“ඇයටත් හිමියි තැඹිලි පාට ලෝකයක්”

“ඇයටත් හිමියි තැඹිලි පාට ලෝකයක්”

මිනිසෙක්ව උපන් සියල්ලටම තම නිදහසේ, අවශ්‍යතාවලින්, බියෙන් තොරව ගෞරවනීය පුද්ගලයෙක් ලෙස ජිවත් වීම සඳහා වූ අයිතිවාසිකමකට උරුමකම් කියමින් ලොවට පැමිණෙති. විවිධත්වයෙන් පරිපුර්ණ වූ සමාජයක නිරන්තර ගතිකත්වය උරුම කරගත් සමාජ පද්ධතියක් තුළ ජිවත් වෙන මිනිසා තරඟකාරී සමාජ පද්ධතියේ හති දමමින් දුවති. එය කෙසේ නමුදු වර්තමාන ශ්‍රී ලංකාව තුළ තම සුභදායි අනාගතය සඳහා ශ්‍රී ලාංකිකයාට හති දමමින් දිව්වත් අවසානයේ ඔහුට උරුම වනුයේ අඳුරු වූ අනාගතයක් හිමි ඒකාධිපති පාලනයේ තවත් ඒක වහලෙක් ලෙස නම් වූ, විඩාවට පත් කම්කරු ජීවිතය පමණි. ලංකාවේ සමස්ථ ශ්‍රමිකයන් සතු ජිවිත, දහඩියට කඳුලට වටිනාකමක් නොදෙන පාලකයන් වැජබෙන මජර පාලනයක් තුළ ගෙවෙන කාලකන්ණි ජිවිත බව සුප්‍රසිද්ධ රහසකි. එය එසේ පැවතෙමින් යන මොහොතක පිඩිතයන් අතුරින් තව තවත් වින්දිතයන් බවට පත්වන පිරිසක් ලෙසින් අපට කාන්තාවන් හා ළමුන් ඇස ගැටෙයි. කාන්තාවක් වීම නිසා හෝ කුඩා ළමයෙක් වීම නිසා සමාජයෙන් එල්ලවන හිංසන ඇතැම් අවස්ථාවල දී ඔවුන්වත් එය හිංසනයක් ලෙස හැඳින නොගනිති.

කෙසේ නමුදු ජාත්‍යන්තර වශයෙන් වෙන් වූ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් ව සිදුවන හිංසන පිළිබඳ දැනුවත් කිරීම, ඒවායින් මුදවා ගැනීම, හිංසනවලට එරෙහිව හඬ නැගීම සඳහා වෙන් වූ කාල වකවානුවක් ලෙස දින දහසයේ වැඩසටහන නැතිනම්, 16 days activism ගෝලීය වශයෙන් බලපෑම් සහගතව සිදුවන වැඩසටහනක් ලෙස හඳුනා ගත හැකිය.  එක්සත් ජාතින් විසින් නම් කර ඇති මෙම දින දහසයක වැඩපිළිවෙල 1990 දශකයේ සිට ක්‍රියාත්මක වන්නකි. සෑම වසරකම නොවැම්බර් මස 25 වනදා සිට දෙසැම්බර් මස 10 වන දින දක්වා දිවෙන මෙම ගෝලීය වැඩසටහන ජාත්‍යන්තර මානව හිමිකම් දිනයද යෙදී ඇති දෙසැම්බර් 10වන දින අවසන් කොට එය ගෝලීය වශයෙන් වූ බලපෑමක් ලෙසින් තහවුරු කරයි.

ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසන දින දහසයේ වැඩසටහන තුළ කෙසේ නම් මගහැරිය හැකිද? ලිංගිකත්වයේ පවතින බල අසමතුලිතතාවය හේතුවෙන් ප්‍රධාන වශයෙන් සිදුවන හිංසන බොහෝ අවස්ථාවල දී කාන්තාවන් ස්ව කැමැත්තෙන්ම හිංසනය තම ජිවිතයට උරුම දෙයක් ලෙස සලකමින් එයින් මගහැරී ජිවිත කාලය පුරාවටම වින්දිතයන්ව සිට මිය යති. තමන් උදෙසා සාධාරණත්වය වෙනුවෙන් හඩ නගන කාන්තාව ශ්‍රී ලංකික සමාජයට විහිළුවකි. එම කාන්තාව තවත් පුරුෂයෙකුගේ හිංසනයක වින්දිතයෙක් වීමට අත වැනීමකි. සැබවින්ම මෙවන් ගැටළුකාරී, පීඩාකාරී, හින්සනකාරී සමාජයකට මූල හේතුව කුමක්ද?

