ඩෙංගු අධි වසංගත තත්ත්වයක් වළක්වා ගත නොහැකිද? - GMOA

ඩෙංගු අධි වසංගත තත්ත්වයක් වළක්වා ගත නොහැකිද? - GMOA

වර්තමානය වන විට සියළුදෙනා විසින් වැඩිම අවධානය යොමු කළ යුතු බෝ වන රෝගය බවට ඩෙංගු රෝගය පත් වී හමාරය.

දිවයින පුරා දිස්ත්‍රික් ගණනාවක ඩෙංගු රෝගය සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර සමස්ථයක් ලෙස වසරේ ගෙවුණු කාලයේදී දිවයින පුරා රෝගීන් 25000 කට වැඩි පිරිසක් වාර්තා වී ඇත. ඉන් අති බහුතරයක් බස්නාහිර පලාතෙන් වාර්තා වන අතර සමස්ථ රෝගින්ගෙන් 40% කට ආසන්න ප්‍රතිශතයක් එම පලාතෙන් වාර්තා වීම කැපි පෙනෙයි. ඒ අතරින්, කොළඹ දිස්ත්‍රික්කය වැඩි අවධානම් මට්ටමක පවතින බව නොරහසකි.

බස්නාහිර පළාතට අමතරව යාපනය, ගාල්ල, කුරුණැගල, මහනුවර, රත්නපුර යන දිස්ත්‍රික්ක වලද සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙමින් පවතියි.

පවතින රටාවන් තුල දිගින් දිගටම ගමන් කළහොත් මෙම වර්ෂය තුල ඩෙංගු අධිවසංගත තත්ත්වයක් නිර්මාණය වීම නොවැලැක්විය හැකි වනු ඇත. අවසන් වරට මේ අයුරින් විශේෂ අවදානමක් මතු වුයේ 2017 වර්ෂයේදි වන අතර වසර 5 කට වරක් ඩෙංගු අධි අවධානම් තත්ත්වයක් සඳහා පවතින රටාව මේ වර්ෂය තුලද ඉස්මතු වෙමින් පැවතීම අවධානයට ලක්විය යුතු කරුණකි.

රට තුල පවතින සමාජ, ආර්ථික අර්බුදකාරි වතාවරණය හරහා නිර්මාණය වී ඇති දැඩි ඖෂධ හිඟය හා මහජනතාවගේ අවධානය ගිලිහි යාම යන කරුණු හේතුවෙන් මෙම වර්ෂය තුල ඩෙංගු රෝගය නිසා සිදු වන බොහෝ විට වළක්වා ගත හැකි මරණ ප්‍රමාණයද ඉහළ අගයක් ගනු ඇතැයි අපි දැඩි සේ අනතුරු හඟවමු.

දිවයින පුරා සිදු කර ඇති කීට විද්‍යා සමීක්ෂණ හරහා හෙලිදරව් වී ඇති තොරතුරු අනුව පසුගිය මාසයක කාලයක තුල මදුරු ඝණත්වයන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබීම මෙන්ම ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර පිළිබඳ ගණනය කරන බ්‍රිඨෝ දර්ශකය (Breataux Index) විශාල ප්‍රතිශතයක් ගැනීම ඉදිරි කාලය පිළිබඳ වඩාත් අදුරු හා භයංකර තත්ත්වයක් පිළිබඳ ඉඟි කරයි. 

බ්‍රිඨෝ දර්ශකය පිළිබඳ නිර්දේශිත අගය 5% කට අඩු විය යුතු නමුත් අධි අවධානම් කලාප වල දැනට සිදු කර ඇති කීට විද්‍යා සමීක්ෂණ අනුව එය 20% මට්ටම කරා ලඟා වෙමින් තිබීම විශේෂ අවධානය යොමුවිය යුතු කරුණකි.

