වරෙක ලොව ඉහළම අලෙවියක් ලත් ''The Thief'' නම් පරසිදු නවකතාවේ කතුවර Markus Zusak එකී කතාවේ අන්තර්ගතයට මෙකී වැකියද එක්කරන්නේය.
''It kills me sometimes, how people die.”
ග්‍රන්ථගත සංදර්භය වෙනස් වන්නේ වුවද, අප කලණ මිතුරු චාමින්ද සමන්ත රාජකරුණාගේ අනපේක්‍ෂිත වියෝව ගැන කිව හැක්කේද එයමය. අදට දින 17,968 ක් ආයු වැළඳු ඔහු අප හැර ගොස් ඇතැයි සිතන්නට අපි නොකැමැත්තෙමු. කවර හෝ මිල අධික යමක් සොරු ගන්නා සේ මේ අප්‍රමාණ මිනිසා ද උඩුගුවන් තලයකදී සොරු රැගෙන ගොස් ඇත්තේය. ඉදින් අපි වෙනදා සේ 'පස්සෙ සෙට් වෙමු'' යැයි නොකියා වෙන අන් කවරක් කියන්නද? එබැවිණි මාර්කස් සුසැක් මෙලෙස කියන්නේ.
''මිනිස්සු මියයන හැටි දකින අපිද සමහරවිට නොමැරී මැරෙන්නෙමු''.
චාමින්ද ද අප මොහොතකට ක්ෂණභංගූරත්වයට පත්කොට ඇත්තේය. චාමින්දගේ දිවිසැරිය හා ඛේදනීය සමුගැන්ම අප වටහාගත යුත්තේ කෙළෙසද? ඊට අනුබල ලබනු වස් බොදුනු දර්ශණය හා සමෝසමව ශූන්‍යයතා දහමද නැවත කියවන්නට මා රිසියෙමි.
චාමින්ද යනු අමුතු මිනිසෙකි. කොළඹ රාජකීය විද්‍යාලයෙන් පේරාදෙණිය සරසවියටත්, එතැනින් බෙල්ජියම හා ජර්මනියටත් පා තබා විසල් දැනුම් සයුරින් දෝතක් ගෙන, අවසන ඔහු අප හැර යන්නේද ලොව සුපතළ හාවර්ඩ් සරසවියෙන් ලද ඇරයුමක් උදෙසා සිදුකළ පියාසැරියක් අතරමඟය.
කෘෂිකර්මයද, ජල තාක්ෂණයද, සිවිල් සමාජ ක්‍රියාකාරිත්වය ඈ කවර විෂය ක්ෂේත්‍රයක ප්‍රවීණයෙක් වුව, චාමින්ද අප හද පත්ලේ තැබු රන් මුද්‍රාවක්ද ඇත්තේය. ඒ ලොව ඇත්තේ එකම මිනිස් පවුලක් විනා කුලගොත්, ජාති-ආගම් භේද මත්තේ නිමැවුණු ජංජාලගත විකුර්තියක් නොවන බව නොසඟවා පවසමින් ඔහු මිනිස් වග වෙත පෑ සම මෙත හා දයාවයි. එවැනි මිනිසෙක් සිටිය යුත්තේ හොරිකඩ වහලුන් රජයන බංකොලොත් දේශපාලන පක්‍ෂ අගුපිලක නොවේ. සර්වෝදය වැනි පොදු මහජනයා හා කලක් තිස්සේ සිටගත් ආයතනගත සමබිමකය. එබැවින් ඔහු සර්වෝදය අරමුණු හා රන්රස සේ බැඳුනේය. එසේ නොවුණේ නම් ඔහුගේ සර්වෝදය දීගය දශක එකහමාරක් පුරා අඛණ්ඩ ඉදිරියට ම නොඇදෙනු ඇත.
ආචාර්ය ආරියරත්නයන්ගේ වදනින් දක්වන්නේ නම් ළමා හා තරුණ ප්‍රජාවේ විචිත්‍රවත් අනාගතයක් වෙනුවෙන් වෙහෙසවූ ඔහු මෙරටේ වැඩිහිටි පරම්පරාව හා සමඟින් ද අපූරු මිත්‍ර සංථවයක් නඩත්තු කරමින් සිටියේය. සර්වෝදයේ ලොකු සර් කියන ලෙසම ඔහු සර්වෝදයේ සැබෑ ජීව ගුණය මුර්තිමත් කල අකාල මිනිසෙකි.
