සෑම දරුවෙකුටම වඩා හොඳ අනාගතයක් - කතිකාවකට ආරම්භයක්

සෑම දරුවෙකුටම වඩා හොඳ අනාගතයක් - කතිකාවකට ආරම්භයක්
අද (20) ලෝක ළමා දිනයයි. එහි මෙවර තේමාව වී ඇත්තේ  'සෑම දරුවෙකුටම වඩා හොඳ අනාගතයක්" යන්නයි. එහි වැදගත්කම හෝ අද දවසේ ළමා ආරක්ෂණ භූමිකාව පිළිබඳ අවධානය යොමු කිරීමට පෙර ලෝක ළමා දිනයේ ආරම්භක අරමුණ හා පසුබිම කෙරෙහි අවධානය යොමුකිරීම වැදගත්ය.
 
ලෝක ළමා දිනය ප්‍රථම වරට 1954 දී,  විශ්ව ළමා දිනය ලෙස ආරම්භ කරන ලද අතර එය සෑම වසරකම නොවැම්බර් 20 දින ජාත්‍යන්තර ප්‍රජාව විසින් සමරනු ලබයි. 1954 දෙසැම්බර් 14 දින 836 (IX) යෝජනාව මගින් මහා සභාව විසින් සියලුම රටවල් විශ්ව ළමා දිනයක් ස්ථාපිත කරන ලෙස නිර්දේශ කරන ලද අතර එය ලෝක ව්‍යාප්ත සහෝදරත්වයේ සහ දරුවන් අතර අවබෝධයේ දිනයක් ලෙස සැමරීමට හැකි විය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ පරමාදර්ශ සහ අරමුණු ප්‍රවර්ධනය කිරීම සහ ලෝකයේ දරුවන්ගේ සුභසාධනය සඳහා කැප වූ ක්‍රියාකාරකම් දිනයක් ලෙස ද දිනය සැමරීමට නිර්දේශ කර ඇත.  නොවැම්බර් 20 දිනය, 1959 දී ළමා අයිතිවාසිකම් ප්‍රකාශය සහ 1989 දී ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය සභාව විසින් සම්මත කරන ලද දිනය ලෙසද වඩාත් අර්ථගැන්වී තිබේ.
 
වඩාත් පුළුල් ලෙස අනුමත කරන ලද ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම වන ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය, ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා වීම සඳහා ජීවත්වීමට, සෞඛ්‍යයට, අධ්‍යාපනයට සහ ක්‍රීඩා කිරීමට මෙන්ම පවුල් ජීවිතයට ඇති අයිතිය ඇතුළු ළමා අයිතිවාසිකම් ගණනාවක් දක්වා විහිදී ඇත. , වෙනස්කම් නොකිරීමට සහ ඔවුන්ගේ අදහස්වලට සවන් දීමද මෙහිලා පිළිගැනීමට ලක්ව තිබේ.
 
මෙවර ලෝක ළමා දිනයේ තේමාව වී ඇත්තේ, ' සෑම දරුවෙකුටම වඩා හොඳ අනාගතයක්' යන්නයි. දරුවන්ට එහෙව් අනාගතයක් සඳහා පසුබිම සකස් කළ හැක්කේ කාටද? ලෝක ළමා දිනය ඔවුන්ට අදාළ කර ගැනීම සඳහා මව්-පියවරුන්ට , ගුරුවරුන්ට, හෙදියන්ට සහ වෛද්‍යවරුන්ට, රජයේ නායකයින්ට සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට, ආගමික හා ප්‍රජා වැඩිහිටියන්ට, ආයතනික ව්‍යාපාරික ප්‍රජාවට සහ මාධ්‍ය වෘත්තිකයන්ට මෙන්ම තරුණයින්ට මෙලෙස දරුවන් වෙනුවෙන්  වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකිය. ලෝක ළමා දිනය අප සෑම කෙනෙකුටම ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට, ප්‍රවර්ධනය කිරීමට සහ සැමරීමට, දරුවන් සඳහා වඩා හොඳ ලෝකයක් ගොඩනඟන සංවාදවලට සහ ක්‍රියාවන්ට පරිවර්තනය කිරීමට ආනුභාව සම්පන්න ප්‍රවේශයක් ලබා දෙන බැව් පැහැදිලිය.
 
