රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කිරීමට මුවා වී - පොදු දේපල විකිණීමේ කුමන්ත්‍රණය යළිත්.....?

රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කිරීමට මුවා වී - පොදු දේපල විකිණීමේ කුමන්ත්‍රණය යළිත්.....?

රාජ්‍ය ව්‍යාපාර රැසක් ප්‍රතිව්‍යූහගත කිරීමට අත්‍යවශ්‍ය බවට රජය හඳුනාගෙන ඇතැයි ප්‍රකාශ වන අතර, ඒ වෙනුවෙන් වෙනම විශේෂ ඒකකයක් මුදල් අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇත. එම ඒකකය විසින් නිල වශයෙන් නිකුත් කරන ලද නිවේදනයක හඳුනාගත් රාජ්‍ය ව්‍යාපාර 85 ක් ප්‍රතිව්‍යූහගතකරණයට ලක්කරන බවට ප්‍රකාශ වී ඇත. විශේෂයෙන් රජයට අයත් වාණිජ ව්‍යාපාර 130 කින් 85 ක් පමණ ප්‍රතිව්‍යූහගත කිරීමටත්, 15 ක් වසා දැමීමටත් නියමිත බව පැවසේ.

2023 ඔක්තෝබර් 04 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකයේ ප්‍රධානියා යැයි සඳහන් පුද්ගලයෙකු හෙළිදරව් කළ කරුණු මත ඉහත තත්වයන් විග්‍රහ කර ගත හැකිය. මෙම ප්‍රතිව්‍යූහගතකරණය යනු පෞද්ගලීකකරණය නොවන බව සඳහන් කළ ද, ඒ යටතේ රාජ්‍ය ආයතන සම්පූර්ණයෙන්ම විකුණා දැමීම, කොටසක් විකුණා දැමීම, කළමනාකරණයේ වෙනස්කම් සිදුකිරීම වැනි අදහස් ද ලිඛිතව එලි දක්වා ඇත. 

රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල ලෙස ක්‍රියාත්මක රජයට අයත් බැංකු පද්ධතියට සිදුවන්නේ කුමක්දැයි එහිදී මාධ්‍යවේදීන් විමසා ඇති අතර, ඉහත ආයතන 85 මොනවාදැයි එම ප්‍රධානියා සඳහන් නොකර “ලිස්සා” ගොස් ඇති බව ද සඳහන් වේ. බලලා මල්ලෙන් එළියට පනින්නේ ඔහු ලබාදුන් ලැයිස්තුවේ කොටස් දෙක පරිශීලනය කිරීමේදීය.

ඉහත මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් වෙත ආයතන 41 ක ලැයිස්තුවක් ඇමුණුම් 2 ලෙසට ද, ආයතන 31 ක ලැයිස්තුවක් ඇමුණුම් 3 ලෙසට ද ලිඛිතව ලබා දී තිබුණි. ඇමුණුම් 3 හි සඳහන් ආයතන 31 තුළ සියලුම රාජ්‍ය බැංකු ඇතුලත් වී ඇති අතර එම සියලුම බැංකු, සමාගම් පනත යටතේ ලියාපදිංචි කර හෝල්ඩින් සමාගමක් යටතට පත්කර විකුණා දැමීමේ ඉදිරි කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බව ද පෙනේ.

ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකයේ ප්‍රධානියාගේ ළමා තර්ක.....?

රටේ ආර්ථිකයේ කෙළපැමිණියෙකු ලෙසට කරුණු ඉදිරිපත් කළ ප්‍රධානියා රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධයෙන් පාඩම් රැසක් උගෙන බව දැක ගැනීමට හැකිය.

1.            එම ආයතන සහන සැලැසීමට යොදාගෙන ඇති බව

                මෙම අදහස සැබැවින්ම මුග්ධ අදහසකි. අතීතයේදී රට පාලනය කළ ජනහිතකාමී නායකයින් විසින් රටේ මහජන අවශ්‍යතා සහ සුබ සාධනය වෙනුවෙන් මෙම රාජ්‍ය ව්‍යාපාර ඇති කළ අතර, එමඟින් මහජන සුබ සාධනය වෙනුවෙන් කටයුතු කිරීම අපේක්‍ෂාව විය. තවද විශේෂයෙන් සඳහන් කළ යුත්තේ 1977 දක්වා මෙම රාජ්‍ය ව්‍යාපාර සියල්ල කාර්යක්‍ෂම සේවා රැසක් ඉටු කළේ ලාබ ලබමින් බවය. එම තත්වය දශක තුන හතරක සිට උඩු යටිකුරු කළේ කවුරුන්දැයි විමසීමට තරම් මේ ආර්ථික ඔස්තාර්ලාට කොන්දක් නොමැති වීම ජුගුප්සා සහගතය.

2.            එම ආයතනවලට නුසුදුසු අධ්‍යක්‍ෂ මණ්ඩල පත්ව ඇති බව

                රාජ්‍ය ආයතන වලට අධ්‍යක්‍ෂ මණ්ඩල ඉබේටම පත්වන්නේ නැත. පත් කළ යුතුය. මේ ප්‍රධානියා තිත්ත ඇත්තට බිය වී ඇති බව පෙනේ. සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය ආයතනවල අධ්‍යක්‍ෂ මණ්ඩල ඇතුළු ඉහළ තනතුරු සියල්ල පත්කරනු ලබන්නේ රටේ ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය හා අදාළ අමාත්‍යවරයා විසිනි. එසේ නම් නුසුදුසු අධ්‍යක්‍ෂ මණ්ඩල පත්කර රාජ්‍ය ව්‍යාපාර විනාශ කිරීම සළකා බැලීමේදී ප්‍රතිව්‍යූහගත කළයුතු වන්නේ එම රාජ්‍ය ව්‍යාපාර නොව සාවද්‍ය තීන්දු ගත් අකාර්යක්‍ෂම ආණ්ඩු බව අවධාරණය කළ යුතුය.

3.            නොපවතින රැකියා හා තනතුරු නිර්මාණය කිරීම.

                වත්මන් ආණ්ඩුව මෙන්ම විශේෂයෙන් 1977 න් පසු බිහි වූ සියලු ආණ්ඩු අඩු වැඩි වශයෙන් තම ඥාතීන්, හිතවතුන් හා මැතිවරණවල දී සහාය දුන් පාක්‍ෂිකයින් ඇතුළු පිරිස්වලට රිසි සේ ධනවතුන් වීමට රාජ්‍ය ආයතන භාවිතා කළ බව අතිශයෝක්තියක් නොවේ. මෙම කාරණය ඉහත අංක. 2 හි දක්වා ඇති කරුණු සඳහා බලපානු ලබන බව සඳහන් කරමු.

4.            වත්කම් අවභාවිතා කර ඇති බව

මෙම රාජ්‍ය ව්‍යාපාර සතු වත්කම් අවභාවිතා කර ඇති බව පමණක් නොව ඇතැම් ආයතනවල අදටත් සිදුකරමින් සිටින බව ද අතිශයෝක්තියක් නොවේ. එවැනි ජනතා ද්‍රෝහී කටයුතුවල යෙදීමට මඟ පාදා ගන්නේ කෙසේ දැයි අංක. 2 හා 3 විශ්ලේෂණය කිරීමේදී අවබෝධ කරගත හැකිය.

ප්‍රතිව්‍යූහගතකරණය

ලංකා බැංකු සේවක සංගමය දීර්ඝ කාලයක සිට ඉතා බරපතල ලෙසින් රාජ්‍ය බැංකු පමණක් නොව රජයට අයත් සියලු ආයතන ප්‍රතිව්‍යූහගතකරණයට ලක් කළ යුතු බව දැඩිව අවධාරණය කරන කාරණයකි. එහෙත් ප්‍රතිව්‍යූහගතකරණය යනු විකිණීම නොවිය යුතුය. එය කිසිසේත්ම පිළිතුරක් ද නොවේ. ප්‍රතිව්‍යූහගතකරණ ඒකකයේ ප්‍රධානියා  ඉහත මතුකර ඇති සුවිශේෂී තත්වයන් පිටු දකිමින්, දේශපාලන අතපෙවීම් වලින් තොරව රාජ්‍ය ආයතන ස්වාධීනව පවත්වාගෙන යාමත් වගකිවයුතු අදාළ අංශ මගින් නිසි පරිදි අධීක්‍ෂණය කිරීමට ලක් කිරීමත්, සියලු රාජ්‍ය ආයතන වෙත නිසි පත්කිරීම් හරහා නිවැරදි කළමනාකාරණයන් ලබාදීමටත් ආණ්ඩුව ඉක්මන් පියවර ගැනීම ප්‍රතිව්‍යූහගතකරණය ලෙස හඳුනාගත යුතුය.

තව ද ඉතා පැහැදිලිව ලාබ ලබමින් පවත්වාගෙන ගිය රාජ්‍ය ව්‍යාපාර කෝටි ප්‍රකෝටි ගණන් පාඩු ලබන තත්වයට පත්වීම හා ඒවා මහජන බදු මුදලින් නඩත්තු කිරීමට සිදුවීම සාහසික අපරාධයකි. එය එසේ වූ හේතු විමසා බැලීමකින් තොරව මහජන අවශ්‍යතාවන් හා මහජන සුබ සාධනය බරපතල ලෙසින් අමතක කරමින් රාජ්‍ය ව්‍යාපාර විකුණාගෙන කෑමේ කුමන්ත්‍රණය රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යූහගතකරණය නම් සුන්දර වදන්වලින්  යටපත් කිරීමට උත්සාහ දැරීම හිරිකිතය. රාජ්‍ය ආයතන විකිණීමේ ක්‍රියාවලිය අතීතයේ සිට වර්තමානය දක්වා විශ්ලේෂණය කරන කල්හි එම ක්‍රියාවලියෙන් රටටත්, ජනතාවටත්, ආර්ථිකයටත් සිදුවූ කිසිදු යහපතක් නොමැති බවට අටුවා ටීකා අවශ්‍ය නොවනු ඇත.

ප්‍රතිව්‍යූහගතකරණයේ යථාර්ථය

රාජ්‍ය බැංකු ද ඇතුලත්ව රාජ්‍ය ව්‍යාපාර සියල්ල රාජ්‍ය අයිතිය යටතේ  ප්‍රතිව්‍යූහගතකරණය :ඍැිඑරමජඑමරු* කළ යුතුය. එය වනාහී අයහපත් කටයුත්තක් නොවේ. රාජ්‍ය බැංකු ඇතුලු සියලු රාජ්‍ය ව්‍යාපාර රට තුළ ස්ථාපිත වන්නේ ආවට-ගියාට නොවේ. ඉතා උත්තුංග අරමුණු හා පරමාර්ථ ඒවා පිටුපස තිබුණි. මෙම සියලු ව්‍යාපාර ලාබ ලබමින් පවත්වාගෙන යා හැකි බවට ඉතිහාසය කදිමට සාක්‍ෂි දරනු ඇත.