ආගමික ස්ථාන, පාසල්, රජයේ ආයතන වැනි පොදු ස්ථාන මෙන්ම ගොඩනැඟිලි ඉදිකිරීම් පරිශ්‍ර මෙහිදි කැපිපෙනේ. ඒ අනුව තම නිවස හා නිවස අවට මදුරුවන් බෝ වන ස්ථාන පිරිසිදු කිරීමට අමතරව තම ගම/නගරය තුල ඇති මෙවන් පොදු ස්ථාන වල මදුරුවන් බෝ වන තැන් පිළිබඳව විමසිලිමත් වීම අදාල බලධාරීන්ගේ මෙන්ම පොදු ජනතාවගේද වගකීමකි. ඉදිරි අධිවසංගත තත්ත්වයක් වළක්වා ගැනීමට එය අත්‍යවශ්‍ය සාධකයක් වනු ඇත.

දැනටත් ලොව පුරා ඇති අත්දැකිම් අනුව ඩෙංගු රෝගය පාලනය සඳහා ඇති හොඳම හා සාර්ථකම ක්‍රමවේදය පරිසරය තුල මදුරුවන් බෝවන ස්ථාන අවම කිරීම බව තහවුරු වී ඇති පසුබිමක රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මඟින්ද ප්‍රකාශයට පත් කර ඇති සිකුරාදා දින රජයේ නිවාඩු දිනයේ වාසියද ලබා ගනිමින් තම නිවාස හා නිවාස අවට පිරිසිදු කිරීමේ කටයුතු සඳහා සක්‍රිය දායකත්වයක් ලබා දීමට කටයුතු කිරීම සියලු පුරවැසියන්ගේ වගකීම බව අවධාරණය කරමු.

මෙයට අමතරව ඩෙංගු අධිවසංගත තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස පහත යෝජනා ඉදිරිපත් කරමු.

  1. ප්‍රාදේශීය වශයෙන් ඇති අධි අවදානම් ග්‍රාම නිලධාරි වසම් සහ තිව්‍ර අවදානම් සහිත ස්ථාන (Red Spot) හඳුනා ගැනීමේ වැඩපිළිවෙල ශක්තිමත් කොට ග්‍රාමීය ප්‍රජා කමිටු හරහා පරිසර පිරිසිදු කිරීම් ඇතුළු මදුරු මර්දන කටයුතු සම්බන්ධිකරණය කිරීම.
  2. ඩෙංගු මර්දනය ඉලක්ක කරගත් අන්තර් පාර්ශවීය සම්බන්ධිකරණය හා සහයෝගිතාව සෞඛ්‍ය බලධාරීන්ගේ තාක්ෂණික උපදෙස් මත ශක්තිමත් කිරීම.
  3. පාසල් පද්ධතිය භාවිතා කරමින් සිදු කරන දැනුවත් කිරීම් හරහා පාසල් සිසුන් මඟින් තම නිවෙස් හා ප්‍රජාව වෙත ඩෙංගු මර්දනයට අදාල ප්‍රායෝගික පණිවිඩ කාන්දු කිරීම.
  4. මදුරු මර්දනය සඳහා ධුමායනය ඇතුළු අනිකුත් ක්‍රමවේද නිවැරදි තාක්ෂණික මඟපෙන්වීමක් තුල ක්‍රියාත්මක කිරීම.
  5. අවශ්‍ය ස්ථාන වලදි නීතිමය කෘත්‍යයන් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම.

ඉදිරි අධි වසංගත තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා බලධාරීන් සතු වගකීම මෙන්ම පුරවැසියන් සතු යුතුකම අමතක නොකල යුතු බව අවධාරණය කරමු.

ඒ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අප හට ලබා දිය හැකි උපරිම සහයෝගය සියලු පාර්ශව වෙත නොපැකිලිව ලබා දීමට සපථ කරමු.

වැඩිදුර විස්තර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය කමිටුවෙන් -

වෛද්‍ය චමිල් විජේසිංහ(මාධ්‍ය ප්‍රකාශක)   -           0717080041

වෛද්‍ය ප්‍රභාත් සුගතදාස                         -           0714471066

වෛද්‍ය කමල් කොඩිකාර                        -           0773061881

වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ                       -           0716812160

වෛද්‍ය තෙනුවන් වික්‍රමසිංහ                    -           0777829001

වෛද්‍ය රුවන් ජයසූරිය                           -           0773000196

වෛද්‍ය හංසමාල් වීරසුරිය                       -           0776549339

වෛද්‍ය ආර්. තනිගවාසම්                         -           0772369608