මිනිසුන් වෙළඳාම ශිෂ්ට සමාජයක දැකිය හැකි ඛේදවාචකයක් -කල්ප මධුරංග

මිනිසුන් වෙළඳාම ශිෂ්ට සමාජයක දැකිය හැකි ඛේදවාචකයක් -කල්ප මධුරංග

අප ජිවත් වන සමාජය හුදු ආර්ථික සහ දේශපාලන බලාධිකාරයන් මත ගොඩනගන සංස්කෘතික වටිනාකම් වලින් සමන්විත වූ එකකි. එහිදී අපට මේ සමාජයේ දක්නට ලැබෙන පරිවර්තනීය තත්ත්වය වන්නේ ඛේදනීය ලෙස සියළු දෙයෙහි සාරය අහිමි වූ පැවැත්මක් හිමි කර දීමයි. එය රාජ්‍ය අනුග්‍රහය යටතේ ජනතාවගේ ඉතා කැමැත්තෙන් සිදු වන අතර තවත් ආකාරයකට එම කැමැත්තේ නීතියට පරිබාහිරව සිදු වේ. එනම් නීති විරෝධී ආකාරයෙන් සිදු වේ. ශ්‍රී ලංකාව වැනි රටවල නිතිය යනු ඉතා දියාරු තත්ත්වයේ සහ දැවැන්ත සිදුරු සහිත එකක් බවත් එය තම සමාජයීය බල පරාක්‍රමය අනුව තමන්ට අවශ්‍යය පරිදි අපචාරයේ යොදවමින් කටයුතු කල හැකි දෙයක් බව වැඩි ඈතක් නොගිය ආණ්ඩු සහ පාලනයන් දෙස හොඳින් බැලුවොත් පෙනෙනු ඇත. එවන් රටක් තුළ, ලෝකයක් තුළ සමාජයක් තුළ සියලුම දේ විකිණීම සඳහා යයි සිතා ක්‍රියාවට නංවන ආර්ථික ක්‍රමයක් පැවතීමද උක්ත සියල්ලෙහි සැබෑ වටිනාකම් සහ සාරයන් අබිබවා මුල්‍ය මූලික කරගත් සිතීමක් කෙරෙහි පොලඹවා ඇත. ඒ තුළ සාරය යනු කුමක්ද යන්නම ප්‍රශ්නකාරී වේ.

උක්ත කාරණය දීර්ග සාකච්චාවක අංශු මාත්‍රයක් විනිවිද දකින්නට යොදා ගැනීමට මෙහිදී උත්සාහ ගන්නා අතර මෙවැනි ලිපි දහස් ගණනින් ලියවුණද මේ ලෝකය ජිවත් කරවන සැබෑ ජනතාවක් පෙළගැසෙන තුරු කිසිවක් සිදු නොවන බව ආරම්භයේදීම පැවසිය යුතුය. සැබෑ ජනතාව යන්න මේ යුගයේ මනන්කල්පියක් ලෙස යොදාගත් බව කරුණාවෙන් සලකන්න. ඉහතින් මතුකිරීමට උත්සාහ ගත් පරිදි සියල්ල විකිණීම පරම ආර්ථික උපාය මාර්ගය කරගත් මේ සමාජයේ මිනිසා වෙළඳ භාණ්ඩයක් වී හමාරය. සියලු විවේචනයන්ට ඉඩතබමින් එය “මිනිස් වෙළඳාම” “තැනැත්තන් වෙළඳාම” එසේත් නැත්නම් පරණ බර වචනයෙන් ‘කූට්ටනය’ ලෙස හැඳින්විය හැකිය. නමුත් මේ සඳහා සුදුසුම වචනය “නූතන වහල් වෙළඳාම” වේ. මේ ආකාරයෙන් වචන දෙක තුනකින් මෙය පැවසුවද මේ වනාහී යුග ගණනාවක් තිස්සේ විවධ ස්වරුපයන්ගෙන් පැවත ආ ශිෂ්ට යයි පවසන සමාජයක අශිෂ්ට ආර්ථික උපාය මාර්ගක්  බවට රාජ්‍ය අනුග්‍රහයන් යටතේම පත් ඇත.  