එම වටපිටාව උඩු යටිකුරු වන්නේ විශේෂයෙන් 1977 න් පසු බිහි වූ සියලු ආණ්ඩුවල තකතීරු හා තක්කඩි මෙහෙයවීම් යටතේ ය. රාජ්‍ය ආයතන හා ව්‍යාපාර, බලයට පත්වන ආණ්ඩුවල ව්‍යාපාර සේ සළකමින් සිය ඥාතීන්ට, හිතවතුන්ට හා ගජ මිතුරන්ට දොළ පිදේනි ලෙස පැවරීම හරහා බොහෝ රාජ්‍ය ව්‍යාපාර බරපතල ලෙස පාඩු ලබන ආයතන බවට පත්කර ඇත.

ප්‍රතිව්‍යූහගතකරණය අත්‍යවශ්‍ය වන්නේ මේ නිසාය. සියලු දේශපාලන පත්කිරීම්, බඳවා ගැනීම් හා අතපෙවීම් නතර කොට යහපාලනය :ඨදදා ඨදඩැරබ්බජැ* ස්ථාපිත කරන්නේ නම් ඉතා කෙටි කලකින් සාර්ථක ප්‍රතිඵල අත්විඳිය හැකි බව දැඩි විශ්වාසයකින් ප්‍රකාශ කර සිටිමු. එම ආයතන රටේ පොදු නීතියට යටත් කොට නියාමන අංශයන්ගෙන් නිසිපරිදි නියාමනය කර සුදුසු කළමනාකාරිත්වයන් යටතේ ක්‍රියාත්මක වන්නේ නම් රාජ්‍ය භාණ්ඩාගාරයට මුදල් සපයන ආයතන බවට පත් කළ හැකිය.

එය එසේ නොකොට ඉතිහාසයේ සිදු වූ පරිදි තොග පිටින් විකුණා විනාශ කළ ආකාරයට ප්‍රතිව්‍යූහගතකරණයට මුවා වී රාජ්‍ය ව්‍යාපාර විකුණාගෙන කෑමට වත්මන් ආණ්ඩුව සිදුකරන සාහසික කුමන්ත්‍රණ පරාජය කළ යුතුව ඇත. ප්‍රතිව්‍යූහගතකරණය යනු කිසිසේත්ම විකිණීම නොවේ. රාජ්‍ය ආයතන යනු බලයට පත්වන ආණ්ඩුවේ දේපල නොවේ. මහජනතාව සතු දේපලය. එය පාලනය කිරීමට තාවකාලිකව වසර කීපයකට බලය හිමිවන පිරිස් ජනතාව නොමඟ යවමින් මුදලට කෑදර වූ තීන්දු ගැනීම නතර කළ යුතු කාලය එළඹ තිබේ.

පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර

රටේ පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර කියා කොටසක් නොමැත. ඇත්තේ හිතාමතාම දැන දැනම මහ දවල් සොරා කෑම මගින් පාඩු කරවන ලද රාජ්‍ය ව්‍යාපාරය. පාඩු කරවීමට තුඩු දුන් හේතු රටම දන්නා කරුණු වන අතර, ඒවා වැළැක්වීමට කිසිදු පියවරක් නොගන්නා ආණ්ඩුව සියල්ල විකුණාගෙන කෑම තම ආර්ථික උපාය මාර්ගය බවට පත්කරගෙන තිබේ. රටේ ඉඩකඩම්, වනාන්තර, දේපළ හා මහජන ආයතන විකුණාගෙන කෑමට ආණ්ඩුවක් අවශ්‍ය නැත. ලොව විශාලතම කැබිනට්ටුවක් හා පාර්ලිමේන්තුවේ 225 ක් නඩත්තු කිරීමට ද අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ වෙන්දේසිකරුවන් කීපදෙනෙකු පමණි.

1950 දී පමණ මහා බි්‍රතාන්‍යයේ අයවැය හිඟය පියවා ගැනීමට ණය සැපයූ රටක්, එම වකවානුවේ ජපානයට පමණක් ඒක පුද්ගල ආදායමින් දෙවැනි වූ රටක් ඉන් දශක කීපයකට පසුව ලෝකය ඉදිරියේ සිඟමන් යදින දිළිඳු රාජ්‍යයක් බවට පත්වූවේ ඇයි? එම හේතු විශ්ලේෂණය නොකර 1977 දී පමණ රටේ හා ජනතාවගේ අවශ්‍යතාවයට යැයි පවසමින් හඳුන්වා දුන් විවෘත ආර්ථික සුනාමිය හරහා ආර්ථිකය මෙහෙයවමින් අප රට 2022 වන විට බංකොලොත් රටක් බවට ප්‍රකාශිතවම පත්කොට විනාශ කර දමා ඇත.

රටේ රාජ්‍ය ආදායම ගෙවීමට ඇති ණය වාරික හා පොලී ගෙවීමටත් ප්‍රමාණවත් වී නොමැත. නිසිපරිදි රාජ්‍ය ආදායම එකතුකර ගැනීමට ද වැඩපිලිවෙලක් නොමැත. අය වැය හිඟය පියවීමට තොග පිටින් ණය ගැනීම හැර වෙනත් විකල්ප කෙරෙහි සළකා බලන්නේවත් නැත. රට සංවර්ධනයට යැයි කියමින් දශක කීපයක් තුළ කුණු කොල්ලයට තොග පිටින් රාජ්‍ය දේපල, ආයතන, වතු, කැලෑ ආදිය විකුණා දමා ඇති අතර, ආර්ථිකයට සිදු වූ කෙංගෙඩියක් නොමැත. එවැනි විකාර රූපී ආර්ථික මොඩලයකින් රට ගොඩ ගැනීම හීනයක් බව ඇස් පනාපිට ඔප්පු වී ඇති පසුබිමක එම වැඩපිළිවෙලම ඉදිරියට පවත්වාගෙන යාමට ආණ්ඩුව කටයුතු කිරීම මොන තරම් විකාරයක්දැයි අමුතුවෙන් සඳහන් කළයුතු නොවේ.

සෞඛ්‍යය, අධ්‍යාපනය, ආරක්‍ෂක සේවා ආදියට මහජන මුදල් වැය කිරීම ලෝකයේ හැම රටක්ම සිදුකරන කටයුත්තකි. ඒවා ලාබ-පාඩු විමසීම පවා මුග්ධකමකි. එහෙත් රටේ ස්ථාපිත කර ඇති රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යාමට මහජන මුදල් වැය කිරීම නොකළ යුතු අපරාධයකි. එය එසේ විය යුතු නොවන බව ඉතිහාසය මැනවින් සනාථ කර ඇත. මෙම රාජ්‍ය ව්‍යාපාර නිසි ලෙස කළමනාකාරණය කරමින් පවත්වාගෙන යන්නේ නම් මහජන සේවාවන් නිසිපරිදි ලබා දෙමින් ඒවායේ ලාබ භාණ්ඩාගාරයට රැස්කිරීම අනිවාර්යයෙන් සිදුකළ හැකිය.

අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වාගෙන යාම පිණිස ස්ථාපිත කර ඇති විදුලිය, ජලය, තැපැල්, ප්‍රවාහනය, ඛණිජ තෙල්, ගුවන් සමාගම ආදී රාජ්‍ය ව්‍යාපාර කෝටි ප්‍රකෝටි ගණනින් පාඩු ලැබීමට හේතුව මෙතෙක් විමසා නොමැත. කුප්‍රකට හෙජින් ගිවිසුම, මහ බැංකු බැඳුම්කර මගඩිය, ගුවන් යානා මිලදී ගැනීමේ වංචාව, සීනි බදු වංචාව, පොල් තෙල් වංචාව, සුදුළුෑණු වංචාව වැනි අතිශය නීති විරෝධි කොල්ලකෑම් හෙළිදරව් වී තිබුණ ද ඒවා යටපත් කර ඇත. විගණකාධිපතිවරයා පුන පුනා මෙම ආයතනවල සිදුකරන මංකොල්ල ගැන සඳහන් කළ ද, කෝප් කමිටුව වැනි ආයතන සාක්‍ෂි සහිතව මහා පරිමාණ වංචාවන් ගැන හෙළිදරව් කළ ද ඒවාට එරෙහිව කිසිදු පියවරක් ගෙන නොමැත. එමෙන්ම බලධාරීන් විසින් රාජ්‍ය ව්‍යාපාර පාඩු ලැබීමට ප්‍රධාන හේතුව වශයෙන් දක්වා ඇත්තේ සේවක පිරිවැය යන්න ගැඹුරු හාස්‍යයක් උපදවයි. ප්‍රධාන නිෂ්පාදන සාධකයන්හි ශ්‍රමය ලෙසට දක්වා ඇති කොටසට වැටුප් හා දීමනා ලබාදීම ලෝක සම්මතයකි. හැරත් සේවකයින් හේතුවෙන් ව්‍යාපාර පාඩු ලබන්නේ නම් එය ද කළමනාකරණයේ බරපතල දුර්වලකමකි. ඒවා වැළැක්වීමට අධ්‍යක්‍ෂ මණ්ඩල, අමාත්‍යාංශ මෙන්ම ආණ්ඩුව ද නිසි ලෙස කටයුතු කළ යුතුව ඇත.

අතීසාරයට අමුඩ ගසන ආණ්ඩුවට අභියෝගයක්

මීට පෙර පැවැති ආණ්ඩුවලට මෙන්ම වත්මන් ආණ්ඩුවට ද ඇත්තේ ගැටලුව නිසිපරිදි හඳුනාගෙන රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විසඳුම් ඉදිරිපත් කිරීමට පියවර ගැනීම වෙනුවට එදාවේල සරි කරගන්නා පැලැස්තර විසඳුම්ය. රටේ නිෂ්පාදන ආර්ථිකය වර්ධන කිරීම, රාජ්‍ය ආයතන නිසිපරිදි කළමනාකරණය කිරීම, නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීම වැනි කටයුතු හරහා රාජ්‍ය ආදායම වර්ධනය කිරීමකින් තොරව රටේ ආර්ථිකය බංකොලොත් භාවයෙන් මුදා ගැනීම කළ නොහැකි බව ආණ්ඩුව තේරුම් ගත යුතුය.

