හිංසනය කියන්නේ මොකක්ද?

ftzsgeu-log

“හිංසනය කිව්වාම අපේ මතකයට නැගෙන්නේ කාට හෝ පහර දීමක් නැතිනම් හිරිහැර කිරීමක්.  මේක ශබ්දකෝෂ අර්ථයෙන් ගත්තාම මහා තේරුම් ගොඩක් තියෙන වචනයක්. ඉතින් අපි මේ කතාකරන්නේ හිංසනය කොහොමද අපිට බලපාන්නේ කියල.“

ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයටම හිංසනය බලපානවා. ඒකෙදි ගැහැණු-පිරිමි දෙපාර්ශවයම වින්දිතයන් වෙන අවස්ථා අපි දැකල තියෙනවා. අපි සාමාන්‍යයෙන් ගත්තාම හිංසනය කියන එක තේරුම් ගන්නේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, දූෂණය කිරීම සහ ගබ්සාව වැනි කාරණාවලින් පමණයි. ඒ වගේම අපිට යම් කරදරයක් වුණොත් අපි හිතනවා මේ ප්‍රධාන සිදුවීම්වලට විතරයි නීතියේ පිළිසරණ තියෙන්නේ කියල.

නැහැ. එහෙම නෑ. නීතිය තුළ අඩුලුහුඬුතා රැසක් තියෙනවා තමයි. නමුත් හිංසනයට ලක්වන ඔබව කම්කරු නීතියෙන්, රටේ ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කෙරෙන විධිවිධානයන් තියෙනවා.

ඔබ වැඩපොළේ, කාර්යාලයේ, කම්හලේ සෑම තැනකදි ඔබව අපහසුවට ලක්වෙන විදියෙ ඕනම දෙයක් හිංසනයක් වෙනවා. ඒක ශාරිරික හානියක්, මානසික හානියක්, ආර්ථික හානියක්, ලිංගික හානියක්වෙන්න පුළුවන්.  මේ හැම දෙයක්ම හිංසනයන්. නිකමට හිතන්න ඔබ දන්නවා ඔබට පහරදීම නැතිනම් ශරීරයට හානියක් කිරීමට තැත් කිරීම පවා වරදක් කියල. නමුත් ඔබ නොදන්නවා ඇති ඔබට මානසිකව කරන පීඩනයන් පවා වරදක් කියල. ඒ කිව්වේ ඔබේ පෙනුම ගැන, ඇඳුම් පැළඳුම් ගැන, පවුල් පරිසරය හෝ ජාතිය-ආගම-කුලය වගේ දේවල් පහත් ලෙස සළකා යමෙක් අදහස් ප්‍රකාශ කරන ඒක ඔබට කරන බරපතළ හිංසනයක්.  ඒ වගේම ඔබට යම් වැටුප් වර්ධකයක් ලැබෙන්න තියෙනවා. ඒක විවිධ හේතු දක්වමින් කල් යනවා. අන්න ඔබට හිංසනයක් වෙලා. ඔබ මෙතෙක් ඒක දැන හිටියේ නෑ වෙන්න ඇති. මොකද උසස්වීමක්, වැටුප් කප්පාදුවක් වගේ දෙයක් ඔබේ ආර්ථිකයට ඍජුවම බලපානවා. ලිංගික හිංසනයක් ගැන ඔබ ඕනෑවට වඩා දැනුවත් ඇති. නමුත් ඒක සිද්ධ වෙන්නේ වචනයෙන් වුණත් ඒක ඔබට කරන අපරාධයක්.

තව දේවල් ගොඩයි. ඔබේ රැකියාව ස්ථිර කිරීම ප්‍රමාද කිරීමක්, ඔබට ලැබෙන වරප්‍රසාදයක් අනිසි ලෙස ලබා නොදීමක්, ඔබට හිමි පුහුණුවක් හෝ ශිෂ්‍යත්වයක් අහිමි කිරීම, සනීපාරක්ෂක පහසුකම් ලබා නොදීම වගේ කාරණාත් මේ යටතට ගන්න පුළුවන්. ඔබ රජයේ සේවකයෙක්ද, පෞද්ගලික අංශයේ සේවකයෙක්ද කියල ඒකට අදාළ නෑ. රස්සාවක් කරනවා නම් ඔබ ශ්‍රමය වගුරුවන්නෙක්. ඔබට ඊට හිමි වරප්‍රසාද සහ අයිතීන් තිබෙන බව මතක තබාගන්න.

නීතියේ ගොඩක් අර්ථකථන තියෙන්නේ අපිට සරලව තේරෙන විදියට නෙවෙයි. ඒ වගේම අපි දැනුවත් නැහැ මේවායෙ මොනවද තියෙන්නේ කියල.