මෙවන් සංදර්භයක ලාකේය සමාජය තුළ දරුවන් අත්දකින ඛේදවාචකය සුළුපටු නොවන බැව්ද අප විසින් අමතක නොකළ යුතුය. පසුගිය සති අන්තය තුළද අසන්නට දකින්නට ලැබුණේ කුඩා දරුවන් හිංසනය හා අපයෝජනයට ලක්වන ප්‍රවෘත්තීන්ය. එහිදී වඩාත් අවධානයට ලක්වූ සංසිද්ධි දෙකක් පමණක් මෙහිලා සිහිපත් කළ හැකිය. පළමුවැන්න ඥාති සහ සම්බන්ධයක් පවත්නා පාසල් වෑන් රථ රියදුරෙකු විසින් බාලවයස්කාර පාසල් සිසුවියන් දෙදෙනකු අපයෝජනයට ලක් කිරීමය. දෙවැන්න බාල වයසක්කාර පිරිමි දරුවෙකු විසින්ම බාලවයස්කාර දැරියකට ලිංගික අතවර සිදුකිරීමය.
 
පළමු සිද්ධියේදී බණ්ඩාරවෙල, වැවතැන්න ප්‍රදේශයේ පාසල් වෑන්රථ රියදුරෙකු විසින් වසර 10ක් පුරා එම දැරියන් දෙදෙනා අපයෝජනයට ලක්කර ඇතැයි අනාවරණය වී ඇත. එකම පවුලේ අක්කා සහ නංගීව මෙලෙස අපයෝජනයට ලක්කර ඇත්තේ 41 හැවිරිදි එම දැරියන්ගේ නැන්දාගේ පුතා බව පොලීසිය පවසයි. බාල දියණියට වයස අවුරුදු 4ක්ව සිටිය දී සහ වැඩිමහල් දියණියට වයස අවුරුදු 9ක් ව සිටිය දී ඔවුන් අපයෝජනයට ලක්කර ඇති අතර, මේ වනවිට දැරියන් ව අවස්ථා ගණනාවක දී අපයෝජනයට ලක්ව ඇතැයි අනාවරණය වී තිබේ. පසුගිය දිනක දී අදාළ සැකකාර රියදුරා යළි  බාල දියණියව අපයෝජනයට පත්කිරීමට උත්සහ කිරීමේ දී ඇය සිය සහෝදරිය සමග ඒ බව බණ්ඩාරවෙල පොලීසියට දැනුම් දීමෙන් පසු අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු එම ප්‍රදේශයේ තවත් දැරියන් කිහිපදෙනෙකු  අපයෝජනයට ලක්කර ඇතැයි වාර්තා වන අතර, බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත.
 
