ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය අහිමි වීමෙන් මොකද වෙන්නේ?

gsp+

ශ්‍රී ලංකාවට යුරෝපා සංගම් වෙළඳපොළට ඇති වෙළෙඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය (Generalised Scheme of Preferences - ජීඑස්පී ප්ලස්) තාවකාලිකව අහිමි වීමේ තර්ජනයක් ගැන මේ දිනවල මාධ්‍ය වාර්තා පළවුවද ඒ පිළිබඳ අවසන් තීරණයකට මෙතෙක් එළැඹ නැත.

මෙය තවත් කතාබහට ලක්වන්නේ පොසොන් පොහොය නිමිතිකරගෙන ජනාධිපතිවරයාගේ විශේෂ සමාව යටතේ සිරකරුවන් 94 දෙනෙකුට නිදහස ලබාදීමේදී ඉන් 16 දෙනෙකුම ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ වැරදිකරුවන් වී දඩුවම් විඳිමින් සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකයන් වීම හේතුවෙනි. මෙසේ රජය හදිසියේ මෙම ද්‍රවිඩ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම මෙන්ම පසුගියදා ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රකට පරීක්ෂකවරයකු වූ ශානි අබේසේකර ඇප මත නිදහස් කිරීමද යුරෝපා සංගමය ගෙන ආ යෝජනාවේ බලපෑම මත සිදුවූවක් බවට ඇතැම් විශ්ලේෂකයෝ පවසති.

ජීඑස්පී ප්ලස් සහනය

යුරෝපා සංගමයේ විධායක මණ්ඩලය වන යුරෝපා කොමිසම, ජීඑස්පී ප්ලස් හරහා ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට යුරෝපා සංගමයේ වෙළෙඳපොළ වෙත ලබාදී ඇති වරණීය ප්‍රවේශය තාවකාලිකව ඉවත් කර ගැනීම ගැන සලකා බැලිය යුතුයැයි යෝජනා කර ඇත.

මෙය සිදුවන්නේ, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අධික ලෙස උපයෝගී කර ගැනීම සහ අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනයවීම් සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුවට එන යෝජනාවක් බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීමෙනි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මුතීන් තුනක් රට තුළ ක්‍රියාත්මක කිරීමේ සැලකිය යුතු අඩුපාඩු හේතුවෙන් 2010 දී ශ්‍රී ලංකාව සඳහා වන ජීඑස්පී ප්ලස් වරණීය තීරු බදු තත්ත්වය ඉවත් කෙරිණි.

එහෙත් 2015 වසරේ පත්වූ යහපාලන රජයේ මැදිහත්වීමෙන්, 2017 මැයි 19 දින වන විට ශ්‍රී ලංකාව ජීඑස්පී ප්ලස් වරණීය තීරු බදු සහන තත්ත්වය නැවතත් ලබාගත්තේය.

පවත්නා ජීඑස්පී ප්ලස් පහසුකම මඟින් ඇඟලුම්, ධීවර, පිඟන් මැටි සහ රබර් ඇතුළු ශ්‍රී ලංකා අපනයන සඳහා යුරෝපා වෙළෙඳපොළ සඳහා වෙළෙඳ ගාස්තු සැලකිය යුතු ලෙස අඩු කර එම වෙළෙඳපොළේ ශ්‍රී ලකාවේ භාණ්ඩ සඳහා ඇති මිල තරඟකාරීත්වය අඩුකර වරණීය පිවිසුමක් ලබාදී ඇත.මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළුව සංවර්ධනය වෙමින් පවතින රටවල් 9 ක් මෙම ජීඑස්පී ප්ලස් සහනයන් හි ප්‍රතිලාභ ලබති.

සීමිත අපනයන හේතුවෙන් සහ නිමි භාණ්ඩ සඳහා ආනයනික අමුද්‍රව්‍ය සැලකිය යුතු ලෙස භාවිත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට එම ජීඑස්පී ප්ලස් පහසුකමෙන් 50-58% ක් පමණක් භාවිත කරයි. එහෙත් පාකිස්තානය 96% ක් ද පිලිපීනය 73% ක් ද වශයෙන් එම සහනය භාවිත කරති.