සමහර සිදුවීම් එක්වරක් සිදුවෙලා යටපත් වෙනවා. සමහර සිදුවීම් නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ඔන්න ඔහේ කමක් නෑ. කියල ඒවා අල්ලලා දාන එක සිදු නොවිය යුතු දෙයක්. ඒක අර උඩින් කියපු හිංසනයන්ට වඩා භයානකයි. හේතුව අපරාධ සැඟවීම යනු ඊට අනුබල දීමක්.

ඒ නිසා කතාකරන්න. ඔබට වන අපහාස, හිංසන, තාඩන පීඩන, රැවුම්-එරවුම්, නොසලකා හැරීම්, තර්ජන, බියවැද්දීම් මේ හැම දෙයක් ගැනම ඔබට ඉදිරියට ඇවිත් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඔබේ ඒ පෞරුෂය වර්ධනය කරගත යුත්තේ රටේ සිටින සියළුම ආකාරයේ ශ්‍රමිකයන්ගේ අනාගත යහපැවැත්මට මිස ඔබට වන අසාධාරණයට පමණක් නොවේ. ඔබ නියෝජනය කරන්නේ සමස්ත ශ්‍රමිකයන්. එබැවින් කුමන බලපෑම් තිබුණත් ඔබට අදහස් දක්වන්න අයිතියක් තියෙනවා. ඔබේ මූලික අයිතිවාසිකම් රැකීමට ව්‍යවස්ථාවෙන් රජය බැඳී තිබෙනවා. ඒ නිසා ඒවාට උදව් කරන්න, පොලීසිය, කම්කරු වෘත්තිය සමිති-සන්ධාන, දෙපාර්තමේන්තු, විවිධ කාර්යාංශ, නීති ආධාර කොමිෂන් සභා, රාජ්‍ය නොවන සංවිධාන වගේ විශාල ආයතන ප්‍රමාණයක් තියෙනවා.

මේක කියවද්දි නිකං ඔබට හිතෙනව ඇති මේක මේ කාන්තාවන් වෙනුවෙන් පමණක්ද කියල වගේ. නැහැ. කොහෙත්ම නැහැ. පුරුෂ පාර්ශවයත් මේ හතර ආකාරයෙන්ම හිංසාවට ලක්වෙනවා. කාන්තාවන් වෙතින් පුරුෂයින් අපයෝජනය වෙච්ච අවස්ථා රාශියක් අපේ නඩු පොත්වල තියෙනවා.

ඔය කිව්වට ආයතන නීතියෙන් ගැලවිලා බේරෙන්න දන්නවා. අපි ඕවා පැමිණිළි කරන්න ගිහින් රස්සාවත් නැතිවෙනවා කියල හිතිවිල්ලක් ආවා නේද?

ඕක තමයි ඔයාලා වරද්දගන්න තැන. ඉතිහාසය පුරා මිනිස්සු ගොඩක් දේ දිනාගත්තේ හැංගිලා නෙවෙයි. ඉදිරියට ඇවිත් සටන් කරලා. කම්කරු නීති හැදුණෙ, අණපණත් ආවේ, වෘත්තීය අයිතිවාසිකම් ලැබුණේ බන්දේසිවල තියල නෙවෙයි. කම්කරු සහෝදර සහෝදරියන් ඉදිරියට ඇවිත් කතාකරපු නිසා. සමහරු ජීවිත පරිත්‍යාග කරපු නිසා රටේ යම් යම් දේ පවා වෙනස් වුණා මතක ඇති.

ඔබට හිංසනයක් වෙන්නෙ නිවසෙදිද, මගතොටේදිද, කර්මාන්තශාලාවෙදිද, ආගමික ස්ථානයකද, පාසලකද කියල තැන අදාළ නැහැ. අවශ්‍ය තමුන්ට වෙන්නෙ හිංසනයක් කියල තේරුම් ගන්න එක.

190 සම්මුතිය වගේ ලෝක මට්ටමේ මැදිහත් වීම් සිද්ධ වෙන්නේ මේ තත්ත්වයන් පිටු දකින්න. ජාත්‍යන්තරය සහ ශ්‍රී ලංකා රජය අතරත් මෙවැනි සම්මුතීන් වලින් බැඳී ඉන්නෙ සේවක අයිතිවාසිකම් තහවුරු කරන්න වගේම ඔවුන් කිසියම් ආකාරයක හෝ හිංසනයකින් බේරාගන්න.

ඊට පෙරමුණ ගත යුත්තේ ඔබ.  ඔබ ඉදිරිපත් වන්න... හිංසනය පිටුදකින්න... මිනිසුන් වෙනස් කළ හැක්කේ ඔබට පමණයි...

| නිදහස් වෙළඳ කළාප සහ පොදු සේවා සේවක සංගමය

(2023 ජගත්  කාන්තා දිනය වෙනුවෙන් සකස් කළ පත්‍රිකාවකි)