සංගමය යළි යළිත් අවධාරණය කරන්නේ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යූහගතකරණයට කොන්දේසි සහිතව එකඟවන බවය. නමුත් ප්‍රතිව්‍යූහගතකරණය යනු විකුණාගෙන කෑම නොවිය යුතුය. තවද කෝටි - ප්‍රකෝටි ගණනින් පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර පසුගිය කාලයේ කටයුතු කළ ආකාරය පිළිබඳව අත්‍යවශ්‍යයෙන්ම වෝහාරික විගණනයක් (Forensic Audit) වෙන වෙනම සුදුසුකම් ලත් ආයතන හරහා සිදුකර පාඩු සිදු කළ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගත යුතුය. නැවත නැවතත් රාජ්‍ය ආයතන මංකොල්ල කන දූෂිත ක්‍රමවේද සියල්ල වහාම නතර කළ යුතුය. එසේ කටයුතු කරමින් වසරක හෝ දෙකක කාලයක් එම ආයතනවලට ස්වාධීනව නිසි කළමනාකරණයෙන් යුතුව කටයුතු කිරීමටත්, නිසිපරිදි අධීක්‍ෂණය කිරීමටත් තත්වය සමාලෝචනය කරමින් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන ලෙසටත් ආණ්ඩුවට බලකර සිටිමු.

මිහිඳු මහ රහතන් වහන්සේ ඓතිහාසික මිහින්තලා පුද බිමේදී එවක රට කරවූ දෙවන පෑතිස් මහ රජු අමතා මෙසේ දේශනා කළ සේක.

මහ රජ ඔබ මෙම දීපයේ අයිතිකරුවා නොවේ. බාරකරුවා පමණි. මෙම දීපයේ මහ පොලොව, ගහකොළ, ඇළ දොල ආදී සියල්ල අයිති වන්නේ මේ රටේ මිනිසුන්ටය. සතා සිවුපාවන්ටය. ඒ අනුව ඔබ කටයුතු කළයුත්තේ බාරකරුවෙක් ලෙස විනා අයිතිකරුවකු ලෙසට නොවේ.” 

අප ඉතිහාසයේ මෙන්ම වර්තමානයේ රට කරවන ආණ්ඩුවේ ඇත්තන්ට මෙසේ අවධාරණය කරමු.

මහජනතාව තාවකාලිකව රටේ පාලනයෙන් ඔබවෙත බාරදී ඇත්තේ සින්නක්කරව නොවේ. තාවකාලික බාරකාරිත්වයකට පමණි. ඒ අනුව තාවකාලික බාරකාරීත්වය හිමි ඔබට රටේ ජනතාව සතු ආයතන ලංසු තැබිමට කිසිදු අයිතියක් නොමැති බව දැඩි ලෙස අවධාරණය කර සිටිමු.

රාජ්‍ය බැංකු විකුණාගෙන කෑමේ කුමන්ත්‍රණය

ප්‍රෞඩ ඉතිහාසය

එක් දහස් නවසිය තිහේ (1930) දශකයේ අග භාගයේ දී එවකට රටේ ක්‍රියාත්මක විදේශීය බැංකුවලින් ස්වදේශිකයන්ට නිසි පරිදි බැංකු පහසුකම් ලබාගැනීමේ දුෂ්කරතාවයන් හඳුනා ගන්නා ලදී. ඒ අනුව පත් කරනු ලැබූ සොරාබ්ජීන් පොක්කනවාලා කොමිසම විසින් කරනු ලැබූ නිර්දේශයක් මත ලංකා බැංකුව ස්ථාපිත කරනු ලැබුවේ 1939 අගෝස්තු 01 දිනදීය. ස්වදේශික පෞද්ගලික බැංකුවක් ලෙස ආරම්භ කරනු ලැබූ ලංකා බැංකුව රාජ්‍ය අයිතියට පත් වීමෙන් පසුව ගත වූ 82 වසරක කාලය තුළ දී මෙරට ප්‍රධානතම රාජ්‍ය වාණිජ බැංකුව බවට වර්ධනය වී ඇත.

දිවංගත ටී බී ඉලංගරත්නයන්ගේ මූලිකත්වයෙන් සමූපකාර ව්‍යාපාරය ඇසුරින් 1961 දී මහජන බැංකුව මෙරටට දායාද විය. රටේ ඈත ගම් දනව් සිසාරා ගිය මහජන බැංකුව 62 වසරක ඉතිහාසය තුළ මෙරට කෘෂි කාර්මික ගැමි දුප්පත් ජනතාවට නැගී සිටින්නට ලබා දී ඇති ශක්තිය මෙතෙකැයි කිව නොහැකිය. ලංකා  බැංකුව තරමටම බැංකු ක්‍ෂෙත්‍රයේ ඉහළ තත්වයන්ට උරුමකම් කියන මහජන බැංකුව විදහා පාන්නේ ටී බී ඉලංගරත්නයන් වැනි දේශමාමක විරල ගණයේ මිනිසුන් රටකට කොපමණ වැදගත් සේවයක් කරන ලද ශ්‍රේෂ්ඨ යුග පුරුෂයන් බව නොවේද?

සත්‍යයේ සටහන

1939 දී ආරම්භ කරනු ලැබූ ලංකා බැංකුව මේ වනවිට රට පුරා ව්‍යාප්ත වූ ශක්තිමත්ම බැංකුව බවට පත්වී ඇත. ශාඛාවන් 646 ක් හා ප්‍රාදේශීය ණය මධ්‍යස්ථාන (RLC) 15 ක් රටපුරා ක්‍රියාත්මක වෙමින් පවතී. මෙයට අමතරව මාලදිවයිනේ ශාඛා 2ක්, චෙන්නායි හා සීෂෙල්ස් යන රටවල විදේශීය ශාඛාවන් කීපයක් ද, ලන්ඩන් නුවර ලංකා බැංකුවට අනුබද්ධ ශාඛාවක් ද මෙහෙයුම් කටයුතුවල නියැලී සිටී. ATM යන්ත්‍ර 726 ක් පමණ හා මුදල් තැන්පතු යන්ත්‍ර CDM 159 ක් පමණ රටපුරා ව්‍යාප්තව ඇත. දේශීයව මුළු දිවයිනම ආවරණය කරන පරිදි හා විදේශීයව බැංකුව සමඟ ගණුදෙනු කරන ගණුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියන 15 කට ආසන්නය. රුපියල් ට්‍රිලියන 4.5 ක පමණ වත්කම් සහිත ලංකා බැංකුව 2022 වසරේ දී ලැබූ බදු පසු ලාබය රුපියල් බිලියන 32 කි. එම වසරේ දී බැංකුව රජයට ගෙවූ බදු මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 13,000 කි.

1961 අංක 29 දරන මහජන බැංකු පනත මගින් ස්ථාපිත කරන ලද මහජන බැංකුව මෙරට බැංකු ක්‍ෂෙත්‍රයේ දෙවන විශාලතම රාජ්‍ය බැංකුව වේ. ශාඛාවන් 745 කින් හා SME මධ්‍යස්ථාන 23 කින් ද බැංකුව රට පුරා ව්‍යාප්ත වී ඇත. 822 ඉක්ම වූ ATM යන්ත්‍ර ජාලයක් ද 319 කට අධික මුදල් තැන්පතු යන්ත්‍ර ප්‍රමාණයක් ද ශාඛාවන්වලට අනුයුක්ත කර පහසුකම් සැපයීම කරනු ලැබේ. රුපියල් ටි්‍රලියන 3 ක පමණ වත්කම් සහිත මහජන බැංකුව 2022 වසරේ දී ලැබූ බදු පසු ලාබය රුපියල් බිලියන 17.1 කි. එම වසරේ දී මහජන බැංකුව රජයට ගෙවූ බදු මුදල රුපියල් මිලියන 8200 කි. ගණුදෙනුකරුවන් මිලියන 16 ක් පමණ ප්‍රමාණයක් බැංකුව සමඟ කටයුතු කරමින් සිටී.

මෙයින් ඉතා මැනවින් පැහැදිලි වන්නේ ප්‍රධාන රාජ්‍ය බැංකු 2 විසින් 2022 වසර වෙනුවෙන් රජයට ගෙවා ඇති බදු මුදල රුපියල් මිලියන 21,200 ඉක්මවන බවය. එමෙන්ම ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට අමතරව රටතුළ ස්ථාපිත කොට පවත්වාගෙන යනු ලබන සෙසු රාජ්‍ය බැංකු සංඛ්‍යාව 4 කි. ඒ ජාතික ඉතිරිකිරීමේ බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව,  නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (HDFC) යන රාජ්‍ය බැංකු වන අතර එම සියලුම බැංකු විවිධ මට්ටම්වලින් ලාභ ලබමින් පවත්වාගෙන යනු ලැබේ. නොඑසේ නම් ආණ්ඩුවට හෝ භාණ්ඩාගාරයට බරක් නොවී රාජ්‍ය භාණ්ඩාගාරයට මුදල් උපයා දෙමින් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය ආයතන වේ.

ඉතිහාසය ද මෙසේ වීය

ප්‍රධාන රාජ්‍ය බැංකු 2 ද ඇතුළත්ව රාජ්‍ය බැංකු 6 ක් රටතුළ ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම සියලු බැංකු වාර්ෂිකව රජයට ගෙවන බදුවලට අමතරව එම බැංකු ලබන ලාභයන් ද රජය විසින් අත්පත්කර ගනු ලැබේ. ඒ අනුව 2022 වසර අවසන රාජ්‍ය බැංකු විසින් රජයට ලබා දී ඇති මූල්‍යමය වටිනාකම රුපියල් බිලියන 60 ක් පමණ වේ. සැබවින්ම රට ගැන, ජනතාව ගැන ජනතාවාදීව සිතමින් කටයුතු කරන රටකරවන ඇත්තන් සිටින රටක නම් රාජ්‍ය බැංකු තව තවත් ශක්තිමත් කරන බව අතිශයෝක්තියක් නොවේ. මන්ද යත් රාජ්‍ය බැංකුවල මෙහෙයුම් පිරිවැය හැරුණ විටක ඉතිරි සම්පූර්ණ මුදල් වැය කරනු ලබන්නේ රටේ ජනතාව වෙනුවෙන් නිසාවෙනි.

1977 දී රටේ පාලනය බාරගනු ලැබූ “ධර්මිෂ්ඨ” ආණ්ඩුව විසින් විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමගම රට තුළ එතෙක් පැවති ගමන් මග මුළුමනින්ම උඩු යටිකුරු කරනු ලැබීය. මනුස්සකම්, රටේ සංස්කෘතික වටිනාකම්, සදාචාරයන් හෝ ජාතික වගවීම් සියල්ල ද ඛාදනය වෙමින් “බල්ලන් මරා හෝ සල්ලි ඉපයීම” මූලික අරමුණ වීය. විවෘත ආර්ථිකය ස්ථාපිත කිරීමත් සමග දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය අඩපන වෙමින් සියල්ල ආනයනය කරන පරාදීන ජාතියක් වීම ඇරඹුනි. කෘෂිකර්මාන්තය ප්‍රධාන වැවිලි කර්මාන්තය ද දිනෙන් දින අගාධයට යාම අතිශය ඛේදජනක තත්වයකි. පෙරදිග ධාන්‍යාගාරය වූ ශ්‍රී ලංකාවට වී පමණක් නොව කව්පි, මුං ඇට, කුරක්කන් වැනි ධාන්‍ය වර්ග පවා ආනයනය කෙරිණ. අපනයනය අවම වී ආනයනය උපරිම වීම මගින් ගෙවුම් ශේෂයේ හිඟය පියවීමට විකල්ප ලෙස තෝරා ගැනුනේ රටේ ජනතාව සතු ජාතික සම්පත් විකිණීම හෝ විදේශවලින් ණය තොග වශයෙන් ලබාගැනීමය. ප්‍රධානතම විදේශ ඉපයීම් මාර්ගය වී ඇත්තේ මැද පෙරදිගට යැවුණු කාන්තාවන් ප්‍රමුඛ ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ පමණි.