මෙම මිනිස් වෙළඳාම, නැතහොත් තැනැත්තන් වෙළඳාම ආකාර කිහිපයකට සිදු විය හැකිය. ශ්‍රමය සූරාකෑම, ලිංගික අපයෝජයට යෙදවීම සහ ලිංගික සූරාකෑම, බලහත්කාරයෙන් වැඩ ගැනීම හෝ සේවයේ යෙදවීම, වහල් සේවයේ හෝ ඊට සමාන කටයුතු වල යෙදවීම, ශරීර අවයව ඉවත් කිරීම සහ ඉවත් කරවීම, ප්‍රවාහනය කිරීම යනාදිය ඒ අතර වේ. මෙය නූතන ක්‍රමයට සිදු වන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව, කර්මාන්ත ශාලා, වතුකරය, ගෘහ සේවිකාවන් නවතාගෙන සේවය ලබා ගන්නා නිවෙස් වල, සහ සංක්‍රමණික කාන්තාවන්ගේ ජිවන තත්ත්වයන් හොඳින් අධ්‍යයනය කළහොත් පෙනී යයි. එසේම මෙම තැනැත්තන් වෙළඳාම බොහෝ විට අදෘශයව (නොපෙනෙන අයුරින්) සමාජය තුළ පැතිර පවතී.  

කුට්ටනය සම්බන්ධව ශ්‍රී ලංකාවේ නිතිය තුළ අර්ථ දක්වා ඇතත් මේ සම්බන්ධව වන පැමිණිළි සහ නඩු විභාග වල අඩුවක් දක්නට ලැබේ. මිනිස් වෙළඳාම එසේත් නැත්නම් කූට්ටනය පිළිබඳව දණ්ඩනීති සංග්‍රහයේ වගන්ති මගින් සහ ඊට පසු කාලීනව එකතු කරන ලද සංශෝධනයන් මගින් පැහැදිළි කර ඇත. 2006 අංක 16 දරන දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත මගින් මේ පිළිබඳව අර්ථ දක්වා ඇති අතර ඊට එරෙහිව ලබා දෙන දඬුවම් පිළිබඳවද සඳහන් කර ඇත. එහිදී ප්‍රධාන ප්‍රඥප්තියේ 360(ඇ) වගන්තිය ඉවත්කර සංශෝධන ඇතුළත් කර ඇති අතර එහි “තැනැත්තන් වෙළඳාම් කිරීම” යන්නෙහි මේ පිළිබඳව අර්ථ දක්වා ඇත. එසේම මේ සඳහා 360 (ඇ) වගන්තියට ඉක්බිතිව 360(ඈ) සහ (ඉ) යනුවෙන් නව වගන්ති ඇතුළත් කර ඇත. එහි වගන්ති කිහිපයක් පහත උපුටා ඇත.

360ඇ. (1) (අ)  මුදල් හෝ වෙනත් ප්‍රතිෂ්ඨාවක් සඳහා යම් තැනැත්තෙකු මිලදී ගන්නා, විකුණන හෝ හුවමාරු කරන නැතහොත් මිලදී ගැනීමට, විකිණීමට හෝ හුවමාරු කිරීමට වෙනත් තැනැත්තෙකු පොළඹවන නැතහොත් යම් තැනැත්තෙකු මිලදී ගැනීම, විකිණීම හෝ හුවමාරු කිරීම සඳහා ප්‍රවර්ධනය කිරීමට, පහසුකම් සැලසීමට හෝ පෙළඹවීමට යම් දෙයක් කරන;

