- නාන්න 100යි සබන් 150යි
- අපිට හොඳට කන්න ඕන…අපි කෑවොත් දරුවො බඩගින්නෙ
- හිතේ හයියෙන් කිලෝ 1500ක් වුණත් අදින්න පුළුවන්
- මහන්සියෙ තරමට දැන් ‘ඉන්කම්’ නෑ
රටට බත බුලත දෙන ගොවියන් පිළිබඳ කතාබහ කළ යුතුය. ඒ පිළිබඳ ප්‍රමාණවත් කතාබහක් කවදත් රට තුළ විය. එවැනි කතාබහ ආදිය තුළින් ඔවුන්ට යම් වටිනාකමක් ලබාදීම තුළ කිසිදු වරදක් නැත. එමෙන්ම පංච මහා බලවේගයේ අනිකුත් ප්‍රපංචයන් වන සඟ, වෙද, ගුරු, ගොවි, යන අංශ පිළිබඳව ද ප්‍රමාණවත් කතිකාවක් සමාජය තුළ කවදත් විය. මැයි පළමු වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය යනු කම්කරුවන් වෙනුවෙන්ම වෙන් වූ දිනයක් වන බැවින් එදින කම්කරුවන් පිළිබඳව සිදුවන කතාබහ බහුලය. පුවත්පත් මුල් පිටු ආදියට පිටකොටුවේ නාට්ටාමි ප්‍රජාව නැතිව බැරි දිනය එදිනය. අල, ලූනු, කරින් ගත් මිනිසුන්, කරත්තකරුවන් කැමරා ඇසට හසුවන්නේ එදිනය.
පිටකොටුවේ කරත්තකරුවන් (නාට්ටාමි) යනු රටේ මිනිසුන්ගේ බඩ කට පිරවීම පිණිස අනවරත අරගලයක යෙදෙන මිනිසුන් සමූහයක්ය. ජීවිතයේ දුප්පත්ම අඩිය නියෝජනය කරන ඔවුන් හඳුන්වන තවත් නමක් වන්නේ ‘කුලීකරුවන්’ය. ඔවුන්ගේ මතුපිට ස්වරූපය දකින කල හැඟී යන්නේ ජීවිතයේ මහන්සිය පමණටත් වඩා විඳින ලද මිනිසුන් පිරිසක් වේ නම් ඒ කරත්තකරුවන්ය යන හැඟීමක්ය. කළු කෙසඟ අතපය, බොර දුඹුරු ඇස්, රළු පරළු වදන් ඔවුන්ගේ ජීවිත සමග බද්ධ වූ අනෙකුත් දේවල්ය. ඒ අතර දහවල දහදිය මහන්සියෙන් උපයන සොච්චම් මුදලින් බල්ලන්ට කොත්තු රොටි අරන් දෙන කරත්තකරුවන් ද වෙත්. ඒ අතින් ඔවුන් ද හිතක් පපුවක් සහිත මිනිසුන්ය. පොදු මිනිස් හැඟීම්වලින් සමන්විත මේ කියන කරත්තකරුවන් ද රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ අසරණය. කිසිවකුගේ පිළිසරණක් නැති ඔවුන්ගේ කතාව අප හා පළමුව විස්තර කර සිටියේ කුලී රස්සාව පිණිස අලුයම කොළඹ පැමිණෙන කරත්තකරුවන්ගේ ගැලවුම්කාරයා වන සෙල්වම්ය. ඔහුගේ වෘත්තිය වන්නේ දෛනික කුලී පදනම මත කරත්තකරුවන්ට අත් කරත්ත සැපයීමය.
“මේ රස්සාව කරන පිරිස මීට අවුරුදු දෙක තුනකට පෙර තුන්දාහක් හිටියනම් අද වෙද්දි පන්දාහක් පමණ ඉන්නව. මොකද මිනිස්සුන්ට ජීවත් වෙන්න ආදායම් මාර්ග නැතිවෙනකොට ඒ අය පාරට වැටෙනව. උදේට පිටකොටුවට ඇවිත් කරත්තයක් කුලියට අරගෙන බර අදින පිරිසක් ඉන්නව. තවත් සමහරු කරපිටින් බර අදිනව. මම දැන් අවුරුදු හතළිහක් පනහක් තිස්සෙ කරන්නෙ ඒ අයට කුලියට කරත්ත දෙන එක. මේ රස්සාව මට ආවෙ මගෙ අම්මගෙන්. එයාගෙ නම රාසම්ම. නුවරඑළියෙ ඉපදිල පිටකොටුවට ඇවිත් ගැහැනියක් කරත්ත රස්සාව කළා කිව්වොත් කවුරුවත් පිළිගන්න එකක් නෑ. නමුත් මගෙ අම්ම මැරෙනකම් මේ රස්සාව කළා. ඊට පස්සෙ තමයි මම මේ රස්සාවට බැස්සෙ.”