නව තාක්ෂණික යුගයක් ලෙස උදම් ඇනුවත් කණගාටුවෙන් හෝ පැවසිය යුත්ත නම් බහුතර ශ්‍රී ලාංකිකයන්ගේ හිත් තුළ තවමත් මුල් බැස ගෙන ඇත්තේ පුරුෂාධිපත්‍ය රජයන සමාජයක ප්‍රතිරූපයයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසන දිනෙන් දින වර්ධනය වීම හා වින්ඳිත කාන්තාවන් තවමත් තම මුවට අගුලු ලා ගනිමින් මුනිවත රකිනුයේ පුරුෂයා සතු හින්සනකාරී හැසිරීම තහවුරු කරමිනි. ශ්‍රී ලංකාව තුළ බහුතරය කාන්තාවන් වුවත් ශ්‍රී ලාංකිකයන් පාලනය කරන්නා වූ පාර්ලිමේන්තුව තුළ ද ඇත්තේ ස්ත්‍රී පුරුෂ අසමානතාවයයි.  එතැනම පවතිනුයේ ලිංගිකත්වය මත පදනම් වූ බල අසමතුලිතතාවය නොවේ ද? ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාපවල සේවය කරන ශ්‍රමිකයන්ගෙන් බහුතරය කාන්තාවන් ය. නමුත් සේවක අයිතීන් වෙනුවෙන් පිහිටවන වෘත්තීය සමිති තුළ කාන්තා නියෝජනය අතිශය අවමය. වැඩිම සේවක පිරිසක් කාන්තාවන් වුවත් කාන්තාව සතු අයිතිය පිළිබඳ හඩ නැගීමට හෝ කාන්තාව සතු අවකාශය පුරුෂ මූලික සමාජ පද්ධති අහුරා ඇත. නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන කාන්තාවන්ට ඔවුන්ට හිමි රැකියාවේ නිදහස, ඔවුන් සතු කම්කරු අයිතීන් උදෙසා හෝ තම පෞද්ගලික සාධාරණ හේතු මත හෝ රැකියාව තුළ මානසික නිදහසින් යුක්තව තම රැකියාව සිදු කිරීමට නොහැකි තත්ත්ව උදා වී ඇත.

මානසික වශයෙන් පමණක් නොව වෙළඳ කලාප තුළ සිටින ඇතැම් පාලකයින් හට කම්කරු කාන්තාව ඇතැම් අවස්ථාවල පෙනෙනුයේ තම පෞද්ගලික දේපලක් ලෙසෙනි. තම ලිංගික කාම ආශා වෙනුවෙන් පැමිණ සිටින්නියක් ලෙසිනි. වෙළඳ කලාප තුළ සිටින කාන්තා සේවිකාවන් තාවකාලිකව නැවතී සිටින කුලී කාමර හිමියාගේ ද ඇතැම් වාචික හිංසන ඇය විදදරාගනුයේ කලාපය තුළ කාන්තාවක් වීම නිසා ඇය අනාරක්ෂිත බව යටි සිත තුළ මුල් බැසගෙන සිටින නිසාවෙනි. ඇතැම් සේවිකාවන් හට කර්මාන්තශාලා විසින්ම නේවාසිකාගාර ලබා දී ඇතත් ඔවුන් ඒවායෙහි සිට ජිවත් වනුයේ සිරකරුවන් ලෙසිනි. වෘත්තීය සමිති ක්‍රියාකාරකමකට නේවාසිකව සිටින සේවිකාවන් සහභාගී වුවහොත් ඔව්න්ට පසු දිනම නේවාසිකාගාරයේ සිට එවැනි ක්‍රියා සිදු කිරීමට අවස්ථාවක් නොමැති බව පවසමින් එවැනි කටයුතු සදහා සහභාගී වීමට අවශ්‍ය නම් නේවාසිකාගාරයෙන් පිටත්ව යන ලෙස අනතුරු ඇගවීම් කර්මාන්ත ශාලා පාලක පුරුෂ පැලැන්තියෙන් හිමි වේ. කාන්තාව සතු කම්කරු අයිතීන් හෝ කාන්තාව සතු මානව අයිතීන්  මේ මොහොතේ ඇහිරී ගොස් ඇත්තේ කාන්තාවන් හෝ තම අයිතීන් වෙනුවෙන් හඩ අවදි කිරීමට පසුබට වන නිසා බව මෙහිදී කණගාටුවෙන් හෝ ප්‍රකාශ කළ යුතුය. නමුත් එයටද බලපානු ලබන හේතුවක් ඇත. තමන් සතු අයිතීන් වෙනුවෙන් වුවද, තමන්ට සිදුවන හිංසන උදෙසා වුව ද හඩ නගන නිදහස් වෙළඳ කලාපීය කාන්තාවගේ රැකියාවේ අනාරක්ෂිතතාවය  ඇයගේ මුව අගුලු ලෑමට සමත් වේ. වින්දිතත්වය උරුමයක් යැයි සලකමින් පීඩාකාරී රැකියා පරිසරයක් තුළ හිදිමින් ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් දිනෙන් දින ආමන්ත්‍රණය කරමින් සිටිති.

