මිඩ්වයිෆ් නෝනාට රහස් කියන්න බයවෙන්න එපා !

මිඩ්වයිෆ් නෝනාට රහස් කියන්න බයවෙන්න එපා !

ගර්භණී මවක් සිය බිළිඳා දෝතට ගන්නා දිනය තෙක් ගතකරන්නේ සුවිශේෂී කාල පරිච්ඡේදයකි. එම කාලය තුළ මව පිළිබඳව සුපරික්ෂාකාරී වීමත්, මවට අවශ්‍ය පෝෂණය, එන්නත්කරණය මෙන්ම ප්‍රසවය සිදුකිරීමට මගපෙන්වීමත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ කාර්යභාරය අතරට අයත්ය. තවද නව බිළිඳු සත්කාරයේ වගකීම පැවරෙන්නේද ඇයටයි.

එහිදී රෝග වැළැක්වීම, මව්වරුන්ගේ හා බිළිඳුන්ගේ අසාමාන්‍ය තත්ත්වයන් හඳුනාගැනීම, වෛද්‍යාධාර අවශ්‍ය නම් ඒ සඳහා මවත් බිළිඳාත් යොමුකිරීම වාගේම අවශ්‍ය වූ විටක ප්‍රජා සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීමේ වගකීමත් මව්වරුන් සඳහා පෙරහුරු සැසි පැවැත්වීම, පවුල් සංවිධාන කටයුතු, නව යොවුන් සෞඛ්‍ය පිළිබඳ වගකීමද ඇගේ රාජකාරි ගොන්නට අයත්ය.

මෙම වගකීම් පිළිබඳවත් ඒ රාජකාරි ඉටුකිරීමේදී පවුල් සෞඛ්‍ය සේවිකාවක් ලබන අත්දැකීම් පිළිබඳත් ‘මිඩ්වයිෆ් නෝනා’ පිටුව තුළින් කතාබහ කරන්නේ රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මියයි.

අලුත විවාපත් වූ යුවළකගේ දරු සිහිනය යථාවත් කරන්නට, එම පවුලේ කෙනෙකු තරමටම කැපවීම් කරන්නියක වේ නම් ඒ ගමේ මිඩ්වයිෆ් නෝනාය. ඒ සඳහා රට තුළ පිළිගත් ප්‍රසව චිකිත්සක පාඨමාලා සාර්ථකව හදාරා, ප්‍රසව චිකිත්සක කටයුතුවල නිරතවීමට ලියාපදිංචි වී නීත්‍යානුකූල බලපත්‍රයක් ලැබූ තැනැත්තිය ඇයයි.

“ගමේ විවාහයක් සිදුවුණහම, අදාළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය නව යුවළ ලියාපදිංචි කරගන්නවා. ඒ සඳහා ‘නවදිවි සුව සත්කාරය’ කියලා පොතක් තියෙනවා. මේ සඳහා තරුණ යුවළවල් දැනුවත් කිරීම කරන්නේ ක්ෂේත්‍රයේ යද්දි ලැබෙන තොරතුරු අනුවයි. එහිදී අවශ්‍ය විස්තර සටහන් කරගන්නවා වගේම ඔවුන් දරුවෙක් අපේක්ෂා කරන කාලවකවානුව ගැන තොරතුරු අප ලබාගන්නවා. ඉන් අදහස් කරන්නේ ඉක්මනින් පවුලට අලුත් සාමාජිකයෙක් එක්කරගන්නවාද, නැත්නම් පවුල් සැලසුම් ක්‍රමයක් අනුගමනය කරනවාද කියන කාරණයයි. පවුල් සැලසුම් ක්‍රමයකට යනවානම්, ඒ සඳහා අවශ්‍ය උපදෙස් අපි ලබාදෙනවා. මෙහිදී ඉක්මනින් බබෙක් බලාපොරොත්තු වෙනවානම් මවගේ විටමින් අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමු කරනවා. උදාහරණයක් විදියට මවක් වෙන්න සිටින කාන්තාවක් ෆෝලික් අම්ලය, ගර්භණී වීමට මාස තුනකට ප්‍රථම ලබාගැනීම වැදගත්. ඒ වගේම මවගේ අනෙකුත් පෝෂණ අවශ්‍යතා කෙරෙහිද එහිදී අවධානය යොමු කරනවා.”

