ඊපීඑෆ් එකට සිදුවන්නේ කුමක්ද

ඊපීඑෆ් එකට සිදුවන්නේ කුමක්ද
  • ප්‍රතිව්‍යුහගතකරණයට පෙරත් 2020 දී ලැබීම්වලට වඩා ගෙවීම් වැඩියි

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ප්‍රතිව්‍යුහගතකිරීමට නියමිතව ඇත්තේ සේවක අර්ථසාධක අරමුදල හෙවත් ඊපීඑෆ් ඇතුළු රජයට භාණ්ඩාගාර බැඳුම්කර ලෙස ලබාදී ඇති ණය පමණය. ඒ අනුව ඊපීඑෆ් රජයට භාණ්ඩාගාර බැඳුම්කර ලෙස රුපියල් ටිලියන 3.2ක (රුපියල් බිලියන 1000ක් ටිලියනයක් වේ) මුදලක් ලබාදී ඇති අතර රාජ්‍ය බැංකු බැඳුම්කර ලෙස රුපියල් ටිලියන 2.8ක ණය ලබාදී ඇත. ඊට අමතරව අනෙකුත් බැංකු රුපියල් ටිලියන 1ක ණය ලබාදී ඇති අතර තවත් ආයතන හා පුද්ගලයින් රුපියල් ටිලියන 1.7ක ණය ලබාදී ඇත. මෙසේ බැඳුම්කර මිලදීගත් අයගෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය වන්නේ ඊපීඑෆ් ඇතුළු අරමුදල්වල ණය පමණය. රාජ්‍ය බැංකු ඇතුළු පෞද්ගලික බැංකුද, අනෙකුත් ණය ලබාගත් පුද්ගලයින් හා ආයතනද ඉන් ඉවත් කර තිබේ.

භාණ්ඩාගාර බැඳුම්කර

භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ ක්‍රියාවලියේදී ආණ්ඩුවට වැඩි චෝදනාවක් එල්ල වන්නේ අනෙකුත් ආයතන හා පුද්ගලයින් යනුවෙන් හඳුන්වන බැංකු නොවන ප්‍රාථමික ගැණුම්කරුවන් ලබාදුන් ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකිරීම සම්බන්ධයෙන්ය. මෙම ප්‍රාථමික බැඳුම්කරුවන් අතර ජනාධිපති රනිල් වික්‍රමසිහට මෙන්ම රාජපක්ෂවරුන්ටද සම්බන්ධකම් ඇති බව හෙළිවූ අර්ඩුන් ඇලෝසියයස්ලාගේ කූප්‍රකට පර්පෙචුවල් ටෙෂරීස් සමාගමද තිබෙන බව අමතක කළ යුතු නැත.

මෙම ප්‍රාථමික ගැණුම්කරුවන් මගින් ආණ්ඩුවට ණය ලබාදී ඇත්තේ කවුරුන්ද යන්න නම් වශයෙන් වාර්තා නොවුනත්, ඔවුන් සාමාන්‍ය මිනිසුන් නොවන ඉතා බලවත් පුද්ගලයින් යන්න බැහැර කළ නොහැකිය. මන්ද එම ආයෝජන රුපියල් ලක්ෂ ගණනේ ඒවා නොවන නිසාය. රටේ බැංකු පද්ධතියේ බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් නොකිරීම සම්බන්ධයෙන් එතරම් විවේචනයක් ආණ්ඩුවට එල්ල නොවන අතර ඒ සඳහා එක් හේතුවක් වන්නේ බැංකු මේ වනවිට රජයට ගෙවන බදු ප්‍රමාණයත්, බැංකු අර්බුදයට ලක්වුවහොත් ඒ මගින් ගනුදෙනුකරුවන්ට හා රටේ මූල්‍ය පද්ධතියට සිදුවන බලපෑමත්ය.

මෙහිදී ඊපීඑෆ් ඇතුළු විශ්‍රාමික අරමුදල් ලබාගත්  භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයට ලක්වන අතර එය සිදුවන්නේ 2027 වර්ෂයේ සිට 2038 වර්ෂය දක්වා කල්පිරීමේ දින දීර්ඝ කරමින් සහ පොලී අනුපාතය 2025 වර්ෂය දක්වා සියයට 12ක් වශයෙන් හා ඉන් ඉදිරියට සියයට 9 දක්වාද පහත දැමීම මගින්ය.

මේ තීරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ වනවිට ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇත්තේ එම තීරණයට ඊපීඑෆ් ඇතුළු විශ්‍රාම අරමුදල් කැමති නොවන්නේ නම් එම අරමුදල්වලට සියයට 30ක බදු පැනවීමක් සිදුකරන බවය. මේ වනවිට එම අරමුදල්වලින් අය කරන්නේ සියයට 14ක බදු ප්‍රමාණයක් පමණය.

