කෘතීම බුද්ධිය, අනාගතයේ මැතිවරණ ප්‍රතිඵල නිපදවනු ඇත්තේ ද කෘතීමවය

කෘතීම බුද්ධිය, අනාගතයේ මැතිවරණ ප්‍රතිඵල නිපදවනු ඇත්තේ ද කෘතීමවය

ශ්‍රී ලංකාව මෑත කාලීනව මැතිවරණ විරහිත නිර්මැතිවරණ සංස්කෘතියක් කරා වේගයෙන් ගමන් කරමින් තිබේ. එය මැතිවරණ ප්‍රේමීන්ගේ සංවේගය වඩවන්නකි. එනයින් පැහැදිළි වන එක් යථාර්තයක් වන්නේ පරිපාටිගත ප්‍රජාතන්ත්‍රවාදයක් පවා අප වැනි රටක ක්‍රියාවට නැගීම විධායක ජනාධිපති ක්‍රමය නම් වූ බිහිසුණු නිර්ලිබරල්ගත මෙවලම හමුවේ කෙතරම් අභියෝගාත්මක ද යන්නයි. එකී  සාහසිකත්වයේ දෘශ්‍යමාන වන්දිය වනු ඇත්තේ එක් එක් මැතිවරණය, දිනෙන් දින, මාසයෙන් මාසය සහ වසරින් වසර අතුරුදහන් වීමයි.

එවැනි දුර්දසාවක් පැමිණි කල ඉන් ගැලවීමේ මන්ත්‍රය ජප කිරීමේ අනුප්‍රාණය ඇත්තේ අර්නස්ට් හෙමින්ග්වේ චිත්‍රණය කරන ''මහල්ලා සහ මුහුද'' නව කතාවේ එන සන්තියාගෝ ඇල්ක පේන් වැනි චරිතයක් ඇත්තෙකුට පමණි. දවස් 84 ක් ම මාළු අස්වැන්නක් නොලද සන්තියාගෝ ''මිනිසා විනාශ කල හැකි වුවද -කිසිදා පරාජය කල නොහැකිය යන මානයේ සිට අතට පත්වූ දැවැන්ත මත්ස්‍යයා රැගෙන වෙරළට පැමිණීමේ කතා පුවත මැතිවරණ පර්ශවකරුවන්ට ද කදිම ආදර්ශයකි.

මෙවැනි පසුබිමක ශ්‍රී ලංකාව වැනි රටක ඇති අනෙක් අර්බුදය වන්නේ අප්ඩේට් නොවන මැතිවරණ දැනුමයි. යාවත්කාලීන නොවන මැතිවරණ දැනුමින් යුක්ත පාර්ශවකරුවන් සමඟ මැතිවරණයක් සංවිධානය කිරීම වාරකන් සමයේ ආධුනිකයන් පිරිසක් හා එක්ව මාළු අල්ලනවා හා සමාන කාර්යයකි. මැතිවරණ ආශ්‍රිතව සාමාන්‍යයෙන් ලංකාව වැනි රටක ගුරුකුල දෙකක් ක්‍රියාත්මකය. එක් පාර්ශවයක් උර දෙන්නේ  සම්ප්‍රදායික මැතිවරණ සංවිධානය ගැන බර තැබීමටයි. ඔවුන් සියල්ල කරනු ඇත්තේ සහ සිතනු ඇත්තේ  සුපුරුදු මැතිවරණ කාර්ය පරිපාටියට අනුවය. ජන්ද හිමි නාම ලේඛනය අනුමත කර ගැනීමේ සිට ජන්දය පවත්වා ඊට සහය දුන් රජයේ නිළධාරීන්ගේ දීමනා ටික බේරා, පෞද්ගලික අංශයේ සේවා සම්පාදකයන්ගේ බිල් ටිකත් බේරීම සහ හැකිනම් අවසන් වාර්තාවක් නිකුත් කිරීම ඔවුන්ගේ සාමාන්‍ය විධික්‍රමයයි.

මේ ක්‍රියාදාමය අතරතුර යම් නවීකාරක වෙනසක් සිදුකිරීම ආනන්තරිය පාපකර්මයක් සිදුකරනවා හා සමාන ලෙසය ඔවුන් සිතනු ඇත්තේ. ලංකාවේ බොහෝ මැතිවරණ බළධාරීන් අයත් වන්නේ මේ ගණයටය.