 360ඇ. (1) (ආ) බලහත්කාරයෙන් හෝ අනිවාර්යයෙන් වැඩගැනීම හෝ සේවය ලබාගැනීමේ, වහල්භාවයේ යෙදවීම, පරවශතාවයේ, ශරීර අංග ඉවත් කිරීමේ, වෛශ්‍යා වෘත්තියේ යෙදවීමේ හෝ වෙනත් ආකාරයක යුතු ලිංගික ප්‍රයෝජන ගැනීමේ හෝ යම් නීතියක් යටතේ වරදක් සංයුක්ත වන්නා වූ වෙනත් යම් ක්‍රියාවක් සඳහා යොදා ගැනීමේ කාර්යය සඳහා තර්ජනය කිරීමෙන්, බලහත්කාරයෙන්, වංචාවෙන්, රැවටීමෙන්, පෙළඹවීමෙන් සහ හෝ වෙනත් තැනැත්තෙකුගේ පීඩාකාරී තත්ත්වයකින් අයුතු ප්‍රයෝජන ගැනීමෙන් යම්, තැනැත්තෙකු බඳවා ගන්නා, ප්‍රවාහනය කරන, ස්ථාන මාරු කරන, ආරක්ෂාව සලසා දෙන හෝ ළමයා භාර ගන්නා හෝ වෙනත් යම් ක්‍රියාවක් සිදු කරන කවර හෝ තැනැත්තකු, තැනැත්තන් වෙළඳාම් කිරීමේ වරදට වරදකරු වන්නේය.

උක්ත දණ්ඩනීති සංග්‍රහයේ වගන්ති එලෙසින්ම උපුටා ඇත්තේ එහි සරල කිරීම් මගින් අදාළ අදහස සරල ලෙස තේරුම් යාම සුදුසු නොවන බැවිණි. 360 (2) වගන්තිය මගින් තැනැත්තන් වෙළඳාම නම් වරද සිදු කරනු ලබන තැනැත්තන් සඳහා ලබා දෙන දඬුවම් පිළිබඳව සඳහන් කර ඇත. ඒ අනුව යම් පුද්ගලයෙක් එම වරද සිදු කළහොත් වසර 2කට නොඅඩු වසර 20ක්  නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමකින්ද දඩයකින්ද දඬුවම් කළ හැකිය. ළමයෙකු සම්බන්ධ සිදු වීමකදී එය වසර 3කට නොඅඩු විය යුතු වේ. ( දණ්ඩනීති සංග්‍රහයේ සංශෝධන සහිතව කියවීම මෙහි වැඩිදුර කියවීම් සඳහා ප්‍රයෝජනවත් විය හැකිය)  

1840 මුඩුබිම් ආඥා පනත මගින් හිමිකාරිත්වය, පිළිබඳ සාක්‍ෂි සැපයිය නොහැකි සියළුම ඉඩම්, මුඩු බිම්  හෝ රජයේ ඉඩම් වශයෙන් සලකන ලදී. මුඩු බිම් ආඥා පනතින් ඉඩම් අහිමි වූ බොහෝ දෙනෙක් බ්‍රිතාන්‍යයන්ගේ තේ, කෝපි වගාවන් ආශ‍්‍රිතව සේවය කිරීමට අකැමති වූ අතර ඔවුහු කම්කරු රැකියා සොයා නාගරික ප‍්‍රදේශවලට සංක‍්‍රමණය වූහ. ස්වදේශිකයන් වතුවල වැඩ කිරීමට දැක්වූ අකමැත්ත නිසා 1846දී වතු වගාවන් සඳහා දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වීම ඇරඹීය.  එසේ පැමිණි කම්කරුවන් එදා සිට අද දක්වාම වතුකරයේ මිනිස් වෙළඳාමේ ගොදුරැ බවට පත්ව ඇත. ඔවුන් දැඩි ලෙස ශ්‍රමය සූරාකෑමට ලක් වන්නා සේම වතුකරයෙන් විදේශ රටවලට හා රට තුළම සිදු වන සංක්‍රමණයන් තුළදීද මෙම ජාවාරමේ ගොදුරු බවට පත් වේ. මෙය සංවිධානාත්මකව සහ තනි පුද්ගල වශයෙන් සිදු වන අතර ඒ සඳහා දේශපාලන සහ ආණ්ඩු අනුග්‍රහයද ලැබෙන බව ප්‍රසිද්ධ රහසකි. බදුර්දින්ගේ නිවසේ සිදු වූයේද එයයි. මේ සඳහා සමාජ, ආර්ථික,දේශපාලනික කාරණා සහ සමාජයේ අවවරප්‍රසාදිත කොටසක් නඩත්තු කිරීමද මේ ජාවරමේම කොටසක් බවට පත් වී ඇත.