ඊපීඑෆ් පොළියට මොකද වෙන්නේ

මේ කැමැත්ත ලබාදිය යුතු වන්නේ කවුද? ඊපීඑෆ් අරමුදලේ සැබෑ අයිතිකරුවන් වන එහි සාමාජිකයින්ද, රජය වෙනුවෙන් එය පාලනය කරනු ලබන භාරකාර මණ්ඩලයද? ඊපීඑෆ් අරමුදල යනු පෞද්ගලික අංශයේ සේවකයින් ඔවුන්ගේ වැටුපෙන් දායක වන හා ඒ වෙනුවෙන් ඔවුන්ගේ සේවා යෝජකයින් දරන දායකත්වය මිස රජය දරන දායකත්වයකින් සමන්විත එකක් නොවේ. ඊටීඑෆ් අරමුදල යනුද එම සේවකයින් වෙනුවෙන් සේවා යෝජකයින් සිදුකරන දායකත්වයක් පමණී. නමුදු මේ අරමුදල් දෙකම පාලනය කිරීමට සේවකයින් නියෝජනය කරන නියෝජිතයින් පත්කරන ලෙස වසර ගණනාවක් තිස්සේ ඉල්ලීම් කෙරුණත් ඒ සඳහා කිසිවකුත් මෙතෙක් පත්කෙරුණේ නැත. එම ඉල්ලීම සඳහා හේතු වූයේද ඊපීඑෆ් අරමුදල් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී රාජපක්ෂවරුන්ගේ හිතවත් බංකොළොත් ආයතනවල කොටස් ඉතා වැඩි මුදලක් ගෙවමින් ආයෝජනය කිරීමය.

ඊපීඑෆ් අරමුදල වෙනුවෙන් ඒ ආකාරයේ සියලු තීරණ ගන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයයි. එම මුදල් මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ නිල බලයෙන්ම මහ බැංකුවේ අධිපතිවරයාය. අනෙක් නිල සාමාජිකයා වන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාය. පත්කරන ලද සාමාජිකයින් තුන් දෙනෙකු සිටින අතර ඔවුන්ව පත්කරනු ලබන්නේද ජනාධිපතිවරයා විසින්ය. මහ බැංකු අධිපතිවරයාවද ජනාධිපතිවරයා පත්කරන අතර මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාවද ජනාධිපතිවරයා පත්කරනු ලබයි.

ඒ අනුව දැන් සිදුවී ඇත්තේ කුමක්ද? දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නම් වූ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සඳහා ජනාධිපතිවරයාම පත්කරන ලද එය ක්‍රියාත්මක කරන ප්‍රධාන නිලධාරීන් දෙදෙනෙකු ඉදිරිපත් කරන ඊපීඑෆ් අරමුදල සම්බන්ධයෙන් වූ යෝජනාවක් එම නිලධාරීන් දෙදෙනාද ඇතුලත් ජනාධිපතිවරයා විසින්ම පත්කරන ලද තවත් සාමාජිකයින් තුන්දෙනෙකුද ඇතුලත් මුදල් මණ්ඩලය විසින් අනුමත කිරීමය.

එය උපහැරණයක් ලෙස දැක්වීමට සමත් කියමනක් සොයා ගැනීමට නොහැකි අතර අනාගතයේ දවසක ඒ සඳහා  උපහැරණයක් සමහරවිට නිර්මාණය වීමටද හැකිය. ඒ නිසා එයට දැනට අපට කීමට හැක්කේ රනිල්ගේ ක්‍රමවලින් එකක් කියාය.

මන්ද මෙම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ඊපීඑෆ් අරමුදල සම්බන්ධයෙන් ඇති යෝජනාව සඳහා ස්වෙච්ඡාවෙන් කැමති වන ලෙස කියන්නාද, එසේ ස්වෙච්ඡාවෙන් කැමතිවීමේ තීරණය ගන්නාද, ස්වෙච්ඡාවෙන් කැමති නොවුණහොත් සියයට 30ක බදු පනවන්නාද වන්නේ එක් අයකු හෙවත් එක් පාර්ශවයක් වීම නිසාය.

ඒ නිසා මෙම පිරිසට අකමැති නම් අකමැති විය හැක්කේ ඔවුන්ගේම යෝජනාවටය. කැමති නම් කැමති ලෙස ප්‍රකාශ කළ යුත්තේද ඔවුන්ගේ යෝජනාවටය. අකමැති නම් ඉහළ බදු අනුපාතික පැනවිය යුත්තේද ඔවුන් විසින් වීමය.

ඊපීඑෆ් අරමුදලින් අපට කොපමණ මුදලක් අහිමි වෙනවද?

