තවත් එක් කාන්තා දිනයක් ?

තවත් එක් කාන්තා දිනයක් ?

ගතානුගතික පුරුදු හෝ වෙනත් හේතුන් මත ස්ත්‍රිය සහ පුරුෂයා අතර යම්කිසි ආකාරයකින් සමාන ඉඩ ප්‍රස්ථා අතර පරතරයක් නිර්මාණය වී තිබේ. එනිසාවෙන් 'ස්ත්‍රිය', 'ස්ත්‍රියක' වීම නිසා ම බලපාන ගැටලු ඇතිවා සේම පුද්ගලයා සමාජ සංස්කෘතික අර්ථකතනයෙන්  ස්ත්‍රියක හෝ පුරුෂයෙකු ඔබ්බට ගිය ලිංගික නැබුරුතාවක් හෝ නැමියාවක් සහිතව සමාජය තුළ ජීවත් වීමේ ද ගැටලු ඇතිව තිබේ. මනුෂයෙකු ලෙස උපත ලබන සත්ත්වයෙකු ලිංගික නැඹුරුතාව මත සමාජීය නාමකරණයන් ඔස්සේ ගැහැනුන් හා පිරිමින් පමණක් කොට හඳුනා ගැනීම සිදු වන්නේ, ගතානුගතික සංස්කෘතික ආගමික සිතීම් මතය. එය ඉන් ඔබ්බට ගොස් දේශපාලනික සහ ආර්ථික තලයන්හි ද ක්‍රියාත්මක වෙයි.

ශ්‍රී ලංකාවේ දී ශ්‍රම බලකාය තුළ ස්ත්‍රීන් සහ පුරුෂයන් නියෝජනය වන ආකාරය පිලිබඳ සමාජ විද්‍යාත්මක සහ සංඛ්‍යාත්මක දත්තයන් ආශ්‍රයෙන් සැසඳිය හැක. ඒ තුළ ද තිබෙන ගැටලුවක් වන්නේ, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් නොවී ස්ත්‍රිය හා පුරුෂයා මත පමණක් පදනම්ව ඒවා ගණනය කර තිබීමයි. ඒ අනුව 2020 වසරට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ 'ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යානවලට අනුව පුරුෂයන් 73.0% ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට කාන්තාවන්ගේ දායකත්වය 34.5% කි. එසේ ම, කාන්තාවන්ගේ විරැකියා අනුපාතය 36.3% ක් වන අතර, පුරුෂයන් අතර එය 21.1% ක් පමණ වෙයි. නමුත් මෙරට කාන්තා ජනගහනය 52%කි. මෙකී තත්ත්වයන්, 2021 ලෝක ආර්ථික සංසඳ (WEF) වාර්තාවට අනුව දැක්වෙන්නේ මෙවන් තත්ත්වයකි. එනම් 2006 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ ස්ත්‍රී – පුරුෂ පරතරය අවම මට්ටමක තිබුණත් 2021 වසර වන විට තීරණාත්මක අයුරින් එම පරතරය වැඩි වී ඇති බවයි. එනම් 2006 දී එකී පරතරය ලෝක ශ්‍රණිගත කිරීම් අනුව රටවල් 156ක් අතරින් 13 වෙනි ස්ථානයේ පසු වුවත් 2021 දී ශ්‍රී ලංකාව 116 වෙනි ස්ථානය දක්වා පහත වැටී ඇත. එනම් වසර පහළොවක් ඇතුළත ස්ථාන 113ක් ශ්‍රී ලංකාව පහත බැස තිබෙන අතර එය වසරක් තුළ ස්ථාන 14ක් පහත වැටීම දක්වා වූ අවධානය යොමු කළ යුතු මට්ටමකට පහළ වැටී ඇත.

නමුත් ලෝක ජනගහනයේ මෙන් ම ශ්‍රී ලංකාවේ ද කාන්තාවන් පුරුෂයින්ට සාපේක්ෂව උපතේදී ආයු අපේක්ෂාව මෙන්ම සාක්ෂරතා මට්ටම ද ඉතා ඉහළ මට්ටමක පවතී. එයට නිදසුන් ලෙස ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පෙන්විය හැක. එය සංඛ්‍යාත්මකව ගත් විට 2015 වසරේ රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා ඇතුලත් කරගනු ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 60%ක් ශිෂ්‍යාවන් වන අතර, උපාධිය සම්පූර්ණ කරනු ලැබූ පිරිසෙන් 68.5%ක් ද ශිෂ්‍යාවන් වේ. වෛද්‍ය, නීති කළමණාකරණ හා ශාස්ත්‍ර යනාදී උපාධි වලට හිමිකම් කියන බහුතරයක් දෙනා වන්නේ ද  කාන්තාවන් වීම විශේෂත්වයකි. නමුත් ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ කාන්තාවන්ගේ සහභාගීත්ව අනුපාතිකය අඩු වීම ගැටලුවකි.