ජීඑස්පී ප්ලස් සහනය
අනෙකුත් සියලුම ජීඑස්පී ප්ලස් ප්‍රතිලාභීන් මෙන්ම, ශ්‍රී ලංකාව ද මෙම යෝජනා ක්‍රමය සඳහා ඉල්ලුම් කරන විට සම්මුතීන් 27 අනුමත කිරීම හා ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට කැපවන බවට කැමැත්ත පළකර ගිවිසුම්ගතවී ඇත. 2017 වර්ෂයේදී ගිවිසුම්ගත වූ දැනට පවතින ගිවිසුමට අනුව 2023 වන තෙක් ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් වරණීය තීරු බදු තත්ත්වය හිමි වී ඇත.

මෙම ගිවිසුමට අනුව සෑම වසර දෙකකට වරක් සමාලෝචනය කෙරෙන අතර ඕනෑම අවස්ථාවක නිසි ක්‍රියාදාමයක් අනුගමනය කරමින් අහිමි කිරීමේ හැකියාව ඇත.

යුරෝපා පාර්ලිමේන්තුවේ සිදුවූයේ කුමක්ද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සිය නවතම වාර්තාවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ විස්තර කර ඇති පරිදි, බරපතල මානව හිමිකම් උල්ලංඝනය නැවත නැවතත් සිදුවීම තුළ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ භයානක පසුබෑම පිළිබඳව යුරෝපා පාර්ලිමේන්තුව සිය ගැඹුරු කනස්සල්ල පළ කර ඇත.

සිවිල් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, සෝදිසි කිරීම සහ රඳවා තබා ගැනීම සඳහා රටේ පොලීසියට පුළුල් බලතල ලබා දෙන මතභේදාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (පීටීඒ) අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ගැන යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් දැඩි විරෝධය පළ කළ අතර වධහිංසා පැමිණවීම, ලිංගික අපයෝජනය සහ බලහත්කාරයෙන් පාපොච්චාරණය කිරීමට සැලැස්වීම යන කාරණා මෙම පනත හරහා මගපාදන බවට ඔවුන්ගේ මතය වී තිබේ.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කර අවලංගු කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන ලෙස ඔවුහු ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ඔවුන් ඉල්ලා සිටින්නේ එය හොඳම භාවිතයන් අනුගමනය කරමින් සකසා ඇති අන්තර්ජාතික ත්‍රස්ත විරෝධී නව නීති මගින් ප්‍රතිස්ථාපනය කරන ලෙසය.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වෙනත් පනතක් ආදේශ කිරීම සහ මානව හිමිකම් ඇතුළු ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම යන කොන්දේසිය මත ශ්‍රී ලංකාව 2017 මැයි 19 වන දින ජීඑස්පී ප්ලස් යටතේ ත්‍යාගශීලී යුරෝපා සංගම් තීරුබදු සහනයන් වෙත ප්‍රවේශය ලබා ගත්තේය. එබැවින් යුරෝපීය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් යුරෝපීය කොමිසමෙන් හා යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් බැඳීම්වල ප්‍රගතිය සඳහා ජීඑස්පී ප්ලස් උපයෝගී කර ගන්නා ලෙසය.ශ්‍රී ලංකාවේ ජීඑස්පී ප්ලස් තත්ත්වය තාවකාලිකව ඉවත් කර ගැනීම සඳහා ක්‍රියා පටිපාටියක් ආරම්භ කිරීමට ප්‍රමාණවත් හේතුවක් තිබේද යන්න අවසාන වශයෙන් සලකා බලන ලෙසද වැඩිදුරටත් ඉල්ලා සිටියහ.

ඇගලුම් කම්හල් සේවකයන්
විපක්ෂ ක්‍රියාකාරීන් රටේ මානව හිමිකම් තත්ත්වය ගැන කියන්නේ මොකක්ද?
"අපි දන්නවා ප්‍රකට තරුණ නීතිවේදී හිජාස් හිස්බුල්ලා අත් අඩංගුවට ගෙන වසරකට වැඩියි. තවම උසාවියකට ඉදිරිපත් කර නඩුවක් කියලා නැහැ. ඒ වගේම අනාෆ් ජසීම් කියන කලාකරුවෙකුත් අත් අඩංගුවට අරගෙන තිබෙනවා. තවම නීතිමය ක්‍රියා මාර්ගයක් ගෙන නැහැ. මේකෙන් සුළු ජන කොටස් හිංසනයට ලක් කරනවා යැයි මේ යුරෝපීය පාර්ලිමේන්තු යෝජනාවේ සඳහන් වෙනවා," සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මාධ්‍ය හමුවේ පැවසීය.

