අධික රස්නයෙන් සහ ලෙඩරෝගවලින් ගැලවෙන්නේ කොහොමද?

අධික රස්නයෙන් සහ ලෙඩරෝගවලින් ගැලවෙන්නේ කොහොමද?

පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පළාත් කිහිපයකට “අවවාදාත්මක” නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල 18 වනදා (ඊයේ) නිකුත් කළේය. උතුර,උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් මොණරාගල සහ කුරුණෑගලට යන දිස්ත්‍රික්ක වලත් මෙම තත්ත්වය අවධානය යොමු කළ යුතු මට්ටමකට ඉහළ ගොස් ඇති බව එහි සඳහන් ය.

උණුසුම් දර්ශකය 39 – 45 අතර මට්ටමකට එන විට එය ‘‘අවදානම්” මට්ටමට පැමිණේ.

ඒ අනුව පවතින අධික රස්නය සහිත කාලගුණයත් සමග සූර්යයාගෙන් නිකුත්වන පාරජම්බුල කිරණ මිනිස් සිරුරට පතිතවීම වැඩි වී ඇතිබව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පවසයි.

ඇය සඳහන් කළේ, දුඹුරු සමක් සහිත ලාංකිකයින්ට වුව ද මේ වන විට පවතින දැඩි හිරු රශ්මිය සමග ගැටීමේ දී ශරීරයේ දැඩි අපහසුතාවයක් දැනීමට එය ප්‍රධාන හේතුවක් වන බවයි.

“පාරජම්බුල කිරණ දර්ශකය (UV Index) 3ට වඩා වැඩි නම් සුදු සමක් සහිත පුද්ගලයින්ට හිරු රශ්මියට නිරාවරණය නොවන ලෙසට වෛද්‍ය සම්මතය අනුව උපදෙස් ලබාදී තිබෙනවා. නමුත් දුඹුරු සමක් සහිත පුද්ගලයින්ට එම දර්ශකය අනුව ගණන් බලා කටයුතු කිරීමට වඩා එළිමහනේ ගමන් බිමන් යනවිට තමන්ට අධික හිරු එළිය නිසා සිරුරට දැනෙන අපහසුතාවය අධික නම් බොහෝ වේලාවක් හිරු එළියට නිරාවරණය වී සිටීම හොද නැහැ,” විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට බීබීසී සිංහල සේවයට පැවසුවා ය.

විටමින් D ලබා ගැනීමේ දී මේ කරුණු ගැන අවධානයෙන් පසුවන්න

මිනිස් සිරුරට අවශ්‍ය විටමින් D ලබා ගැනීමේ දී හිරු කිරණවලට නිරාවරණය වීමේ දී පවතින තත්ත්වය අනුව වැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් බව ද චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරිය පවසයි.

“වෛද්‍යවරුන් ලෙස ජනතාවට අප සාමාන්‍යයෙන් නිර්දේශ කර තිබෙනවා දෛනිකව මිනිස් සිරුරට අවශ්‍ය විටමින් D ලබා ගැනීම සඳහා උදෑසන 10 සිට පස්වරු 03 පමණ දක්වා කාලය තුළ දී මිනිත්තු 20-25ක කාලයක් හිරු එළියේ සිටීම හොදයි කියලා. නමුත් දැන් තිබෙන තත්ත්වය අනුව පුද්ගලයෙක් මිනිත්තු 20ක කාලයක් හිරු කිරණවලට නිරාවරණය වී සිටීම අවශ්‍ය නැහැ. හිරු එළියේ පවතින සැඩභාවය හේතුවෙන් අවම වශයෙන් මිනිත්තු 10ක කාලයක් හෝ එළිමහනේ සිටීම ප්‍රමාණවත් වනවා දෛනිකව අවශ්‍ය කරන විටමින් D ලබා ගැනීම සඳහා. එළිමහනේ සිටීම අපහසුයි කියා කෙනෙක්ට දැනෙනවානම් එසේ සිටිමට කිසිදු අවශ්‍යතාවක් නැහැ,” විශේෂඥ වෛද්‍යවරිය කියා සිටියාය.

වැඩි අවධානයෙන් පසුවිය යුතු කාණ්ඩයන් ගැන අනාවරණයක්

ඇතැම් පුද්ගලයින්ට පවතින රෝගී තත්ත්වයන් හේතුවෙන් වෛද්‍යවරුන් විසින් හිරු එළියට නිරාවරණය වීම සුදුසු නොවන ලෙස උපදෙස් ලබාදී තිබෙන අතර, ඇතැම් විශේෂ චර්ම රෝග ඇති පුද්ගලයින් ද මෙම කාල සීමාවේදී තම සෞඛ්‍ය ගැන විශේෂ අවධානයකින් පසුවිය යුතු බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පෙන්වා දෙයි.