දුප්පතුන් ලෙස ඉපිද දුප්පතුන් ලෙසම මියයන නාට්ටාමි ජීවිතත් දැන් නට්ටං
සෙල්වම් තමන්ගේ රැකියාව පිළිබඳවත් එය ඔහු අත පත්වූ ආකාරයත් පිළිබඳ විස්තර කර සිටියේ ඒ ආකාරයෙන්ය. හිරු ගිනියම්ව වැගිරෙන ගෑස්පහ හන්දියේ නිතර ඇසෙන වාහන කන්කරච්චලය නොවන්නට අපේ කතාබහ පිණිස වෙනත් බාධාවක් නොවීය. එබැවින් තවදුරටත් ඔහුට ඉඩදී මා නිහඬ විය.
“පිටකොටුවට ඇවිල්ල කරත්තයක් කුලියට අරන් පුළුවන් තරම් මහන්සිවෙලා කීයක්හරි හොයාගන්න තියෙන එකම දේ තමයි මේ කරත්ත රස්සාව. මේ රස්සාව කරන්නෙ කොළඹ ඉන්න දුප්පත්ම මිනිස්සු කියල කෙනකුට හිතෙන්න පුළුවන්. ඒක වැරදියි. ලංකාවෙ හැම තැනකින්ම වගේ මිනිස්සු මේ රස්සාව කරන්න උදේට කොළඹ එනව. දවස තිස්සෙම ‘මුට්ට’ කරගහල ඒ අය හවස ගෙදර යනව. තවත් පිරිසක් පිටකොටුවෙ නතරවෙලා මේ රස්සාව කරනව. එහෙම ගත්තොත් දවසගානේ නාට්ටාමිල පන්දාහකට වැඩි පිරිසක් පිටකොටුවෙ පමණක් මේ රස්සාව කරනව”.
නාට්ටාමි පුරවරයේ “කරත්ත රජ්ජුරුවෝ” හෙවත් සෙල්වම් සඳහන් කරන පරිදි පන්දහසකට අධික නාට්ටාමිවරු පිරිසක් පිටකොටුව තුළ පමණක් දෛනිකව රැකියාවේ නිරත වෙති. අනුන්ගේ බර ඇදීම පිණිස ඔවුන්ට කරත්ත කුලියට ලබාදෙන ප්‍රධාන සැපයුම්කරුවා සෙල්වම්ය. ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ දිනවල රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් කරත්තකරුවන්ගේ ආර්ථිකයට ‘හතේ හත’ වැදී ඇති බවත්ය. පිට පළාත්වලින් කොළඹ පැමිණෙන ලොරිරථ හිඟවීමත් දිනෙන් දින ඉහළ යන බඩු මිලත් හේතුවෙන් මේ දිනවල කරත්ත විවේක සුවයෙන් පසුවන බව ඔහුගේ කතාවේ හරය විය.
ඉන් අනතුරුව මේ කතාවේ වැදගත්ම පාර්ශ්වය වන ‘කරත්තකරුවන්’ කීපදෙනෙක් සමඟ කතාබහ කිරීමේ අවස්ථාව හිමි විය. කළු කෙසඟ මිනිසුන් පිරිසක් වූ ඔවුන් හා සිදුකළ කතාබහ තුළ ගැඹුරු, නොගැඹුරු බොහෝ දේ විය. ඔවුන් ද පොදු මිනිස් අවශ්‍යතාවයන් සහිත පිරිසක්ය. වෙනසකට පවතින්නේ කරත්තකරුවන්ගේ අයිතීන් වෙනුවෙන් හඬක් නගන්නට කිසිවකුත් ඉදිරිපත් නොවීමය. වෘත්තීය අයිතීන් වෙනුවෙන් හඬ නගන්නට ඔවුන්ට වෘත්තීය සමිති ආදී කිසිවක් ද නැත. දිවිබර හෑල්ලු කර ගැනීම පිණිස අනුන්ගේ බර අදින කරත්තකරුවන්ගේ වත්මන් කතාව ඔවුන්ගේම වචනයෙන් පෙළගැසෙන්නේ මේ ආකාරයෙන්ය.
