ඇය වෙනුවෙන් තැඹිලි පැහැය

ඇය වෙනුවෙන් තැඹිලි පැහැය

එක්සත් ජාතීන්ගේ දින කැලැන්ඩරය නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා වූ දින වෙන් කරනු ලබන්නේ, ලිංගිකත්වය පදනම් කරගත් ස්ත‍්‍රී හිංසනය පිටු දැකීමේ ක‍්‍රියාකාරකම් කළ යුතු දින දහසයක් වශයෙනි. මෙවර මෙම දින දහසය සඳහා දී තිබෙන තේමාව වන්නේ, ‘ලෝකය තැඹිලි පැහැ ගන්වමු; අරමුදල් වෙන්කරමු, ප‍්‍රතිචාර දක්වමු, වළක්වමු, එකමුතු කරමු‘ යන්නයි. මෙම පණිවිඩය සමාජගත කරමින්, නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා වූ කාලය තුළ ‘තැඹිලි පැහැති රිබන් පටියක්‘ හෝ පළඳින්නැ’යි එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ත‍්‍රි පුරුෂ දෙපාර්ශවයට ම ආයාචනා කරයි. කෙසේවෙතත් මෙම ‘තැඹිලි පැහැ දවස්’ ශ‍්‍රී ලංකාවේ අපට තවදුරටත් ආගන්තුක වුවත්, ලොව බොහෝ රටවල ජනී ජනයා එය ඉතාමත් අවබෝධයෙන් යුතුව සමරති.

සමහරුන් තැඹිලි පැහැ පෙළපාලි පවත්වන අතර තවත් සමහරු නාගරික ගොඩනැගිලි තැඹිලි පැහැයෙන් ආලෝකවත් කරති. ඒ Orange is the New Black යන ඔඪ වෘත්තාන්තය තුළ එන හැඟවුම වඩාත් සාමාන්‍යකරණය කරමින්, හිරේ වැටුණා වුණ ත්, නොවැටුණා වුණත්, ‘ස්ත‍්‍රීන් යනු නව කල්ලන්ය’ යන හැඟවුම වඩාත් අවධාරණය කරමිනි. (Orange is the New Black යන ටී. වී. වෘත්තාන්තයට එම නම දී තිබෙන්නේ හිරේ වැටෙන ඇමරිකානු ස්ත‍්‍රීන් තැඹිලි පැහැති ඇඳුම් අඳින නිසාත්, ඔවුන් සෑම විටම හිරගෙදරදී අත් දකින හිංසනය, එක්තරා යුගයක සුද්දන් කල්ලන් වෙත දැක්වූ හිංසනය තරම් ම දරුණු වන නිසා ය. (කෙසේවෙතත්, මෙවර එක්සත් ජාතීන්ගේ සංවිධානය ‘තැඹිලි පැහැති දින’ වල වඩාත් අවස්ථාව දී ඇත්තේ, ‘වැඩපොළේ දී/කාර්යයාලයේ දී ස්ත‍්‍රීන්ට එරෙහිව සිදුවන හිංසනයන්’ පිළිබඳ කතා කිරීමටය. ඒ පසුගිය අවුරුදු වල දී ස්ත‍්‍රියට එරෙහි වූ ගෘහස්ත හිංසනය, මහ මඟ හිංසනය යන තේමා සාකච්ඡාවට බඳුන්කිරීමෙන් අනතුරුව ය.