"යුරෝපා යෝජනාවේ සඳහන් නොවුණත් අපේත් එක්ක පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ නායකයෙක් රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඔය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේම අත් අඩංගුවට ගෙන තිබෙනවා. තවම ජනාධිපති කොමිෂන් සභාවෙන් හෝ පොලිසියෙන් හෝ ඔහුට වැරදිකාරයෙක් ලෙස කිසිම චෝදනාවක් එල්ල කරලා නැහැ."

ශ්‍රී ලංකාවේ ප්‍රකට දක්ෂ විමර්ශන පොලිස් නිලධාරියෙකු වන ශානි අබේසේකර මාස දහයකට වැඩි කාලයක් කිසිදු චෝදනාවක් නොමැතිව අත්අඩංගුවේ තබාගැනීමත් මෙසේ ශ්‍රී ලංකාව මෙවැනි ජාත්‍යන්තර අපකීර්තියකට ලක්වීමට බලපා ඇති බවට ඔහු තවදුරටත් පැවසීය.

"භාෂණයේ නිදහසත් අඩු කරලා. විශේෂයෙන්, මාධ්‍යවේදීන්ගේත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ව අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයගේ භාෂණයේ නිදහස සීමා කර," ඇති බවත් ඉරාන් වික්‍රමරත්න පැවසීය.

අක්මීමණ තොටගොඩ පදිංචි තරුණයෙකු මුහුදු බත්වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන සිය ෆේස් බුක් ගිණුමේ තැබූ සටහනක් තුළින් රජය පෙරලිම සඳහා කටයුතු කරමින් සමාජ මාධ්‍යජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරිමේ චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබිණි. පසුව අධිකරණයට ඉදිරිපත් කරන ලදුව රුපියල් ලක්ෂ පහ බැගින්වු ශරිර ඇප දෙකක් මත මුදා හැරිණි.

විශේෂයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කෙරෙහි රජය සිය මර්දනය දියත් කිරීමට උත්සහ කරන බවක් පෙනී යන්නේයැයි අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ සමාජ මාධ්‍ය අවකාශය තුළ කොවිඩ් 19 තත්ත්වය හා අනෙකුත් සංවේදී කරණා පිළිබඳ ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කරන්නන්, පතුරවන්නන් සෙවීම සඳහා සහ ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ කණ්ඩායමක් ස්ථාපනය කර ඇති බවය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශයේ ඇතුළත් "අනෙකුත් සංවේදී කරණා" යන කරුණ පිළිබඳව එම සංවිධානය දැඩි අවධානය යොමු කර ඇත.

ජි එස් පී ප්ලස් අහිමිවීම රටට කෙසේ බලපායිද?

ජී එස් පී සහනය රටේ ඇඟලුම් කර්මාන්තයට, මත්ස්‍ය කර්මාන්තයට මෙන්ම පිඟන් මැටි කර්මාන්තයට, රබර් නිමි භාණ්ඩවලට ද විශාල වාසියක් ගෙනෙන බව විශේෂඥයෝ පවසති. ඔවුන් පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාවේ අපනයනවලින් 66 % කට ජී එස් පී ප්ලස් සහනය භාවිත කළ හැකි බවය.

යුරෝපයේ තිබෙන බදු අඩු කිරීම හෝ නිදහස් කිරීම තුළින් ශ්‍රී ලංකාවෙන් අපනයනික භාණ්ඩ සඳහා ජාත්‍යන්තර තරඟකාරිත්වය ලැබේ. ජී එස් පී ප්ලස් වාසිය අහිමි වීම තුළින් ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයට අපනයනය කෙරෙන භාණ්ඩවල මිල ඉහළ නැංවීමට සිදුවන බවත් එසේ නොමැතිනම් එම භාණ්ඩ නිෂ්පාදකයන්ට අමතර වියදමක් දැරීමට සිදුවන බවත් ඔවුහු පෙන්වා දෙති. එසේ කිරීම තුළින් එම භාණ්ඩ සඳහා ජාත්‍යන්තර තරඟකාරිත්වය අඩු වෙයි.