ජාතික සම්පත් විකිණීම හරහා රට දිනෙන් දින දරුණු ආර්ථික අගාධයක ගිලෙමින් පවතී. ගොඩගැනීමට කිසිදු විකල්ප වැඩ පිළිවෙළක් නොමැත. දශක ගණනාවක් පුරාවට රටට කිසිදු ජාතික වැඩ පිළිවෙළක් නොතිබුණි. අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, කෘෂිකර්මාන්තය ඇතුළු ක්‍ෂෙත්‍ර වල් වැදෙමින් ඔහේ පවත්වාගෙන යනු ලැබේ. රාජ්‍ය බැංකු හැරුණ විට බොහෝ රජය සතු ආයතන වසරින් වසර කෝටි ප්‍රකෝටි ගණනින් පාඩු ලබති. භාණ්ඩාගාරයෙන් යැපෙන මට්ටම් දක්වා විනාශ වී ඇති එම රාජ්‍ය ආයතන ප්‍රතිසංවිධානය කළ යුතු වේ. ඉන් අදහස් කරනුයේ ඒවා විකුණා දැමීම නොවන බව නැවතත් කියමු. තවද එම රාජ්‍ය ආයතන පාඩු පිට පාඩු ලබන්නේ පරිපාලනයේ වංචාවන් හා දූෂණය නිසාවෙන් මිස ආයතනවල සේවක මණ්ඩලවල ගැටලුවක් නිසා නොවේ. මෙවැනි තත්වයක සිට රාජ්‍ය බැංකු ලාබදායකව පවත්වාගෙන යාම ගැන සියලුදෙනාම සතුටු විය යුතුය. එහෙත් සිදුවන්නේ කුමක් ද? 1988-1989, 1992, 2002 හා 2016 තරම් ඈත වකවානුවක සිටම ලංකා බැංකුවත්, මහජන බැංකුවත් විකුණා දැමීමට ආණ්ඩු කටයුතු කිරීමය. එහෙත් ලංකා බැංකු සේවක සංගමය මැදිහත් වී එය වළක්වන ලදී. ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක වූ ලංකා බැංකුව හා මහජන බැංකුව බංකොළොත් බවට එවකට මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කරන ලද ප්‍රකාශය, පාඩු ලබන ශාඛාවන් වසා දැමීම, හොර දේශපාලන උසස්වීම් ප්‍රදානය, නව ව්‍යාපාර හා නව ශාඛා විවෘත කිරීම තහනම් කිරීම, නව සේවකයින් බඳවා ගැනීම අත්හිටුවීම වැනි ක්‍රියා තුළින් විවිධ ආණ්ඩු විසින් රාජ්‍ය බැංකු අඩපනකර විකුණා දැමීමට පසුබිම නිර්මාණය කිරීම් වළක්වාලන්නට සංගමයට හැකිවිය. එම අතිශය වේදනාත්මක හා අකාරුණික අතීතයේ සිට මේ දක්වා රාජ්‍ය බැංකු නිරුපද්‍රිතව හා සුරක්‍ෂිතව පවත්වාගෙන යාමේ පුරෝගාමියා වූවේ ලංකා බැංකු සේවක සංගමයයි.

රාජ්‍ය බැංකුවල වැදගත්කම

වර්තමානයේ දී මෙරට බැංකුකරණය ඉතා දියුණු මට්ටමකට පත්වී තිබේ. වර්තමානය එසේ වුවත් අතීතය මදක් විශ්ලේෂණය කරන කල්හී මෙරට බැංකුකරණයේ මුලකුරු කියා දුන්නේ රාජ්‍ය බැංකු විසිනි. කොතෙක් දේශීය හා විදේශීය පෞද්ගලික බැංකු රටතුළ විවිධ ආකර්ෂණීය මට්ටම්වලින් ක්‍රියාත්මක වුව ද රාජ්‍ය බැංකු විසින් රටේ මූල්‍ය වෙළඳපොළේ අතිශය බහුතර කොටස හිමිකරගෙන සිටී. අවම සේවා ගාස්තු යටතේ බැංකු පහසුකම් ලබාදෙමින් රටේ අතිදුෂ්කර පළාත්වල පවා ශාඛා පවත්වාගෙන යමින් හා විශාල පිරිවැයක් දරමින් බැංකු පහසුකම් රටේ අහිංසක සාමාන්‍ය ජනතාව වෙත සපයන්නේ රාජ්‍ය බැංකු විසිනි. ඇතැම් ගුණමකු පුද්ගලයින් ප්‍රකාශ කරන්නේ “රාජ්‍ය බැංකුවල රාජ්‍ය ගිණුම් පවත්වාගෙන යමින් ලාබ ලබන බවය.” එය බැලූ බැල්මට සත්‍යය ලෙස පෙනුන ද රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, අස්වැසුම වැනි සහනාධාර, පොහොර සහනාධාර, පාසල් නිල ඇඳුම්, කෘෂි කාර්මික ණය, විදුලි බිල්, ජල බිල්පත්, දුරකථන බිල්පත්, ආදායම් බදු, රේගු බදු ආදී විශාල ප්‍රමාණයක් රාජ්‍ය යාන්ත්‍රණයේ මූල්‍ය කටයුතුවල දී රාජ්‍ය බැංකු ලබාදෙන දායකත්වය කිසිවෙකු තක්සේරු නොකිරීම කුහකකමකි. එමෙන්ම ආණ්ඩුවේ එදිනෙදා වියදම්වල දී ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ සහ මහජන බැංකුවේ යූනියන් පෙදෙස ශාඛාවේ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් පවත්වාගෙන යන ගිණුම් මගින් රජයේ කටයුතුවලට රාජ්‍ය බැංකු දෙකේ දායකත්වය කොපමණදැයි විමසා බැලිය හැකිය. එමෙන්ම ආණ්ඩුවේ විවිධ සංවර්ධන ව්‍යාපෘති රාජ්‍ය බැංකු විසින් ක්‍රියාත්මක කරනුයේ ලාබ අපේක්‍ෂාවෙන් නොවේ. මේ කිසිවක් රුපියල් ශතවලින් මැනීම වෙනුවට රාජ්‍ය බැංකුවල වගකීම් ලෙස සළකා කටයුතු කිරීම ඇගයීමට ලක්වීම වෙනුවට රාජ්‍ය බැංකු ගැරහීමට ලක්කිරීම කණගාටුවට කරුණකි.

එපමණක් ද නොවේ. මෙරටට අවශ්‍ය ඉන්ධන, ඖෂධ වර්ග හා අවි ආයුධ මෙන්ම රජයට අවශ්‍ය බොහෝ දේ ආනයනය කරන්නේ ආණ්ඩුව වෙනුවෙන් රාජ්‍ය බැංකු විසිනි. ඒ අවම ගාස්තු යටතේය. බිහිසුණු යුද තත්වයක් තිබූ 2009 වසරේ දී ලෝකයේ බොහෝ රටවල් හා ආයතන ශ්‍රී ලංකා ආණ්ඩුවට අරියාදු කරද්දී මූල්‍ය උපකාර කරනු ලැබුවේ රාජ්‍ය බැංකු විසිනි. කෝවිඩ් 19 වසංගත සමයේ රට පවත්වාගෙන යාමට රාජ්‍ය බැංකු පද්ධතිය ක්‍රියාත්මක වූ ආකාරය රාජ්‍ය ආයතනවලට ආදර්ශයකි. එමෙන්ම විවිධ අවස්ථාවල දී පාඩු පිට පවත්වාගෙන යමින් කඩා වැටීමට නියමිත විවිධ ආයතනවලට ආණ්ඩුවේ නියමය පරිදි අරමුදල් සපයා, එම ආයතන සුරක්‍ෂිත කරනු ලබන්නේ ද රාජ්‍ය බැංකු විසිනි. සෑම වසරකම ආණ්ඩුව විසින් රාජ්‍ය බැංකුවලින් විටින් විට ලබාගත් මුදල් ප්‍රමාණය අතිවිශාලය. 2022 වසර තුළ  රාජ්‍ය බැංකු විසින් රුපියල් බිලියන 60 ඉක්ම වූ අතිවිශාල මුදලක් රජය වෙත සපයා ඇත්තේ රාජ්‍ය ආයතන කීපයක් පවත්වාගෙන යෑම වෙනුවෙන් එම වසරේ කෝටි ප්‍රකෝටි ගණනක් භාණ්ඩාගාරයෙන් යොදවා පවත්වාගෙන යන පසුබිම යටතේදීය. එමෙන්ම මෑත අතීතයේ සිදු වූ ලෝක ආර්ථික අවපාතයේ දී ඇතැම් රටවල්වල බැංකු කඩාවැටෙමින් මූල්‍ය ක්‍ෂෙත්‍රයම කඩා වැටෙද්දී ඉතා කුඩා රටක් වූ අපේ රටට එහි බලපෑම නොදැනුනේ ශක්තිමත් රාජ්‍ය බැංකු පද්ධතියකින් රටේ මූල්‍ය ක්‍ෂෙත්‍රය සුරක්‍ෂිත වී තිබූ නිසාවෙනි. තිත්ත ඇත්ත මෙය බව සියලුදෙනාම අවබෝධකරගත යුතුය.

රාජ්‍ය බැංකු මත හෙලන ප්‍රතිව්‍යූහගතකරණ මිසයිලය

මෙතරම් විශාල කාර්ය භාරයක් රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන් නොපිරිහෙලා ඉටුකරන රාජ්‍ය බැංකුවල ප්‍රධාන කුළුණු දෙක වූ ලංකා බැංකුව හා මහජන බැංකුව වෙත ආණ්ඩුව දැවැන්ත මිසයිලයක් පතිතකර ඇත. ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක විකුණාගෙන කෑමේ කැත වුවමනාව හරහා ආර්ථිකය නඟාසිටුවීමේ කූඨ උත්සාහය මගින් සෙසු කුඩා රාජ්‍ය බැංකුවල පැවැත්ම ද නිසැක අවදානමකට ලක්කර ඇත. එපමණක් ද නොවේ ආණ්ඩුවේ කූඨ උපක්‍රමය මූල්‍ය ක්‍ෂෙත්‍රයේ දේශීය හිමිකාරිත්වය වෙනුවට විදේශීය ආයෝජකයින්ට දොරටු විවෘත කර දීමය. එය රටේ දේශීය පෞද්ගලික බැංකුවල පැවැත්මට ද හිතකර නොවනු ඇත.

