රාජ්‍ය නිලධාරී පද්ධතිය සහ අධ්‍යාපනය

රාජ්‍ය නිලධාරී පද්ධතිය සහ අධ්‍යාපනය

ශ්‍රී ලංකාව අද මේ පත්වෙලා තියෙන ඛේදවාචකය කරා පසුගාමී සමාජයක් බිහි කරමින් අති විශාල විනාසයක් කරපු තැනක් තමයි ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරී තන්ත්‍රය, එහෙමත් නැත්තං රාජ්‍ය ආයතන පද්ධතිය. එයින් වඩා දරුණම ප්‍රතිඵල ඉතුරු කල තැනක් තමයි අධ්‍යාපනය. ප්‍රශ්න පත්‍රවල අඩුපාඩුවල සිට නවක වදය දක්වා මේ සියල්ල එහි ප්‍රතිඵලයි.

මේ රාජ්‍ය ආයතන- නිලධාරි තන්ත්‍රය නිර්මාණය වෙලා තියෙන්නෙම ‘සිංහල බෞද්ධ’ නමින් හඳුනගත්ත අපැහැදිලි සම්ප්‍රදායන් සහ හැසිරීම් පද්ධතියක් තුළයි.

මේ රජයේ ආයතනවල නිතරම බුදු පිළිම සහ පින්තූර බෞද්ධ කොඩි නිල වශයෙන් ප්‍රදර්ශනය කරමින් පන්සිල් සහ තවත් ආගමික වතාවත් නිල වශයෙන් ම සම්බන්ධ කර ගන්නවා. (අන්‍ය ආගමිකයින් යටපත් කරමින්)රජයේ සේවය කරන සෑම කාන්තාවක්ම වගේ සාරිය ඇඳිය යුතුයි. (මේ මෑතක් වෙනකම්ම ශ්‍රී ලංකාවේ පොලිස් කාන්තාවන්, කලිසං ඇන්ද හොරු පස්සේ දිවුවෙ සායවල් ඇදගෙන).බොහෝ විට මේ ඇඳුම් කාර්යක්ෂමතාවයට වඩා සමාජ තත්වය පෙන්වීමට හෝ ඔහේ සම්ප්‍රදාය ආරක්ෂා කිරීමට සහයෝගය දෙන ඒවායි. පිරිමින්ට බටහිර ඇඳුම් ප්‍රශ්නයක් නැතිවෙලා ගැහැනියට සාම්ප්‍රදායික ඇඳුමින් සිටීම පිරිමි සංස්කෘතියක අදහසක්.

රජයේ ආයතන තුළ සිදුවන සමාජශීලී ක්‍රියාකාරකම්වල ද එළිපිට ගැහැනු පිරිමි එකට නටන සිරිතක් නැති අතර සමහර විට පිරිමින් පමණක් කාමරයකට ගිහිල්ලා බීල සිංදුවක් ගහන්න ඉඩ තියනවා. ඒ තැන්වලට ආයතනයේ ගැහැනුන් එන එක හරි නෑ. මේ වගේ එලොවටත් නැති මෙලොවටත් නැති අපබ්‍රන්ස සිරිත් විරිත්, සම්ප්‍රධායන් විශාල තොගයක් නිල වශයෙන්ම නඩත්තු කරන තැනක් තමයි රජයේ ආයතන කියන්නේ.

ඊට අමතරව මේ ආයතනවල අති බහුතරයක් තාමත් ඊමේල් වැනි ඉලෙක්ට්‍රොනික වේග මාධ්‍යයකින්වත් නිල වශයෙන් ගණුදෙනු කරන්නේ නෑ සහ ඒ ඒ විෂය සහ ක්ෂේත්‍රවලට අදාළව කිසිදු ජාත්‍යන්තර ක්ෂේත්‍රයක එක්කලා බද්ධතාවයක් නැහැ. ඔවුන් සිංහලෙන් පමණක් වැඩ කටයුතු කරන ඔවුන්ගේම ලෝකයක පටලවගන්න සිරිත් විරිත්, සම්ප්‍රදායන් පසුගාමී මතවාද සහ නොදියුණු තාක්ෂණයක් සමඟ හුදකලා වෙලා තියෙන්නෙ. එසේ දැඩි නිලධාරිවාදයක් සහ වැඩවසම් සම්ප්‍රදායන් ඇති මේ ආයතන පද්ධතියට තමයි රට ගෙනියන්න භාර දීල තියෙන්නෙ.

පසුගිය දවසක රනිල් වික්‍රමසිංහ කීවා රාජ්‍ය සේවය ලක්ෂ දහයක් කරන රස්සාවල්වලින් ඇති වැඩක් නැති බවත්, ඔවුන්ව ගෙදර යැවීමට විදිහක් සෙවිය යුතුයි කියලා.