මෙම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ඊපීඑෆ් අරමුදලට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ අදහස් දක්වමින් වෙරිටේ රිසර්ච් ආයතනයේ අධ්‍යක්ෂ ආර්ථික විශ්ලේෂක ආචාර්ය නිශාන් ඩී මෙල් පවසන්නේ 2038 වසර වනවිට ඊපීඑෆ් අරමුදලට රුපියල් ටිලියන 12ක පාඩුවක් සිදුවන බවයි. ඔහු එය විග්‍රහ කරන්නේ 2038 වර්ෂය දක්වා ඊපීඑෆ් අරමුදලේ වත්මන් වටිනාකම වන ටිලියන 3.455ක මුදල  සියයට 13.5ක වර්තමාන පොළී අනුපාත සාමාන්‍යය අනුව ආයෝජනය කළහොත් එහි වටිනාකම රුපියල් ටිලියන 25 දක්වා වැඩිවනු ඇති බවයි. එහෙත් රජය ප්‍රකාශයට පත්කර ඇති සියයට 9.1ක පොළී අනුපාතය අනුව එම වසර 16ක කාලයේදී රුපියල් ටිලියන 12ක මුදලක් ඊපීඑෆ් අරමුදලට අහිමි වන බවයි.

සේවක අර්ථසාධක අරමුදලේ 2020 මූල්‍ය ප්‍රකාශයන්ට අනුව එම වර්ෂයේ ආදායම් ලෙස ආයෝජන පොලී ලෙස රුපියල් 266,195,662,000ක් ලැබී ඇත. එමෙන්ම දායක මුදල් ලෙස රුපියල් 150,734,735,000ක් ලැබී ඇත. කොටස් විකිණීමෙන් රුපියල් 1,262,186,000ක් ලැබී ඇති අතර ලාභාංශ ලෙස රුපියල් 2,512,227,000ක් ලැබී ඇත. එම වර්ෂයේ ලැබුණ අනෙකුත් ලැබීම්ද සමඟ මුළු ලැබීම් ප්‍රමාණය  රුපියල් 421,508,877,000කි.

ගෙවීම් ලෙස ආයෝජන සඳහා මුදල් මණ්ඩලයට රුපියල් 2,035,967,793,000ක් ගෙවා ඇති අතර ඉන් ආයෝජන කල්පිරීම් ලෙස ලැබුණ රුපියල් 1,771,076,730,000ක මුදල අඩු කිරීමෙන් පසු රුපියල් 264,891,062,000ක මුදලක් ආයෝජන වශයෙන් ගෙවා ඇත. එමෙන්ම ප්‍රතිලාභ ගෙවීම් වශයෙන් රුපියල් 109,778,184,000ක මුදලක් ගෙවා ඇත. මෙහෙයුම් වියදම් ලෙස රුපියල් 553,117,000ක් ගෙවා ඇත. ණය හිමියන් ගෙවිය යුතු ගෙවීම් පියවීම ලෙස රුපියල් 3,575,745,000ක් ගෙවා ඇත. කම්කරු කොමසාරිස්ගේ වියදම් ප්‍රතිපූර්ණය කිරීම යටතේ රුපියල් 684,986,000ක් ගෙවා ඇත. එමෙන්ම බදු වශයෙන් රුපියල් 41,783,609,000ක් ගෙවා ඇත. අනෙකුත් ගෙවීම්ද සමඟ එම වර්ෂයේ සිදුකර ඇති මුළු ගෙවීම් ප්‍රමාණය රුපියල් 422,081,797,000කි. ඒ අනුව 2020 වර්ෂයේ ලැබීම් ප්‍රමාණයට වඩා ගෙවීම් ප්‍රමාණය වැඩි වී ඇත.

මෙසේ වර්ෂයක ලැබීම් ප්‍රමාණයට වඩා ගෙවීම් ප්‍රමාණය වැඩිවී  ඇත්තේ එම අරමුදල විසින් මිලදීගත් භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යහගතකරණයට පෙරය. 2021 හා 2022 යන වර්ෂවලට අදාළ එහි වාර්ෂික වාර්තා තවම ප්‍රකාශයට පත්කර නැති නිසා එම වර්ෂවල තත්වය තවම වාර්තා වන්නේ නැත.

එම අරමුදල සාමාන්‍යයක් ලෙස සියයට 13.5ක පොළී ආදායමක් ආයෝජන වෙනුවෙන් ලබමින් සිටි තත්වය තුළ එසේ වී ඇත්නම්, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නාමයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර ඇති පොළී අනුපාතයන් අනුව හෝ සියයට 30ක බදු මුදලක් පැනවීම මත ඊපීඑෆ් අරමුදලට සිදුවිය හැක්කේ කුමක්ද යන්න පැහැදිලි කරගත යුතුව ඇත. ඒ වෙන කිසිවක් නිසා නොව ඒ තුළ ඇත්තේ ව්‍යාපාරිකයින්ගේ මුදල් නොව ලියුම්කරුද ඇතුළු මේ රටේ වැඩකරන ජනතාවගේ මුදල් වන නිසාය.

| ලසන්ත රුහුණගේ (අනිද්දා)