය පළකර තිබේ. "කොරෝනා වසංගතය විසින් අප තීරණාත්මක අවස්ථාවකට ගෙනත් තියෙනව. පවතින තත්ත්වය ලිංගිකත්වය අනුව පවතින වැටුප් පරතරයටත් බලපාන බව පැහැදිලියි." ශුභසාධක සංවිධානයේ මහලේකම්, සෑම් ස්මෙතර්ස් වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත.

බ්‍රිතාන්‍යය තුළ ලිංගිකත්වය අනුව පවතින වැටුප් විෂමතාව පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඒහි ප්‍රගතිය බලයේ සිටින කොන්සර්වේටිව් ආණ්ඩුව යටතේ "සැලකියයුතු මට්ටමින්" මන්දගාමී වී ඇතැයි බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය පෙන්වා දෙයි. දැනට පවතින තත්වය අනුව වර්ෂ 2052 වෙනතෙක් එම වැටුප් විෂමතාව තුරන්කර ගැනීමට නොහැකිවනු ඇතැයි ද ලේබර් පක්ෂයේ අදහසයි. ලේබර් පක්ෂය පවසන පරිදි, දැනට වයස අවුරුදු තිහේ මැදභාගයේ පසුවෙන බ්‍රිතාන්‍ය කාන්තාවන්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිතකාලය තුළ "සමාන සේවයට සමාන වැටුපක්" කිසිදාක අත්දැකීමට නොහැකිවනු ඇත.

මේ අතර ලෝක ආර්ථික සංසදයේ පර්යේෂණ අනුව, කාන්තාවන්ට සහ පුරුෂයින්ට සමාන අවස්ථා හිමිවීම පිළිබඳ සැලකීමේදී ලොව ඉදිරියෙන්ම සිටින්නේ අයිස්ලන්තයයි. එහෙත් "සමානාත්මතාව පිළිබඳ ආණ්ඩුවේ කාර්යාලයේ" (Government Equalities Office) ප්‍රකාශිකාවක සිය අදහස් දක්වමින්, මෙසේ සඳහන් කර තිබේ.

"වැඩපොළෙහි ප්‍රගතියට අදාළව සියළු දෙනාට සමාන අවස්ථා ලබාදීම සහතික කිරීම සඳහා මේ ආණ්ඩුව සම්පූර්ණයෙන් කැපවීමෙන් කටයුතු කරමින් සිටිනව. "සිල්ලර වෙළඳාම, රැකවරණ සහ සත්කාරක අංශවලට වසංගතය විශේෂ බලපෑමක් එල්ලකරලා තියෙනව. ඒ නිසා තමයි- ආණ්ඩුව ආධාර වශයෙන් පුළුල් ආධාර පැකේජයක් සහතික කරලා තියෙන්නේ. වසංගතයෙන් ගොඩඒමට සහ රට එකමුතු කිරීමට ආණ්ඩුව අවධානය යොමුකරමින් සිටිද්දී, සමාගම් විසින් රැකියාවලට බඳවා ගැනීමේ දී සහ කාර්ය මණ්ඩලවල නිෂ්පාදන ශක්‍යතාව කෙරෙහි ඵලදායී බලපෑමක් ඇතිකෙරෙන නම්‍යශීලී වැඩ රටාවක් ආරම්භ කිරීමට පියවර ගනු ලැබීම ඉතාම වැදගත් කාර්යයක්."

මේ අතර ජර්මනිය කාන්තාවන්ට වැඩබිමේ සමානාත්මතාව තහවුරු කරනු පිණිස වඩාත් ඉදිරිගාමී ක්‍රියාමාර්ග ගෙන තිබේ. ආයතනවල මාණ්ඩලික සේවයේ මාණ්ඩලිකයින් අතර 30% ක (boardroom quota) කාන්තා සාමාජිකත්වය අනිවාර්ය කරමින් ස්ත්‍රී පුරුෂ පරතරය සමනය කිරීමට රජය කටයුතු කරයි. ජර්මානු කාන්තා ඇමති ෆ්‍රැන්සිස්කා ගිෆි ඒ් පිළිබඳව පවසා ඇත්තේ මෙසේය.