ජිඑස්පී ප්ලස් සහනය අහිමිවීම තුළින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදකයන් ජිඑස්පී ප්ලස් සහනය ඇති වෙනත් රටවල් වලට තම නිෂ්පාදන ක්‍රියාවලිය රැගෙන යාමේ අවදානමක් ද ඇත. මෙය පසුගියවර ශ්‍රී ලංකාවට ජිඑස්පී ප්ලස් සහනය අහිමිවූ අවථාවේදී බොහෝ ඇගලුම් හා ඒ ආශ්‍රිත ශ්‍රී ලංකාවේ නිෂ්පාදකයන් තම ක්‍රියාවලිය බංගලාදේශය හා වියට්නාමය වැනි රටවලට ගෙන යනු දැකගත හැකි විය.

ආර්ථිකයට මොකද වෙන්නේ?

රට ආර්ථික ප්‍රශ්න ගණනාවක් ඇති අවස්ථාවක වත්මන් රජයේ ක්‍රියාකලාපය නිසා නැවතත් ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය අහිමිවෙන තත්ත්වයක් උදා වී ඇති බව බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පැවසීය.

"දිනෙන් දිනම රට මිලිටරිකරණය වෙමින් තිබීම, පුද්ගලික නිදහස සහ භාෂණයේ නිදහසට දිනෙන් දිනම සීමා වැටෙමින් තිබීම, ඕනෑම කෙනෙකු මර්දනය කළ හැකි පරිදි අති විශාල බලයක් ආණ්ඩුව විසින් ගොඩනගා ගැනීම, මානව අයිතිවාසිකම් තර්ජනයට ලක් වෙමින් තිබීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී රටක තිබිය යුතු ගුණාංග ශ්‍රී ලංකාව තුළ දිනෙන් දිනම පිරිහෙමින් තිබීමට වි⁣රෝධය පළකරමින් ජීඑස්පී ප්ලස් සහනය ලංකාවට දෙන එක තාවකාලිකව අත්හිටුවන්න කියලා යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගත්තා. මෙහෙම වුණොත් ඒක ලංකාවට දැනෙන්නේ ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්න වගේ."

ඔහු පැවසුවේ 2017 වසරේ සිට මේ වන තෙක් යුරෝපා කොමිසම සමග කළ අපනයනයන් සියයට 28කින් වර්ධනය වී යුරෝ බිලියන 2.3ක් වී ඇති බවය එයින් යුරෝ බිලියන 1.6ක් ම ජීඑස්පී ප්ලස් සහනය යටතේ ලැබී ඇති බව ඔහු කියා සිටී.

විදේශ විනිමය හිඟයක් පවතිනමොහොතේදී අපනයන වැඩි කරගැනීමට අවශ්‍ය පියවර ගත යුතුව තිබෙන අතර එවන් මොහොතක ජීඑස්පී ප්ලස් සහනය අහිමිවීමෙන් රටේ අපනයන කඩාවැටීමේ අවදානමක් ඇති බව ඔහු පෙන්වා දෙයි.

"අපි මුහුණ දෙන්නේ ඉතිහාසයේ දැවැන්තම විනිමය අර්බුදයටයි. ලංකාව දැන් ඩොලර් හිඟාකන රටක්. කවුද හිතුවෙ බංග්ලාදේශයෙනුත් ණය ගනීවි කියල. විදේශ කුමන්ත්‍රණ ගැන බොරු මවලා රටට ඩොලර් එන මාර්ග දිනෙන් දිනම නැති කරපු ආණ්ඩුවකට ඩොලර් හිඟාකන්න වීම දෛවයේ සරදමක් වගේ. රට මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බුදය සුළු පටු එකක් නෙවෙයි." යනුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

මේ අතර වෙරටි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක සුභාෂිණි අබේසිංහ බීබීසී සිංහල සමග පැවසුවේ දැනට පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මේ වන විටත් නිෂ්පාදකයන් හට විශාල වියදමක් දැරීමට සිදුව ඇති බවය. එවැනි තත්ත්වයක් හමුවේ මෙම බදු සහනය අහිමි වීම විශාල තර්ජනයක් වන බව ඇය කීවාය.