වසර 25ක් තිස්සේ පිටකොටුව 4 වන හරස්වීදිය කේන්ද්‍ර කර ගනිමින් කරත්ත රස්සාවේ නිරත වන සුරේෂ් තම ජීවන අන්දරය හෙළිකර සිටියේ මේ ආකාරයෙන්ය.
“පිටකොටුවට ඇවිත් තොගේට බඩු ගන්න මුදලාලි මහත්වරුන්ගේ බඩු ටික ඇදගෙන ගිහින් ලොරිවලට පටවන එක තමයි මහත්තය මගේ රස්සාව. ඒකට නාටාමි ජොබ් එක කියලත් කියනව. ලක්ෂ කෝටි ගානක බඩු දැනට මේ අත් දෙකෙන් ඇදල තියෙනව. ඒ විශ්වාසය කවදාවත් කඩල නෑ. මේ රස්සාව කරන්න ඇවිත් දැන් අවුරුදු 25ක් වෙනව. මම අදින කරත්තෙ කිලෝ 1250ක් පටවන්න පුළුවන්. ඒ කියන්නෙ කිලෝ පනහෙ මිටි විසිපහක් එකපාර ඇදගෙන යනව. කිලෝ 1250ක් එකපාර අදිනව කියන්නෙ ලේසි වැඩක් කියලද මහත්තය හිතන්නෙ. නෑ. ඒක විශාල බරක්. ඒ බර මම අදින්නෙ ඇඟේ හයියට නෙවෙයි. හිතේ හයියෙන් තමයි ඒ හපන්කම කරන්නෙ. මොකද එහෙම ලොකු බරක් අදිනකොට තමයි කීයක් හරි වැඩිපුර ගානක් ගෙදර අරන් යන්න පුළුවන් වෙන්නෙ. එහෙම බරක් ඇද්දෙ නැත්නම් පොඩි මුදලක් තමයි අපිට ලැබෙන්නෙ. දැන් එහෙම පොඩි ගාණක් අරන් ජීවත්වෙන්න බෑ. පෙට්‍රල්, ඩීසල් ඉහළ ගියා කියල එහෙම නැත්නම් පාන් කාලක් කාල ප්ලේන්ටියක් බොන්න රුපියල් සීයට වැඩිය යනව කියල කවුරුවත් අපට කුලිය වැඩි කරල දුන්නෙ නෑ. මට දරුවො ඉන්නව. ඒ අයගෙ අනාගතේ ගැන හිතන්න ඕන. කන්න බොන්න උගන්වන්න ඕන. මොකද මේ රස්සාව දරුවන්ට දෙන්න බෑ. ඒ හින්ද ඒ අයව ගොඩදාන්න තමයි අපි මහපාරට බැහැල මේ රස්සාව කරන්නෙ.”
තමන්ගේ රැකියාව පිළිබඳ විස්තර කර සිටි සුරේෂ් ඉන් අනතුරුව හෙළිදරව් කර සිටියේ රටේ බහුතරයක් දෙනා මුහුණදෙන ජීවන වියදම ඉහළ යෑම හමුවේ කරත්තකරුවා අන්ත අසරණ වෙමින් සිටින ආකාරය පිළිබඳවය. එය තරමක් රිදුම් උපදවනසුලු හෙළිදරව්වක් විය.
දුප්පතුන් ලෙස ඉපිද දුප්පතුන් ලෙසම මියයන නාට්ටාමි ජීවිතත් දැන් නට්ටං
“අද දවස ගත්තොත් මම රුපියල් දෙදාහක් විතර හොයල තියෙනව. නමුත් වියදමත් එක්ක බලද්දි මේක සුළු මුදලක්. කෑම වේලක් කන්න පන්සීයක් දෙන්න ඕන දෙවේල කෑවොත් දාහක් ඒකට යනව.”