සමාජය ; කාන්තාව සම්බන්ධයෙන් පවතින ගතානුගතික මතවාදවලින් බැහැර නොවීම තුළ, 'කුටුම්භය' යනු කාන්තාව වටා නිර්මාණයක් වූවක් යැයි තවමත් විශ්වාස කරයි. එහි දී කාන්තාව දරුවන් වැදීම, ඔවුන්ව රැක බලා ගැනීම, කුටුම්භයේ ආරක්ෂාව සැලැස්වීම ඇතුළු පවුලේ වැඩවල බර ඈ කරට ගත යුතුය. ඒ සඳහා කාන්තාව සැදී පැහැදී සිටිය යුතුය. කාන්තාව යනු ඒ වෙනුවෙන් ම ඓතිහාසිකව කැප වූ තැනැත්තා යැයි සමාජය සිතති. එනිසා කාන්තාව කොතරම් අධ්‍යාපනයේ ඉහළට ගියත් මෙරට ශ්‍රම බලකායේ කොටස්කරුවෙකු වීම මන්දගාමීව පවතින්නේ එබැවිනි. එලෙස ම මෙහි අනෙක් අන්තය ලෙස කාන්තාවන්ට එරෙහිව රැකියාවේ දී සිදුවන අසාධාරණයන් දැක්විය හැකිය. එහි දී ඔවුන්ට රැකියාවේ උසස්වීම් ලබා ගැනීමේ දී සිදුවන අසාධාරණයන් විශේෂය. මෙරට නීතිය ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා පොලිසියේ ම පිරිමි ජ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිස් දෙදෙනෙකු විසින් ම එහි නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කරනු ලැබූ කාන්තා නිලධාරීවරියකගේ උසස් කිරීම අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට කටයුතු කිරීම ම මෙම තත්ත්වය මනාව පැහැදිලි කරනු ඇත. නීතිය වෙනුවෙන් ක්‍රියාත්මක ආයතනයක තත්ත්වය මෙය නම් අන් ආයතනවලින් මීට වෙනස් තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි ද? ඇඟලුම් කර්මාන්තශාලා ඇතුළු කර්මාන්තශාලාවලත් සාප්පු සංකීර්ණවලත් වැඩිමනක් සේවය කරන්නෝ කාන්තාවෝ වෙති. නමුත් ඔවුන් පාලනය කරන පිරිස් වල බහුතරය පිරිමින් වෙයි. මෙය මහ සමාජයේ පවතින ගතානුගතික මතවාදය ආයතනගත වීමකි.

තව ද ශ්‍රී ලංකාවේ දී බොහෝ පුද්ගලික අංශයේ ආයතනවල කාන්තාවන් සේවයට බඳවා ගැනීමේ දී සැලකිලිමත්වන කරුණක් වන්නේ විවාහක-අවිවාහකභාවයයි. මෙහි දී බොහෝ විට අලුත විවාහ වූ කාන්තාවන් ආයතන වලින් සේවයට බඳවා ගනු නොලබන්නේ, කෙටි කලක් තුළ මාතෲ හා ධාරක නිවාඩු ලබාදීමට සිදු වේවි යන උපකල්පනය මතයි. මෙවැනි කරුණු බොහෝමයක් කාන්තාවන් රැකියා සඳහා යොමු නොවීමට හේතු වෙයි. තව ද බොහෝ කාන්තාවන් විසින් රජයේ රැකියා අපෙක්ෂා කරනුයේ එහි දී උක්ත තත්ත්වයන්ට මුහුණදීමට සිදුවන සම්භාවිතාව අඩු බැවිනි. නිදසුන් ලෙස විශ්වවිද්‍යාලවලින් පිට වන බොහෝ උපාධිධාරිණියන් ගුරු සේවයට හෝ ප්‍රාදේශීය ලේඛම් කාර්යාලවල වැනි රජයේ ආයතනවල සේවයට එකතු වීමට උත්සහ ගැනීම දැක්විය හැක. මේ අතර තවත් පිරිසක් කිසිදු ආකාරයකින් රැකියාගත නොවීමට කටයුතු කරයි. මෙය ආර්ථිකමය වශයෙන් ඉතා හානිකර තත්ත්වයකි.



වැඩබිම තවත් පුවත් කියවන්න...