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බුදය හමුවේ මෙම බදුසහනය අහිමිවීමෙන් රටට විශාල බලපෑමක් ඇතිවිය හැකි බව ඇය ද සඳහන් කළාය.

subhashini-abeysinghe| සුභාෂිණි අබේසිංහ

"දැනටමත් ලංකාවේ ඇඟලුම් වගේ කර්මාන්ත ලංකාව තරගකාරී නෑ පිරිවැය පැත්තෙන් ගත්තොත්. ඒක දැනටත් තියෙන අභියෝගයක්. මම කියන්නේ ලංකාවට තියෙන තරගකාරිත්වය තවත් අඩු වෙන්න පුළුවන්. ලංකාවට නිදහස් වෙළද ගිවිසුමුත් නෑ, අනිත් පැත්තෙන් ලංකාවට මේ වගේ ජි එස් පී වගේ සහනවලින් තියෙන වාසි අහිමි වෙනකොට නිෂ්පාදකයාගේ පැත්තෙන් ගත්තහම මේ වගේ අඩු පිරිවැයක් එක්ක යුරෝපය ඇමරිකාව වගේ හොද වෙළඳපල පිවිසුමක් තියෙන අපේ තරඟකාරී රටවල්වලට තමන්ගේ භාණ්ඩ රැගෙන යාමේ ප්‍රවණතාවය වැඩි වෙනවා." යැයි ඇය පැවසීය.

"දැනටමත් අපේ ප්‍රධාන ඇගලුම් කර්මාන්තකරුවන් ඒ රටවල ආයෝජනය කරලා තියෙනවා එතකොට ලංකාවේ ඇතුළත තරගකාරිත්වය අඩුවෙන්න අඩුවෙන්න ඒ ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම අඩුවෙනවා වගේම සමහර වෙලාවට ඒ ක්ෂේත්‍රයේ තියෙන නිෂ්පාදන අඩු කරන්නට හරි වෙන රටකට ගෙනියන්න හරි තියෙන ප්‍රවණතාව වැඩි වෙනවා. එතන තමයි අභියෝගය මම දකින්නේ."

ඇය තවදුරත් පැවසුවේ ඉතාමත් ඉක්මණින් එකවර නිෂ්පාදනය එක් රටක සිට වෙනත් රටකට ගෙන යා නොහැකි වූවත් එය තීරණය වන්නේ නිෂ්පාදකයන්ට කෙතරම් දුරකට මෙම වැඩිවන පිරිවැය දරාගත හැකිද යන්න මත හා මෙම වැඩිවෙන පිරිවැය වෙළෙන්දා ට හෝ ගැනුම්කරුට විතැන් කිරීමේ හැකියාව මත බවය.

"ඒ පිරිවැය දරාගන්න අපේ අපනයනකරුවන්ට තියෙන හැකියාව අඩුයි, දැනටමත් ජීවන වියදම ඉහළ යාමත් එක්ක දැනටත් අපි වැටුප් අතින් අනිත් රටවල් එක්ක තරගකාරී නෑ නේ. එතකොට අපේ ජීවන වියදම ඉහළ යනකොට වැටුප් වලිනුත් උඩුකුරු තෙරපුමක් (upward pressure) මිසක් යටිකුරු තෙරපුමක් (downward pressure) එකක් එන්නේ නෑ නේ. එතකොට මේ දැන් තියෙන ඇඟලුම්කරුවන්ට දැන් තියෙන වැටුප්වලට අවශ්‍ය කරන සේවකයන් සොයා ගැනීමේ ප්‍රශ්ණයක් තියෙනවා එහෙම තියෙද්දී තවත් වැටුප් පීඩනයක් ආවොත් මොකක් වෙයිද," යනුවෙන් ඇය පැවසීය.

ශ්‍රී ලංකාව මේ වන විට එක්සත් රාජධානිය නොමැතිව යුරෝපා සංගමයට පමණක් ඩොලර් බිලියන 1.198 ක වටිනාකමකින් යුත් භාණ්ඩ හා සේවාවන් අපනයනය කරයි. ඊට ඩොලර් මිලියන 586 ක් වටිනා ජීඑස්පී ප්ලස් පහසුකම යටතේ කෙරෙන අපනයන ද ඇතුළත් වේ.