මෙය හුදෙක් එක් සංසිද්ධියක් ලෙස සලකා බැහැර කරලිය හැකි නොවේ. මන්ද යත් විටෙන් විට මෙවන් සිදුවීම් රාශියක් වාර්තා වී ඇතිවා මෙන්ම මින් ඉදිරියටත් වාර්තා වනු හැකි නිසාය. එක් පසෙකින් දරුවන් බාහිර පුද්ගලයන්ට විවෘත වන අවස්ථාවන් හැඳිනීමත්, ඒ් ඒ් පුද්ගලයින් පිළිබඳ මනා අවධානයෙන් පසුවීමත්, දරුවන් සමග අති සමීප සබඳතා පවත්වා ගනිමින් ඔවුන්ගේ සුළු වෙනස් හැසිරීමක් පවා දැඩි සැලකිල්ලට භාජනය කිරීමත් වැදගත්ය. අනෙක් අතට ඇතැමුන්ගේ පටු දේශපාලන වුවමනාවන් මත බැහැරට තල්ලු වී ගියද, 'හතේ අපේ පොත' වැනි ජාතික වැදගත් කමකින් යුතු කෘති මගින් ළමා මනසට ගැලපෙන පරිදි ලිංගික දැනුම ලබාදීමද අත්‍යවශ්‍යය. අනෙක් පසින් නීතිය දැඩි විය යුතු අතරම තව දුරටත් මෙවැනි අපචාරකරුවන් ට කිසිසේත්ම ගැලවී යා නොහැකි පරිදි විධිවිධාන සකස් කළ යුතුය. 'ළමා ආරක්ෂණ අධිකාරිය' වැනි ආයතන පැවතියද, එකී බලධාරීන් පවා හැසිරෙන්නේ දරුවන් ආරක්ෂා කිරීමට වඩා තව තවත් ඔවුන් ගොදුරු බවට පත්කරවන තැනට බැව් මෑත කාලීන සිදුවීම් විසින් යළි යළිත් පසක් කරදෙයි. 
 
 
දෙවැනි සංසිද්ධිය මීට වෙනස්ය. ඒ් වයස අවුරුදු 5යි මාස 10ක දැරියක අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකු පරිවාස භාරයට යොමුකර තිබීමයි. කුලියාපිටිය මහෙස්ත්‍රාත්, ජනනි එස්. විජේතුංග මහත්මිය විසින් අදාළ නියෝගය නිකුත් කර ඇත. එම නියෝගය නිකුත් කරමින් මහෙස්ත්‍රාත්වරිය කියා සිටියේ, අන්තර්ජාලයයෙන් දරුවන් අධ්‍යාපනයේ යෙදී සිටින අතරතුර සිදුකරන ක්‍රියාකාරකම් පිළිබඳ ව දෙමාපියන් සුපරික්ෂාකාරී නොවුණහොත් එම දරුවාගේ පරිහානියට දෙමාපියන් ද වගකිවයුතු බවය. කෙතරම් කාර්යබහුල වුවත් දරුවාගේ කටයුතු හා ක්‍රියාකාරකම් පිළිබඳව අවධානය දෙමාපියන්ගේ අංක එක නොවුවහොත් ඇතිවන තත්ත්වය දරුවාගේ පමණක් වරදක් නොවන බවද කුලියාපිටිය මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.
 
 
එමෙන්ම කොරෝනා ව්‍යසනයෙන් රට වසාදැමීමට පෙර පාසල් පැවැත්වූ සමයේ සැකකාර දරුවාගේ පාසලේ 11 වසරේ ඉගෙනුම ලබන වැඩිමහල් සිසුන් කිහිපදෙනකු ගූගල් හා යූටියුබ් සෙවුම් මාධ්‍ය ඔස්සේ අසැබි දර්ශන නැරඹිය හැකි බවට ලබාදුන් උපදසේ අනුව සැකකාර දරුවා සිය ටැබ් පරිගණකය ඔස්සේ එම අසැබි දසුන් මාස තුනක පමණ කලක් නරඹා ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. සිය මවගේ සොහොයුරාගේ වයස 5ක දැරිය සමග එම අසභ්‍ය දසුන්වල ඇති දෑ අත්හදා බැලූ බව සැකකාර දරුවා පැවසූ බව පරිවාස නිලධාරීනිය සඳහන් කර ඇත. 
සැකකාර දරුවා වෙනුවෙන් පෙනිසිටි නීතිඥවරයා ඉල්ලා සිටියේ ඇතිව තිබෙන ආරවුල් ආදිය හේතුවෙන් දෙපැත්තකින් දරුවා තැළෙමින් පවත්නා බැවින් එම බලවස්කාර සැකකරුට සුදුසු ඇපයක් ප්‍රදානය කරන ලෙසය.
 