devika kodithuwakku

දේවිකා කොඩිතුවක්කු මහත්මිය කියන්නේ මවක් වීමට සිටින කාන්තාවක්, එම කාලසීමාව වනවිට ශාරීරිකව වාගේම මානසිකවද ඊට සූදානම් වියයුතු බවයි. නිරෝගී සෞඛ්‍ය සම්පන්න දරුවෙකුට උපත ලබාදීමට හැකිවන්නේ එවිටය. එහිදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ දුරකතන අංකය මෙන්ම සායනයේ දුරකතන අංකයද අදාළ අයට ලබාදෙන බැවින්, දෙපාර්ශවය අතර සම්බන්ධය පහසුය.

“එතැනදී අපි මවක් වෙන්න සිටින කාන්තාවගේ ලේ වර්ගය පිළිබඳ පරීක්ෂා කරලා සටහන් කරගන්නවා. ඒ වගේම වෙනත් ලෙඩ රෝග තියෙනවද කියලා පරීක්ෂා කරලා වෛද්‍ය උපදෙස් ලබන්න අවශ්‍ය නම් ඒ සඳහා යොමු කිරීම කරනවා. මෙම පිරිස දැනුවත් කරන්න පන්ති පවත්වන නිසා අදාළ කරුණු ගැන දැනුම ඔවුන්ට ලබන්න පහසුව තිබෙනවා.”

බොහෝ මව්වරුන් තම ප්‍රථම ගර්භණී වීමට සති අටකටවත් කලින් ඉහත ලියාපදිංචිය සිදුකොට තම දරු උපත පහසුකරගැනීම වෙනුවෙන් අවශ්‍ය කරුණු කාරණා පිළිබඳ දැනුවත්භාවය ලබාගැනීමට කටයුතු කරනු ලබයි.

“මේ කාලයේ අම්මගේ පෝෂණය හරිම වැදගත්. කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය යහපත් වෙන්න ඒ පෝෂණය වැදගත් වෙනවා. ඒ කොහොම නමුත් සමහර අම්මලා කියන කාරණයක් තමයි මේ කාලෙට කෑම අප්පිරියයි, කෑවම වමනය යනවා කියන කාරණය. කුළුඳුලේ මවක් වෙන කෙනෙකුට තමන් පළමු වරට මුහුණදෙන අත්දැකීම එක්ක යම් යම් ගැටලු ඇතිවෙන්න ඉඩකඩ තිබෙනවා. එහිදී ඇයට නිවැසියන්ගෙන් ලැබෙන ආදරය, කරුණාව වගේම පෝෂණ අවශ්‍යතා නිසි පරිදි සම්පූර්ණ වනවාද කියන කාරණය ගැන සැලකිලිමත් විය යුතුයි. සමහර මව්වරුන් රක්තහීණතාවයෙන් පෙළෙනවා. පණු අමාරු වැනි දේවල් නිසා විවිධ අපහසුතා ඇතිවෙනවා. එතැනදී මවට පණු බෙහෙත් ලබාදීම අපේ සායන හරහා සිදු කරනවා වගේම මව් සමයේ පෝෂණය රැකෙන පරිදි ආහාර සකසාගැනීම පිළිබඳවත් උපදෙස් ලබාදෙනවා. මාළු කෑල්ලක් හෝ බිත්තරයක්, කොළ පැහැති එළවලුවක් දෙකක්, කොළ පළා වර්ගයක් බත් පිඟානට එක්කරගන්න හැකියාව තියෙනවා නම් එය වැදගත් වෙනවා. අපි සමහර අවස්ථාවල දකිනවා වත්තේ කොස්, පොලොස් ඇතුළුව කොළ පළා වර්ග ඕනෑතරම් තිබෙනවා. හැබැයි කොළ මැල්ලුමක, වෑංජනයක පෝෂණ සංඝටක ආරක්ෂා වන පරිදි එය පිසගැනීම පිළිබඳ මවට දැනුම නැහැ. අධික තාපය නිසා පෝෂණ සංඝටක විනාශ වී යනවා. ඒ වගේම යකඩ අඩංගු ආහාර, කැල්සියම් අඩංගු ආහාර එක්ක එකට අනුභව කිරීමත් ආහාර අවශෝෂණය කරගැනීමේ ගැටලු ඇති කරනවා. මාළු, මස් වුවත් එයට දෙහි ස්වල්පයක් එක් කිරීමෙන් ආහාර දිරවීම පහසු කරනවා.”