ඒකාබද්ධ ඇඟලුම් සංගමයේ (ජේඒඑෆ්) ප්‍රධාන ලේකම් ටියුලි කුරේ පවසන්නේ ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයෙන් වරණීය සහන අහිමි වුවහොත් වසරක් තුළ ඇඟලුම් කර්මාන්තයට පමණක් ඩොලර් මිලියන 580 ක් වටිනා අපනයන අහිමි වීමේ අවදානමක් ඇති බවය.ගොඩබෑමේ පිරිවැය මත භාණ්ඩ අපනයනය කරන බැවින් එහි වියදම සියයට 10 කින් පමණ වැඩි වූ විට ශ්‍රී ලංකාව වෙනත් රටවල් සමඟ තරඟකාරී නොවීම නිසා ව්‍යාපාර මුළුමණින්ම අහිමි විය හැකි බවත් ඔහු පැවසීය.මෙම සහන ඉවත් කර ගැනීම සක්‍රීය වුවහොත් "බලපෑම ඉතාමත් විශාල විය හැකියි" යැයි ටියුලි කුරේ පැවසීය.

විදේශ අමාත්‍යංශය මොකක්ද කියන්නේ?

2021 ජුනි 10 වන දින යුරෝපා පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සම්මත කිරීම පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරමින් විදේශ අමාත්‍යාංශය පැවසුවේ "ශ්‍රී ලංකාවේ තත්ත්වය, විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම්" යන මාතෘකාවෙන් යුත් යෝජනාවේ සාවද්‍ය කරුණු අඩංගු වන අතර ප්‍රතිසන්ධානය හා සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව ලබා ඇති බහුවිධ ප්‍රගතිය අවබෝධ කර ගෙන නොමැති බවය.2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් යුරෝපා සංගම් ජාතිකයන් කිහිප දෙනෙකු ද ඇතුළුව සැලකිය යුතු ජීවිත හානි සිදු වූ බව සිහිපත් කරමින් විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන රටේ ජනතාව මත සිදුකරන ලද දරුණු ත්‍රස්තවාදී ක්‍රියාවන්ට විසඳුම් සෙවීම සඳහා යොදාගෙන ඇති බවකි.

රජය සිය ව්‍යවස්ථාමය වරම සහ ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව සිය සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබේ, යනුවෙන් එහි වැඩිදුරත් සඳහන් විය."යුරෝපා සංගමයට සන්නිවේදනය කර ඇති පරිදි රජය සිය බැඳීම්වලට අනුකූලව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීමේ ක්‍රියාවලියක යෙදී සිටී. මෙම ප්‍රයත්නය සඳහා රජය විසින් අවශ්‍ය සංශෝධන යෝජනා කිරීම සඳහා පවත්නා නීති අධ්‍යයනය කරමින් සිටින අතර අනෙකුත් අධිකරණ විසින් අනුගමනය කරනු ලබන ජාත්‍යන්තර හොඳම භාවිතයන් පිළිබඳව ද අවධානය යොමු කරනු ඇත," "අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම් හෝ වෙනත් සුළුතර කණ්ඩායම් රඳවා තබා ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රමානුකූලව භාවිතා කර ඇති බවට කරන ප්‍රකාශය රජය ප්‍රතික්ෂේප කරයි." යනුවෙන් විදේශ අමාත්‍යාංශය පැවසීය.

භූ දේශපාලන බලපෑම කෙබඳුද?

කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හසිත කන්දඋඩහේවා බීබීසී සිංහල සේවය සමග පැවසුවේ තිස්සමහාරාම ප්‍රදේශයේ සංවර්ධන ව්‍යපෘති මෙන් විවිධ ව්‍යාපෘතීන් චීනයට ලබාදීම හරහා ශ්‍රී ලංකාව තව තවත් චීනය මත යැපීම තුළ ලෝකයේ ප්‍රජාතත්‍රවාදී රාජ්‍යයන්ගෙන් කොන්වී එක් දිශානතියකට සිරවෙමින් පවතින බවය.

මෙම තත්ත්වය හමුවේ ඉන්දියාව පෙරට වඩා සෘජුවම දකුණු ආසියාවේ චීන ව්‍යාප්තියට විරෝධය දක්වන බවත් මේ වන විට ඉන්දියාවේ ඩ්‍රෝන යානා සහ ගුවන් යානා ශ්‍රී ලංකාවේ ගුවන් සීමාවට ආසන්නයෙන්ම පියසාකරන බව ඔහු කීය.