"අපි විශාල සමාගම්වල කාන්තාවන්ගෙන් තොර මාණ්ඩලික සේවය අවසන් කරනවා.’

මේ අනුව ජර්මානු සභාග රජය විසින් රටේ ලැයිස්තුගත සමාගම්වල ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයක් ලෙස සේවය කරන කාන්තාවන්ගේ සංඛ්‍යාව සඳහා අනිවාර්ය කෝටාවක් හඳුන්වා දීම ලිංගික සමානාත්මතාවය සඳහා වූ ‌ෙඒතිහාසික පියවරක් ලෙස සලකනු ලැබේ.
ඉකුත් සතියේ ඇන්ජෙලා මර්කල්ගේ "ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදීන් සහ ඔවුන්ගේ සමගාමී සහකරු සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් එකඟ වූ ගිවිසුමකට අනුව සාමාජිකයින් තිදෙනෙකුට වඩා සිටින කළමනාකරණ මණ්ඩලවල අවම වශයෙන් එක් කාන්තාවක්වත් ඇතුළත් විය යුතුය.

ජර්මනියේ කාන්තා ෆෙඩරල් ඇමති ෆ්‍රැන්සිස්කා ගිෆි මෙසේද පවසා තිබේ.

“මෙම මේ ඉදිරි ගමන ‌ෙඒතිහාසිකයි. අපි විශාල සමාගම්වල කාන්තාවන්ගෙන් තොර මාණ්ඩලික කළමනාකාරිත්වය අවසන් කරනවා. තිරසාර නවීන සමාජයකට අපි ආදර්ශයක් තබනවා. අපි අපේ රටේ සියලු හැකියාවන් උකහා ගන්නා අතර එමඟින් මිශ්‍ර කණ්ඩායම්වල සාධනීයම දේල වඩ වඩාත් සාර්ථක කර ගත හැකිය. මන්ද කිසිවක් ස්වේච්ඡාවෙන් සිදු නොවන අතර ඉදිරියට යාමට අපට මාර්ගෝපදේශ අවශ්‍ය වේ. ”

ස්වීඩන්-ජර්මානු ඕල්බ්‍රයිට් පදනම විසින් සැප්තැම්බර් මාසයේ කරන ලද සමීක්ෂණයකට අනුව, නිල්-චිප් ඩැක්ස් දර්ශකයේ ලැයිස්තුගත කර ඇති විශාලතම ජර්මානු සමාගම් 30 හි කළමනාකරණ මණ්ඩලවලින් කාන්තාවන් 12.8% කි. මෙම අගය එක්සත් ජනපදයේ 28.6%, එක්සත් රාජධානියේ 24.5% සහ ප්‍රංශයේ 22.2% සමඟ සංසන්දනය කළ හැකිය.

ඒහෙත් වෙනත් පර්යේෂණයන්හි දැක්වෙන්නේ ඩැක්ස් සමාගම් ජ්‍යෙෂ්ඨ තනතුරුවල කාන්තාවන් අහිමි වන අතර “එක් කාන්තාවක් නොමැති ඩැක්ස් සමාගම් සංඛ්‍යාව පසුගිය වසරේ සමාගම් හයක සිට මේ වන විට දක්වා 11 දක්වා ඉහළ ගොස් ඇති” බවයි. කෙසේ වෙතත් ෆෙඩරල් රජය බහුතර කොටස් හිමිකාරීත්වයක් ඇති සමාගම් සඳහා අධීක්ෂණ මණ්ඩලවල අවම වශයෙන් කාන්තාවන්ගෙන් 30% ක කෝටාවක් සඳහා මෙම සන්ධාන ගනුදෙනුවෙන් බල කෙරෙනු ඇත. සෞඛ්‍ය රක්‍ෂණ සමාගම්, විශ්‍රාම වැටුප් හා හදිසි අනතුරු රක්‍ෂණ ආයතන මෙන්ම ෆෙඩරල් රැකියා ඒජන්සිය වැනි “මහජන නීතිය යටතේ ඇති සංගත” සඳහා තවත් කෝටාවක් හඳුන්වා දෙන බව රජය පවසන්නේ ඒබැවිනි.

(බීබීබී සහ ද ගාඩියන් ඇසුරිණි.)

රංජිත් මුතුකුඩආරච්චි