කාන්තාවන්ට හිමිවිය යුත්තේ සම තැන නොව නිසි තැනයි

කාන්තාවන්ට හිමිවිය යුත්තේ සම තැන නොව නිසි තැනයි

කාන්තාවන්ට හිමි විය යුතු තැන කොතැනද යන කාරණාව සම්බන්ධයෙන් කතිකාවන් විවිධ සමාජතලවල විවිධ හැඩවලින් සාකච්ඡාවට බඳුන් විය. එහිදී ලැබිය යුත්තේ නිසි තැනද සම තැනද යන කරුණ විවාද සම්පන්නය. නිසි තැන අර්ථ ගැන්වීමේදී එය පැහැදිලි කිරීම පහසු කාර්යයක් නොවෙයි. මේ සම්බන්ධයෙන් විවිධ පර්යේෂණයන් විවිධ සමාජවල තවමත් සිදු කෙරෙයි.

ආසියාතික කාන්තාවන්ට වඩා බටහිර රටවල්වල බොහෝ විට ස්ත්‍රීවාදී සංවිධාන නිර්මාණය වී ඇත. එහිදී ඇගේ අයිතීන් පිළිබඳ පළමු වැනි වතාවට තම පෑන අතට ගනු ලැබුයේ ද පුරුෂ පාර්ශ්ව විසිනි. කාන්තාවන් උතුම් තැනක තැබීමට බෞද්ධ ආකල්පමය චින්තනමය පෙරළි සිදුවූ ඉන්දියාව වැනි රටවලද පසුකාලීනව ඇයගේ අයිතිවාසිකම් සංස්කෘතිකම සාරගර්භ වැනි කරුණු නිසා යළිත් අහිමි වී ඇත. එහි ප්‍රතිඵල ලෙස දෑවැද්ද සහ සති පූජා වැනි දේ සහ ස්ත්‍රී සුන්නත්භාවයට පත් කිරීම්, තරුණ, කුඩා ගැහැනු දරුවන් වයස්ගත මහල්ලන්ට විවාහ කරදීම වැනි චාරිත්‍ර මඟින් කාන්තාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් අහිමි කර ඇත.

අඳුරු වලාකුළු ඉවත් කරමින් ඒ සමාජවල ප්‍රශ්න අරබයා වාදවිවාද කථිකා ගොඩනඟා ගනිමින් ඇයට නිසි තැන ලබාදීමට මතවාද සහ නිරූපණ ඇතිවී තිබේ. එවැනි සමාජවල එදා මෙදාතුර මේ පීඩනයන්ට එරෙහිව නැඟී සිටීම් දක්නට ඇත.

විශේෂයෙන් අප්‍රිකානු සහ ඉන්දියානු කාන්තාව තම කලාත්මක නිර්මාණවලින් දැවැන්ත සමාජ පෙරළියක් ඇති කිරීමට උත්සාහ කළ අවස්ථා ද වෙයි. සෝමාලියාව ඉන්දියාව වැනි රටවල්වල සංස්කෘතියට එරෙහිව වාරිස් ඩයරි විසින් ‘කාන්තාරයේ කුසුම නවකතාව සහ දීපා මේතාගේ ‘වෝටර්‘ වැනි සිනමාපටවලින් එවක සමාජය විවේචනයන්ට ලක්කරන ලදී.

විශේෂයෙන් 21 වැනි සියවස වනවිට ඇතැම් සමාජවල පැවැති මතවාද අතික්‍රමණය කරමින් රැඩිකල්වාදී මතවාද තුළින් නැඟී සිටීමට බටහිර කාන්තාවෝ යත්න දැරූහ. බටහිර සමාජ සංස්කෘතිය තුළ පවා ඒ ස්ත්‍රීවාදය බොහෝ විවේචනයට ලක්වූ අවස්ථාද වෙයි. ‘කළු ස්ත්‍රීවාදය‘ සහ ‘අන්තවාද ස්ත්‍රීවාදය‘ වැනි නම් වලින් හඳුන්වන මේ මත විවේචනය වෙසින් දෝලනය වෙමින් අද දක්වාම විකාශනය වෙයි. ආසියාතික කාන්තාව සහ දරුවා අතර අවියෝජනීය බැඳීමක් පැවැතියත් එය අභියෝගයට ලක් කරමින් බටහිර ඇතැම් අන්තවාදී ස්ත්‍රී සංවිධාන මාතෘත්වය, දරුවන්ට මවු කිරීදීම වැනි උත්තරීතර කැපකිරීම්වලට මිලක් නියම කිරීම දක්වා යොමුවී ඇත.