1854 පිහිටවූ ලංකා වැවිලිකරුවන්ගේ සංගමය වාර්තාගත පළමු සංගමය වූ අතර එය වතු හාම්පුතුන්ගේ සංගමය විය. ඔවුන්ගේ ඉල්ලීම වූයේ වතු සඳහා ලාභ ශ්‍රමය ලබා ගැනීමට අවශ්‍ය රාමුවක් සකස් කර ගැනීම වූ අතර ඊට අනුව රට තුළ නීති සම්පාදනය විය. ඒ හරහා ඉන්දීය සංක්‍රමණික කම්කරුවන්ට ශ්‍රී ලංකාව තුළ වහලුන් මෙන් සේවය කිරීමට සිදු විය. මෙහිදී මෙම මිනිස් වෙළඳාම නමැති ජාවාරමේ බ්‍රෝකර් වූයේ කන්කානිලාය. අද අපි දකින බ්‍රෝකර්ලා එදා කන්කනිලා ය.

අවුරුදු 100කට අධික කාලයක් තිස්සේ තමන්ට ජිවත් වීම සඳහා අවශ්‍ය අවම ජිවන කොන්දේසි පවා ඉල්ලීමට පරපෝෂිත දේශපාලන ධුරාවලින්ගෙන් යැදීමට සිදුව ඇත්තේ මෙවැනි ජාවරම්කාරී පසුබිමකය. 1940 ගණන් වල සිට වතුකරයේ ජනතාවගේ අර්බුධයත් තමන්ගේ බලය වෙනුවෙන් පාවිච්චි කළ වෘත්තීය සමිති සහ එදා ලොක්කන්ගේ පරම්පරා අදටත් වතුකරයේ රජකරති. නමුත් අවුරුදු 75ක් ඉක්මවූ ඔවුන්ගේ පරම්පරාවලට වතුකරය මිනිසුන් සඳහා සුදුසු  වාසභූමියක් කිරීමටවත් හැකි වී නැත. තවමත් තමන්ට කියා අයිති එකතු බිම් අඟලක් නැති මිනිස්සු, ඉගෙනගන්න වයසේදී, මුදල් සොයා කොළඹට හෝ වෙනත් රටකට සංක්‍රමණය වේ. එසේ සංක්‍රමණය වීමේදී ඔවුන් මිනිස් වෙළඳාමට ගොදුරැ වීම බහුලව සිදු වන්නකි. එසේ ගමන් කිරීමේදී නූතන වහල් වෙළඳාමේ තවත් ස්වරූපයක් වන ලිංගික වස්තූන් ලෙස විකිණීම ද සිදු වේ.  

2004 දී සුනාමි ව්‍යසනයට මුහුණදුන් ශ්‍රී ලංකාවේ වෙරළාශ්‍රිත ජනතාව ඇතුළු බොහෝ පිරිසක් මිය ගිය අතර එහිදී දරුවන් අනාථ වීම සහ කාන්තාවන් වැන්දඹු වීමද සිදු විය. විශේෂයෙන්ම සුනාමියෙන් අනාථ වූ දරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් දරුකමට හදා ගැනීමට ගෙනගිය අතර ඒ හරහාම සංවිධානාත්මක සහ තනි පුද්ගල මැදිහත් වීම් මත මිනිස් වෙළඳාමේ ගොදුරු බවටද පත් විය. දරුකමට හදා ගැනීම යන කාරණය හරහා අතරමැදියෙකු ලෙස මුදල් උපයන පිරිස්ද ශ්‍රී ලංකාව තුළ ඒ යුගයේදී බහුලව දක්නට ලැබිණි. එහිදී නෛතික නොවන ක්‍රියාවලියක් හරහා එය සිදු කර ගැනීමට සෑම පාර්ශවයක්ම උත්සාහ ගන්නේ ඒ හරහා සංසරණය වන මුදල් ප්‍රමාණය පාර්ශවයන්ගෙන් පිටතට ගලා යාම වළක්වා ගැනීමට විය හැකිය. මෙහිදී දක්නට ලැබෙන තවත් සංකීර්ණ තත්ත්වයක් වන්නේ තම ඥාතීන් හරහා සහ මව්පියන් හරහාද දරුවන් වෙළඳාමට ලක් වීමයි. සුනාමි තත්ත්වය තුළ පමණක් නොව වෙරළාශ්‍රිතව, සංචාරක කලාප සහ එම කර්මාන්තය ආශ්‍රිතව මෙම මිනිස් වෙළඳාම සිදු වීම සමහර අවස්ථා වල දෙමව්පියන් හරහාම සිදු වීමත් ඛේදවාචකයකි. මෙහිදී ළමුන්ගේ ළමා කාලය සහ අධ්‍යාපනය අහිමි වීම තුළ ඔවුන් වැඩිහිටි වියට එළඹෙද්දී කිසිවක් කරකියාගත නොහැකිව අඳුරු ජීවිතයක අර්බුධයන් ජීවිත කාලයටම උරුම ලද්දන් බවට පත් වේ.