මෑත කාලීනව රට කරවූ ආණ්ඩුවල, රට දියුණු කිරීමේ එකම සිහිනය වූවේ විදේශ ආයෝජනය. ඒ උදෙසා ඔව්හු රට උකසට තැබීමට පවා පසුබට නොවූහ. කම්කරු අමාත්‍යාංශය හරහා වැඩ කරන පන්තියට ආරක්‍ෂාව සපයන සියලු කම්කරු නීතිරීති ධනවතුන්ට අවැසි පරිදි වෙනස් කිරීමට කැස කවමින් සිටී. කම්කරු අරගල පහර දී වනසා දැමීමට සූදානම්ය.

යෝජිත කම්කරු අණ පනත් සංශෝධනවලට ජාතික කම්කරු උපදේශක සභාවේ දී :භඛ්ක්‍* වෘත්තීය සමිතිවල එකඟතාවය ලබා ගැනීමට ඇති දුෂ්කරතාවයන් සළකා බලමින් එය මඟහරවා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පිහිටුවා ඇති වන්දිභට්ට සංගම් හරහා කම්කරුවන්ට වින කැටීමට ආණ්ඩුව සූදානම්ය. 

ඒ වෙනුවෙන් ප්‍රතිත්‍රස්ත පනත සූදානම් කර ඇත. මහජන මතය යටපත් කර ඩෙඟා නැටීමට සමාජ මාධ්‍ය කප්පාදු කිරීමට පනත් ඉදිරිපත් කර ඇත. මහජන කැමැත්ත බලහත්කාරයෙන් යටපත් කිරීමට මැතිවරණ කල් දමා ඇත. ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේම කෙලෙසන මෙවැනි මජර කටයුතු කරන ආණ්ඩුවක් ලොව කිසි රටක ක්‍රියාත්මක නොවන්නේ ය.

ශක්තිමත් රාජ්‍ය බැංකු ස්වාභාවික මරණය කරා

1948 දී ඊනියා නිදහස ලැබීමෙන් අනතුරුව ස්වදේශිකයන් රටේ පාලනය හිමිකර ගත් අතර, එතැන් සිට 1970 දශකය දක්වා කාලය තුළ රටේ පරිවර්තන රාශියක් සිදු විය. කෘෂි කර්මාන්තය මෙන්ම කාර්මික පුනර්ජීවනයක් දැකගත හැකි වූ අතර, ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීම ඉතා ඉහළ මට්ටමක පැවතිණ. රටේ නිෂ්පාදන ආර්ථිකය කැපීපෙනෙන වර්ධනීය තත්වයක් පෙන්නුම් කළ අතර, එවකට පෞද්ගලික බැංකුවක් වශයෙන් ක්‍රියාත්මක වූ ලංකා බැංකුව ද රාජ්‍ය බැංකුවක් බවට පරිවර්තනය විය. හැත්තෑව දශකයේ කෘෂි කාර්මික විප්ලවයක් සිදු වූ අතර, රට පුරා සිය ගණනක් කෘෂි සේවා මධ්‍යස්ථාන ස්ථාපිත කෙරිණ. එම සෑම මධ්‍යස්ථානයකම ලංකා බැංකුවේ ශාඛා විවෘත කිරීමට සිදු වූ අතර, ගොවි ජනතාවට අවශ්‍ය සියලු බැංකු පහසුකම් ලබාදීම අරමුණ විය.

1961 දී සමූපකාර ක්‍රමවේදය ශක්තිමත් කරමින් විශේෂයෙන් ග්‍රාමීය ජනයාගේ හිතසුව පිණිස මහජන බැංකුව ස්ථාපිත වූ අතර, ඉතා සීඝ්‍රයෙන් බැංකුවේ ශාඛාවන් රට පුරා ව්‍යාප්ත විය. අදටත් රට පුරා වැඩිම ශාඛා ප්‍රමාණයක් ස්ථාපිත කර වැඩිම පිරිසකට පහසුකම් සපයන බැංකුව බවට මහජන බැංකුව පත් වී ඇත.

රටේ මහජනතාවට ඉතිරිකිරීමේ පුරුද්ද හඳුන්වා දෙමින් ඉතිරිකිරීමේ මහ ගෙදර ලෙසට ප්‍රචලිත ජාතික ඉතිරිකිරීමේ බැංකුව රටේ ආර්ථිකයට ලබාදෙන දායකත්වය අති විශාලය. ප්‍රධාන රාජ්‍ය බැංකුවලින් පහසුකම් සපයා ගැනීමට දුෂ්කර කුඩා ව්‍යවසායකයින් ඇතුළු දුෂ්කර ප්‍රදේශවල මහජනතාව වෙනුවෙන් පිහිටුවා ඇති එකම රාජ්‍ය සංවර්ධන බැංකුව වන්නේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවයි. රට පුරා විහිදුනු 350 කට ආසන්න ශාඛා ජාලයක් මගින් බැංකුව ලබාදෙන ආර්ථික දායකත්වය අති විශාලය. මිනිසාගේ මූලික අවශ්‍යතාවන් වන නිවාස ඇතුළු ඉදිකිරිම් ක්‍ෂේත්‍රය ආවරණය කරමින් හා සෙසු අවශ්‍යතා වෙනුවෙන් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවත්, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවත් රාජ්‍ය අයිතිය යටතේ ක්‍රියාත්මක වේ. රාජ්‍ය බැංකු ජාතික ආර්ථිකයේ අතිශය වැදගත් පංගුකරුවන් බව මේ අනුව ඉතා මැනවින් සනාථ වී තිබේ.

මෙනයින් ගත් කළ රාජ්‍ය බැංකු යනු නිකමට රට තුළ ස්ථාපිත කළ ආයතන නොව රටේත්, ජනතාවගේත්,  ආර්ථිකයේත් අවශ්‍යතාවන් උදෙසා ජනතාව සතු ව්‍යාපාර ලෙස උදාර අරමුණු හා පරමාර්ථ සහිතව දුරදක්නා නුවණින් ආරම්භ කළ ජාතික වස්තූන්ය. එම අරමුණු හා පරමාර්ථ ඉටුකර ගැනීමට රටක් ලෙසට මෙතෙක් නොහැකි වී ඇත. ඒ ආණ්ඩු විසින් ගනු ලැබූ වැරදි තීන්දු නිසාය. දුප්පත්කම ඉහට උඩින්ය. සැළකිය යුතු ජන කොටසක් කුසගින්නේය. රට බංකොලොත් කර ඇත. ඒ අනුව රාජ්‍ය බැංකු රාජ්‍ය අයිතිය යටතේ තවදුරටත් ශක්තිමත් කිරීම වෙනදාටත් වඩා අවශ්‍ය කරුණක් වී තිබේ.

රාජ්‍ය බැංකු ශක්තිමත් කිරීමට නම්

කොටස් නිකුත් කිරීම්වලට හෝ විකිණීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. රාජ්‍ය බැංකු යනු රාජ්‍ය බැංකු විනා ආණ්ඩුවේ දේපලක් ලෙසට සිතා කරන කටයුතු වහාම නතර කළ යුතුය. රජයේ ව්‍යවස්ථාපිත මණ්ඩල ලෙසට ක්‍රියාත්මක වන රාජ්‍ය බැංකුවල රාජ්‍ය අයිතිය ඇත්තේ භාණ්ඩාගාර ලේකම්වරයාටය. ඒ අනුව මුදල් අමාත්‍යවරයා හා ආණ්ඩුව විසින් ඉතිහාසයේ සිට මේ දක්වාම බැංකුවල අධ්‍යක්‍ෂ මණ්ඩල කලින් කලට පත්කරන අතර, ඒ සඳහා දේශපාලන හිතවත්කම් පමණක් සැළකීම වහාම නතර කළ යුතුය. බැංකු කර්මාන්තය ගැන දැනුම හා අවබෝධය සහිත සැබෑ වෘත්තිකයින් ඒ සඳහා පත්කළ යුතුය. මූල්‍ය ක්‍ෂේත්‍රයේ කටයුතු කරන ආයතනවලට දූෂිතයින් පත්කිරීම් ඇතැම් අවස්ථාවල දැකගත හැකි වූ අතර, මෙය සාහසික අපරාධයකි.

එමෙන්ම රාජ්‍ය බැංකු, රැකියා ලබාදීම් සඳහා ඇති කළ ආයතන ලෙස භාවිතා නොකළ යුතුය. රාජ්‍ය බැංකු පමණක් නොව ඒවායේ උප සමාගම් වලට ද එසේමය. සියලු බැංකුවලට හඳුන්වා දී ඇති තරඟ විභාග ක්‍රමයෙන් පිට බඳවා ගැනීම් අවශ්‍යයෙන්ම නොකළ යුතු වේ. මහා පරිමාණ ණය ප්‍රදානයට හා එම ණය අයකිරීම්වලට දේශපාලන අධිකාරිය කිසිදු අයුරකින් මැදිහත්වීම් නොකළ යුතු වේ. ශ්‍රී ලංකා මහ බැංකුව හරහා දැඩි මූල්‍ය විනයක් සහිතව කටයුතු කරන ආයතන බවට පත් කළ යුතුය. එසේ කෙටි කලක් ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන්නේ නම් සහතික වශයෙන්ම රාජ්‍ය බැංකු තව තවත් ශක්තිමත් වනු ඇත.

මරණයේ සෙවණැලි     

ප්‍රධාන රාජ්‍ය බැංකු ද්විත්වය ගත් කල දැඩි අභියෝගයන්ට ඉතිහාසයේ සිට මුහුණ දෙමින් කටයුතු කරන ආකාරය ඉතා පැහැදිලිව දැකගත හැකිය. රට ක්‍රම ක්‍රමයෙන් බංකොලොත් වීමේදී ජාත්‍යන්තර මිනුම් සංවිධාන රටේ ආර්ථික වර්ගීකරණ ස්ථාන ද පහත හෙලීමට කටයුතු කරන බව සාමාන්‍ය සිදුවීමකි. ඊට සමානුපාතිකව රාජ්‍ය බැංකුවල වර්ගීකරණය ද පහල යාම දැඩි අභියෝගයකි. කෙසේ හෝ මේ දක්වා බැංකු ඒවාට මුහුණ දෙමින් කටයුතු කරමින් සිටී.

