“මනුෂ්‍ය වර්ගයාගේ තිරසර පැවැත්ම රඳා පවතිනුයේ, සවිබල ගැන්වුණු කාන්තා සංහතියේ ශක්තිය මතයි”

“මනුෂ්‍ය වර්ගයාගේ තිරසර පැවැත්ම රඳා පවතිනුයේ, සවිබල ගැන්වුණු කාන්තා සංහතියේ ශක්තිය මතයි”

ඉතිහාසයේ කවර දිනකටත් වඩා අද වන විට අපේ රට, පවුල සමාජය කෙරෙහි වඩාත් පුළුල් දෘෂ්ටිකොණයකින් බැලිය යුතු බව මාගේ හැගීමයි. එයට හේතුව, මේවනවිට අප ආර්ථික, සමාජ, සංස්කෘතික පරිහාණියේ නැවත හැරිය නොහැකි තැනකට පත්ව තිබීමයි. මේ සදහා පුරුෂ මූලික සමාජය තුළ ප්‍රචණ්ඩත්වය, කෝපය, හදිසි තීරණ, කළමනාකරණ දුර්වලතාද අඩුවැඩි වශයෙන් හේතුවී ඇති බව පැහැදිළිය. එබැවින් නිවුණු පිරුණු, හැදුනු සකසුරුවමින් පිරි සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් කාන්තාවන්ට පුළුල් කාර්යභාරයක් පැවරී ඇත. ඒ සදහා පවුල තුළ මෙන්ම, රට තුළ සමාජය තුළ කාන්තාවන්ට සුදුසු සාධාරණ අවස්ථාවන් ඇති කරලීම කෙරෙහි සමාජයක් ලෙස මේ මොහොතේ සිතා බැලිය යුතුය.  

දියුණු, ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැංවීම උදෙසා ස්ත්‍රී පුරුෂ සමාජභාවය සවිබල ගැන්වීම සහ කාන්තාව ඒ සඳහා දායක කරගැනීමේ වැදගත්කම කෙරෙහි ලෝකයේම අවධානය යොමුව ඇති මොහොතක එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2030 වන විට අත්පත් කරගත යුතු තිරසර සංවර්ධන ඉලක්කවල පස්වැන්න ලෙස දක්වා ඇත්තේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහතික කිරීම සහ කාන්තාවන් හා ගැහැණු ළමයින් සවිබලගැන්වීමයි.

ඒ තුළ විශිෂ්ඨ කාර්යභාරයක් ඉටු කරනු සඳහා කාන්තාව දිරි ගැන්වීමට හා බල ගැන්වීමට සුදුසු ස්ථිරසාර පරිසරය නිර්මාණය කිරීම මේ මොහොතේ අපට පැවැරී ඇති ඓතිහාසික වගකීමක් බව 2023 ජාත්‍යන්තර කාන්තා දිනය සමරන මේ මොහොතේදීද ඔබට සිහිපත් කරමි. කාන්තාවන් තීරණ ගැනීමේ ක්‍රියාවලියට සෘජුව සහභාගීකර ගැනීම තුළින් ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික ප්‍රගතියක් අත්කර ගැනීමට නියත වශයෙන්ම හැකිවනු ඇත.

මේ සදහා අවශ්‍ය මූලික අඩිතාලම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ආරම්භ කළ අතර ඒ අනුව සකසන ලද ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ප්‍රතිපත්ති කෙටුම්පත අවසන් කර කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. ඒ සදහා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) සහාය ලැබී ඇති අතර ප්‍රතිපත්තියට සහාය වීම සඳහා අදාළ නීති කෙටුම්පත් මේවන විට සකස් කරමින් පවතී.

සාධාරණත්වය ආදරයෙන් වැළදගන්න. ලෝකයෙන් දෙන පණිවිඩය එයයි.

| විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ  (පා.ම)

සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය

(2023 ජාත්‍යන්තර කාන්තා දින පණිවිඩය)