තර්ජන ගර්ජන පනතුත් එනවා… වර්ජනවලටත් දැන් බැට දෙනවා !

තර්ජන ගර්ජන පනතුත් එනවා… වර්ජනවලටත් දැන් බැට දෙනවා !

මේ සූදානම වර්ජකයන් කනත්තට යැවීමේ මෙහෙයුමකට ද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රමුඛතා ලේඛනයේ අංක එක බවට පත්ව තිබෙන්නේ රටේ ආර්ථිකය ගොඩනැඟීම බව ඔහු විසින් කරනු ලබන බොහෝ අවධාරණවලින් තහවුරු වී තිබේ. එය නොමැනවැයි කිව නොහැක. එහෙත් ආර්ථිකය හා දේශපාලනය අතර පවත්නා දැඩි සබඳතාව නොතකා හෝ එයට උඩින් පැන හෝ රටක ආර්ථිකයක් මෙහෙයවිය නොහැක. 2022 දී ශ්‍රී ලංකාවේ උද්ගත වූ දැඩි ආර්ථික පසුබෑමට තුඩු දුන් ප්‍රධාන හේතුවක් ලෙස කොරෝනා වසංගතය සැලකිය හැකි වුවද එතැනින් පසුබෑමට ලක් වූ ආර්ථිකය ගොඩනැඟීම සඳහා ගෝඨාභය පාලනය අසමත් වූ බව ද කිව යුතුය. දින කීපයකට පෙර පොහොට්ටුවේ ලේකම් සාගර ඍජුවම කියා සිටියේ ගෝඨාභය අසමත් බවත් රනිල් සමත් බවත් ය. ඊට පෙර ඇමැතිනී පවිත්‍රා සඳහන් කළේත් දේශපාලනය ගැන නොදන්නා ගෝඨාභය ජනාධිපති ලෙස ඉදිරිපත් කිරීමෙන් තම පක්‍ෂය කළේ වරදක් බවය. අද ගෝඨාභයගේ ප්‍රතිචාර දේශපාලන දෘෂ්ටියකින් වීවේචනය කිරීම වරදක් නොවූවත් ඒ ඒ දේශපාලනඥයන් විසින් ද ජනතාව රැවටීමට ලක්කර තිබෙන බව ද මෙහිදී අප තේරුම් ගත යුතුය.

මේ රටේ දේශපාලනය සම්බන්ධයෙන් නව සංවාදයක් ආරම්භ වූයේ ද ගෝඨාභයගේ ක්‍රියාකාරකම් නිසා ය. ඇත්ත වශයෙන් ම එදා (2022 මාර්තු 31) ගාලු මුවදොර විරෝධතා ව්‍යාපාරය විසින් මතුකරන ලද්දේත් ගතානුගතික ගර්හිත ප්‍රභූ දේශපාලනය බැහැර කළ යුතු බවය. ඒ බලවේගය හැටනව ලක්‍ෂයක ජනවරමක් ලබාගත් ගෝඨාභය ගෙදර යැවීමට මෙන්ම මහින්දගේ අගමැති ධුරය හා ඇමැතිවරුන්ගේ නිල බල ද අත්හැර දැමීමට ද ප්‍රධාන හේතු වූ බව අද බොහෝ දෙනෙක් අමතක කරති. ඒ ජනතා විරෝධය දිය වී ගියේ යැයි අද සමහරු කල්පනා කරති. එහෙත් අපට පෙනෙන ආකාරයට නම් සිදුවූයේ ලංකාවේ ප්‍රභූ දේශපාලනය එක කඳවුරක් ලෙස සම්මුතියකට පැමිණ ඒ අරගලයේ ක්‍රියාකාරීන් දුබල කිරීමය. අරගලයට දේශපාලන නායකත්වයක් නොමැතිවීම නිසා ඒ කාර්යය ලේසියෙන් ම කර ගතහැකි විය. එපමණක් නොව, විවිධ දූෂිත කල්ලි ඒ අරගලයේ නාමයෙන් සිදුකළ විනාශයන් ද බොහෝ විය.

පාලකයන්ගේ නිර්දය ප්‍රතිචාර අරගලය පසුබැස්සවීමට හේතු වූවා පමණක් නොව, එදා සිදු වූ මන්ත්‍රී ඝාතනය හා හිටපු මැති ඇමැතිවරුන්ගේ නිවාස ගිනිතැබීම් වැනි සාහාසික ක්‍රියා සියල්ල බැර වූයේ ද ඒ අරගල පාර්ශ්වය වෙතටය. ඇත්ත වශයෙන් ම අරගලය හා ප්‍රචණ්ඩත්වය අතර සබඳතා ගැන විධිමත් විමර්ශනයක් හෝ සිදු වී නැත.

