ක්‍රමයේ වෙනසක් නැතිව විධායක බලය මාරුවීම ප්‍රමාණවත් නැහැ

ක්‍රමයේ වෙනසක් නැතිව විධායක බලය මාරුවීම ප්‍රමාණවත් නැහැ

මැයි නමවැනි දායින් පසුව මදක් පසු බා සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් කුණු කූඩයට දමා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි රනිල් වික‍්‍රමසිංහ අගමැති තනතුරට පත් කිරීමෙන් පසුව නැවත වරක් අළු ගසා දමා කරළියට පිවිසෙන බවක් පෙනේ. පාර්ලිමේන්තු සම්ප්‍රදාය යන්නෙන් අදහස් කෙළේ පාර්ලිමේන්තුවේ මංත‍්‍රීන්ගෙන් බහුතරයකගේ සහාය ලබන කෙනෙකු එම තනතුරට පත් කිරීම ය. එය නොසලකා හැරියා පමණක් නොව නව අගමැතිට පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වන ලෙස ඉල්ලීමක් ද කළේ නැත. එමනිසා එම පත් කිරීම දේශපාලන නූල් සූත්‍රයක් බවට සැකයක් නැත.

දැන් අවදානම් තත්වය පසුව ඇතැයි සිතන ගෝඨාභය රාජපක්ෂ සුපුරුදු පරිදි විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩුවක් නැතිව පාවිච්චි කරයි. පවතින ආර්ථික අර්බුදය ගැන කිසිත් නොතකා ඇමති තනතුරු හිතවතුන්ට ප්‍රදානය කරයි. ඒ සමගම රාජ්‍ය අමාත්‍ය තනතුරු ද පිරිනැමීමේ සූදානමක් ගැන පුවත් පළ විය. මැයි නම වැනිදා සිද්ධියෙන් පසුව රටපුරා හටගත් ප්‍රචණ්ඩ ක්‍රියාවලින් දේපොළ හානි සිදු වූ පොහොට්ටුවේ ගජ මිතුරන්ට වන්දි ගෙවීම කඩිනම් කිරීමට පියවර ගෙන ඇත. හානි වූ දේපොළ තක්සේරු කිරීමේ දී එපමණ මුදලක් උපයා ගත් ආකාරය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අවධානයට ලක් නොවනු ඇත. උපයා ගත් ධනයට ආදායම් බදු ගෙවිය යුතු වුවත් සහනාධාරයක් වශයෙන් එය කපා හැරීමට නියෝග කිරීමට ද විධායක ජනාධිපතිට හැකිය.

වඩාත් හාස්‍යයට ලක් වන්නේ ආණ්ඩුවේ උසස් නිලධාරීන් කොළඹ කොටුවේ සිය මන්දිරයට කැඳවා උපදෙස් සහ නියෝග දීම නැවත ආරම්භ කිරීම ය. ජනමාධ්‍යවලින් දැක් වූ ආකාරයට පළමුවෙන්ම කැඳවා ඇත්තේ එළඹෙන දුර්භික්ෂයෙන් ජනතාව ගලවා ගැනීම සඳහා වගා කටයුතු වේගවත් කිරීමට කෘෂිකර්මයට අදාළ ඇමති සහ නිලධාරීන් ය. පසුගිය මහ කන්නයේ ආරම්භයේ දී ජනතාව වකුගඩු රෝගයෙන් මුදවා ගැනීමට රසායනික පොහොර භාවිතය සහ ආනයනය තහනම් කිරීමෙන් සහල් මිල පහළ ආදායම් ලබන අයට පමණක් නොව මධ්‍යම පංතියේ ආදායම් ලබන අයට පවා ඔරොත්තු නොදෙන ආකාරයෙන් ඉහළ ගොස් ඇති බව නොකීමට නිලධාරිහු නැවත වරක් පරෙස්සම් වූහ. එවකට සිටි කෘෂිකර්ම අධ්‍යක්ෂක වරයාට තනතුරෙන් ඉවත්වීමට සිදු වූ ආකාරය මෙම නිලධාරීන්ට තවමත් මතක ඇතිවාට සැකයක් නැත.