මෙහිදී මවට අවශ්‍ය වන ෆෝලික් අම්ලය (Folic Acid) ආහාර මගින් ලබාගැනීමේ හැකියාව ඇතත් දිනකට අවශ්‍ය මයික්‍රෝ ග්‍රෑම් 400ක ප්‍රමාණය ආහාර මගින් පමණක් සපුරාගත නොහැකිය. කොළ පැහැති බෝංචි වැනි එළවලු, පළාවර්ග, කඩල, කුකුල් මස්, දොඩම්, කජු ආදියෙහි ෆෝලික් අම්ලය ඇතත්, එය ආහාර මගින් පමණක් සම්පූර්ණ නොවන නිසා මවකට අමතරව ෆෝලික් අම්ල පෙත්තක් දිනකට ලබාගන්නට සිදුවේ.

“සිරුරේ සෛල වර්ධනයට ෆෝලික් අම්ලය වැදගත් වෙනවා. ඒ වගේම රතු රුධිරාණු නිපදවන්නත් එය බලපානවා. මවට දරු පිළිසිඳගැනීමක් සිදුවන කාලයේ ෆෝලික් අම්ල ඌණතාවයක් ඇති වුණොත් දරුවාගේ ස්නායු ආශ්‍රීත සංකූලතා මතුවිය හැකියි. එය දරුවගේ නිරෝගී වර්ධනය හීන කරනවා.

රටේ කොතරම් ප්‍රශ්ණ ඇතත් ගැබිණි මවක් දෙස බොහෝදෙනා බලන්නේ ආදරයෙනි. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය කරන්නේ ඇයට සුවපහසු ප්‍රසවයක් කරා යාමට අවශ්‍ය පසුබිම සකසා දීමය.

“ඇත්තටම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය කියන්නේ ගෙයින් ගෙට ගිහින් රාජකාරි කරන කෙනෙක්. ඇය ඒ ගෙදර ඉදෙන බත් මුට්ටිය ගැන දන්නවා වගේම ගෙදර අඹු සැමියන්ගේ අතිශය පෞද්ගලික කරුණු පවා කතා කිරීම ඇයගේ රාජකාරියේ කොටසක්. එහිදී ලිංගික කාරණා ගැනත් ඇය සමඟ විවෘත්ව කතා කළ හැකියි.“

ඒ කතා කළා කියා අදාළ යුවලේ පෞද්ගලික්තවයට කිසිඳු හානියක් වන්නේ නැත. තවත් ගෙදරකට ගොස් ඒ ගැන නියන්නේද නැත. ඇය කරන්නේ සතුටින් ජීවත් වන පවුල් ඒකකයක් සඳහා ප්‍රජා සෞඛ්‍ය ඉහළ නැංවීමට තම දායකත්වය ලබාදීමයි.

දීපා වසන්ති එදිරිසිංහ (ධරණී)