ලොව පුරා ජීවත් වන සමස්ත ස්ත‍්‍රී ගහණයෙන් 47.7% ක් ම කුමක් හෝ වැඩ පොළක හෝ කාර්යාලයක ‘වැඩ කරන’ ස්ත‍්‍රීන් ය. (මෙහිදී අනෙකුත් ස්ත‍්‍රීන් ‘වැඩ නොකරන’ ස්ත‍්‍රීන් මෙන් සැලකුව නො මනා ය. වැඩ පොළක හෝ කාර්යාලයක වැඩ නොකළ ත්, ඔවුන් හැම කෙනෙක් ම අටෝරාසියක් වූ ‘ගෙදර වැඩ‘ වල නියැලෙනු ඇත. (ඇතැමුන් ‘මාස් පඩියට’ වැඩ කරන අතර ඇතැමුන් වැඩ කරන්නේ දෛනික කුලී පදනමට ය. නැතහොත් ‘කොන්ත‍්‍රාත් පදනමට’ ය. අපේ රටේ වෙළඳ කලාප ආශ‍්‍රිතව වැඩ කරන ස්ත‍්‍රීන් මෙන් ම ‘මෑන් පවර් සේවකයින්’ ලෙස අර්ධ වහල් භාවයේ පීඩාව විඳ දරාගන්නා ස්ත‍්‍රීහු ද මේ අතර වෙති. මැද පෙරදිග ආදී වූ කලාප වල නිවාස අඩස්සිගත වූ ‘ගෘහ සේවිකාවන්ගේ’ සිට ගුවනේ පියාසර කරන ‘ගුවන් සේවිකාවන්’ දක්වා වූ සියලූ ම ‘සේවා සපයන ස්ත‍්‍රීන්’ ද අයත්වන්නේ ‘වැඩ කරන ස්ත‍්‍රීන් ගේ’ කුලකයට ය. (මේ අතර කිසිදු වැටුපක් හෝ නොගෙන ගෙදර දොර වැඩ සඳහා දවස තිස්සේම ශ‍්‍රමය වගුරවන ස්ත‍්‍රීන් සහ කුමන හෝ අවාසනාවකට ජීවත් වීම සඳහා ලිංගික ශ‍්‍රමය විකුණන ස්ත‍්‍රීන් ‘මෙම කුලකයට’ ගණන් ගැනී නැත.)

‘මම විකිණුනු වහලියක්... එහෙම කෙනෙකුට මොන අයිතිවාසිකමක් ද...?’ එසේ කියන්නේ, සවුදි ආරබියේ වැඩකරන සංක‍්‍රමණික ස්ත‍්‍රියකි. ලොව වටා ස්ත‍්‍රීන් එසේ කියද්දී, ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රීන් ගේ හඬට ද ඉඩක් දිය යුතු ම නිසා, වෙළඳ කලාපේ වැඩ කරන ‘සන්නාලි ස්ත‍්‍රියක්’ දුරකථනයට සම්බන්ධ කර ගතිමි. ‘මේකට කලාපෙ කිව්වට ඇත්තට ම ඒක වෙනම රටක්... ඒකට රටේ පොදු නීතිය, කම්කරු නීතිය අදාළ ම නෑ.... අපි වැඩ කරන්නෙ වහල්ලූ වගේ...’ ඇය කීවා ය. ස්ථිර වශයෙන් ම මෙම ස්ත‍්‍රීන් වැඩ කරන්නේ, සිය දරු පවුල් ජීවත් කිරීම සඳහා ය. තනිකඩ ස්ත‍්‍රීන් වැඩ කරන්නේ, ස්වාධීන ආර්ථිකයක් සහිතව අනාගතය වෙත දිවෙන මං මාවත් එළි පෙහෙළි කරගැනීම සඳහා ය. නොඑසේ නම්, ඇගේ ‘ජනක පවුලේ’ මව පියා සහ බාල සහෝදර සහෝදරියන් බලා කියාගැනීමේ වගකීමට බැඳෙමිනි. මේ ආකාරයේ කවර වුවමනාවක් මත හෝ ‘රැකියාවක නිරත වන ස්ත‍්‍රිය’ වැඩපොළේ දී/ කාර්යයාලයේදී කුමන ආකාරයක රැකියාවක නිරත වුවත්, ඇය එතැනදී කුමන ආකාරයක හෝ ‘හිංසනයට’ යටත් වේ නම්, එය විග‍්‍රහ කළ යුත්තේ, වියුක්තව එක් එක් ප‍්‍රශ්නය වෙන වෙන ම නොවේ. ‘වැඩ පොළේ දී, කාර්යාලයේදී ස්ත‍්‍රීන් ස්ත‍්‍රීන් වීම නිසා ම මුහුණ දෙන සුවිශේෂී හිංසනයන්’ සංයුක්තව ගනිමින්, ඒවා අවම කිරීමට ‘පොදු නීති සහ ප‍්‍රතිපත්ති’ සකස් කරමිනි. මේ අතර ඔවුන් කෙරෙහි පළ වන හාම් පුතුන්ගේ සහ එකට වැඩ කරන පිරිමින්ගේ ආකල්ප සංවර්ධනය කරමිනි.