“උදාහරණයක් ලෙස ශරීරය පුරා සුදු කබර රෝගයෙන් පෙළෙන අයෙකු නම්, දුඹුරු සමක් ඇති පුද්ගලයෙකුට වඩා මේ දිනවල පවතින අධික හිරු එළියෙන් ආරක්ෂාවීමට කටයුතු කිරීමට වගබලා ගත යුතුයි.”

විශේෂයෙන් උපතින්ම සුදු පැහැති (ඇලිබිනිසම්) පුද්ගලයින්, හිරු එළියට සංවේදීභාවය වැඩි පුද්ගලයින් සහ ‘සිස්ටීමික් ලූපස් එරිතීමටෝසිස්’ (Systemic lupus erythematosus/SLE) රෝගීභාවයෙන් පෙලෙන පුද්ගලයින් වැඩි අවධානයකින් සිටීම වැදගත් බව ද විශේෂඥ වෛද්‍යවරිය පවසයි.

වැඩි කාලයක් එළිමහනේ කාර්යයන්වල නිරතවන ඔබ සැලකිලිමත් විය යුතු කරුණු

එළිමහනේ සිට රැකියාවේ යෙදෙන ඕනෑම කෙනෙකු ශරීරයට පතිතවන හිරු කිරණින් ආරක්ෂා වීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම වැදගත් බව විශේෂඥ වෛද්‍යවරිය පවසයි.

“ඔබ එළිමහනේ වැඩි කාලයක් ගතකරන, රැකියාවක යෙදෙන හෝ ක්‍රීඩාවේ යෙදෙන අයෙකුනම් හිරු කිරණ සෘජුව සිරුරට පතිතවීම වළක්වා ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම ඉතා වැදගත්. හිරු රශ්මියෙන් ආරක්ෂා වීම සඳහා ශරීරය ආවරණය වන පරිදි සැහැල්ලු ඇඳුමක් හැඳ සිටීම පහසුම කරුණුවලින් එකක් ලෙස සලකන්න පුළුවන්. ඒ වගේම එළිමහනේ ගමන් යන විට කුඩයක් භාවිත කිරීම, මුහුණ සහ හිස හිරු එළියෙන් ආරක්ෂා කර ගැනීම සඳහා හිස්වැසුමක් භාවිත කිරීම මෙම කාල සීමාවේ දී ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීමට බෙහෙවින්ම උපකාරී වනවා. ඒ වගේම හිරු කිරණින් ආරක්ෂා වීමට සිරුරේ ගල්වන ආලේපන ද ඉතා වැදගත්,” ඇය සඳහන් කළාය.

හිරු එළියෙන් ආරක්ෂා වීමට සිරුරේ ගල්වන ආලේපන භාවිත කිරීමේදී අමතක නොකළ යුතු කරුණු

හිරු රශ්මියෙන් සම ආරක්ෂා කර ගැනීම සඳහා බොහෝ දෙනා වෙළඳපළේ ඇති ආලේපන (Sunscreen) භාවිතා කිරීමට පුරුදුවී සිටියි. නමුත් බොහෝදෙනාට එය භාවිතා කළ යුතු ආකාරය පිළිබඳ නිවැරදි අවබෝධයක් නොමැති බව ද චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරිය පවසා පැවසුවාය.

“සාමාන්‍යයෙන් පුද්ගලයෙකු එළිමහනට යෑමට මිනිත්තු 15කට පෙර හිරු රශ්මියෙන් ආරක්ෂා විම සඳහා භාවිත කරන ආලේපන සිරුරේ ගල්වා ගැනීම සිදුකළ යුතුයි. එහිදී විශේෂයෙන්ම තමන් හැඳ සිටින ඇඳුමෙන් ආවරණය නොවන ශරීරයේ සෑම ස්ථානයකම මෙම ආලේපනය ගල්වා ගැනීම ඉතා වැදගත්. ඒ වගේම එම ආලේපනය භාවිත කරන පුද්ගලයා බොහෝ කාලයක් එළිමහනේ සිටින අයෙකු නම් හිරු කිරණින් ආරක්ෂා වීම සඳහා සෑම පැය දෙකකටම වරක් මෙම ආලේපනය ආලේප කර ගැනීම වැදගත්.

“නමුත් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු මේ ආකාරයෙන් සන්ස්ක්‍රීන් භාවිත කිරීමට පෙළෙඹී නැහැ. මොකද ඒවායේ පවතින අධික මිල නිසා. ඒ නිසා සුදුසුම දේ තමයි කුඩයක් භාවිත කිරීම,” විශේෂඥ වෛද්‍ය කහවිට පවසා සිටියාය.