අනෙක් ගුරුකුලය එතරම් මැතිවරණ සංවිධානය ගැන  සැළකිල්ලක් දක්වන්නේ නැත. එහෙත් මැතිවරණ ක්‍රියාවලියට දිනෙන් දින එකතුවන නව ප්‍රවණතා ගැන ඔවුන් තුළ ඇත්තේ කදිම උනන්දුවකි. එමෙන්ම ඔවුන් මාර්ගගතව මැතිවරණ පැවැත්වීම මතු නොව සයිබර් අවකාශයේ  සිදුවන වෙනස්කම් මැතිවරණ සඳහා බලපාන ආකාරය ගැන ද පසුවන්නේ දැඩි අවධානයකිනි. සැබවින්ම අද දවසේ පවත්වන මැතිවරණයක නියම ප්‍රතිඵලය ගැනීමට නම්  මේ ගුරුකුල දෙකෙහිම අදහස් අතර යම් සාම්‍යයක් පවත්වා ගත යුතුමය. එවැන්නක් කිරීම සඳහා අගති විරහිත උත්සහයක් දැරිය යුතුය යන්න ඇඟිල්ලෙන් අනිමින් කියා දිය යුත්තක් නොවේ. එහෙත්  දැනටනම් මෙවැනි කරුණු ගැන බරපතල සාකච්ජාවක් ලංකාවේ සිදුවන්නේ නැත. එමvනිසාම මෙම  ලියුම්කරු  මෙදින තෝරාගත් තේමාව සයිබර් අවකාශගත එකක් වන අතර එය  වැළඳ ගැනීමෙන් විනා මඟ හැරීමෙන් ලිස්සා යා නොහැකි තේමාවක් ද වනු ඇත.

මෙම ලිපිය කියවන ඔබගෙන් කිහිප දෙනෙකුට වසර 2010 ජනාධිපතිවරණ ප්‍රතිඵල මතකයේ රැඳී ඇතැයි සිතමි. 2010 වසරේ ජනවාරි 26 වැනි දින  පැවැත්වූ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ 17.73 % ක වැඩි ජන්ද ප්‍රතිශතයකින් එම මැතිවරණය ජය ගත්තේය. එහෙත් සමස්ත මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ම දැඩි උණුසුම් ස්වරූපයක් ගත්බව අපගේ පොදු නිරීක්‍ෂණයයි. එදින  පස්වරු 2.10 ට පමණ එවකට රාජපක්‍ෂ කඳවුරේ ප්‍රධානතම කථිකයා වූ විමල් විරවංශ විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබීය. ඊට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මෙන්ම ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවත් කදිම ප්‍රචාරයක් ද  ලබා දුනි. ඔහු කීවේ සරත් ෆොන්සේකා වාර්ෂික ජන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචිව නොසිටින බැවින් ඔහුට ජන්ද බලය නොමැති බවත්, එබැවින් ජන්ද අයිතිය නැත්තෙක් නිසා ඔහු තරඟය දිනුවත් ජයග්‍රහණය අත්වනු ඇත්තේ මහින්ද රාජපක්ෂට බවත්ය .

මෙය සැබවින්ම ආකර්ශනීය මැතිවරණ පණිවුඩයකි. එපමණක් නොව ඕනෑම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයකදී එල්ලවිය හැකි  මුහුණ දීමට නොහැකි අන්දමේ ගුග්ලි පන්දුවකි. මැතිවරණ නිරික්ෂණය කෙසේවෙතත් ලියුම්කරුගේ වර්තමාන පශ්චාත් උපාධි අධ්‍යයනය ඉලක්කගත වී ඇත්තේ  දේශපාලන සන්නිවේදනය නම් වූ විෂය ක්‍ෂේත්‍රය දෙසට බැවින් පෞද්ගලිකව මෙය අප විශ්මයට පත්කරන ආකාරයේ තෝරා ගැනීමකි. 

එහෙත් මැතිවරණ නිරීක්ෂකයෙකුගේ දැක්මෙන් ද අවශ්‍ය නම්  මීට පිළිතුරක් දීමේ හැකියාව ඇත. එනම් එවැනි උපක්‍රමයක් භාවිත කිරීම අවරගණයේ උත්සහයක් බවයි. එම ප්‍රකාශය තුළ දුස්තොරතුරු (Disinformation) නොමඟ යැවීමේ පක්‍ෂපාති කරුණු (Misinformation) සහ වෛරී ප්‍රකාශ  Hate Speech යන තුන් බිය ම ඇතුළත් විය.