පසුගිය දිනෙක පොහොට්ටුවේ ප්‍රබලයකු වන බැසිල් හා ඒ අරගලකරුවන්ට පහර දීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා ලැබූ නාගරික මන්ත්‍රීවරයකු අතර සිදු වූ ගැටුමක හඬ පටයකින් හෙළි වූයේ ද ඒ ක්‍රියාකාරකම්වලට පොහොට්ටුවේ ඇති දායකත්වයයි. කුමක් වුවත් ඒ අරගලය මෙරට පුරවැසියන් බහුතරයක් අවදි කිරීමට ද හේතු විය. මෙරටේ බොහෝ පුරවැසියන්ට තමන්ගේ හිමිකම් ගැන මෙන්ම දේශපාලනය යනු කිසියම් පැලැන්තියක, ප්‍රභූන් ලෙස හැඳින්වෙන ධන නිල බල සහිත පිරිසකගේ බූදලයක් නොවිය යුතුය යන ප්‍රබුද්ධ සමාජ ඇස විවිර වූයේ ද එම අරගලය නිසාය. හෙත් දැන් සිදුව ඇත්තේ කුමක් ද?

පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි රාජපක්‍ෂ කඳවුර ඒ ශක්තිය උපයෝගී කරගනිමින් සිය දේශපාලන ප්‍රතිවාදියා ලෙස ජනතාවට පෙන් වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්කර ගැනීම අහම්බයක් නොවේ. එය තවදුරටත් දේශපාලන බලය ප්‍රභූ කොටස් අතරම රඳවා ගැනීමට ප්‍රධාන හේතුව ද විය. පොහොට්ටුවේ ලේකම් සාගර පැහැදිලිව දැක් වූ අදහස වූයේ ඉහත සඳහන් කළ පරිදිම ගෝඨාභයට වඩා රනිල් ශක්තිමත් දේශපාලන චරිතයක් බව ය. ඍජු තීරණ ගැනීමේ හැකියාවක් ද තිබෙන බවය. තම පොහොට්ටු පාක්‍ෂිකයන්ට බියෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දේශපාලනයෙහි නිරත වීමට ඉඩ සැලසුණේ ද ජනාධිපති රනිල් නිසා බව ඔහු පැවසීය. එසේ වුවද රනිල්ගේ සියල්ල අනුමත කිරීමට ද තම පක්‍ෂය සූදානම් නැති බව ද ඔහු කියනු ඇසුණි.

රාජපක්‍ෂ කඳවුර වඩාත් ජාතික හා සංස්කෘතික විභවයක් සහිත පක්‍ෂයක් ලෙස ජනතාව පිළිගත්තේ ද රනිල්ගේ ආර්ථික සැලසුම්වල වඩාත් ධනවාදී ස්වරූපයක් ඇතැයි යන අදහස නිසා ය. රාජ්‍ය සම්පත් විකිණීම එජාප ප්‍රතිපත්තිය ලෙස පැවසූ රාජපක්‍ෂලා එදා එම්.සී.සී ගිවිසුමට මෙන්ම පෞද්ගලීකරණයට ද එකඟ වූයේ නැත. මහින්ද කොටියා පරාජය කළ වීරයා වෙද්දී රනිල් කොටි සමග සාම ගිවිසුමක් අත්සන් කළ බවට ද චෝදනා නැඟුණි. රාජපක්‍ෂ පාලනයට දිරවා ගත නොහැකිවූ එරික් සොල්හයිම් අද ජනාධිපති රනිල්ගේ උපදේශකයෙකි. රනිල්ගේ දේශපාලනය පටු ජාතිවාදී හෝ ආගම්වාදී සීමා තුළ හිරනොවූවක් බව දේශපාලන විචාරකයන්ගේ ද අදහසකි.

ජනාධිපති රනිල් එජාප නායකත්වයට පත්ව පක්‍ෂය විනාශ කළ බව සමහරුන්ගේ චෝදනාවකි. එහෙත් ඔහුගේ දේශපාලනය මේ රටට බොහෝ සාධනීය ප්‍රතිලාභ අත්කර දී තිබෙන බව ද කිවයුතුය. සාපරාධී අපහාස නීතිය අහෝසි කිරීමටත්, තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමටත් මූලික වූයේ රනිල් ය. 2015 දී යහපාලන ආණ්ඩුවේ අගමැති ලෙස ඔහු ක්‍රියා කළ ආකාරය ගැන නිසි පැසසුමක් නොලැබුණත්, විධායක බලය කප්පාදු කිරීමේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ඔහු උනන්දු විය. 19 වැනි සංශෝධනය එහි ප්‍රතිඵලය විය. යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටි මෛත්‍රීපාල හා අගමැති රනිල් අතර ඇති වූ දේශපාලන විරසකය නොවනන්නට මේ රටට තවත් සාධනීය දේශපාලන හා ආර්ථික ප්‍රතිලාභ අත්කර ගැනීමට ද ඉඩ තිබුණි.