“ඉතිරි මුදලින් ගෙදරට ඕන කළමනා ටික පමණක්ම ගත්තත් ගන්න පුළුවන්කමක් නෑ. කරත්ත අදින මිනිස්සුන්ට හොඳට කන්න බොන්න ඕන මහත්තය. දැන් ප්ලේන්ටියක් බොන්නත් රුපියල් හතළිහක් විතර යනව. මහත්තය විශ්වාස කරන්න. දැන් වෙලාව හවස 4.00යි. දවල්ට කෑවෙ නෑ. අපි උදේ දවල් හොඳට කෑවොත් ගෙදර දරුවො බඩගින්නෙ. උදේට කෑම සීනි බනිස් ගෙඩියෙන් තමයි තාමත් දුවන්නෙ. මම විතරක් නෙවෙයි. අලි වගේ බර අදින අපේ මිනිස්සු දහදෙනෙක් ගත්තොත් එයින් අටදෙනෙක්වත් මේ දවස්වල දවල්ට කන්නෙ නෑ. කරත්තකාරයො ගත්තොත් මේ බජාර් එකේ විතරක් හාරදහසක් පන්දහසක් විතර ඉන්නව. ඒ අයගෙන් වැඩි දෙනෙක් ඔය බර අදින්නෙ බඩගින්නෙ. දැන් අපි මේ රස්සාව කරන්නෙ ඉදිරියෙදිවත් ජනතාවට යම් සහනයක් රජයෙන් දෙයි කියන විශ්වාසෙට. එහෙම දුන්නොත් තමයි වෙළෙන්දො බඩු ගන්න කොළඹ එන්නෙ. ඒ ආවොත් තමයි අපිට වැඩ වැටෙන්නෙ.”
ඉන් අනතුරුව මුණගැසුණේ පිටකොටුව කරත්තකරුවන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් චරිතයක්ය. බොහෝ දෙනෙක් ඔහුව හඳුවන්නේ එම්. ජී. ආර්. යනුවෙන්ය. ටයි කෝටි හැඳ අව් කණ්ණාඩි යුගලක් පැලඳ කරත්තය අදින එම්. ජී. ආර්. එවෙලෙහිද තම සුපුරුදු වෘත්තියේ නියැලෙමින් සිටි අතර මඳකට කරත්තය නතර කළ එම්. ජී. ආර්. සුපුරුදු ආචාරශීලී බවක් ද සහිතව කතාවට එකතුවිය.
“කියන්න කිසි දෙයක් නෑ. කරත්තය දිහා බැලුවහම මහත්තයට තේරෙනව ඇතිනෙ. කරත්තෙටම තියෙන්නෙ එක බඩු කෑල්ලයි. මේක ඇද්දට රුපියල් පනහක් ලැබෙනව. දැන් සති තුන හතරක ඉඳළ හරිහමන් වැඩක් නෑ. වෙළෙන්දො බජාර් එකට එන්නෙ නෑ, මිනිස්සු ගාවත් සල්ලි නෑ. ඒ හින්ද පාර මැද්දෙ අපිත් නන්නත්තාරයි. ඉර පායනව ඉර බහිනව. අපිත් ඒ ඉරත් එක්ක පාරට බහිනව හවස ගෙදරට යනව. ඒ මොනව වුණත් මම මගේ පිළිවෙළ නතර කරන්නෙ නෑ, ක්ලීන් සූට්, ක්ලීන් වැඩ. එච්චරයි මහත්තය. පාර මැද්දෙ එම්. ජී. ආර්.ගෙ බෙල්ල ගියත් කඳ හරි කරත්තෙ අදිනව. ලැබීම නොලැබීම කාටත් පොදුයි. ඒක නවත්වන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව මහත්තය.
එම්. ආර්. එම්. සෆීර් යනු කරත්ත රස්සාවේ මනා පළපුරුද්දක් සහිත පුද්ගලයෙක්ය.