බැංකුවල අයිතිය ඇත්තේ රජයට ද, පෞද්ගලික අංශයට ද යන්න වැදගත් නොවී සියලුම බැංකු කටයුතු කළ යුත්තේ දේශීය හා විශේෂයෙන් ජාත්‍යන්තර නිර්ණායක හා රෙගුලාසි වලට අනුකූලවය. එනම් ප්‍රාග්ධනය, ද්‍රවශීලතාවය නොගෙවූ ණය NPA ප්‍රතිශත ආදිය ගැන දැඩි ලෙස සැළකිලිමත් විය යුතුය. ආණ්ඩු විසින් දේශපාලන නියෝග නිකුත් කිරීම් හරහා දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීම්වලදී ඉහත තත්වයන් ගැන දැඩි ලෙස සැළකිලිමත් විය යුතුය.

පසුගිය දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය ආරම්භයේදී මහ බැංකුවේ අධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ලියවිල්ලේ (Debt Restructuring in Sri Lanka 2023 June 28) අතිශය දරුණු තත්වයක් සටහන් වුණි. එනම් ගෙවීම් පැහැර හැර ඇති ණය අනුපාතය (Non performing Loans Ratio ) දළ ජාතික නිෂ්පාදිතයෙන් GDP 13.3% ක් බවය. එම තත්වය තුළ එලෙස නොගෙවූ ණය වෙනුවෙන් බැංකු සිදුකර ඇති වෙන්කිරීම් (Total Impairment on existing loan portfolio) ප්‍රමාණය රුපියල් බිලියන 916 කි. මෙය අතිශය විශාල මුදලක් වන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ඒ අනුව මුදල් අමාත්‍යාංශය අනිවාර්යයෙන්ම මැදිහත් වෙමින් මෙම අතිවිශාල ණය කන්ද අය කිරීමට කටයුතු කළ යුතුය. ඒ සඳහා කොන්දේසි තිබිය නොහැක.

  • ප්‍රධාන රාජ්‍ය බැංකු ද්විත්වයට දරා ගැනීමට අතිශය අපහසු තත්වයන් පිළිබඳව තොරතුරු වාර්තා වෙමින් පවතී. එනම් රටේ සෑම වර්ෂයකම පාහේ මෑත කාලීනව අත්‍යවශ්‍ය මහජන සේවා සපයන රාජ්‍ය ව්‍යවසාය ගණනාවක් අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස භාණ්ඩාගාර ඇපකර (Treasury Guarantee) මත රාජ්‍ය බැංකු දෙක එම ආයතන වෙත අති විශාල මුදලක් ලබාදී ඇත. ආණ්ඩුව විසින් මෙම රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණයට සූදානම් වෙමින් සිටින අතර, ඒවා එසේ කළහොත් බැංකු සපයා ඇති මෙම අතිවිශාල මුදලට සිදු කරන්නේ කුමක්දැයි නිශ්චිත නොමැත. කෙසේ වෙතත්, එම ආයතන විකිණීමට සංගමය ඉතා දැඩි ලෙසම විරෝධය පළකරන අතර, කුමන තීන්දු තීරණ ගත්ත ද භාණ්ඩාගාරය මැදිහත් වී එලෙස ලබාදී ඇති සියලුම මුදල් කඩිනමින් බැංකු වෙත අනිවාර්යයෙන්ම ලබාදිය යුතුය. භාණ්ඩාගාරය මැදිහත් වී මෙලෙස ලබා දී ඇත්තේ මහජන මුදල් බව ආණ්ඩුව අවබෝධ කරගත යුතුමය.

ඒ අනුව, ඉතා පැහැදිලිවම පෙනී යන්නේ රාජ්‍ය බැංකුවල යහපැවැත්ම උදෙසා ඉහත තත්වයන්ට වහාම විසඳුම් ලබාදීම අත්‍යවශ්‍ය බවය. රට ගැන, ආර්ථිකය හා මහජනතාව ගැන වගවීමට බැඳෙන ආණ්ඩුවට මෙය පැහැර හැරීම කළ නොහැක. බැංකු විසින් ඉල්ලා සිටිනුයේ අනවශ්‍ය හා අසාධාරණ දේශපාලන මැදිහත්වීම් නොකරන ලෙසටය. සැබෑ වෘත්තිකයින් බැංකුවල අධ්‍යක්‍ෂ මණ්ඩලවලට පත්කරන ලෙසටය. බැංකුවලින් ලබාගෙන ඇති මහජන මුදල් නැවත බැංකුවලට ලබාදෙන ලෙසටය. එසේ වූ විට භාණ්ඩාගාරයේ මුදල් බැංකු අපේක්‍ෂා කරන්නේ ද නැත. එය එසේ නොවන්නේ නම් රාජ්‍ය බැංකු අර්බුදයකට ගමන් කිරීම අති භයානක තත්වයකි. රට බංකොලොත් වුව ද මේ මට්ටමට හෝ පවත්වාගෙන යන්නේ රාජ්‍ය බැංකු පද්ධතිය ඉතා අපහසුවෙන් හෝ අඛණ්ඩව පවත්වාගෙන යන නිසාවෙනි. එසේ නොවී රාජ්‍ය බැංකු පද්ධතිය අනතුරට ලක් වන්නේ නම් මුලු රටම ගොඩගත නොහැකි මට්ටමට වැනසෙන බව ආණ්ඩුව හා අදාළ බලධාරීන් අවබෝධ කරගැනීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතුය. 

අවධාරණයයි...!

රාජ්‍ය බැංකු සියල්ලම රාජ්‍ය අයිතිය යටතේ ප්‍රතිව්‍යූහගතකරණයට ලක් කළයුතු බව සංගමය දිගින් දිගටම අවධාරණය කරන කාරණයකි. ඒ සඳහා බැංකුවල රාජ්‍ය අයිතිය ලංසු තැබිය යුතු නොවේ. රටේත්, ජනතාවගේත්, යහපත උදෙසා සෑම වසරකම ලාබ ලබන රාජ්‍ය බැංකු කිසිදු ආකාරයකින් කොටස් නිකුත් කළ යුතු නොවේ. එවැනි යෝජනාවන්ට ඉතා දැඩිව විරෝධය පළකරන සංගමය යහපත් ආකාරයට සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව යෝජනා ලබාදීමට පවා සූදානමින් සිටී. තවද රාජ්‍ය බැංකු ශක්තිමත්වීම හරහා ඉන් යහපත සැලසෙන්නේ රටටය. මහජනතාවටය. ඒ වෙනුවෙන් සංගමය කොන්දේසි විරහිතව කටයුතු කරන බව යළි යළිත් අවධාරණය කර සිටී.

අය වැය යෝජනා 2024

ආණ්ඩුවේ 2024 වසර වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබූ අයවැය යෝජනාව මුදල් අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් 2023.11.13 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. අයවැය පිළිබඳව සංගමයේ මතය ඉදිරිපත් කිරීමක් මෙහිදී නොකරන අතර, රාජ්‍ය ව්‍යවසායන් ගණනාවක් ප්‍රතිව්‍යූහගතකරණය නාමයෙන් විකුණා දැමීමට යෝජනා කිරීම බරපතල ඛේදවාචකයකි.

රටේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් නොකර දශක කීපයක් තිස්සේ තොග පිටින් ගිනි පොළියට ණය ගැනීම හා රාජ්‍ය දේපල විකිණීම හරහා ආර්ථික සංවර්ධනය හීනයක් බව ඉතිහාසය කදිමට සනාථ කර ඇත. මෙවැනි අතිශය අසාර්ථක ආර්ථික මොඩලයන් කෙරෙහි තවදුරටත් විශ්වාස කිරීම විමතියට කාරණයකි. රටක බලශක්තිය, සන්නිවේදනය, ප්‍රවාහනය, වරාය, ගුවන් තොටුපල හා මූල්‍ය අංශ බහු ජාතික සමාගම්වල හස්තයට යටකිරීම බරපතල අනතුරුදායක තත්වයකි.

අයවැය යෝජනාවලියේ 70 වන යෝජනාව අනුව,

  1. රාජ්‍ය බැංකුවල අධ්‍යක්‍ෂවරු හා ඉහළ නිලධාරීන් පත්කිරීමේදී දැඩි නීති
  2. බැංකු ක්‍ෂේත්‍රය ප්‍රතිසංස්කරණය සඳහා නව නීති මාලාවක්
  3. බැංකු පද්ධතියේ ප්‍රාග්ධන වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලියට සහායවීම සඳහා රුපියල් බිලියන 450 (කෝටි 45,000) ක්
  4. රාජ්‍ය බැංකු දෙකේ කොටස්වලින් 20% ක් බැගින් උපාය මාර්ගික ආයෝජකයින්ට හෝ මහජනතාවට නිකුත් කිරීම.

රාජ්‍ය බැංකු සම්බන්ධව ඉහත ඉදිරිපත් කර ඇති යෝජනා විශ්ලේෂණය කරන කල්හි කොන්දේසි සහිතව I, II හා III යෝජනාවලට එකඟතාවය පලකළ හැක. මෙවැනි තත්වයන් රාජ්‍ය බැංකුවලට පමණක් නොව සියලු රාජ්‍ය ව්‍යාපාර වලට හඳුන්වා දියයුතු බවට අප සංගමය සෑහෙන කාලයක් තිස්සේ කරන අවධාරණයකි. තවද ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක විසින් භාණ්ඩාගාරයේ ඇපවීම් මත රාජ්‍ය ව්‍යාපාර කීපයක් සඳහා මුදාහැර ඇති අතිවිශාල මුදල වෙනුවට රුපියල් බිලියන 450 ක් ලබාදීම ප්‍රමාණවත් නොවන අතර, බැංකු ශක්තිමත්ව පවත්වාගෙන යාම පිණිස මීට වඩා ඉහළ මුදලක් බැංකු වෙත ලබාදිය යුතුව ඇත.

IV යෝජනාව අනුව බැංකුවල 20% ක් කොටස් නිකුත් කිරීමකට සංගමය බරපතල විරෝධය පළකර සිටින අතර, ඊට එරෙහිව ඕනෑම පියවරක් ගැනීමට සූදානමින් සිටී. ඒ අනුව එම යෝජනාව ඉවත් කිරීමට කටයුතු කරන මෙන් ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා යැවීමට මේ වනවිටත් කටයුතු කර ඇත.

එමෙන්ම අය වැය යෝජනාවලිය හා අදාළ උප ලේඛනයන්හි ගරු ජනාධිපතිවරයා විසින් රාජ්‍ය බැංකු සම්බන්ධයෙන් සිදුකර ඇති දීර්ඝ විශ්ලේෂණයන් ඉතා වැදගත් වන අතර, එම සියලු තත්වයන් දැඩි සැළකිල්ලට ගනිමින් රාජ්‍ය බැංකු ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමට සංගමය සහාය දීමට සූදානම් නමුදු කිසිදු ආකාරයක කොටස් විකිණීමකට එකඟ නොවන බව ඉතා දැඩිව අවධාරණය කර සිටිමු.