බටහිර අන්තවාදය තුළ ගම්‍යමාන කිරීමට උත්සාහ කරන නිසි තැන සංකල්ප කෙතරම් රැඩිකල් වුව ද දකුණු ආසියාතික කාන්තාව ඊට එහා තැනක සිට නිසිතැන යන කාරණාව අර්ථ ගැන්වීමට උත්සාහ දරයි. ඒ අනුව එම සමාජවලට ආවේණික ගති ස්වභාව සහ සමාජ සංස්කෘතික සන්දර්භ අනුව නිසිතැන හෝ සමතැන යන අර්ථකථනනිර්ණය වෙයි.

මේ සමතැන නිසි තැන යන කරුණ අර්ථකතනය කිරීම විවාද සම්පන්න මාතෘකාවක් වන්නේ මේ ප්‍රස්තුත කාරණා පදනම් කරගෙනයි.

පැරණි විස්තෘත පවුල් ඒකකයේ දකුණු ආසියාතික කාන්තාවට පවුල තුළ විශාල ගැටලු නොවීය. ශ්‍රම දායකත්වය සඳහා බොහෝ පිරිස් විය. ඉතිහාසයේ කිසාගෝතමියන්, යශෝධරාවන් වැනි චරිතයන්ද හා ලංකාවේ කුවේණිය වැනි චරිතයන් වගකීම් උපරිමෙන් දැරූ ස්ත්‍රීන්ය. එදා වගකීම් ඉටු කළ ගැහැනියකට පිරිමියාගෙන් නිසි තැන නොලැබුණ ද ඒ සමාජ වටපිටාව තුළ එය විවාදාපන්න නොවීය. කුවේණියට එදා සෝචනීය ඉරණමක් අත්වුවද ඇයට ඒ වෙනුවෙන් සටන් කිරීමට සමාජ සංස්කෘතික වටපිටාවක් නොවිණි. ධාරක කැපවීම් කිරීම් වැඩි ස්වාමි භක්තිය ඇති ඉතිහාසයේ ඒ සමාජවල කාන්තාවන්ට සංස්කෘතික හිරවීම එතරම් ගැටලුවක් නොවීය. එදා පිරිමින් උපයන්නන්වූ අතර සමාජයේ පිරිමියා උපයන දේ කළමනාකරණය කරමින් දරුවන් හදාවඩා ගැනීම ගැහැනියට පැවරිණි.

ඒ විස්තෘත පවුල ඒ ක්‍රමවේද ඒ අකාරයෙන්ම ගළපාගෙන පැමිණියද කාර්මිකරණයත් සමඟ අධ්‍යාපන අවස්ථාවන් ගැහැනියටත් හිමිවීමත් සමඟ ඇය දේශපාලනික සමාජ සංස්කෘතික ප්‍රවාහ සමඟ බද්ධ වීම ආරම්භ විය. කාලයාගේ ඇවෑමෙන් මෙරට ද විස්තෘත පවුල න්‍යෂ්ටික පවුල දක්වා පරිවර්තනය විය. 1977 විවෘත ආර්ථිකයත් සමඟ මෙරට කාන්තාවගේ භූමිකාවද උඩුයටිකරු විය. විශේෂයෙන් ස්වයංපෝෂිත අර්ථ ක්‍රමයක් තුළ කුටුම්භයට සීමාවූ කාන්තාවගේ භූමිකාවන් රට තුළ පමණක් නොව ලෝකයට ම විවෘත විය. මේ සමාජ ප්‍රවාහයේ ඇයට විස්තෘත පවුලේ වූ විවේකය නව න්‍යාස්ටික පවුලේ නොවීය. සාම්ප්‍රදායික සමාජ ක්‍රමවේදයන්ගෙන් ඇයට උරුම වූ ගෘහණියකගේ කාර්ය මෙන්ම අධ්‍යාපනය දියුණු වීමත් උගත් කාන්තාවන් වගකිම් සහිත රැකියාවල යෙදීමත් නිසා ආර්ථික ප්‍රවාහයේ ඇය උපයන්නියක් විය. සමාජ ජිවිතය තුළ ඇය උපයන්නියක් ලෙස ගෞරවනීය ක්ෂේත්‍රයන්හි විසරණය වුවත් කුටුම්භ තුළ ඇයට සාම්ප්‍රදායික පිතෘ මූලික සමාජය විසින් උරුම කළ කාර්යභාරයම එලෙසින්ම ඉටු කිරීමට සිදු විය.