දුෂ්කර ගම් පළාත් වල කාන්තාවන්ට සහ තරුණ තරුණියන්ට කොළඹ සහ ආයෝජන කලාප ප්‍රේක්ශාවක් බවට පත්කර ඇත්තේද කොළඹ ආර්ථිකය පිළිබඳව දෘෂ්ටිවාදීමය සිතුවිලි ගොඩනැංවීම් මගිනි. ප්‍රේක්ෂවක් යනු විස්මිත ආකර්ශනීය සුරපුරයක් බඳු නගරයකි. ග්‍රාමීයව සොච්චම් මුදලකට ගමේ ඇති හැකි අයගේ කටයුතු කරනවාට වඩා, හේනක කුඹුරක වැඩකර හෝ කුලී වැඩක් කර මුදල් උපයනවාට වඩා, ගමේ ගෘහ සේවකයෙක්ව සිටියදී උපයන වැටුපට වඩා වැඩි මුදලක් හම්බ කිරීම සඳහා බොහෝ පිරිස් අහස උසට ගොනැගුනු සුවිසල් මැදුරු කරා හෝ අක්කර ගාණක් පුරා විහිදුණු කර්මාන්ත ශාලා තුළ ගොළු වෙති. එසේ පැමිණි විට, පැමිණෙන අතරමග හෝ පැමිණ සිදු කරන රැකියාව තුලදී මෙම මිනිස් වෙළඳාමට ගොදුරු වේ. විශේෂයෙන්ම මෙලෙස පැමිණෙන බොහෝ කාන්තාවන් සහ තරුණියන් තනි පුද්ගල හෝ සංවිධානාත්මක ජාවාරම්කරුවන්ට හසු වන අතර ඊට හේතුව මෙලෙස පැමිණෙන අය සමාජානුයෝජනය වීම සහ නාගරික සංස්කෘතිය තුළ අතරමං වීමද විය හැකිය. එසේ පැමිණෙන බොහෝ තරුණියන් ආයෝජන කලාප තුල දී ශ්‍රම සූරා කෑමට ලක් වන අතර තවත් පිරිසක් රැවටිලිකාර පුදගලයන් මගින් ලිංගික ලෙස  මිනිස් වෙළඳාමට හසු වේ. බොහෝ දුරට නැවත හැරී බැලීමට පවා අපහසු තත්ත්වයන්ට ජීවිතය ගමන් කළ පසු ලිංගික ශ්‍රමිකයන් ලෙසම සහ  ලිංගික ශ්‍රමිකයන්ගේ බ්‍රෝකර්ලා මගින් නැවත වටයකින් මිනිස් වෙළඳාමේ ගොදුරු බවට ඔවුන් පත් වේ.