රාජ්‍ය සේවය මේ විදිහට නිදහසින් පසු රජයන් විසින් මුළුමනින්ම යොදා ගත්තේ ඔවුන්ට බලයට එන්න සහාය දෙන, හෙන්චයියන් ට රස්සා දෙන්නත් බලයට ඒමේ ඇජෙන්ඩා සමාජගත කරන්නත්, ඔවුන්ගේ දේශපාලන බලය හදාගැනීමට අතකොළුවක් විදිහට. විදුහල්පතිවරුන්ගේ සිට කම්කරුවන් දක්වා අති විශාල තොගයක් සුදුසුකම් නැතිව සේවයක් පවා හරියට කෙරෙන්නේ නැති රස්සා බවට පතවන්නේ ඒ විදිහටයි. යම්කිසි හැකියාවක්, යමක් කරන්න පුළුවන් සමහරවිට හොඳ විදේශ අධ්‍යාපනයක් ද ඇති අය මේ ක්‍රමයට එකතු වුණත් ඔවුන්ට ද යමක් කරගන්න බැරි තත්ත්වයක් තමයි මෙම ක්‍රමයෙන් නිර්මාණය කරන්නේ.

මේ රාජ්‍ය සේවය විසින් කරන ලද විනාශයේ, ලොකුම විනාශය තමයි අධ්‍යාපනය විනාශ කිරීම. පාසල්වල ළමයි විනයට අනුගත කිරීමටයි කියලා ඔවුන් නියම කරන විවිධාකාර ගාථා කියවීම්, දෙන සමාජ දඬුවම්, සමාජශීලි වීම පාලනය කිරීම, ගුරුවරුන්ගේ බුරිය වැහීම වැනි ඇඳුම් පැළඳුම් පාලනය ආදි දේවල් මීට උදාහරණයි.

මේ සියල්ලම වගේ දියුණු අධ්‍යාපන මනෝ විද්‍යාව හෝ එවැනි පරීක්ෂණයකින් ප්‍රතිඵල තහවුරු වෙච්ච ඒවා නෙමෙයි. අර සිංහල බෞද්ධ සදාචාරයේ කියලා ඔවුන් පටලවාගෙන ඉන්න මනස්ගාතය තුළින් පාසලේ හෝ ප්‍රදේශයේ බලවතෙකුට උදේ ඇහැරෙනකොට හිතෙන දේවල්. (ඒ ඒ ප්‍රදේශයට සාධාරණ ෆෙඩරල් තීරණවලට යටත්ව, පාසැල්වල විනය හැදීම සම්බන්ධයෙන් දැනට විවිධ පාසල්වලට දමාගෙන ඇති නීති රීති සම්ප්‍රදායන් පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතුයි) මේ වල්මත් වූ තත්ත්වය පවත්වාගෙන යන්න දේශපාලන උපක්‍රමයක් විදිහට ඇමතිවරයාද විශාල සහයෝගයක් ලබා දෙන නමුත් ඇමතිගේ දරුවන් මීට වඩා සම්පූර්ණ වෙනස් වූ විදේශ අධ්‍යාපනයක් හෝ ඉහල පන්තික ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබන දරුවන්. බොහෝ විට රජයේ ඉහලම නිලධාරින්ගේ දරුවන් ද එහෙමයි. ඒ සියලුම සිංහලයින්ගේ සැඟවුණු සිහිනයි! පුළුවන්.. පුළුවන්.. එවුන් මේ වගේ විකාර සම්ප්‍රදායන් සිරිත් විරිත් නැති රජයේ ආයතන පද්ධතියෙන් අඩුවෙන්ම යැපෙන ඉංග්‍රීසි කතා කරන ඉහළ මධ්‍යම පන්තිය පැත්තට දරුවන් තල්ලුකරලා බේරෙනව. මෙයින් වඩාම නන්නත්තාර වෙන්නේ එවැනි හැකියාවක් නැති සාමාන්‍ය බහුතරයයි.

මුළු රාජ්‍ය පද්ධතියම උඩි යටිකුරු කරන විදිහට වෙනස් විය යුතු නමුත් වහාම බේරා ගත යුත්තේත් මුලින්ම ඊට විරෝධය පාන, යම්කිසි රැල්ලක් ඇතිවිය යුත්තේත් පාසල් ඇතුළු අධ්‍යාපන ආයතනවලින් බව මගේ යෝජනාවයි.

එහි ප්‍රධාන සටන් පාඨයක් විය යුත්තේ ඉහළ වරප්‍රසාද නාගරික පාසල්වලට තියෙන ඉංග්‍රීසි භාෂාව නූතන තාක්ෂණය හරහා ඉගෙනීම ඇතුළු සියලුම පහසුකම් රටේ සියලුම පාසල්වලට ලබා දෙමින් පාසල් අතර ඇති පන්ති භේදය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බවයි.

“මේ වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න ඉගෙන ගත්ත අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි!” නලින් ද සිල්වා (වහා සේවයේ පිහිටවනු යුගයේ කියූ ප්‍රකාශයක්)

| ධනංජය කරුණාරත්න

(vikalpa)