තර්ජන ගර්ජන පනතුත් එනවා… වර්ජනවලටත් දැන් බැට දෙනවා!

කෙසේ හෝ ගෝඨාභය විසින් රටට අත්කර දෙන ලද විනාශකාරී ප්‍රතිඵල ආපසු හැරවීමේ මුල් පියවර සාර්ථක කර ගැනීමට ජනාධිපති රනිල්ට හැකි වී තිබේ. දින කීපයකට පෙර හිටපු ඇමැතිවරයකු ද වන පාඨලී චම්පික මාධ්‍යයට පවසා තිබුණේ මුදල් ඇමැති ධුරය සඳහා විධිමත් අධ්‍යාපනයක් නොවූ ජනාධිපතිවරයකු හා අගමැතිවරයකු මෙහෙයවමින් රාජ්‍ය නිලධාරියකු මෙරටේ ආර්ථිකය එහෙම පිටින්ම විනාශ කර දැමූ බවය. මහ බැංකුව වැනි ආර්ථිකයේ ප්‍රබල ආයතන දේශපාලනකරණයට හසුකිරීමේ පාපයට රාජපක්‍ෂ පාලනය වගකිව යුතු බවය. ඒ ප්‍රපාතයෙන් රට මුදා ගත්තේ ජනාධිපති රනිල් බව අද ඔහුගේ දේශපාලන විවේචකයෝ ද පිළිගනිති. එහෙත් ඔහු ජනාධිපති පුටුවට පත්වීමෙන් පසු එදා ඔහු විසින් අනුමත කරන ලද දේශපාලනය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පවා නොතකන අධිපතිවාදී මනසකින් ක්‍රියාකරන බවට චෝදනාවක් ඇත. විධායක බලය අඩුකිරීම වෙනුවෙන් පෙනී සිටි ඔහු අද ඒ බලයට සියලු ආයතන යටත්කර ගැනීමේ ප්‍රයත්නයක් දරන බවට විපක්‍ෂවලින් ද චෝදනා නැඟෙයි.

ජාත්‍යන්තර අරමුදල විසින් ලංකාවට ප්‍රදානය කරන ලද ඩොලර් බිලියන 03කට ආසන්න විස්තීරණ ණය මුදල ලබාගත හැකි වූයේ ද ජනාධිපති රනිල් නිසාය. ඇත්ත වශයෙන් ම බංකොලොත් රටක් ලෙස ජාත්‍යන්තරය ඉදිරියේ ද හෑල්ලු වී තිබුණු රටක් වූ ලංකාවට එබඳු ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණේ ජනාධිපති රනිල්ට තිබෙන ජාත්‍යන්තර පිළිගැනීම ද නිසා විය හැකිය. කුමක් වුවත් එමගින් රටේ ආර්ථිකයට කිසියම් උත්තේජනයක් ලැබුණු බව ද කිසිවකුට ප්‍රතික්‍ෂේප කළ නොහැක. එහෙත් ශ්‍රී ලංකාවේ ආර්ථික ගමනේ දිශානතිය කුමක් ද?

රටේ දේශපාලන මතිමතාන්තරවලදී සාම්ප්‍රදායික ලෙස ක්‍රියා කළත්, ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී එම දේශපාලනය හරස්කර ගතයුතු නැති බව ජනාධිපති රනිල්ගේ ආර්ථික ක්‍රියාන්විතයේ හරයයි. ඔහු ඒ බව පසුගිය දිනක පාර්ලිමේන්තුවේදීත් පවසා තිබුණි. ඔහු එහි දී කරන ලද අවධාරණය වූයේ තමන්ට වුවමනා ලක්මව වැල්පාලමෙන් එතෙර කිරීම බවය. එයින් මෙයට පෙර ඔහුට එල්ල වී තිබෙන එක් චෝදනාවක් ද ප්‍රතික්‍ෂේප වේ. එනම් ඔහු ජනාධිපති වූයේ රාජපක්‍ෂ පරපුරේ අනාගතය විය හැකි නාමල් එම වැල්පාලමෙන් එගොඩ කිරීම සඳහා බවට තිබුණු චෝදනාවය.