ගෘහ සේවය සඳහා කඳුකරයේ සිට සහ වෙනත් දුෂ්කර පළාත් වල සිට සේවයට රැගෙන එන දරුවන් සහ කාන්තාවන්ද ශ්‍රී ලංකාව තුළ බොහෝ සෙයින් මිනිස් වෙළඳාමට හසු වේ. විවිධ තැරැව්කරුවන් හරහා කොළඹ ප්‍රදේශයට සංක්‍රමණය වන අඩු ආදායම් ලාභී පවුල් වල කාන්තාවන් සහ දරුවන් මේ සඳහා බිලි වේ. පිරිමින්ද මේ ආකාරයට මිනිස් වෙළඳාමට හසු වුවද සාතිශය බහුතර කාන්තාවන්ය. උදාහරණයක් ලෙස, හිටපු අමාත්‍ය, රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ වසරකට ආසන්න කාලයක් සේවය කළ හිශාලිණි නම් දැරියක් ජූලි 3 වෙනිදා පිළිස්සීමකට ලක්ව ජූලි 15 වෙනිදා ඇය ප්‍රතිකාර ලබමින් සිටියදී අවාසනාවන්ත ලෙස  මිය ගියාය. මෙම සිදු වීම රට තුළ ඉතා ආන්දෝලනාත්මක සිදු වීමක් බවට පත් වී ඇති අතර මෙහි චූදිතයන් හට එල්ල වී ඇති ප්‍රධාන චෝදනා අතුරින් එකක් වන්නේ මිනිස් වෙළඳාමයි. එහිදී හෙළි වී ඇති කරුණු අනුව එකම බ්‍රොකර්වරයෙකු විසින් කාන්තාවන් බොහෝ ප්‍රමාණයක් මෙම නිවසට සපයා ඇති අතර අවසානයට මිය ගිය හිශාලිණි නම් දැරියගේ වැටුප් පවා ගෙවා ඇත්තේ යටකී බ්‍රෝකර් වරයාගේ ගිණුමක් හරහාය. මෙහිදී එම දැරියගේ දෙමව්පියන් හට එම දැරියව බැලීමට පවා ඉඩ ලැබී නැත. එසේම කුට්ටනයේ එක් ස්වරුපයක් වන ලිංගික සූරාකෑම, ලිංගික අපයෝජනයද මෙහිදී කාන්තාවන් කිහිප දෙනෙකුටම සිදු වී ඇති බව වාර්තා වේ. දණ්ඩනීති සංග්‍රහයේ  මෙය වනාහී තැනැත්තන් වෙළඳාමකි. එසේම මෙය එක් උදාහරණයක් පමණි. මෙවැනි සිදුවීම් හරහා මිනිස් වෙළඳාමේ සැබෑ ස්වරූපය මැනවින් වටහා ගත හැකි වන අතර තවදුරටත් මිනිසුන් මිනිසුන් අතර, මිනිසුන්ගේ ශ්‍රමයේ සැබෑ වටිනාකම් පිළිබඳව තිබෙන සම්ප්‍රදායික ව්‍යාජ අදහස් පද්දධතිය බිඳ වැටේ. කිනම් ආර්ථික තත්ත්වයක සිට කිනම් රැකියාවකට පැමිණියද සාටෝපවත් දිවිපවතුම් ගතකරන ප්‍රභූන්ගෙන් විතැන් වෙන නිර්ප්‍රභුන්ගේ ජිවිත පිළිබඳවද මෙහිදී ඉතා හොඳින් වටහාගත හැකි වේ.