මේ අතර වැඩපොළේ හෝ කාර්යයාලයේ වැඩකරන ස්ත‍්‍රිය ‘කුමන පදනමකින්’ වැඩ කළ ත්, දවසේ අවදියෙන් ගත කරන පැය ගණනින් වැඩි ප‍්‍රමාණයක් ගත කරන්නී, ඇගේ ‘වැඩ පොළේ’ නැත්නම් ‘කාර්යයාලයේ’ ය. එහෙයින් ඇයට සුවිශේෂී වූ වැඩපොළ හෝ කාර්යාල ජීවිතයක් ද ඇත. ස්ත‍්‍රියට එරෙහි හිංසනය සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට, අප වැඩිපුර ම සාකච්ඡුා කර ඇත්තේ ඇගේ ‘ගෙදර ජීවිතය’ සම්බන්ධයෙනි. මෙවර ඇගේ කාර්යයාලයීය/වැඩපොළ ජීවිතය පිළිබඳ වැඩි අවධානයක් යොමු කෙරෙන්නේ එහෙයිනි. කාර්යයාලයීය/වැඩ පොළ ජීවිතය සම්බන්ධයෙන් ලොව වටා ස්ත‍්‍රීන් කිහිපදෙනෙකු කියන කතා කිහිපයක් සඳහා Human Rights Watch වෙබ් අඩවියෙන් උපුටා ගනිමි. ‘මම වැඩ කරන්නේ ‘රොබෝවක්’ වගේ... උදේ ඉඳන්, නින්දට වැටෙන මොහොත වෙනකල් වැඩ ම විතරයි...’ එසේ කියන්නේ ඕමානයේ ගෘහයක ගෘහ සේවිකාවක් ලෙස වැඩ කරන ටැන්සානියානු ස්ත‍්‍රියකි. ‘මගේ ආයතනය පිරිමින්ගේ ක්ලබ් එකක් වගේ... ඒ ගොල්ලො අපෙන් වැඩ ගන්නවා... අපිට බනිණවා... හැමවෙලේ ම නරක විහිළු කරනවා... ළඟින් ගියොත් අතින් හරි අදිනවා...’ එසේ කියන්නේ, ඉරාන වෙළඳ මධ්‍යස්ථානයක සේවය කරන ස්ත‍්‍රියකි. ‘මම ඉල්ලන්නෙ මට සතෙකුට වගේ සලකන්න එපා කියලයි... මම කියන්නෙ මාව මනුස්සයෙක් හැටියට දකින්න කියන එක යි...’ එසේ කියන්නේ ලෙබනනයේ වැඩ කරන සිරියානු සරණාගත ස්ත‍්‍රියකි.

‘තැඹිලි පැහැය’ ට අර්ථයක් දිය හැක්කේ, රතු වර්ණයෙන් අර්ථ ගන්වන ‘ශක්තිය’ත්, කහ වර්ණයෙන් අර්ථ ගන්වන ‘සතුට’ ත් එකට එක් වන තැනකිනි. එමෙන් ම එය හිරු එළියේ පැහැය වෙයි. නිවර්තන කාලය ද තැඹිලි පැහැති ය. ධෛර්යයසම්පන්න බව හඟවන වර්ණය ද තැඹිලි පැහැය යි. ස්ත‍්‍රිය යනු මේ සියල්ලෙහි ම සාරය වන බැවින්, ඇය ට සියලූ ශක්තිය, ධෛර්යය සහ සතුට ප‍්‍රාර්ථනා කරන දවස් ‘එම වර්ණයෙන්’ වර්ණවත් කිරීම අර්ථාන්විත ය එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන පරිදි, ස්ත‍්‍රීහු සිය කාර්යයාලය/වැඩ පොළ තුළ අඩු වැඩි වශයෙන් මානසික හිංසනය, ශාරීරික හිංසනය සහ ලිංගික හිංසනය යන තුන් ආකාරයේ ම හිංසනයට ලක් වෙති. සංවිධානය ඊට හේතුව ලෙස පෙන්වා දෙන්නේ, පිරිමින් ස්ත‍්‍රීන්ට වඩා සුවිශේෂී වූ බලයක් සහිත වූවන් බවට පිරිමින් තුළ අන්තවාදී ආකල්පයක් පැවැතීම යි. (WHO,2009, page 3) මේ අතර ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) ද 2016 පවත්වන ලද සම්මේලනයේ දී, ලිංගිකත්වය පදනම් කරගෙන වැඩපොළේ/කාර්යාලයේ වැඩ කරන ස්ත‍්‍රීන්ට එරෙහි වන හිංසනය සම්බන්ධයෙන් සුවිශේෂී ආමන්ත‍්‍රණයක් කළ යුතු බව පිළිගන්නා ලදී. (ILO, 2016 a, Appendix 1, paragraph 2) එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර 2020 දී, වැඩකරන ස්ත‍්‍රීන්, වැඩ බිමේදී අත් දකින හිංසනය වෙනුවෙන් ‘තැඹිලි පැහැති දින’ වෙන් කරන්නේ ද මෙම පසුබිමේ දී ය.