ස්වාමිපුරුෂයාට පක්ෂපාතිව දරුවන්ගේ කටයුතු සියල්ල කළමනාකරණය කිරීම වැනි කාර්යයන් ඇයටම උරුම කාර්යයක් බවට පත්විය. ඒ සම්ප්‍රදායක මතය නවීකරණය වූ සංකීර්ණ සමාජයෙන්ද අතුගා දැමීමට නොහැකි විය. වර්තමාන සමාජ සන්දර්භය තුළ වුවත් නාගරික සමාජයේ පටන් ගැහැනිය කෙරම් සමාජ තරාතිරම නියෝජනය කළත් නි‍ෙවසේ කාර්ය ඇයට පමණක් පැවරීම සුවිශේෂිත කරුණකි.

විශේෂයෙන් කාන්තාවක ඔසප් වේදනාව දරුවන් පිළිසිඳ ගැනීමේදී සිට බිහි කිරීමේ වේදනාව දරුවන් හදා වඩා ගැනීම වැනි කාරණාවලදී අධික වෙහෙසට පත් වෙයි. පිරිමියකුටත් වඩා ගැහැනියකට ශාරීරික ශක්තියට වඩා මානසික ශක්තියක් වෙයි. මේ නිසා ගැහැනුන්ගේ භූමිකාවන් කොතරම් විස්ථාරණය වුවද සමාජ ක්‍රමය තුළ සකලවිධ භූමිකා සියල්ලේදීම වගකීම ඇයට නිතැතින්ම පවරාදී ඇත. සෑම පිරිමි ආකෘතියක්ම නිර්මාණය කර ගැනීමට උත්සාහ කරන ගැහැනිය, ඔහුගේ සහ දරුවන්ගේ කාර්යයන් ඉටු කරන්නීයක් සහ ආර්ථිකයට දායකත්වය දෙන ගැහැනිය වෙයි. වර්තමාන සංකීර්ණ සමාජයේ මේ සියල්ල ඉටු කිරීම ඇගේ පරම වගකීම බව සමස්ත සමාජයම පිළිගැනීම ඇයට අභියෝගයක් වී ඇත. ලිබරල් චින්තනමය හර පද්ධතීන් ඇති සමාජ වටපිටාවක ගැහැනිය එවැනි තැනකට සිරවී සිටිය යුතුද ?

ගැහැනියකට නිසි තැන යන කාරණා එක් එක් සංස්කෘතිවල පවුල් සංස්ථාවේ අද වනවිට ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්වී ඇත.

එය පුපුරා යාමේ එක් ප්‍රතිඵලයක් ලෙස දික්කසාද සම්බන්ධයෙන් ඇති වී ඇති වැඩි ප්‍රවණතා සැලකිය හැකිය. මානසික ආතතිය, අවිවේකි බව වැනි විශාල ගැටලු රැසකට ඇය පත්වී ඇත. අනෙක් පාර්ශ්වයන්ගේ සහාය නොලැබීම තුළ ඇය දැඩි පීඩාවන්ට ලක්වී ඇති අතර සම්ප්‍රදායික ආකල්පවල එල්ඹගෙන තවදුරටත් පවුල තුළ සිරවී නොසිටීමට වත්මන් කාන්තාව රැඩිකල් තීන්දු තීරණයන්ට එළැඹීම සුලබ වී ඇත. මේ අනුව විවාහය වැනි ගැඹුරු වටිනාකමක් ඇති සමාජ මානව විද්‍යාත්මක සංකල්පය වුවත් බිඳ දමමින් ඇය දික්කසාදයට යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ඇත. විවාහ වන්නන්ගෙන් 50%ක් මානසික සහ නීත්‍යානුකූල දික්කසාදවලට යොමුවීමේ වැඩි ප්‍රවණතාවක් ඇත. නීතියෙන් නොව මානසිකව දික්කසාද වූ පවුල් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමට විශාල වශයෙන් ගෘහස්ත ජීවිතයේදී ලබන ඇගේ පීඩාව හේතු වී ඇත.