විදේශ රට වල රැකියා සඳහා ගිය විටද මෙය මේ ආකාරයෙන්ම සහ විවිධාකාරයේ බරපතල ස්වරූපයෙන් ද සිදු වේ. මෙය විදේශීය කුට්ටනය ලෙසද හඳුන්වයි. විදේශ රැකියා සඳහා යාමේදී නොදන්නා රටකට නොදන්නා භාෂාවක ලියකියවිලි ටිකක අත්සන් සහිතව ඒජන්සි නම් අතරමැදියන් හරහා ද නීති විරෝධී අතරමැදියන් හරහාද මෙය බහුලව සිදු වේ. විදේශ ගත වීමට පෙරදීද මෙම වෙළඳාමේ ගොදුරු බවට පත් වන අතර ගිය පසුද නැවත පැමිණි විටද මෙය සිදු විය හැකිය. මෙලෙස විදේශගතවන කාන්තාවන් බොහෝ පිරිසක් හාම්පුතුන්ගේ සහ විවිධ පුද්ගලයන්ගේ ජාවාරම් සඳහාද ලිංගික සූරාකෑම් සඳහා ගොදුරු වේ. විදේශ සේවා  නියුක්ති කාර්යාංශය විසින් නැවත පැමිණෙන සංක්‍රමණික කම්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් කරන බව පැවසුවද එය සිදු වූවාද යන්න කිසිවෙක් නොදනී. කෙසේ වුවද වසංගත කාලයක් තුළ පවා මෙය සිදු වන බව සමහර ගෘහ සේවකයන්ගේ ගැටළු දෙස බැලීමේදී පෙනී යයි. වසංගත තත්ත්වය තුළ කම්කරුවන්ගෙන් දැඩි ලෙස ශ්‍රමය සූරාකෑමට සහ ලිංගික අඩත්තේට්ටම් වලට යොදා ගැනීමට උත්සාහ ගැනීම පිළිබඳව සිදුවීම්ද වාර්තා විය. එහිදී වසංගතය හමුවේ ආර්ථිකය අන්ත අඩියකටම වැටුණු බොහෝ සංක්‍රමණික කම්කරුවන් සේම ශ්‍රී ලංකාවේ කම්කරුවන්ද නොඅඩුව ගැටලුකාරී තත්ත්වන්ට මුහුණ දුන්හ.

මිනිසුන් වෙළඳාම ශිෂ්ට සමාජයක දැකිය හැකි ඛේදවාචකයක් බව සෑම තරාතිරමකම පුදගලයන් දැනුවත් කළ යුතුය. මේ පිළිබඳව සමාජය දැනුවත් කිරීම ව්‍යාපෘති වලින් ඔබ්බට ගිය කාර්යයක් විය යුතුය. මිනිසුන් කුණු කොල්ලයට විකිණීමේ ජාවාරම් කරුවන්ට පවතින නීති කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් නීති පවතින තත්ත්වක් තුළදීත් වින්දිතයන්ට ලැබෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවත් විවේචනාත්මකව පිළිගත හැකිය. එසේම මේ පිළිබඳව වාර්තා වීම් සහ පැමිණිළි ලැබීම් ඉතා මන්දගාමී ආකාරයෙන් සිදු වන බවට සඳහන් වන අතර මේ සඳහා රට තුළ බිම් මට්ටමේ යාන්ත්‍රණයක් බිම් මට්ටමේ මිනිසුන් සමගම සකස් කළ යුතු වන්නේය. රට තුළ දේශපාලනික සහ වරප්‍රසාද සහිත වූවන් මෙම ජාවාරමේ කොටස් කරුවන් බව බොහෝ සිද්ධි දෙස බැලූ විට පෙනී යන අතර ශ්‍රී ලංකාවේ නීතියේ සිදුරු වසා දමන ක්‍රමවේදයන් කරා යොමු විය යුතුය. පරිභෝජනයේ අනන්තය සොයා ඉබාගාතේ ඇවිදින ජනතාවට මේ අර්බුධයන්ගේ වසංගතය පෙන්වා දිය යුතුය. ඒ සඳහා වෘත්තීය සමිති සිවිල් සමාජ සංවිධාන විසින් තම න්‍යාය පත්‍ර වලින් සහ හුදු මුල්‍ය ව්‍යාපෘති වලින් ඔබ්බෙහි සිතීමකට ජනතාව ගෙන යන වැඩපිළිවෙළක පෙරටුගාමී කාර්යභාරයක් සිදු කළ යුතුය. එසේ නොවුණහොත් ඉදිරි සටන් වලදී, මිනිසුන් කිහිපදෙනෙකු ඔසවාගෙන යන  විශාල අකුරු සහිත බැනරයක “මිනිසුන් විකිණීමට නොවේ” යන්න ප්‍රධාන ඉල්ලීම බවට පත් විය හැකිය. සියල්ල කුණුකොල්ලයට විකිණෙන සමාජයක මිනිසුන් විකිණීමට ඇත යන්න දවටනය වෙනස්ව වෙළඳපොළේ දැනටමත් ඇත. ඊට එරෙහිව පෙලගැසෙමු.

කල්ප මධුරංග