තව ද මෙම තත්ත්වයට හේතු සලකා බැලීමේ දී කාන්තාවන් රැකියාගත නොවීමට බලපාන හෙතුවක් ලෙස ලිංගිකත්වය පදනම් කොටගනිමින් සිදුවන හිංසන තත්ත්වයන් දක්වයි. එලෙස ම එවැනි අවස්ථාවන්වලට එරෙහිව ක්‍රියාතමක වීමේ දී නැවත වතාවක් කාන්තාවන්ට සිදුවන හිංසනයන් කාන්තාවන් තව තවත් රැකියාවලින් කාන්තාවන් ඈත් කිරීමට හේතු වෙයි.

මේ සියලු ම තත්ත්වයන් කාන්තාවන් මත ක්‍රියාත්මක වීම ඔවුන් හා පුරුෂයන් අතර අසමාන ඉඩ ප්‍රස්ථාවක් නිර්මාණය කිරීමට හේතු වෙයි. මේවා හුදු සාම්ප්‍රධායික සහ ආර්ථික කාරණා හේතු කොටගෙන ක්‍රියාත්මක වුවත් කාන්තාව යනු වෙනස් කොට සැලකිය යුතු අයෙකු නොවෙයි. ඒ බව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ද ව්‍යවස්ථාපිත වගන්තීන් යටතේ ස්ථාපනය කොට ඇත. ඒ අනුව සියලු ම පුරවැසියෝ නීතිය ඉදිරියේදී සමාන වන අතර, නීතිය මගින් සමාන ආරක්ෂාවක් ලැබිමට හිමිකම් ඇත යන අයිතිවාසිකම යටතේ පහත අයිතිවාසිඅකම් කාන්තාව සතු වේ.

12 (1) .සෑම පුද්ගලයෙකුම නීතිය ඉදිරියේ සමාන වන අතර නීතියෙන් සමාන ආරක්ෂාවක් ලැබීමට හිමිකම් දරයි.

12 (2). කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂභාවය, දේශපාලන මතය, උපන් ස්ථානය හෝ එවැනි වෙනත් හේතුන් මත වෙනස් කොට නොසැලකිය යුතුය.

12 (3). වගන්තියේ ඇතුළත් වන කරුණු අතර, කාන්තාවන්ට විශේෂ වූ නීති සම්පාදනය කිරීමට සහ පනත් සම්මත කිරීමට රජය විසින් ගන්නා ලබන ක්‍රියාමාර්ග සඳහා විධිවිධාන සපයයි.

එපමණක් නොව,

1993 මාර්තු මස 3 වන දින සම්මත කරන ලද ශ්‍රී ලංකා කාන්තා ප්‍රඥප්තියෙන් කාන්තාවන්ට එරෙහිව පවත්නා සියලු වෙනස්කම් දුරු කොට ඔවුන්ට අදාළ තීරණාත්මක ගැට‍ලු නිරාකරණය කිරීම සඳහා රජය කැපවී කටයුතු කිරීමට එකඟව ඇත.

ඒ අනුව බැලූ කළ, කිසි ම අවස්ථාවක කාන්තාව වෙනස් කොට හෝ පහත් කොට සැලකීමක් කිරීමට ඉඩක් නැත. එබැවින් එවැනි අවස්ථා බැහැර කොට කාන්තාවන් ආර්ථිකයේ සෘජු කොටස්කරුවන් බවට පත් කොටගෙන එය ආර්ථිකයේ දියුණුවට මෙන් ම කාන්තාවන්ගේ පුද්ගලික සංවර්ධනය උදෙසා ද මෙහෙය විය යුතුය.

මේ සියල්ල ම වසරක් පාසා කාන්තා දින අරභයා කියැවෙන ලියැවෙන කාරණා වුවත් ස්ත්‍රී පුරුෂභාවය පදනම් කොට ගනිමින් ඇතිවන ගැටලුවලින් ඇයව ඈත් වීම සඳහා ඒවා ප්‍රමාණවත් දායකත්වයක් සිදු කොට නැත. එබැවින් ලිංගිකත්වය පදනම් කර ගනිමින් කාන්තාව හා පුරුෂයා අතර නිර්මාණය වී ඇති මෙම පරතරය නැති කොට කාන්තාවට ද සමාන වූ අයිතිවාසිකම් සහිත ජීවිතයක් ගත කිරීමට අවකාශය සලසා දීමට අප සැම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව පෙරට ආ යුතුය. ඒ සඳහා මෙවර කාන්තා දිනය අවස්ථාවක් කර ගත යුතුය. නැතිනම් මෙය ද තවත් එක් කාන්තා දිනයක් පමණක් ම වනු ඇත.

-ප්‍රොටෙක්ට් සංගමය-