තවද රටේ සහ ජනතාවගේ පැවැත්මට අත්‍යවශ්‍ය වන රාජ්‍ය ව්‍යාපාර ගණනාවක් අතිශය පාඩු ලබන තත්වයට පත්වූ හේතූන් මුළු රටම පමණක් නොව ජාත්‍යන්තරයද දන්නා කාරණා වන අතර, එම තත්වයන් පිටු දකිමින් කඩිනම් ප්‍රතිසංස්කරණ මගින් එම ආයතන භාණ්ඩාගාරයට ධනය සපයන ව්‍යාපාර බවට පත් කිරීමට කටයුතු කළ හැකිය. එසේ නොකොට ඉතා පහසුවෙන් ඒවා විකුණා දැමීම රටටත්, ජනතාවටත් සිදුකරන සාහසික අපරාධයක් බව පැහැදිලිවම සටහන් කර සිටිමු. 

රාජ්‍ය බැංකුවල කුමන හෝ කොටස් නිකුත් කිරීමකට ලංකා බැංකු සේවක සංගමය බරපතල විරෝධය පළකර සිටී. 

රට කරවන්ට නම්

රට වැටී ඇති ආර්ථික අගාධය ගැන සංගමයට මනා අවබෝධයක් ඇත. 2022 වසරේ සිට මේ දක්වා මාතෘ භූමිය බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශිතව පත්කර ඇත. රටේ සැළකිය යුතු වැසියන් පිරිසක් එදා වේල සොයාගත නොහැකි මට්ටමට අසරණ වී සිටී. මහා පරිමාණයේ සිට කුඩාම ඒකකය දක්වා වූ කර්මාන්තශාලා දිනෙන් දින වැසී යන අයුරු ඛේදවාචකයකි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නන්නත්තාර වී සිටිති. අහිමි වී ඇති හා අහිමිවන රැකියා සංඛ්‍යාව ඉතා විශාලය. විදුලිය, ගෑස්, ඉන්ධන, ඖෂධ, ආහාර ආදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල අහස උසට ඉහළ ගොස් ඇත. විදේශ ණය නොගෙවීමේ සාධකය මත පෝලිම් දැක ගත නොහැකි වී ඇති අතර, යථාර්ථය ඊට වඩා සංකීර්ණය. රට පවත්වාගෙන යාම දැඩි අවිනිශ්චිත තත්වයකට පත්වී තිබේ.

කුමන හේතු නිසා හෝ බංකොලොත් තත්වයට පත්කර ඇති රට ඉන් මුදවා ගැනීම ද අත්‍යවශ්‍යය. ඒ පිළිබඳව කොන්දේසි නොමැත්තේය. ආණ්ඩුව කල්පනා කළ යුත්තේ රට මෙන්ම රටේ ජනතාව ද බංකොලොත් වී ඇති බවය. 2024 අය වැය ඉදිරිපත් කිරීමටත් පෙර ආණ්ඩුව 15% ක තිබූ වැට් බද්ද VAT 18% දක්වා වර්ධනය කළ අතර, ඊට අමතරව බලශක්ති මිල ගණන් ඉහළ දමා ඇත. වසරක පමණ කාලයක් සේවා නියුක්තිකයන්ගෙන් උපයනවිට බදු අය කිරීම අතිශය අසාධාරණ අයුරින් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් වෘත්තිකයන් රට හැර යෑම ඛේදවාචකයක් බවට පත් වී තිබේ. මේ ආකාරයට කටයුතු කිරීමට ආණ්ඩුවට සිදු වී ඇත්තේ ඇයි ? පැහැදිලිවම රට පවත්වාගෙන යාමට හැකි මට්ටමට රාජ්‍ය ආදායම වර්ධනය කරගැනීමට ආණ්ඩුව අසමත් වී ඇති බැවිනි. බරපතල ලෙසින් අසමත් ආණ්ඩුව රාජ්‍ය ආදායම වර්ධනය කිරීමට තෝරාගෙන ඇති අසාධාරණ හා අයුක්ති සහගත තීන්දු තීරණ හේතුවෙන් රටේ ජනතාවට වන්දි ගෙවීමට සිදු වී තිබේ. එසේ තිබියදී බිලියන ගණනින් ගෙවීම් පැහැර හැර ඇති මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් සහ දේශපාලන ගජ මිතුරන්ගෙන් ආණ්ඩුවට අයවීමට ඇති බදු මුදල් අයකර ගැනීමට බලධාරීන් කිසිදු පියවරක් නොගනී. මහජන සේවය හා සුබ සාධනය වෙනුවෙන් ස්ථාපිත කර ඇති රාජ්‍ය ආයතන කුණු කොල්ලයට විකිණීමට ආණ්ඩුව දත නියවන්නේ ද ඒ හේතුවෙනි.

රටක් මේ ආකාරයට ඉදිරියට පවත්වාගෙන යා නොහැක. ජනතාව සූරා කෑම නතර වන අවස්ථාවක් ලඟදීම උදා වනු ඇත. රාජ්‍ය දේපල විකිණීම ද සීමා සහිත වනු ඇත. ෂඵත්‍ හෝ වෙනත් විදේශීය ආයතන හා රටවල් වලින් තවදුරටත් ණය ගැනීම මගින් රට පවත්වාගෙන යා නොහැක. විදේශීය ආයතනවලට ආයෝජන සඳහා ඉදිරිපත් වීමට සුදුසු පරිසරයක් ගොඩ නැඟීමට දැඩි ලෙස අපොහොසත් වී ඇත. විදේශයන්හී සේවයේ නියුතු ලක්‍ෂ සංඛ්‍යාත ලාංකික පිරිසගෙන් බලාපොරොත්තු වන මට්ටමට විදේශ ප්‍රේෂණ රටට ගලා එන්නේ ද නැත. ඒ සඳහා ගොඩනැඟිය යුතු විශ්වාසය බරපතල ලෙස විනාශ කරමින් සිටී. සංචාරක කර්මාන්තය ද දැන් තිබෙන මට්ටමට වඩා තුන් හතර ගුණයකින්වත් වර්ධනය විය යුතුය. එවැනි පරිසරයක් රට තුළ ස්ථාපිත කිරීමට අපොහොසත් වීම හරහා රට තව තවත් දරුණු අගාධයකට ගමන් කරනු ඇත.

රාජ්‍ය ආදායම් පහළට

නිදහසින් පසුව හැත්තෑව දශකය අග දක්වා රට තුළ ක්‍රියාත්මක වෙමින් පැවතුණ නිෂ්පාදන ආර්ථික වැඩපිළිවෙල විවෘත ආර්ථික මොඩලයත් සමගම අභාවයට පත්කරන ලදී. එසේ සිදුකොට විදේශීය ආයෝජකයින් හරහා රට දියුණු වනු ඇතැයි මනෝ ලෝකවල සිහින මාළිගා සාදන ආණ්ඩු රට තුළ බිහි විය. තොග පිටින් දේශීයව හා විදේශීයව ණය ලබාගත් අතර, එහි ආදීනව දැන් භුක්ති විඳිමින් සිටිමු. නිෂ්පාදනය අඩු වෙමින් රාජ්‍ය ආදායම බිඳවැටීම හරහා ණය ගැනීමට අමතරව, තොග පිටින් රාජ්‍ය ආයතන ඇතුළු දේපල කුණු කොල්ලයට විකිණීම ද දැකගත හැකි විය. එහෙත් සංවර්ධනය වූ ආර්ථිකයක් නොමැත. මෙම අතිශය අසාර්ථක ක්‍රමවේදය හරහා රටේ ආර්ථිකය මුළුමනින්ම බිඳ වැටීම හැර වෙනත් සිදු වූ දෙයක් නොමැත. එසේ තිබියදී වත්මන් ආණ්ඩුව ද එම ක්‍රමවේදයම පවත්වාගෙන යමින් රට සංවර්ධනය කිරීමට කටයුතු කරන ආකාරය පුදුම සහගතය.

ඉහත බරපතල වැරදි සහගත ආර්ථික ගමනේ කූඨප්‍රාප්තිය එළඹෙන්නේ 2022 අප්‍රේල් මස 12 දීය. ඒ රට බංකොලොත් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙනි. ඒ 2019 වසරේ අගභාගයේදී රටේ සිදු වූ දේශපාලන පෙරළියෙන් පසුව බිහි වූ ආණ්ඩුව සිදුකළ තකතීරු තීන්දු හා තීරණ සමඟය. එතෙක් රටේ පැවැති 15% වූ වැට් බද්ද කිසිදු පදනමක් නොමැතිව 8% දක්වා පහත හෙලනු ලැබිණ. එයින් භාණ්ඩාගාරයට අහිමි වූ මුදල රුපියල් බිලියන 700 කට අධිකය. බලහත්කාරයෙන් විදේශ විනිමය අනුපාතය එනම් ඇමෙරිකානු ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය 203 හි හිර කර ගැනීම හේතුවෙන් රට තුළට ගලා ආ විදේශ ප්‍රේෂණ ගොඩ ගත නොහැකි මට්ටමට කඩා වැටුණි. කිසිදු වග විභාගයකින් තොරව ක්‍ෂණිකව එක් රැයකින් රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් කෘෂි කර්මාන්තය මුළුමනින්ම කඩා වැටුණි. රාජ්‍ය ආදායම සීඝ්‍රයෙන් බිඳවැටීම හරහා රටට ණය ගෙවීමට නොහැකි වන තත්වය දැන දැනම ඊට අවශ්‍ය පිලියම් යොදනු වෙනුවට වහසි බස් දොඩවමින් කටයුතු කිරීම ද කැපී පෙනෙන තත්වයකි. තව ද ඉතිහාසයේදී පැවැති ආකාරයටත් වඩා මෙම කාලය තුළ රටේ විවිධ ක්‍ෂේත්‍රවල සිදු වූ වංචා, දූෂණ, අක්‍රමිකතා ආදිය හේතුවෙන් තත්වය අතිශයින් බැරෑරුම් විය. එමෙන්ම පාස්කු ප්‍රහාරය හා කොරෝනා වසංගතය ආදී තත්වයන් නිසිපරිදි කළමනාකරණය කර නොගැනීම ද බරපතල ව්‍යසනයන්ය. අවසන් ප්‍රතිඵලය රට බංකොලොත් වීමය.

භාණ්ඩාගාරයට බරපතලයි......?