“පාන් බාගයක් බනිස් ගෙඩියක් කාල මේ රස්සාව කරන්න බෑ. මේ රස්සාව කරන ඕන මනුස්සයෙක් හොඳට කනව. උදේට කන්න දැන් තුන්හාරසීයක් යනව. නමුත් එහෙම වුණා කියල අපිට සත පහක සහනයක් නෑ. මේ වීදි පහ ගත්තොත් හයදාහක් විතර පිරිසක් මේ රස්සාව කරනව. නමුත් දැන් වෙද්දි දරුවන්ට ගෙදරට කන්න දෙන්න නෙවෙයි අපේ වියදමත් අපිට හොයා ගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනව. මම මේ රස්සාවට ආවෙ අවුරුදු 12ක විතර කොලුගැටයෙක් වෙලා හිටිය කාලේ. එදා ඉඳන් කරන්නෙ මේක තමයි. ඒ කාලෙ බර ඇදල රුපියල් පනහක් හැටක් හොයා ගත්තනම් කාල ඇඳල පිචර් එකක් බලල සුදියෙ ඉන්න පුළුවන්. මම මේ වීධියෙ වැඩ කරන්න අරන් අවුරුදු 40ක් වෙනව. අපි ලස්සනට ජීවත් වෙච්ච කාලයක් තිබුණ. වැඩ ඉවර කරල ලස්සන සරමක් ෂර්ට් එකක් ඇඳල හිටිය. මට දරුවො 06ක් ඉන්නව. ඒ දවස්වල ගෙදරට රුපියල් දහදාහක් ඕන නම් දවස් දෙකෙන් ඒ මුදල යනව. දැන් නම් මොකුත් හිතා ගන්න බෑ. මැනිංමාර්කට් එකයි මාළු කඩෙයි කොළඹින් ගෙනිච්චට පස්සෙ නාට්ටාමිල දාහක් විතර නන්නත්තාර වුණා. ඒ මිනිස්සු දැන් පාරේ. ඒ මිනිස්සු ගැන හොයන්න බලන්න කිසි කෙනෙක් නැති වුණා. ඒක එහෙම වුණා කියමුකෝ. දැන් රටේ තියෙන තත්ත්වෙත් එක්ක බලද්දි අපේ අත්දැකීමෙන් කියන්න පුළුවන් ඉදිරියෙදි කන්න බොන්න පවා හිඟ වෙනව කියල. දැනටමත් කරත්තවල පටවන්න තරම් බඩුමුට්ටු බජාර් එකේ නැහැ. ඉස්සරහට තවත් නරක අතට හැරේවි. මෙතන වැඩ කරන මිනිස්සු දවසකට කිලෝ හාරපන්දාහක් අදිනව. මට දැන් වයස අවුරුදු 54යි. කිලෝ 1500ක් පටවල දැනුත් මට ගේමක් නැතුව අදින්න පුළුවන්. නමුත් බර උස්සන තරමට අපිට මුදලක් ලැබෙන්නෙ නෑ. කෑල්ලකට රුපියල් පහක් වගේ තමයි වැඩිපුර ගෙවන්නෙ. නමුත් හැම දේම මිලයි. හවසට නාන්න විතරක් රුපියල් සීයක් දැන් ගෙවන්න ඕන. සබන් කෑල්ලක් ගන්න තව එකසිය ගානක් යනව. එහෙම වුණා කියල කරන්න දෙයක් නෑ. පුරුදු රස්සාව තමයි කරන්න වෙලා තියෙන්නෙ.”
රටම බරපතළ අර්බුදයකය. පිටකොටුවේ කරත්තකරුවන්ද එම අර්බුදයේ කරවටක් ගිලී ගොස් අවසන්ය. නැව් ගණනින් මෙරටට ආනයනය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු බොහෝ දේ රටේ සිව්දෙසට බෙදාහැරීම පිණිස මූලික වැඩ කොටසක් ඉටුකරන ඔවුන්ගේ දුෂ්කර ව්‍යායාමය ද මේ වන විට අනතුරුක මුව විටට පැමිණ ඇත. ඔවුන් සමග කරන ලද කතාබහ තුළින් ඒ බව මනාව පැහැදිලි විය. බැල්මෙන් පවා අනිකෙකු බිය වද්දනසුලු රළු පරළු බස් තෙපලන කරත්තකරුවන් යනු ‘නැව ගිලුණත් බෑන් චූන්’ මානසික මට්ටමක පසුවන්නන් බවට සමාජය තුළ මතයක් ඇත. එහෙත් ඔවුන් පවසන්නේ දරු පවුල් රක්ෂා කරනු වස් අනුන්ගේ බර කරමතින් අදින තමන් ද මේ මිනිස් සමූයේ කොටසක් වන බවය. ඔවුන් දැන් පත්ව සිටින්නේ අනුන්ගේ කුසගිනි නිවීම පිණිස තමන්ට කුසගින්නේ වැඩ කිරීමට සිදුවී ඇති තත්වයකය. මැයි පළමුවැනිදාට යෙදෙන කම්කරු දිනයේ ‘සංකේත’ ලෙස ගැනෙන ඔවුන් මෙරට ශ්‍රම හමුදාවේ පළමු බලඇණිය වන බව ඔවුන් සඳහන් කර සිටින්නේ හේතු කාරණා සහිතවය.
තම වෘත්තිය පිළිබඳව ඔවුන්ට දැනට ආඩම්බර විය හැකි එකම කරුණත් එයම පමණය.
රුවන් ජයවර්ධන (දිවයින)