‘වැඩ බිමේ ස්ත‍්‍රියට එරෙහි මානසික හිංසනය යනුවෙන් හඳුන්වන්නේ, බැණ වැදීම් හෝ තර්ජනය කිරීම් මෙන් ම නොතකා හැරීම් සහ අගය නොකිරීම නිසා ත්, හැම විට ම පහත් කොට සහ වෙනස් කොට සැලකීමත් නිසා ස්ත‍්‍රීන් කෙරෙහි මානසික පීඩාවක් දක්වන පරිදි ක‍්‍රියා කිරීම යි... වැඩබිමේ ස්ත‍්‍රියට එරෙහි ශාරීරික හිංසනය යනුවෙන් හඳුන්වන්නේ, ඇගේ දරාගැනීමේ සීමාව ඉක්මවා යනතුරු වැඩ පැය ගණන් වැඩි කිරීම, විවේකය අඩු කිරීම, පහරදීම් වැනි දඬුවම් පැමිණවීම යනාදිය යි... වැඩබිමේ ස්ත‍්‍රියට එරෙහි ලිංගික හිංසනය යනුවෙන් හඳුන්වෙන්නේ, ලිංගිකත්වය පදනම් කරගත් ‘විහිළු’ වල සිට ස්ත‍්‍රී දූෂණය දක්වා වූ සියලූ ආකාරයේ ක‍්‍රියාවන් ය... එමෙන් uid pro quo ආකාරයේ හිංසනයන්‘ හෙවත්, ‘යමක් දීම සඳහා යමක් ලබාගැනීමේ ක‍්‍රමවේදය’ අනුව බලපවත්වන හිංසනයත්, වැඩබිමේ ස්ත‍්‍රියට එරෙහි වූ ‘ලිංගික හිංසන මාදිලියක්’ ව හඳුනාගත හැකි ය... එනම් ‘උසස් වීමක් දීමට හෝ වැඩ අඩුකර දීමකට, නැත්නම් වැටුප් වැඩි කරදීමකට ලිංගික අල්ලස් ඉල්ලා සිටීම යි...’ යනුවෙන් ස්ත‍්‍රීන් උදෙසා වූ එක්සත් ජාතීන් විසින් සකසන ලද වීඩියෝවක සඳහන් වෙයි. එමෙන් ම ස්ත‍්‍රීන් ට එරෙහි වන මෙම තුන් ආකාර වූ ‘වැඩපොළ තුළ හිංසනය’ සම්බන්ධයෙන් ස්ත‍්‍රීන් ට පංච විධ වූ නෛතික රැකවරණයක්‘ හිමි වන බව ‘ස්ත‍්‍රීන් සඳහා වූ එක්සත් ජාතීන්‘ පෙන්වා දෙයි.

එනම් ස්ත‍්‍රීන් ට වැඩපොළ තුළ තමන් මුහුණදෙන හිංසනයට එරෙහිව ‘වෙනස්කොට සැලකීම පිළිබඳ නීතිය‘(Discrimination Law) යටතේ ‘කම්කරු නීතිය (Labour Law) යටතේ, අපරාධ නීතිය (Criminal law ) යටතේ, ඇමරිකා එක්සත් ජනපදයේ නම්, OSH Law’ යටතේ (Occupational Safety and Health Act, 1970), අවස්ථාව අනුව සෑහෙන වෙනත් ඕනෑම නීතියක් (Another type of law) යටතේ නඩු පැවරීමට හැකියාව ඇත. මේ අතර ඉතා ඉක්මනින් ම ‘වැඩ පොළ තුළ ස්ත‍්‍රියට එරෙහි හිංසනයට එරෙහි වන’ ‘ජාත්‍යන්තර ප‍්‍රකාශනයක්’ පවා ඉදිරිපත් කිරීමට සැරසෙන එක්සත් ජාතීන් මෙවර නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දින දක්වා වූ තැඹිලි පැහැති දින 16 තුළ ඒ වෙනුවෙන් ම ලොව පුරා ස්ත‍්‍රීන් නඟන හඬවල් කෙරෙහි සාවධාන වූ ඇහුම්කන් දීමකට ද සූදානමින් සිටී. මේ ආකාරයට ස්ත‍්‍රීන්ට එරෙහි වැඩපොළ හිංසනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන තැඹිලි පැහැති දින 16 තුළ ‘ස්ත‍්‍රීන් සම්බන්ධයෙන්’ වැදගත් වන තවත් ‘එක්සත් ජාතීන්ගේ දින 5 ක්‘ ද අවබෝධාත්මක ව සැමරේ. එකී පළමුවැනි දිනය යෙදෙන්නේ, නොවැම්බර් 25 වැනිදා ට ය. එය ‘ස්ත‍්‍රීන්ට එරෙහි වූ සියලූ ආකාරයේ හිංසනයන් පිටුදැකීමේ දිනය’ වන අතර ‘තැඹිලි පැහැති දින 16’ ඇරඹෙන්නේ එම දිනයෙනි.