සමස්ත සමාජයම මව බිරිය සහෝදරිය සහ දියණිය යන ආකාල්පයන් තුළ සිටිමින් ඇය දකින්නේ නම් සියලු කාන්තාවන් සුරක්ෂිත වෙයි. අද සමාජයේ කිසිඳු ගැහැනියක් සුරක්ෂිත නැති තත්ත්වයක් දක්නට ඇත. ලිංගික අතවරවලට ලක්වන කාන්තාවන්, ගෘහස්ථ හිංසනයකට ලක් වන කාන්තාවන් විශාල වශයෙන් වෙයි. ගැහැනියක් උද්‍යෝගයෙන් සිටින රටක් බිහි කිරීමට නම් ලිංගික අපරාධ, කාන්තා හිංසනයන් අඩුවීම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය අඩු වීම, නීතිය ඉදිරියට යාම අඩුවීම, වින්දිතභාවයට පත්වීම අඩුවිම, ලිංගික අපරාධ ලිංගික ප්‍රචණ්ඩත්ව අඩුවිම වැනි වටපිටාවක් නිර්මාණය විය යුතුය. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ගත්විට පිරිමියාගේ බීමත්කම නිසා ඇය තාඩන පීඩනයන්ටද ලක්වන්නාසේම විදෙස්ගත වූ කාන්තාවන් ද පීඩාවන්ට ලක්වෙයි. කෙසේ වුවත් මෙරට රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන කාන්තා අයිතීන් ගැන කථිකාවන් ගොඩනැඟුවද සමාජයේ ප්‍රායෝගික ක්‍රියාත්මක වීම බෙදීයාම ගැටලු සහගත වෙයි.

මෑතකාලීනව කාන්තාවන් විශාල පීඩාවන්ට ලක්වූ කාලයක් ලෙස කොවිඩ් වසංගත සමය හඳුනාගත හැකිය.

නි‍ෙවසේ සිටිමින් පිරිමියා රැකියාව පමණක් කිරීමත් ගැහැනිය සියලු කාර්යයන් ඉටුකරමින් රැකියාව කිරීමත් ඇය ලැබූ අමිහිරි අත්දැකීමකි. කොවිඩ් වසංගතයෙන් අනතුරුව බටහිර රටවල්වල මේ පිළිබඳව පර්යේෂණ පත්‍රිකාවන් නිකුත් කිරීමද සිදුවිය. ඒ කාලයේ ඇගේ භූමිකාවන් තුළ ඇය දැඩි ආතතියට පත් කරන ලදී. බටහිර පර්යේෂණ දර්ශකයන් අනුව තහවුරු වූ කරුණු වන්නේ කාන්තාවන්ගේ කාර්ය ප්‍රසාරණය වුවත් සහය දැක්වීමට කිසිවකු නොමැති වීම ම ඇගේ ආතතිය වඩාත් වැඩි වීමට හේතුවූ බවයි.

ලිබරල්වාදී මතවාද සියලු සමාජ සංස්කෘතික සම්ප්‍රදායන් තුළ කරපින්නාගෙන සිටියද සාම්ප්‍රදායික කාන්තාවගෙන් ඔබ්බට ගොස් ඇය පිළිබඳ නැවත කියවීමක් නවීන සමාජය විසින් තවමත් සිදු කර නැත.