අදාළ වින්දිත දැරිය කුලියාපිටිය රෝහලකට ඇතුළත් කර ඇති බවද පොලීසිය අධිකරණයට කරුණු දක්වා තිබුණු අතර කරුණු  පිළිබඳ අවධානය යොමුකළ මහෙස්ත්‍රාත්වරිය, සැකකාර දරුවාගේ මව කැඳවා දරුවා අන්තර්ජාලය සමගින් කරන ගනුදෙනු පිළිබඳව දෙමාපියන් ලෙස දක්වා තිබෙන නොසැලකිල්ල හේතුවෙන් තමන්ගේ දැරුවාගේ අනාගතය තමන් විසින්ම විනාශ කරගෙන ඇති බව අවධාරණය කළාය. එමෙන්ම දරුවකු එම වයසේදී මෙවැනි තත්ත්වයකට පත්වීමට දෙමාපියන් සෘජුව වගකිවයුතු බවත් දරුවන් යනු දෙමාපියන් විසින් මෙහෙයවිය යුතු පිරිසක් බවත් ඇය පැවසුවාය. පොලීසිය ඉල්ලා සිටි පරිදි විඩියෝ සාක්ෂි ලබාගැනීමට ළමාරක්ෂණ අධිකාරයට මහෙස්ත්‍රාත්වරිය නියම කළාය. එමෙන්ම සැකකාර දරුවාට රුපියල් ලක්ෂ 4ක ශරීර ඇපයක් නියම කරමින් එම ඇපය දැරුවාගේ මව විසින් තැබිය යුතු බවට කොන්දේසි නිකුත්කර තිබුණි.
 
මෙම දෙවන සංසිද්ධිය කෙරෙහි ද විශේෂ අවධානයක් යොමුවිය යුතුමය. මන්ද යත් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල් දරුවන්ට ෂූම් මගින් පාඩම් පැවැත්වීම තුළින් අන් කවරදාටත් වඩා දරුවන්ට අන්තර්ජාලය පරිහරණය කිරීමට සිදුවීමත්, පරිගණක සාක්ෂරතාව, නව යෞවන දරුවන්ගේ මනෝභාවය කෙරෙහි විශේෂ අවධානය යොමුකරවමින් යම් වැඩපිළිවෙළක් සකස්විය යුතු නිසාය. නවීන තාක්ෂණය, මාර්ගත අධ්‍යාපනය කිසිසේත්ම බැහැරකරලිය හැක්කක් නොවන බැවින් අවශ්‍ය වන්නේ දරුවන්ට තාක්ෂණයට වැටබැඳීම නොව නිසි මගපෙන්වීමක් ලබාදීම හා සාධනීය ලෙස දේවල් තෝරාබේරා ගැනීමට මෙන්ම වයසට නුසුදුසු ක්‍රියාවන්ට යොමුවීමට පවත්නා ඉඩකඩ අහුරාලීමය. බලධාරීන්ගේ අවධානය ඒ් කෙරෙහි වඩාත් යොමුවිය යුතු බව මෙවර ලෝක ළමා දිනයේදී අවධාරණය කළ යුතුය
 
ළමයින් සහ තරුණයින් තම පරම්පරාවට වැදගත් වන ප්‍රශ්න පිළිබඳව දැනටමත්, හඬ නඟන අතර යහපත් අනාගතයක් නිර්මාණය කිරීමට ඔවුන් වැඩිහිටියන්ගේ දායකත්වය ඉල්ලමින් සිටියි.  වසංගතයෙන් ලෝකය යථා තත්ත්වයට පත් වන විට, වෙන කවරදාටත් වඩා අප ඔවුන්ට සවන්දීම වැදගත්ය. ඒ් සඳහා අප සූදානම්ද යන්න අද දවසේ යළි යළිත් ඇසිය යුතු ප්‍රශ්නයයි.
 
 
- පී.ඩබ් මුතුකුඩආරච්චි