සියල්ල දත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වගා නොකර ඇති සියලු ඉඩම් වගා කිරීමට ජනතාව උනන්දු කරවන මෙන් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය. පළමුවෙන්ම වගා කළ ඉඩම් නැවත වගා කිරීමේ අවශ්‍යතාවයක් නැති නිසා කීවත් නැතත් වගා කිරීමට ඇත්තේ පුරන් වූ ඉඩම් බව සිහිපත් කළ යුතු ය. කෘෂිකර්මය නොව ආර්ථික විද්‍යාව ගැන පවා කිසියම් හෝ දැනුමක් ඇති අයකු පළමුවෙන්ම විමසිය යුත්තේ එම ඉඩම් පුරන්වීමට ඉඩ හැර ඇත්තේ ඇයි ද යන්නයි. මුළු ජන සංඛ්‍යාවෙන් සියයට 65කටත් වඩා කෘෂිකර්මය මත යැපෙන රටක ජනතාවට වගා කිරීමට ඉහළින් නියෝග අවශ්‍ය නැත. විමසිය යුතු කරුණ වන්නේ ඔවුන් වගා නොකරන්නේ ඇයි ද යන්නයි. ගොවීන් බොහෝ දෙනකු වගාව අත හැර ඇත්තේ එය තවදුරටත් ආර්ථික වශයෙන් ඵලදායි කාර්යක් නොවන නිසාය. තෙත් කලාපයේ බොහෝ ප‍්‍රදේශවල ගොවීන්ගේ අදහස වන්නේ මහත් වෙහෙසක් සහ අවදානමක් දරා ලබන අස්වැන්නට වඩා අඩු මුදලකට කඩෙන් හාල් මිල දී ගත හැකි බව ය. අද හාල් මිල අනුව මෙම තර්කය වලංගු නොවන බවක් පෙනුන ද වී නිෂ්පාදනයට යොදවන මුදලත් ඉන් ලැබෙන ප්‍රතිලාභයත් අතර විශාල පරතරයක් පවතී.

බොහෝ ගොවීන් වගා කටයුතුවලින් ඉවත් වන්නේ යොදවන මුදලට සරිලන ආදායමක් නොලැබෙන නිසා ය. බිම් සකස් කිරීම, උසස් වර්ගයේ බීජ ලබා ගැනීම, කුමන වර්ගයක හෝ පොහොර යෙදීම, වල් නාශක සහ කෘමි නාශක සඳහා මෙන් ම ඉන්ධන සඳහා ද විශාල මුදල් යෙදවීමට සිදුවීම වැනි කරුණු රාශියක් නිසා ය. කෙටියෙන් වී වගාව සහ අනෙකුත් වගා සඳහා යෙදවිය යුතු මුදල ඉතා ඉහළය. එය යැපුම් මට්ටමේ සිටින ගොවි පවුලකට දරා ගත නොහැකිය. එවිට ඔවුන් වගාවට පෙළඹවීමට නම් කළ යුත්තේ බැංකු ණය හෝ වෙනත් ක‍්‍රමයක් යටතේ සාධාරණ පොලියකට ණය මුදලක් ලබා දීම ය. වගා ණය නිතුත් කිරීම සහ වී නිෂ්පාදනය අතර සහසම්බන්ධතාවයත් පවතින බව වගා කටයුතු ගැන දන්නා කවරෙකුට හෝ පැහැදිලි කරුණකි.