මෙහිදී ජනාධිපති රනිල් සිය ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පැහැදිලිව ඉදිරිපත් කරන නැතත් එහි කේන්ද්‍රීය ලක්‍ෂණය වී ඇත්තේ රජය ව්‍යවසාය කටයුතුවලින් ඉවත් විය යුතුය යන අදහසය. සරලව කිවහොත් ආණ්ඩුවක් ව්‍යාපාර කටයුතුවලින් අයින් විය යුතුය යනු එහි තේරුමය. මේ වනවිට ලංකාවේ රාජ්‍ය ආයතන පද්ධතියම දැඩි පරිහානියකට ලක්ව තිබෙන බව සත්‍යයකි. ඒවා ජනතාවගේ මුදලින් නඩත්තු කිරීම ජාතික අපරාධයක් බව ද සැබෑවකි. එහෙත් සියලුම රාජ්‍ය ආයතන එකවර විකුණා දැමිය යුතු ද? යන ප්‍රශ්නය දේශපාලන අංශවල ද සංවාදයට ලක්ව තිබෙන්නකි.

බණ්ඩාරනායක ආණ්ඩුවල දී අනුගමනය කළ සංවෘත ආර්ථිකය අනුව මේ රටේ අලුත් සංවර්ධනයක් සිදු නොවී යැයි කිසිවකුට කිව නොහැක. මහජන බැංකුව, රක්‍ෂණ සංස්ථාව, ඛනිජ තෙල් සංස්ථාව ආදිය මේ රටේ ආර්ථික ප්‍රබෝධයට ඉවහල් වූ ආකාරය පිළිබඳ විවාදයක් නැත. එහෙත් 70 දසකයෙන් පමණ පසු මෙම ජනසතු හා රාජ්‍ය ආයතනවල පරිහානිය ඇරඹුණු ආකාරය ද රහසක් නොවේ. ඒවා දේශපාලනඥයන්ගේ රැකියා ආයතන බවට පත්විය. ඒවායේ භාරකාරත්වය ලැබුණේ ද බොහෝවිට දූෂිත පුද්ගලයන්ටය. පරාජිත මන්ත්‍රීවරුන් සංස්ථා මුල් පුටුවලට ද යෑම ද ඇරඹුණි.

මේ වනවිට ආන්දෝලනයට තුඩු දී තිබෙන ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීම ඒ දූෂිත දේශපාලනඥයන්ගේ කෙළිබිමක් වූ එක් ආයතනයක් හා සම්බන්ධය. මෙහි සිටින ඔරොත්තු නොදෙන තරම් වූ සේවක සංඛ්‍යාව ගැන විස්තරයක් ලබා ගන්නා අයකුට ඒ ඒ යුගවල දී එම ආයතනය පාලනය කළ ඇමැතිවරයාගේ අභිමතය පරිදි බඳවා ගත් සංඛ්‍යාව ගැන අවබෝධයක් ලබාගත හැකි වේ. රක්‍ෂණය, ලංගමය වැනසුවේ ද ඒ දූෂිත දේශපාලන චක්‍රයයි.

අද ජනාධිපති රනිල්ට අවශ්‍යව ඇත්තේ ඒ දූෂිත අතීතය හාරා ඇවිස්සීමට නොව, හෙට දවසේ යහපත් ආර්ථික සමෘද්ධියක් ඇතිකිරීම බව ඔහුගේ ප්‍රසිද්ධ ප්‍රකාශවලින් පෙනේ. එහෙත් ඔහු ඒ සඳහා පුළුල් සංවාදයක් ඇති කිරීමට අසමත් වී සිටියි. ඔහු ක්‍රියාකරන්නේ දේශපාලනයත්, එහි මූලධර්ම වූ ප්‍රජාතන්ත්‍රවාදයත් නොතකමින් ය. පළාත් පාලන මැතිවරණයට ආණ්ඩුව විසින් කරන ලද බාධා පිළිබඳව ජනාධිපති රනිල්ට චෝදනා නැඟෙයි. ඒ සම්බන්ධයෙන් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට ඔහු එකඟ නොවන්නෙහිද? ඒ විනිසුරුවන් පාර්ලිමේන්තු තේරීම් කමිටුවකට කැඳවීම එදා ජේ. ආර්.ගේ ක්‍රියාකාරකම් සිහිපත් කරන්නකි. මහින්දටත් ඒ අසනීපය තිබුණි. ශිරාණි බණ්ඩාරනායක දඩයම ගැන ඔහුගේ පාලන සමයට චෝදනා නැඟෙයි.