"ඒක එක්තරා විදිහට ඉන්දියාව තමන්ගේ ආරක්ෂක අභිලාෂයන් සහ ඉන්දියාව ආරක්ෂක තර්ජනයන් වර්ධනය වීමක්. එතකොට මේ වෙනකොට අපට අපේ කළාපයේ අපිට සමීපතම රාජ්‍ය අහිමි වෙමින් පවතිනවා. අනෙක් පැත්තෙන් යුරෝපයේ අපිට තියෙන විශාලම, කොවිඩ් ප්‍රශ්ණය නිසා වැටිලා තියෙන ආර්ථිකය ගොඩගන්න තියෙන එකම මාර්ගය වන ජීඑස්පී ප්ලස් එක අහිමිවීම අපිට එක්තරා විදිහකට සමස්ත යුරෝපයේ ආර්ථික ප්‍රවේශය අහිමි වීමක් විදිහට තමයි මම දකින්නේ," යනුවෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හසිත කන්දඋඩහේවා බීබීසී සිංහල සේවය සමග පැවසීය.

ජිඑස්පී ප්ලස් අහිමිවීම තුළ ශ්‍රී ලංකාව 'චීනයට යටත් වෙන්න' වෙයිද?

ශ්‍රී ලංකාව ලෝකයේ අනෙක් රටවලින් වෙන්වී චීනයට නතුවෙනවාද යන්න රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් තීරණය කළ යුතු බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හසිත කන්දඋඩහේවා බීබීසී සිංහල සේවය සමග පැවසීය.

යුරෝපය වැනි විශාල වෙළෙඳපොළක් අහිමි වීම තුළ ශ්‍රී ලංකාව ඊළඟට සමීපවම ගණුදෙනු කරන චීනය සමග තවදුරටත් ගණුදෙනු කිරීම හරහා ශ්‍රී ලංකාව චීනය වෙතට සමීප වීමක් සිදුවිය හැකි බව ඔහුගේ විග්‍රහය වෙයි.

"Strategic grip එකක් කියල අපි කියනවා, මේ grip එක complete වෙනවා. දැන් අපි ඉන්නේ middle way එකේ middle way උනත් non allign කියන එකෙන් ටිකක් එහාට ගිහින් ඊට පස්සේ තමයි අපි කියනවා most favourd nations ඒ කියන්නේ වඩාත් වරප්‍රසාදිත රාජ්‍ය තත්ත්වයක් ලබාදීලා තියෙනවා චීනයට. ඉතින් මේක ක්‍රමිකවම මේ grip එක complete වේවි."

"මේකේ අහිතකර ප්‍රතිඵලය වෙන්නේ, කියන්න බැහැ ඇත්තටම වෙයිද නැද්ද කියල. සමහර වෙලාවට නොවෙන්න පුළුවන්. වෙන්නත් පුළුවන්. ලංකාව චීනයට ගොඩාක් සමීපතම නැත්තම් ලංකාව චීනයේ proxy satate එකක් බවට පත්වෙන්න පුළුවන්. චීනය මත රඳා පවතින තත්ත්වයක්."

ඔහු වැඩිදුරත් පැවසුවේ රුසියාව චීනය වැනි රටවල් ශ්‍රී ලක්ව සමග සිටින නමුත් ඇමරිකා එක්සත් ජනපදය යුරෝපය සහ ඉන්දියාව වැනි රටවල් ශ්‍රී ලංකාවට දැඩි ප්‍රතිරෝධයක් එල්ල කිරීමේ හැකියාව පවතින බවය.

"මානව හිමිකම් ඊටපස්සේ වෙළෙඳාම ඊටපස්සේ සමහර විට vaccine diplomecy වගේ දේවල් නැත්තම් මේ vaccine program එක උනත් ශ්‍රී ලංකාවට දැඩි ප්‍රතිරෝධයක් එල්ල කරන්න පුළුවන්. දැනට නැතත් අනාගතයේදී vaccine එක උනත් පාවිච්චි කරන්න පුළුවන්."

(රංග සිරිලාල් - බීබීසී/සන්දේශය)