මීට අමතරව ඉහල අස්වැන්නක් ලබා ගැනීමට උසස් බීජ වර්ග මෙන්ම කෘෂිකාර්මික දැනුම ලබා දීම ද වැදගත් ය. මෙම කරුණු ක්ෂේත්‍රයේ නියැලි නිලධාරීන්ට ජනාධිපති විසින් කියා දිය යුතු නොවේ. එය ඔවුන්ගේ වෘත්තීය දැනුමයි. කළ යුතු වන්නේ ගොවිතැන අත්හැරීමට ගොවි ජනතාවට හේතු වූ කරුණු මනාව විශ්ලේෂණය කර ආයතනික වශයෙන් ලබා දිය යුතු සහාය සහ ආධාර ලබා දීම ය. වගා කළ යුතු දේ සහ වගා කළ යුතු කාලය පිළිබඳ ව ක්ෂේත්‍රයේ නිලධාරීන්ට විද්‍යාත්මක දැනුමක් මෙන්ම පුහුණුවක් ඇති බව ප්‍රතිපත්ති සැලසුම්කරුවන් තේරුම් ගත යුතුය. ගොවින් ට වගා කටයුතු පිළිබඳ ව අත්දැකීම් සම්භාරයක් ඇත. මේ කිසිත් නොසලකා නිලධාරීන් තම දෙපා මුලට ගෙන්වා ‘උපදෙස්’ දීමෙන් නැවත වරක් පෙන්නුම් කරන්නේ තමා සියල්ල මෙහෙයවන බව රූපවාහිනිය හරහා රටට පෙන්වීම ය.

ගෝඨාභය රාජපක්ෂ තම අතීත අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගැනීමට සූදානම් නැති බවට තවත් නිදසුනක් වන්නේ මැයි නම වැනිදා ඇති වූ සහ ඇති කළ සිද්ධීන් ගැන තොරතුරු සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිටිය යි. විශ්‍රාමික සන්නද්ධ හමුදා ප‍්‍රධානීන් තිදෙනෙකුගෙන් යුත් මෙම කොමිටියේ සභාපති වන්නේ හිටපු නාවික හමුදාපතිවරයෙකු වූ වසන්ත කරන්නාගොඩ ය. තරුණයින් 11 දෙනකු පැහැර ගෙන ගොස් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රහස් ස්ථානයක දී මරා දැමීම පිළිබඳව චෝදනා එල්ල වී ඇති මෙම නිලධාරියා අපක්ෂපාතී සහ සාධාරණ විමර්ශනයක් කරන බවට සහතිකයක් ඇත්තේ ගෝඨාභය රාජපක්ෂට පමණි. එම විශ්‍රාමික නාවික හමුදා ප්‍රධානියාට එල්ල වී ඇති චෝදනා ගැන පරීක්ෂණය අතහැර දැමුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරට පත්වීමත් සමඟ ය. අගතියට පත් දෙමාපියෝ සාධාරණයක් ඉටු කර ගැනීමට නැවතත් අධිකරණයට ඉදිරිපත් ව සිටිති. මෙම පත් කිරීම ගෝඨාභය රාජපක්ෂ සමාව ප්‍රදානය කිරීමෙන් පෝරකයෙන් මිදුණු දුමින්ද සිල්වාට ජම්පරය ගැලවීමටත් පෙර ප්‍රධාන රාජ්‍ය ආයතනයක් වන නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරට පත් කිරීමට සමානය.

ගෝඨාභය රාජපක්ෂ පසුගිය වසර දෙක හමාරක් කාලය තුළ වූ සිදුවීම් සියල්ල අමතක කර නැවතත් සිය විධායක බලයේ ආධිපත්‍යය පවත්වා ගැනීමට කටයුතු කළත් ආර්ථික කඩා වැටීම අමතක කළ නොහැකි යථාර්ථයකි. ට්විටර් පණිවුඩ නිකුත් කළ ද ඉන්ධන ගෑස් පෝලිම් අවසන් වන්නේ නැත. ගෑස් අලෙවි සලකට ඉඳ හිට ගෑස් සිලින්ඩර් තොගයක් ලැබුණ ද ඉන් පාරිභෝගික අවශ්‍යතාවය සපිරෙන්නේ නැත. ඉන් සිදු වන්නේ කෝපය තවත් වැඩිවීමකි. දැනට වසරකට ආසන්න කාලයක් තිස්සේ ඔඩු දුවමින් පවතින මෙම ප්‍රශ්නවලට අමතරව අත්‍යවශ්‍ය ආහාර මිල ද කිසිදු පාලනයකින් තොරව ගුවන් ගතව ඇත. මෙවැනි තත්වයන්හි දී කලින් සහන බඩු මළු ගැන කතා වුවද දැන් එවැනි කතා ද නැත.