ජනාධිපති රනිල්ගේ ගමන්මඟ වැටී ඇත්තේ මර්දනය, තර්ජනය, මානව හිමිකම් පාගා දැමීම ඔස්සේ බවට චෝදනා නැඟී තිබේ. ආණ්ඩුව සම්මත කර ගැනීමට යන නව ත්‍රස්ත පනත දැඩි විවේචනයකට තුඩු දී තිබේ. පසුගිය දිනක ඒ පිළිබඳ පැවැති සම්මන්ත්‍රණයක දී හිටපු ජනධිපතිනිය චන්‍ද්‍රිකා කුමාරතුංග එය ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතක් බවත්, එය පරාජය කිරීමට පෙළගැසිය යුතු බවත් ය. මහාචාර්ය ජී. එල්. පීරිස් ද අවධාරණය කළේ එය බිහිසුණු පනතක් බවය. මාධ්‍ය නිදහස ඇතුළු සියලු මානව හිමිකම්වලට බාධා කරන දුෂ්ට පනතක් බවය. දැනට තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වෙනුවට එබඳු බිහිසුණු මර්දනකාරී පනතක් රැගෙන එන්නේ කුමක් සඳහා ද?

මේ වනවිට ආණ්ඩුවත් වෘත්තීය සංවිධාන හා වෘත්තිකයන් අතර ඇති ගැටුම් රහසක් නොවේ. ආණ්ඩුවේ යටි අදහස මෙබඳු මෘග නීති රීති මගින් ඒ වෘත්තිය අරගලකරුවන් බිය වැද්දීම ද? දණ ගැස්සවීම ද? තෙල් සංස්ථාව විදේශීය සමාගම් තුනකට විකිණීම විනිවිද නොපෙනෙන ගනුදෙනුවක් විය යුතු නැත. එහි වෘත්තීය සංගම් නායකයන් මර්දනය දැනටමත් තවත් ආරවුලක ගිනි පුපුරු විහිදුවයි. මේ සැරසෙන්නේ ජයවර්ධන පන්නයේ වර්ජකයන් කනත්තට යැවීමේ මෙහෙයුමකට ද? මේ ක්‍රියාදාමය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී, බහුතරයකගේ කැමැත්ත සහිතව කර ගැනීමට බැරි ඇයි? මෙබඳු දූෂණ ආයතන එසේම තිබිය යුතු යැයි කිසිවෙක් කියත් ද?

ප්‍රජාතන්ත්‍රවාදය සවිබල ගැන්වීමට යෝජනා වූ ස්වාධීන කොමිෂන් ගැන ආණ්ඩුව දක්වන නොරුස්සනා ආකල්පය ඉතා පැහැදිලිය. මැතිවරණ කොමිසමේ නිමල් පුංචිහේවා මෙන්ම මහජන උපයෝගිතා කොමිසමේ ජනක රත්නායක මේ ආණ්ඩුවට අප්‍රසන්න චරිත වී තිබීම අප තේරුම් ගන්නේ කෙසේද? වසන්ත මුදලිගේ වැනි සරසවි තරුණයකු ගලිවර් කෙනකු බවට පත්කළේත් මේ පර පීඩක මානසිකත්වය නොවේ ද?

ජනාධිපති රනිල් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ අපට යෝජනා කළ නොහැක. එහෙත් විධායක කඩුව ලෙළවමින් කිසිවකුට සවන් නොදෙන දැඩි අධිපතිවාදී මනසකින් ක්‍රියාකිරීමෙන් ඔහුට ලැබෙන්නේ ජනතා අප්‍රසාදය පමණි. අප එයින් අදහස් කරන්නේ ඔහු දේශපාලන නත්තල් සීයකු විය යුතු බව නොව, මානවවාදී ජනතාවාදී පාලකයකු විය යුතුය යන්නයි. නිවැරදි තීන්දු ගැනීම මෙන්ම පොදුජන හඬට සවන්දීම ද නායකත්වයක ලක්‍ෂණයකි. ජනතාව වීදි බසින්නේ ආණ්ඩු පෙරළීමට නොව, තමන්ගේ පීඩනයට සහනයක් වෙනුවෙන් ය. පළාත් පාලන මැතිවරණයට කලින් ජනාධිපතිවරණයක් පවත්වා තම ආර්ථික පිළිවෙත ජනවරමකින් අනුමත කරගැනීමට ද ජනාධිපතිට බාධාවක් නැත.

ගාමිණි සුමනසේකර (දිවයින)