අධික රස්නය නිසා ඇතිවන චර්ම රෝග

  • දහදිය බිබිලි

මේ දිනවල පවතින අධික රස්නය සමග සමේ රෝග ඇතිවීම සුලබ බව චර්ම රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පවසයි.

“පරිසරයේ පවතින ආර්ද්‍රතාවය වැඩි නිසා පවතින රස්නය හේතුවෙන් මිනිස් සිරුරෙන් පිටවන දහදිය වාෂ්පවීම ප්‍රමාදවීම නිසා කුඩා දරුවන්ගේ සම මත දහදිය බිබිලි ආදිය ඇතිවීම මේ කාලයේ දී වැඩි වශයෙන් දක්නට ලැබෙනවා.”

“දහදිය බිබිලි එනවා කියන්නේ දරුවන්ගේ සම උෂ්ණයි කියන එක. ගොඩක්දෙනෙකු බලාපොරොත්තු වෙන්නේ දහදිය බිබිලිවලට ගාන්න ක්‍රීම් වැනි ආලේපයක්. නමුත් එවැනි ආලේපනයක් ගැල්වීමට වඩා වැදගත් සම ටිකක් සිසිල් කර ගැනීම.”

“කුඩා දරුවෙකුට වෙනත් අසනීපයක් නොමැතිනම් එම දරුවා නැහැවීමේ දී සහ සිරුර සේදීමේ දී ඇල් ජලය භාවිත කිරීම ඉතා හොඳයි. එමෙන්ම දහදිය බිබිලි ඇතිවී තිබෙන දරුවෙකු නම් වෙනදාට වඩා වැඩි වාර ගණනක් දිනපතා සිරුර ජලයෙන් සේදීම වැදගත්. එවැනි අවස්ථාවල දී සබන් ගැල්වීමක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නැහැ. මෙය වැඩිහිටියෙකුටවුවත් අනුගමනය කළ හැකි දෙයක්,” ඇය කරුණු පැහැදිලි කළා ය.

“බොහෝ වේලාවක් ජලයෙන් සිරුර සේදීමෙන් අප බලාපොරොත්තු වන්නේ සමේ ඇතිවී තිබෙන උෂ්ණත්වය පාලනය කර ගැනීමයි. ඒ වගේම රස්නය අධිකව පවතින කාල සීමාවක දී සිරුරේ සබන් ගැලවීම සුදුසු වන්නේ නැහැ. කෙසේ වුවත් අඛණ්ඩව සිරුරේ දහදිය බිබිලි පවතිනවා නම් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්,” විශේෂ වෛද්‍ය ඉන්දිරා කහවිට පවසයි.

සමේ බැක්ටීරියා ආසාදනයන් ඇතිවීම

පරිසරයේ පවතින ආර්ද්‍රතාවය වැඩිවීම නිසා කුඩා දරුවන්ගේ සමේ බැක්ටීරියා ආසාදනයන් ඇතිවීම සුලබ කරුණක් බවත්, ඒ ගැන අවධානයෙන් පසුවිය යුතු බවත් විශේෂඥ වෛද්‍යවරිය පැවසුවාය.

“මෙම දිනවල කුඩා දරුවන්ගේ සම මත සැරව බිබිලි ඇතිවී තිබෙන අයුරු දක්නට පුළුවන්. එයට හේතුව වන්නේ දහදිය දැමීම වැඩි නිසා සිරුරේ බැක්ටීරියා ආසාදනයන් සුලබවීම යි. සාමාන්‍යයෙන් මුහුණ පුරා සහ ඇස් යට සැරව බිබිලි ඇතිවී තිබෙනවානම්, ඊට අමතරව උණ තිබෙනවානම් වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාම වැදගත්,” ඇය සඳහන් කළා ය.

දිලීර ආසාදනයන් ඇතිවීම

සිරුරට දහදිය දැමීම අධික වීම නිසා සම මත දිලීර ආසාදනයන් වැඩිවී තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරිම වැදගත් බව ද විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පෙන්වා දෙයි.

“ශ්‍රී ලංකාව තුළ බොහෝ රෝගීන්ට දිලීර ආසාදනය ඇතැම්විට ගැටලුසහගත තත්ත්වයක් බවට පත්ව තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව වන්නේ දිලීර රෝග තත්ත්වය ඇතිවන්නේ සමේ තෙත්භාවය පවතින ස්ථානවල බැවින්. විශේෂයෙන් දහදිය දැමීම අධික පුද්ගලයින්ගේ සිරුරේ කිහිලි, ඉකිලි, කාන්තාවන්ගේ පියයුරු යට, තට්ටම්වල තමයි බොහෝ දුරට දිලීර ආසාදනයන් ඇතිවන්නේ. මේ දිනවල පවතින අධික උෂ්ණ කාලගුණයත් සමග දිලීර රෝග ව්‍යාප්තිය බහුලව පවතිනවා,” විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නා ය.