දෙවැනි දිනය යෙදෙන්නේ, නොවැම්බර් 29 වැනිදාට ය. එය නම් කර ඇත්තේ ‘ජාත්‍යන්තර ස්ත‍්‍රී අයිතිවාසිකම් දිනය’ යනුවෙනි. දෙසැම්බර් 1 සහ 5 යන දෙදින පිළිවෙලින්, ‘ජාත්‍යන්තර ඒඞ්ස් දිනය’ සහ ‘ආර්ථිකය සහ සමාජ සංවර්ධනය අරමුණු කරගත් ස්වේච්ඡා සේවකයින්ගේ දිනය’ යනුවෙන් සැලකෙන අතර එම දින දෙක ද සෘජුවම නොවුණත්, වක‍්‍රාකාරයෙන් ස්ත‍්‍රීන් ආමන්ත‍්‍රණය කරන දින වශයෙන් සැලකෙයි. එමෙන් ම ‘තැඹිලි පැහැති දින’ යටතේ සැමරෙයි. ඉන් අනතුරුව ‘ස්ත‍්‍රීන්ට එරෙහි හිංසන ක‍්‍රියා ස්මරණය කිරීමේ සහ ඊට එරෙහි වීමේ දිනයක්’ වශයෙන් දෙසැම්බර් 6 වැනිදාව සැමරෙන අතර එය ‘මොන්ටි‍්‍රයෙල් සමූල ඝාතනය සැමරීමේ දිනය’ ද වෙයි. ඒ කැනඩාවේ යාන්ත‍්‍රික ඉංජිනේරු පාඨමාලාවක් හදාරමින් සිටි ස්ත‍්‍රී සිසුන් කෙරෙහි වෛර කළ පිරිමි සිසුවෙකුගේ වෙඩි තැබීමක් හේතුකොටගෙන සිසුවියන් 14 දෙනෙකු 1989 දෙසැම්බර් 6 වැනිදා මිය යාමේ අවාසනාවන්ත සිදුවීම ‘ස්ත‍්‍රී හිංසනය පිළිබඳ බරපතල ඛේදවාචකයක්’ ලෙස ගෙන ස්මරණය කරමිනි. කෙසේවෙතත් ‘තැඹිලි පැහැති දින 16’ අවසන් වන දිනය, එනම් දෙසැම්බර් 10, ද අප සියලූ දෙනාම දන්නා පරිදි ‘ජාත්‍යන්තර මානව හිමිකම් දිනය’ වෙයි. ‘සිරකරුවෝ ද මානවයෝය’ යන වාක්‍යය ම අන් ආකාරයකින් වර නඟමින්, ‘ස්ත‍්‍රීන් ද මානවයෝ ය’ වැනි පාඨයකින්, අවශ්‍ය නම් අපට එදින ද, ‘ස්ත‍්‍රීන්ගේ දිනයක්’ බවට පත් කරගත හැකි ය. ‘තැඹිලි පැහැය’ ට අර්ථයක් දිය හැක්කේ, රතු වර්ණයෙන් අර්ථ ගන්වන ‘ශක්තිය’ත්, කහ වර්ණයෙන් අර්ථ ගන්වන ‘සතුට’ත් එකට එක් වන තැනකිනි. එමෙන් ම එය හිරු එළියේ පැහැය වෙයි. නිවර්තන කාලය ද තැඹිලි පැහැති ය. ධෛර්යයසම්පන්න බව හඟවන වර්ණය ද තැඹිලි පැහැය යි. ස්ත‍්‍රිය යනු මේ සියල්ලෙහි ම සාරය වන බැවින්, ඇය ට සියලූ ශක්තිය, ධෛර්යය සහ සතුට ප‍්‍රාර්ථනා කරන දවස් ‘එම වර්ණයෙන්’ වර්ණවත් කිරීම අර්ථාන්විත ය. ‘Orange is the New Black’ යනුවෙන් සිතන සමාජය ‘Orange is Orange’ යනුවෙන් සිතන සමාජයක් බවට වෙනස් කරගැනීමට වෙහෙසෙමු.

සුරේඛා සමරසේන