මෝරන වී කරල බිමට නැමෙන්නේ යම් සේද චාමින්ද ද සත්කාර සම්මාන හා කිත් යසස් ලබන හැම නිමේෂයකදීම තම හිස බිමට නැඹුරු කරගත්තේය. සත්සමුදුර කැළඹුවද සුධිෂ්මත් වෛද්‍ය හා සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ වත්මන් නයුවා වන අප හිතවත් වින්‍යා ආරියරත්නයන් හට චාමින්ද වැනි විධායක අධ්‍යක්‍ෂවරයෙක් සොයා ගැනුම නම් අදින් පසු නිකිණි සොයනවා හා සම වියහැකි වික්‍රමයක් බව මා පවසන්නේ අගති විරහිතවය. ඊට ප්‍රිය නිස්සෝ වෙත්නම් කමත්වා!!
චාමින්ද යනු සමාගමයේ රුචි මිතභානි මිතුරෙකි. කඩවසම් කැරිස්මාවෙන් හා සිවිල් බලයක් ලඟා කරගත හැකි නීතිඥ පදවියකින්ද තම වෘත්තීමය දිවිය සරසා ගත් ඔහු කවර හෝ සභාවක් ප්‍රමුදිත කිරීමේ ශිල්පය කදිමට පසක් කල ජේත්තුකාරයෙකි.
ඔහු හා අප අතර පළමු හමුව සිදුවූයේ පැෆ්රල් ප්‍රධාන කාර්යාලයේදීය, පැෆ්රල් කාර්යමණ්ඩලය පිරිනැමූ ප්‍රණීත සුදු හා පැණි ආප්ප සංග්‍රහයකින් හා පියසේන අයියා පිළියෙල කල සුමිහිරි තේ කෝප්පයකින් ප්‍රබෝධමත් වූ අප එදින එහි රැස්වූයේ මාර්තු 12 මෙහෙයුම් කමිටු සාමාජිකයෝ ලෙසිණි. මෙකී හමුව ඇරඹී හෝරාවකට පමණ පසුව කඩිමුඩියේ පැමිණ අසුන්ගත් අමුත්තා ''රෝහණ අයියේ දවාලටත් කන්න බැරි වුණා'' යැයි කියා ආප්ප කිහිපයක් සැනෙකින් අහවර කොට දැමුවේය. අනතුරුව පසෙකින් සිටි මා දෙස බලා 'ආ මල්ලී, ඔයා ලීව ආර්ටිකල් එක ඊයේ මම දෙපාරකට කියවල කොමෙන්ටුවක් දැම්මා. ඒක මරු'' යැයි කීවේය. මම එතෙක් පිළිවෙතින් සැදී පැහැදී සිටියේ ඔහු දැනහැඳින ගැනීමටය. ඒ චාමින්දය. පුහු ආටෝප සාටෝප හමුවේ ධුරාවලි මේන්ටේන් කිරීමේ රුචි ලිබරල් NGO කසකරුවන් සමහරක් අභියස චාමින්ද අමුතුම මිනිහෙකි. ඔහු මොඩ් වූ තරමටම සම්ප්‍රදාය හා තම අවට සමාජයේ ක්‍රමික විකාශනය පිළිබඳ අවදියෙන් ද පසු වූයේය. එනයින් ඔහුගේ නිර්ව්‍යාජත්වය විශ්මයජනකය.
සර්වෝදය යනු සංසාරය සේ දිග හා පළල ආයතන ව්‍යුහයකි. චාමින්දට අවැසිනම් ධනිය ගෝපාල සේ වුව තම දිවිසැරිය ගතකිරීමේ කවර බාධාවක් හෝ නොතිබුණි. එහෙත් ඔහු වරෙක රථාචාර්යවරයෙක් සේද, තවත් වරෙක සියළු සර්වෝදය වැස්සෝ සොබමන් වදනින් ප්‍රමුදිත කෙරුමේ ධනාත්මක චිත්තයෙන්ද කටයුතු නොකළා නොවේ. තවත් විටෙක ඔහු නිල ජායාරූප ශිල්පියා සේද හැසිරෙන්නේය. ඔහු පරිපාලකයෙක් වූ තරමට ම සෙස්සෝ හා කදේ වැටුනේ ය. ගජේ ගැසූවේය. වරෙක සර්වෝදය ව්‍යාපෘතියක් නැරඹුමට ප්‍රත්‍යන්ත ජනපදයක් වෙත කැටුව ගිය ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය රැඳි නිල රිය මඩවගුරක එරී ගිය සැටි හා චාමින්ද මාතලී ලෙසින් කළල් දිය මත්තේ රිය පැදවූ වීරවික්‍රමාන්විත ස්වභාවය ඔහු මා හා පැවසුවේ දිවියේ පළමු වරට සුක්කානම අතපත් නව යෞවනයෙකුගේ උද්‍යෝගිමත් විලාසයෙනි.