ඔබේ රෝගය පවසා ෆාමසිවලින් ඖෂධ ලබාගන්න එපා

දිලිර රෝගී තත්ත්වයන් හේතුවෙන් බොහෝදෙනෙකු වැරදි ඖෂධ භාවිතයට පෙළෙඹී ඇති බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පෙන්වා දෙයි.

ඇය සඳහන් කළේ මේ තත්ත්වය හේතුවෙන් ඇතැම් විට ඖෂධ සඳහා ආසාදනය සුවනොවී ඊට සිරුරේ ප්‍රතිරෝදයක් ඇතිවුවහොත් එය බරපතල ගැටලුසහගත තත්ත්වයක් වන බව යි.

“ශරීරයේ දිලීර ආසාදන ඇතිවී තිබෙන අවස්ථාවල දී එවැනි ස්ථාන වෛද්‍යවරුන්ට පෙන්වීමට බොහෝ දෙනෙකු මැලිකමක් දක්වනවා. නිසි වෛද්‍ය උපදේශයකින් තොරව මේ නිසා ගොඩක් දෙනෙකු පුරුදු වී තිබෙනවා ඖෂධ අලෙවිසැල්වලට ගොස් තමන්ගේ සිරුරේ කැසීමක් ඇති බව පවසා ක්‍රීම් වර්ගයක් ලබා ගැනීමට.

“එම අවස්ථාවල දී ඖෂධ අලෙවිසැල් වලින් ලබාදෙන්නේ ලංකාවේ තිබෙන දිලිර නාශක, බැක්ටීරියා නාශක සහ ස්ටීරොයිඩ් කියන වර්ග තුනම එකතු කර නිෂ්පාදනය කර තිබෙන ක්‍රීම් වර්ගයක්. ඖෂධ අලෙවිසැල්වල සිටින පුද්ගලයින් සිතන්නේ මේ රෝග සඳහා එම ආලේප හරියයි කියලා.

“මෙවැනි ආලේපන නිසා සිරුරේ ඇතිවී තිබෙන දිලීර රෝගය සම්පුර්ණයෙන් සුවවෙන්නේ නැහැ. එම ආලේපනයන්වල ඇති ස්ටිරොයිඩ් නිසා සමේ ඇතිවී තිබෙන කැසීම සුවවුවත් නැවත ආසාදනය පැතිරීම සිදුවිය හැකියි,” විශේෂඥ වෛද්‍යවරිය කරුණු පැහැදිලි කරයි.

“සිරුරේ ඉකිලි හෝ කිහිලිවල කැසීමක් තිබෙනවානම් ඔබ කිසිදු අවස්ථාවක ඖෂධ අලෙවිසැලකට ගොස් විවිධ ආලේපන වර්ග රැගෙන දිලීර ආසාදනය ඇතිවී තිබෙන තැන්වල ගැල්වීම සුදුසු නැහැ. ඔබ ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීම සුදුසු යි. එසේ ලබාදෙන ප්‍රතිකාරවලින් සුවයක් නොමැතිනම් චර්ම රෝග සායනයකට යෑමට කටයුතු කරන්න,” වෛද්‍යවරිය ජනතාවට දැනුම් දෙයි.

“ඇතැම් අවස්ථාවල දී දිලීර ආසාදනයන් සඳහා ලබාදෙන ඖෂධ ප්‍රතිචාර නොදැක්වීම වෛද්‍යවරුන් ලෙස අප මුහුණදෙන ප්‍රධාන ගැටලුවක්. දිලීර ආසාදනයන් සඳහා මුඛ මාර්ගයෙන් ලබාදෙන ඖෂධ වර්ග සහ ආලේප කිරීමට තිබෙන ආලේපන වර්ග ඉතා සීමා සහිත ප්‍රමාණයක් තිබෙන්නේ. සීමා සහිත ඖෂධවලටත් ප්‍රතිරෝදයක් ඇතිවුවහොත් අපට ප්‍රතිකාර කිරීමට දෙයක් නැතිව යනවා,” විශේෂඥ වෛද්‍යවරිය කරුණු පැහැදිලි කරයි.

තමන්ගේ සිරුරේ හටගෙන ඇති දිලීර රෝගී තත්ත්වය නිසා යම් ඖෂධයක් සාර්ථක ලෙස ප්‍රතිචාර නොදක්වයි නම්, තවත් ඖෂධ‍යක් තෝරා ගනිමින් ඖෂධ අලෙවිසැල්වලින් විවිධ ඖෂධ භාවිතයට ගැනීම සුදුසුයි යන තීරණයේ නොසිට චර්ම රෝග සායනයකට පැමිණ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සුදුසු බව විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට වැඩි දුරටත් කියා සිටියාය.