1.            ඕනෑම රටක ප්‍රධාන රාජ්‍ය ආදායම් මාර්ගය වන බදු අය කිරීම නිසි පරිදි සිදු නොවන්නේ නම් එය දරුණු තත්වයකි. අපේ රටේ පිහිටුවා ඇති දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව හා සුරා බදු දෙපාර්තමේන්තුව කටයුතු කරන ආකාරය ගැටලු සහගත බව සියලු ක්‍ෂේත්‍ර අවබෝධ කරගෙන ඇත.  පසුගිය දා කෝප් (COPE) කමිටුව ඉදිරියේ අනාවරණය වන්නේ රුපියල් බිලියන 904 ක බදු අය කිරීම පැහැරහැර ඇති බවය. බදු අය කිරීමේ පවතින අතිශය අසාර්ථක ක්‍රමවේදයන් පිළිබඳව පාර්ලිමේන්තුව තුළ ද ගැඹුරු ලෙසට සාකච්ඡා කර ඇත. (Hansard Report 2022 Sept 08)

2.            රටේ ආනයන හා අපනයන කටයුතුවලදී පසුගිය වසර 10 ක පමණ කාලය තුළ රටට ලැබිය යුතු අතිවිශාල විදේශීය මුදල් ප්‍රමාණයක් රට තුළට නොපැමිණීම ප්‍රසිද්ධ කාරණයකි. මෙම තත්වය Global Finance Integrity (GFI) නම් ඇමරිකානු ආයතයක් විසින් අවස්ථා කීපයකදී හෙළිදරව් කරන ලදී.

                ඊට අමතරව රටේ අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත මෙම තත්වය වඩාත් තහවුරු කරමින් ප්‍රකාශ නිකුත් කරන ලදී. Hansard Report 2022 Dec. 05අමාත්‍යවරයා විසින් 2023 ඔක්තෝබර් 31 දින හෝ ආසන්න දිනයක යළි වතාවක් අවධාරණය කර සිටියේ එම මුදල අමරිකානු ඩොලර් බිලියන 56.5 ක් බවටය. සැබැවින්ම මෙම මුදල රට ගෙවීමට ඇති මුළු විදේශීය ණය මුදල් ප්‍රමාණය ඉක්ම වූ සංඛ්‍යාවක් වන අතර, එමඟින් රටට සිදු වී ඇති ව්‍යසනය කොතෙක්දැයි අවබෝධ වනු ඇත. මෙම අතිවිශාල මුදල රටට ගෙන්වා ගැනීමට මූල්‍ය මණ්ඩලයට හා මහ බැංකුවට බලතල ඇති අතර, ඒවා ක්‍රියාත්මක නොකිරීම විමතියට කරුණකි.

3.            රට තුළ, රාජ්‍ය ආයතන තුළ නිරන්තරයෙන් සිදුවන වංචා, දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව විගණකාධිපතිවරයා ලිඛිතව හෙළිදරව් කරන්නේ වරක් දෙවරක් නොවේ. එහෙත් ඒවා පිටුදකිමින් ක්‍රියාත්මක වීමට ගත් කිසිදු පියවරක් නැත. COPE කමිටුව හා COPA  කමිටුව ආදී ස්ථාන වලදී හෙළිදරව් වන කරුණු මාධ්‍ය සංදර්ශන වලට පමණක් සීමා වී ඇති අතර, කිසිදු ක්‍රියාමාර්ගයක් ගත් බවත් දැක ගැනීමට නොහැක. මේ ආකාරයට රාජ්‍ය භාණ්ඩාගාරයට රැස් කළයුතු ධනය බිලියන ගණනින් වංචා කරන රටක භාණ්ඩාගාරය හිස්වීම අරුමයක් නොවේ. ඒ අනුව ගතයුතු පියවර නොගෙන මහජනතාව සූරා කෑම කොතෙක් කාලයක් කරගෙන යා හැකිද? ඒ හැර ඉඳහිට හෝ ඉහත තත්වයන් පිටු දැකීමට ක්‍රියාමාර්ග ගෙන ඒවා අධිකරණයට යොමු කළ විට ගතවන කාලය ඉතා දීර්ඝය. ඇතැම් විටක තාක්‍ෂණික ගැටලුය. මෙවැනි තත්වයන් නිවැරදි නොකරන තාක් කල් රටට සිඟමන් යැදීම හැර වෙනත් විකල්ප නොමැති බව අමුතුවෙන් සඳහන් කළයුතු නැත.

රට තුළ පවත්නා අතිශය දුර්වල කළමනාකරණ ප්‍රතිපත්ති හා නීතීය නිසිලෙස ක්‍රියාත්මක නොවීම ආදිය පමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සිය දෙවන වාරිකය නිදහස් නොකර ආණ්ඩුවට කොන්දේසි මාලාවක් පනවා තිබේ. ඒවා රට තුළ වහාම ස්ථාපිත කළයුතු බවටද අවධාරණය කර ඇත.

IMF කොන්දේසි

1. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ කොමසාරිස්වරුන් හා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පත් කිරීමට ස්වාධීන විශේෂඥයින්ගෙන් සමන්විත උපදේශන කමිටුවක් පත්කිරීම.

                2023 නොවැම්බර් මස ඇතුලත

                වගකීම - ව්‍යවස්ථාදායක සභාව

2. ලංකාවේ දේශපාලකයින්ගේ වගවීම හා විනිවිදභාවය ශක්තිමත් කිරීමට යෝජනා කර ඇත. ඒ අනූව ජනාධිපති, අගමැති, අමාත්‍යවරුන් ආදී සියලුදෙනා තම වත්කම් හා බැරකම් ප්‍රකාශන වෙබ් අඩවියක ප්‍රදර්ශනය කිරීම 2024 ජූලි වනවිට කළ යුතුය.

                වගකීම - අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම

3. අපරාධ මර්දනය සඳහා පනවන නීති හා පනවා ඇති නීති එක්සත් ජාතීන්ගේ අපරාධ නීතිවලට අනුකූල විය යුතුය.

                2024 අප්‍රේල් මාසය ඇතුලත                          

                වගකීම - අධිකරණ අමාත්‍යාංශය

4. අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන්ගෙන් රජයට සිදුවන අලාභ අය කිරීමට ජාතික විගණන පනත සංශෝධනය කිරීමට යෝජනා කෙරේ.

                වගකීම - විගණකාධිපති හා මුදල් අමාත්‍යාංශය

5. ජාත්‍යන්තර මට්ටමින් භාවිතා කරන ප්‍රසම්පාදන නීතියක් රට තුළ ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත. මෙමඟින් මුදල් පාලනය විනිවිදභාවයකින් ක්‍රියාත්මකවීම අපේක්‍ෂා කර ඇත.

                2024 දෙසැම්බර් වනවිට

                වගකීම - මුදල් අමාත්‍යාංශය

6. බදු පිළිබඳව සංශෝධන ඉදිරිපත් කිරීමේදී රජයට ආදායම් අහිමි නොවන පරිදි කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතියක් නොමැතිව ඇමතිවරුන් කටයුතු කිරීම වැළැක්වීමට යෝජනා කර ඇත. එමඟින් නීතියේ ආධිපත්‍යය තහවුරු වියයුතු බවට ද නිර්දේශ කර ඇත.

                වගකීම - මුදල් අමාත්‍යාංශය

ඉහත දක්වා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF විසින් ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙල ඉදිරියට පවත්වාගෙන යාම පිණිස ඉදිරිපත් කර ඇති නිර්දේශ 16 න් කීපයක් පමණකි. එම නිර්දේශ ආර්ථිකයේ යහපැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාවයක් ඇති බව සියලු දෙනා අවබෝධ කර ගත යුතුය.

මීට වසර කීපයකට පෙර ස්ථාපිත කළ යහපාලන ආණ්ඩුව සමයේ රට තුළද මෙම බොහෝ කරුණු සාකච්ඡා කළ ද ඒවා ක්‍රියාවට නැංවූවේ නැත. මෙවැනි සාධාරණ හා යුක්ති සහගත තීන්දු තීරණ මගින් නීතියේ ආධිපත්‍යය තහවුරු කරන තෙක් රටට සෙතක් වේ යැයි කල්පනා කිරීම පවා නිශ්ඵල කාර්යයකි.

අවසානය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල :ෂඵත්‍* යනු මූල්‍ය පහසුකම් සපයන ජාත්‍යන්තර ආයතනයකි. ඔවුන්ට රටේ සංවර්ධනය, මහජනතාවගේ අයිතිවාසිකම් හා රාජ්‍ය ව්‍යාපාරවල පොදු වගකීම් මෙන්ම රටේ සංවර්ධනය පිළිබඳව වගවීමක් නොමැත. එම වගවීම දැරිය යුත්තේ ආණ්ඩුව විසිනි. එහෙත් එසේ කටයුතු කරන ආණ්ඩු 1977 න් පසුව රට තුළ ස්ථාපිත වූවේ නැත. ඒ උදෙසා ගෙවන වන්දිය අතිශය ඉහළ තත්වයකට ගමන් කර ඇත.

රටක බලශක්තිය, වරාය, ගුවන් තොටුපල හා මූල්‍ය අංශය ඇතුළු අතිශය වැදගත් මර්මස්ථාන බහුජාතික සමාගම් යටතට පත්වීම සරල කාරණයක් නොවේ. එම සියලු අංශයන්හී රාජ්‍ය අයිතිය අත්හැරීම අතිශය බිහිසුණු වටපිටාවක් නිර්මාණය කරනු ඇත. අප අවධාරණය කරන්නේ එයයි. අවසාන වශයෙන් කිවයුත්තේ රාජ්‍ය ආදායම ඉහළ තලයකට වර්ධනය කරගැනීමට ඇති අවස්ථාවන් කුමන හේතුවක් මත හෝ නොකර මහජනතාවට අයිති දේපල කුණු කොල්ලයට විකිණීමට හා ජනතාවට දරාගත නොහැකි මට්ටමට බදු ඉහළ නැංවීම සාධාරණ හා යුක්ති සහගත නොවන බවය. ආණ්ඩුව මෙම සියලු තත්වයන් ඉතා ගැඹුරින් විශ්ලේෂණය කර තීන්දු තීරණ ගත යුතුය. නැවත වතාවක් අවධාරණය කළ යුත්තේ රාජ්‍ය ආයතන යනු මහජනතාවට අයිති පොදු වස්තූන් බවය. එම දේපල දේශපාලන හිතවතුන් ලවාම පාඩු ලැබීමට සලස්වා ගොඩගත නොහැකි බවට පම්පෝරි ගසමින් කුණු කොල්ලයට විකිණීමට කිසිසේත්ම එකඟ විය නොහැක.

ඒ අනුව රාජ්‍ය බැංකු ලාබදායකව හා ශක්තිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට සංගමය සූදානමින් සිටින අතර, ඒවා නොසළකා හරිමින් විකිණීමට කටයුතු කරන්නේ නම් කොන්දේසි විරහිතව දැඩි ක්‍රියාමාර්ගයන්ට අනුගතවීමට කටයුතු කරන බව යලි යලිත් තහවුරු කර සිටිමු. මෙම සියලුම තත්වයන් සංගමය දැඩි විමසිල්ලෙන් අධ්‍යයනය කරමින් සිටින බව අවධාරණය කරමු.   

(ලංකා බැංකු සේවක සංගමය විසින් සාමාජිකයින් අතර බෙදා හරින ලද පත්‍රිකාවකි)