නිදහස් වෙළඳ කලාපයේ ඇගලුම් සේවිකාවන් පමණක් නොව කාන්තා ලිංගික ශ්‍රමිකයන් ද ස්ත්‍රීන් වීම පාදක කර ගනිමින් විවිධ වූ හිංසනයන්ට ලක්වෙති. ලිංගික ශ්‍රමය තම ජිවන රැකියාව ලෙස තෝරා ගනු ලබන කාන්තාව සැබවින්ම එම රැකියාව තෝරා ගනුයේ සමාජ අවශ්‍යතාවය මත ඇති වුන රැකියාවක් නිසාවෙනි. ඔවුන්ගෙන් සේවාවන් ලබා ගනු ලබන සේවා ලාබින් පිරිසක් සිටින නිසාවෙනි. නමුත් මෙම රැකියාව අතිශය පෞද්ගලික අවිධිමත් රැකියාවක් වන නිසාවෙන් එම ක්ෂේත්‍රය තුළ ඇය මුහුණ දෙන ලිංගික සූරා කෑම් අතිශය බැරෑරුම් තත්වයකි. ඔවුන්ට නීතිය තුළ ද සාධාරණත්වය ඉෂ්ට නොවන බව පැවසිය යුත්තකි. නීතියේ සාධාරණත්වය උදෙසා ගියද සමාජ ආරක්ෂකයින් ලෙස කටයුතු කිරීමට සේවයට බැඳී සිටින පොලිස් මහතුන්ගෙන්ද ලිංගික ශ්‍රමික කාන්තාවට ලැබෙනුයේ තවත් ලිංගික ඇරයුමක් පමණි. මෙම සෑම අවස්ථාවක දී ම මෙවන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසන සදහා ප්‍රධානතම හේතුවක් වනුයේ පුරුෂාධිපත්‍ය මුල් බැස ගත් සමාජයක පවතින පද්ධතිමය වශයෙන් වූ ලිංගිකත්වය මත පදනම් වූ බල අසමතුලිතතාවයයි.

නිදහස් වෙළඳ කලාප තුළ සිටින සුළුතර සමාජ කණ්ඩායමක් ලෙස LGBTQI ප්‍රජාව මෙහිදී සඳහන් කිරීම අත්‍යවශ්‍යම සාධකයකි. මන්ද යත් විශේෂයෙන්ම ලිංගිකත්වය පදනම් කරගනිමින් මෙම ප්‍රජාව වෙත එල්ල වන හිංසන ගණනය කළ නොහැකි තරම් ය. අඳින පළඳින ඇදුමේ පටන් යන එන තැන්, කතාබස් කරන විලාසය, සිදුකරනු ලබන රැකියාව වැනි වූ සාධක මත සිට ඔවුන්ගේ ලිංගිකත්වය විශේෂ කොට ගනිමින් වාචික හා මානසිකව ඔවුන්ට එල්ලවන හිංසන සුලභය. නිදහස් වෙළඳ කලාපය තුළ කම්කරුවෙක් ලෙස සේවයට බඳවා ගැනීමේ දී පවා කර්මාන්තශාලා පාලක පන්තියට මෙම ප්‍රජාවේ ලිංගිකත්වය පිළිබඳ මතුවන ගැටලුව ඔව්න්ව රැකියාවට බඳවා නොගැනීමට තරම් හේතුවක් වි ඇත.

ලොවෙන් අඩකටත් වැඩි කාන්තාවන් උදෙසා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් ආමන්ත්‍රණය කිරීමට දින දහසයක් කිසි සේත්ම ප්‍රමාණවත් නොවේ. නමුත් අවම වශයෙන් හෝ කාන්තාව සතු මානව අයිතිවාසිකම් ඇයට උරුම කර දෙමින් හිංසනයන්ගෙන් තොර සමාජයක් සඳහා වූ ආයෝජනය ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාපීය ශ්‍රමික කාන්තාවන් උදෙසා ස්ටෑන්ඩ් අප් සේවක සංගමය හැකි උපරිමෙන් ලබා දෙමින් සිටිමු. ශ්‍රී ලංකාව තුළ කාන්තාව නිදහස් සමාජ ජීවියෙක් විය යුතුය. ඇයට හිමි ගෞරවය ලබමින් බියෙන් හා අවශ්‍යතාවලින් නිදහස් ස්වාධීන කාන්තා ජීවිතය ශ්‍රී ලාංකික කාන්තාව සතුව සේම සමස්ථ ගෝලීය කාන්තාව සතු විය යුතුය. මේ මොහොතේ පටන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන්ගෙන් තොර සමාජයක් බිහිවීම උදෙසා වූ ආයෝජනය, මැදිහත්වීම ලබා දෙමු. තැඹිලි පාට ලෝකයකට කාන්තාව සතු අයිතිය ආරක්ෂා කිරීමට එක්වෙමු.

       | මා ර් තා 

ස්ටෑන්ඩ් අප් සේවක සංගමය