සමාජ දේශපාලනික වටපිටාව තුළ ඇයට යම් අසාධාරණ වන අවස්ථාද වෙයි. ඇතැම් රැකියාවලදි වැටුප්තලවල පිහිටුවීමේදී එකම රැකියාවකදී කාන්තාවන්ට අඩු වැටුපක් සහ පිරිමියාට වැඩි වැටුපක් ලබාදෙන අවස්ථා වෙයි. කාය ශක්තිය ශ්‍රමදායක්වය සහ හැකියාවන් පිරිමින්ට වඩා වැඩි අවස්ථාවලදීත් එවැනි අඩු වැටුප් ලබන අවස්ථා වෙයි.

කාන්තාවන් කාය ශක්තිය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්ව නිසා එවැනි අඩු වැටුපකට සේවයට බඳවා ගැනීමට හේතුව වී නම් ඇයට ඉතා ප්‍රබල කායශක්තියක් ඇති බවට සරලම උදාහරණය මේ ලොව අපහාසුම කාර්යය වන දරුවෙක් බිහි කිරීමේ ශක්තිය ඇය සතු වීමයි. ගැහැනියකට ආර්ථික ක්‍රමය තුළ ගැහැනු බව නිසා වැටුප්වල විෂමතාවයන් ඇති කිරීම සුදුසුයිද යන්න තීරණය විය යුතුයි.

මාසික ඔසප්විම් දරුවන් බිහි කිරීමෙන් අනතුරුව නිදි මැරීම් මානසික ශක්තිය සහ කාය ශක්තිය යෙදවීමට නොහැකිවන බැරිවන අවස්ථා වෙයි. නමුත් ඒ පිළිබඳ තක්සේරු කිරීම් සැලකිලි ලැබීම් සිදු නොවෙයි. ඇයට ස්වභාවධර්මය සහ ජීවවිද්‍යාත්මක වශයෙන් හිමි වී ඇති විවිධතා පිළිබඳව ඇති ආකල්පය යම් ගැටලු සහගත තත්ත්වයන් වර්ධනය කරයි. මේ වනවිට ආයතන මට්ටමින් සිදුවන ලිංගික හිංසන යම් මට්ටමින් පාලනය වි තිබුණ ද මානසික හිංසනයන් කාර්යාලයේදී මෙන්ම සමාජය සහ දේශපාලන භූමිකාවේ තවමත් පවති. අද වනවිට මේ සංකීරණ සමාජයේ එකිනෙකාගේ ආතතීන් එකිනෙකා හරබයා පිටවෙයි. ඇතැම්විට කාන්තාවට මානසික පීඩනයන් එල්ල වන අවස්ථා වෙයි.

සමාජයේ මෙවැනි තත්ත්ව අවම කිරීමට කුඩා කල දරුවන්ව සමාජානුයෝජනයේදී මේ භූමිකාවන් වලට ගරු කිරීම් ඇගැයීම් කිරීමට හුරුකළ යුතුයි. එකිනෙකා සහයෝගයෙන් සමානාත්මතාවෙන් ජීවත් විය යුතුය යන ආකල්ප ඇතුළු කළ යුතුයි.

නිවසේ සිට කාන්තාවට නිදහස අවහිර කිරීම් මෙන්ම දේපොළ බෙදා දිම්වලදී පරම්පරාව ගෙනයන්නා ලෙස පුරුෂයාට වැඩියමක් ලබාදීම දරුවකු බිහි කරන ඇයට වාසගම්වලදි පවා දරුවකුට යොදන නම සහ කාන්තාවක විවාහයෙන් පසුව පුරුෂයාගේ වාසගම භාවිත කිරීම කාන්තාව අරබයා පමණක් ඇති මේ සීමාවන් දකුණු ආසියාතික සමාජයේ පීඩාකාරී දෙයක් ලෙස කාන්තාවන් ගෙන නැත. කාන්තාව සුමට දායකත්වයක් සමාජ පැවැත්ම සඳහා කොන්දේසි විරහිතවම ලබාදෙයි. එසේම අපේ සමාජ සංස්කෘතිය තුළ දරුවකුට මවගේ නම භාවිත කළහොත් එය එම දරුවා සම්බන්ධයෙන් වෙනම සමාජ කතිකාවක් ගොඩනැඟීම දක්වා ගමන් කරයි.