දැනට පවතින තත්වය අනුව මේ සියල්ලට විසඳුම් වන්නේ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් සහ ඉන්දියන් සාගරයේ බලය තහවුරු කර ගැනීමට සැලසුම් කරන බලවතුන්ගෙන් ලැබෙන ණය මුදල් ය. ප‍්‍රදානයන් ගැන කතා වන්නේ නැත. ඒවා තාවකාලික විසඳුම් පමණි. කල්පවත්නා විසඳුම් ගැන කිසිවෙකු කතා කරන්නේ නැත.   

කල්පවත්නා විසඳුම් ගැන බලාපොරොත්තු තැබිය හැකි වන්නේ මෙම විනාශයට මග පෑදූ දේශපාලන ක‍්‍රමය වෙනස් කිරීමෙන් පමණි. වෙනත් වචනයකින් ක්‍රමයේ වෙනසක් තුළින් පමණි. ක්‍රමයේ වෙනසක් යනු විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම පමණක් නොවේ. එය මෙම ගර්හිත ක්‍රමයේ පවතින එක් ලක්ෂණයක් පමණි. විධායක බලය පාර්ලිමේන්තුවට පැවරීමෙන් හෝ දැනට ජාතික දේහය වසා ගෙන ඇති වංචා දූෂණ සහ අක්‍රමිකතා වෙනස් වන්නේ නැත. ඒවා පාර්ලිමේන්තුවට වගකියන ඇමතිවරුන් යටතේ ද සිදු විය හැකිය. ඒ බවට මෑත ඉතිහාසයේ අපමණ නිදසුන් ඇත. මහ බැංකුවේ බැඳුම්කර වංචාව ගැන තොරතුරු හෙළිවීමෙන් පසුව සතොස සීනි වංචාව වාර්තා වූයේ විධායක බලය තැන් මාරුවීම නිසා නොවේ. තීරණ ගැනීමේ බලය ස්වල්ප දෙනකු තුළ ඒකාරාශිවීම සහ වගවීමක් නොමැතිවීම වංචා දූෂණ සහ අක්‍රමිකතාවලට අධිවේගී මාවතකි.

හදිසි අවශ්‍යතාවය වන්නේ වගවීම සහ වගකීම අකුරට ම ක්‍රියාත්මක වන පාලන ක්‍රමයකි. එය ඇති කිරීමට විධායක බලය අහෝසි කිරීම එකම සාධකය නොවේ. විශ්‍රාමික විගණකාධිපති සරත් මායාදුන්නේ මහතා මෑතක දී පෙන්වා දුන් ආකාරයට එවැනි පාලන ක්‍රමයක් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වුවද නිර්මාණය කර ගත හැකිය. අවශ්‍ය වන්නේ ආර්ථිකය ගොඩ ගැනීමේ ප්‍රතිපත්ති මාලාවකට පාර්ලිමේන්තුව තුළ සහ සමාජයේ සම්මුතියක් පමණි. එවැනි සම්මුතිකාමී ප්‍රතිපත්තියක් පවතින්නේ නම් විදේශ මූල්‍ය ආයතනවල පමණක් නොව ආයෝජකයන්ගේත් ශ්‍රී ලංකා ඩයස්පෝරාවේත් සහාය ලබා ගැනීමට හැකි වනු ඇත. විශේෂයෙන් ආර්ථිකය සහ දේශපාලනය ගොඩ නැගීමේ දී ඩයස්පෝරාවේ සහාය සහ අදහස් ඉතා වැදගත් ය. තීරණාත්මක සාධකය වන්නේ අපි, එනම් මෙරට දේශපාලකයන් වෙනස්වීමට සූදානම් ද යන්නයි. එය ආටෝපවත් වචනවලට සීමා නොවී දේශපාලන යථාර්ථය බවට පත් කළ යුතුය.

එසේ කළ නොහැකිනම් යථාර්ථය වන්නේ දිනෙන් දින තව තවත් දිග්ගැසෙන පෝලිම් පමණි.   

දේශපාලන විචාරක මහින්ද හත්තක