එහැම පරයා ඔහුගේ කෙටි දිවිමඟ බැබලෙන මහාර්ඝ මතක මිණ නම් ඔහු දිවිහිමියෙන් සුරැකි ඔහුගේ කුටුම්බයයි. තමන් රැස්වන හමුව කවරක් හෝ වේවා ඒ සෑම හමුවක් අවසන සහභාගික හිතෛශින් හා තෙපලන නියත වදන් කිහිපය අතරේ රැඳී සොඳුරු සල්ලාපයේ පදනම දුවාදරුවන්ගේ දුකසැප විමසීමයි.
සුරතල් දියණිය
මොළකැටි වදනින්
මා සනසන්නිය යැයි ඇසෙන්නේ සම්මානිත සිංහබාහු නාටකයේය. චාමින්ද ද සිංහබාහු චිතතයෙන් සුසැදි සදාදරණිය පියෙකි. ඔහු සතුව පැවතියේ එකම එක ළතැවුලකි. ඒ වෙන අන් කවරක් හෝ නොව දිනෙන් දින ලොකු මහත්වන දුවා දරුවන්ගේ වැඩීමත් සමඟ අහිමිවන දරු සුරතල් බැලීමේ අහිංසක අභිලාශයයි. නෙත්මි නව යෞවනියක් සේ උසස්පෙළ වෙත ළඟා වත්ම චාමින්ද නිවසට එනතෙක් මඟ බලා සිටි වැඩිමහල් දියණියගේ ස්නේහපාශය අඩුවේදෝයි තැති ගත් ඔහු වරෙක මා හා පැවසුවේ ''මගේ පොඩි කෙල්ල ඔහොමම ඉන්නවනං හොඳයි මල්ලී'' යනුවෙනි. ඇයිදැයි ඇසු කල ඔහු පිළිවදන් දුන්නේ ඔහු නිවසට පැමිණෙන තෙක් නිදිගැට හරිමින් සිටින නෙතිණි නම් වූ පොඩි එකීගේ අසීමාන්විත ආදරණිය දඟකාරකමේ රඟ සොබා අභිමුව ඔහු ලබන ආශ්වාදයේ මහිමය අසමසම යැයි පවසමිණි.
නිසැකවම චාමින්ද මාර්තු 12 ව්‍යාපාරය හෙබවූ උද්‍යෝගිමත් හා තියුණු විලාසයෙන් හැසිරුණු ජනහිතකාමී මෙහෙයුම් කමිටු සාමාජිකයාය. අගතිවිරහිතව දක්වන්නේ නම් ඔහු රැඳෙන සභා මස්තකය පුන් කලසක් තැබුවා සේ පිරුණේය. අප මාර්තු 12 සාමුහිකයේ සැම ඔහුගේ ප්‍රයජනක ඇසුරේ වැඩුණු සුමිතුරෝය.
''දෙවියන් හමුවේ ශුද්ධවන්තයෙකු වීමට නම් මිනිසුන් හමුවේ අපකීර්තියට භාජනය විය යුතුයැයි'' සඳහන් වන්නේ වික්ටර් හියුගෝ රචිත ''Les Miserables' හෙවත් ඊරියගොල්ල ශුරීන් පරිවර්තිත මනුතාපයේය. එහෙත් චාමින්ද මිනිසුන් හමුවේ කීර්තිමත් බවත්, ඉන් ඔබ්බේ දෙවියන් හමුවේද නිසැකවම ශුද්ධවන්තයෙක් බව කියන්නට හා ලියන්නට මට අවසර දෙන්න.
ඔහු දෙව් ලොවට ගියද යණෙන මග අසන හා බලන සියළු දෙව්දේවතාවූන් හට වුව ආමන්ත්‍රණය කරනු ඇත්තේ අයියේ -අක්කේ හා නංගී -මල්ලී කියා බවනම් මට ඉරහඳ සේ විශ්වාසය.
චාමින්ද ඔබට සුභ ගමන් !
| මංජුල ගජනායක