ගැහැනු පිරිමි විභේදයන් පිළිබඳ සමාජ සංස්කෘතිය තුළ මුල් බැස ඇති ආකල්ප මුලිනුපුටා දැමිය යුතුයි. දේශපාලනික සංස්කෘතිය තුළ ඇයට වැඩි ඉඩකඩක් ලැබෙන පරිසරයක් නිර්මාණය කිරීම වඩා වැදගත් වෙයි. සමස්ත සමාජයේම අපි යන සංකල්පයේ සිට ගැහැනිය දෙස බැලිය යුතු සේම ඇය යටහත් පහත් විය යුතුයි යන සංකල්පය නොව ගැහැනු පිරිමි බැඳිම ශක්තිමත් කිරීම සිදු කළ යුතුය යන මතවාදය ඔසවා තැබිය යුතුය. සියල්ලෝම එකම කුලකයක මිස ගැහැනිය පහළින් පිරිමියා ඉහළින් යන සංකල්පය සමාජ ගත නොවිය යුතුයි.

සමාජය මෙන්ම සම්ප්‍රදායික සංස්කෘතිය වෙනස් වෙමින් පැවැතියත් තවමත් සාම්ප්‍රදායික කාන්තාවට හිමි ප්‍රතිමුර්තියම ඇගෙන් අපේක්ෂා නොකළ යුතුයි. එදා ඇගේ ප්‍රතිමූර්තියම අද දකින්න උත්සහ කළත් සමාජය සංකිර්ණ නිසා ඇයගේ කාර්ය සංකිර්ණ බව සියල්ලෝම වටහාගත යුතුය. එකිනෙකාගේ කාර්ය භාරය විය යුත්තේ පවුලේ සමාජයේ වැඩි දියුණුව යන සංකල්පය විය යුතුය.

නින්දා අපහාස සමාජයෙන් එල්ල වුවද විවාහ බැඳීම් පවා කඩා බිඳ දමමින් ස්වාධීනව තීරණයන් ගෙන ගැහැනිය නිදහස් වීම ආරම්භ කර ඇත. එය නුතන ප්‍රවණතාව බවට පත්ව ඇත. ගැහැනියකට පීඩනය උහුලා ගැනීමට නොහැකිවූ විට නුතන සමාජයේ කාන්තාවෝ ඒ විවාහ බැඳීම් බිඳ දමමින් එතැනින් එහාට යාමට මැළි නොවෙති. දික්කසාද වැනි තීරණාත්මක කරුණු වර්ධනය වීම සිදුවන්නේ මෙවැනි හේතුන් නිසාය.

අද බොහෝ දික්කසාද නඩු පැවැරීම් කාන්තාවන් විසින් සිදු කරයි. සමාජයේ මූලික ඒකකය වන පවුල සෝදා පාළුවට ලක්වී කැඩීබිඳී යාම හොඳ ප්‍රවණතාවක් නොවෙයි. ගැහැනිය එම බැමි බිඳගෙන යෑම පිටුපස ඇය පිඩාවට පත් කරන, යුතුකම් වගකීම් ඉටු නොකරන පිරිමියකු අනිවාර්යෙන්ම සිටිය යුතුය.

සමාජයේ මූලික ඒකකය රැක ගැනීමට පිළියම් සෙවීමට නම් ගැහැනියකට පවුලෙන් ඉවත් වීමට තරම් බලපෑම් වූ සාධකයන් වෙනස් විය යුතුයි. පීඩනයට එරෙහිව සටන් කරන කාන්තාව පිටුපස පිඩාකාරී පිරිමියෙක් සිටිය හැකි නම් එය වෙනස් විමද සිදුවිය යුතුයි. ගැහැනියකට හිමිතැන හඳුනාගෙන සමස්ත සමාජය තම තමන්ගේ වගකීම සමානාත්මතාවකින් යුතුව ඉටු කිරීම කුඩා කළ සිට පුහුණු කළ යුතුය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්තිය පිළිබඳ මහාචාර්ය නේරංජි විජයවර්ධන

(උපුටා ගැනීමකි)