ජන්දහිමි නාම ලේඛනයේ නම නැත්තා දිනුවද පරදින්නේය යනු මැතිවරණ නීතියට දෙන වැරදි අර්ථකථනයකි එනයින් එය දුස්තොරතුරකි.

කරුණු දැන දැන රටම වැරදි භාවිතාවක් සඳහා පොළඹවමින් තමන්ගේ ජන්ද ගොඩ වැඩි කරගැනීමේ පවිටු අරමුණින් බොරුව ඇත්ත සේ කියන්නේ අනෙකා නොමඟ යැවීමටය. එබැවින් එය ජනතා පරමාධිපත්‍යය  බලයට කෝචොක් කරන අන්දමේ සැළසුම්ගත වෑයමකි. එනයින් එය අමු පක්‍ෂපාතී ප්‍රබන්ධයකි.

ජන්ද බලය නැති අපේක්‍ෂකයෙක් ලෙස ෆොන්සේකා රටේ ධනය සහ කාලය කා දැමූවෙක් ලෙස හඳුන්වා දී ඔහු කෙරෙහි ජනතා කෝපය එල්ල කිරීමේ පවිටු අරමුණද එහි විය. එපමණක් නොවේ කොක්කෙන් හෝ කෙක්කෙන් ෆොන්සේකා දණ ගස්සවීමේ වීරවංශ -රාජපක්‍ෂ මෙහෙයුමද පෙරකී ප්‍රකාශයේ නොපෙණෙන පැති මානයයි. එනයින් එය වෛරය වඩවන්නේය. ප්‍රති පාක්‍ෂිකයන්ගේ වුව ක්‍රෝධය දළුලන දේශපාලන එදිරිවාදීකමකි එය. එනයින් විරවංශ භාෂණය හාස්‍යජනකය,හිස්ය, ක්‍රෝධය වෙතම පාවඩ එලන්නේය.

දැන් මම ඔබෙන් මෙසේ අසමි. මෙයම මීට සමාන අන්තර්ගතයකින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ හඬින් කිව නොහැකිද? මැතිවරණ නිරීක්ෂකයෙකුගේ හඬින් හා අභිනයෙන් මතු නොව ඔහුගේ හෝ ඇයගේ රූප කායෙන්ම කිව නොහැකිද?

සරලම පිළිතුර 'යස්ය'

එසේනම් ඒ කෙසේද? දැන් දැන් නොදන්නේ කවුද? කෘතීම බුද්ධිය හෙවත් Artificial Intelligence මඟින් ලෝකය උඩුයටිකුරු කල හැකිය. ඉදින් මැතිවරණ යනු AI හමුවේ තවදුරටත් පූජනීය වස්තුවක් නොවේ. කේම්බ්‍රිජ් ඇනලිටිකා (Cambridge Analytica) වැනි දත්ත සොරකම් හමුවේ ඇති පදම් පාඩම් ඉගෙනගත් ඇමෙරිකා එක්සත් ජනපදය, එළඹෙන 2024 වර්ෂයේ ජනාධිපතිවරණය ගැන පසුවන්නේ අනියත බියකිනි. එමනිසාමදෝ එක්සත් ජනපද සෙනෙට් සභාවේ නියෝජිත (Majority Leader Chuck Schumer ) චක් ෂුමර් කෘතීම බුද්ධිය හා සබැඳි සාකච්ජා සභාවක් පැවැත්වීම සඳහා ඔහුගේ නායකත්වය ලබා දුනි. එක්සත් ජනපද නීති සම්පාදකයන් සහ මාර්ගගත තාක්‍ෂණික සැපයුම්කාර සමාගම්හි අදියුරුකම් දරන මෙහෙයුම් ප්‍රධානීන් එක් තැනකට එක්රැස් කොට මෙහිදී සාකච්ජා කරන ලද වෙසෙස් කරුණක් විය. එනම් කෘතීම බුද්ධිය ඇමෙරිකානු මැතිවරණය අගතියට පත් කරනු ඇතිද යන්නයි.

සැබවින්ම මෙය බිය විය යුතු කරුණක් නොවේ. පුරාතණ සිංහල භාෂාගත සංසිද්ධියක් මඟින් කියන්නේ නම් අපි මේ යකාගෙන් වැඩ ගත යුතුය. හැකිතාක් පරිසර හිතකාමී මෙන්ම මානව ස්පර්ශය හා පිරිවැය අවම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් පිළිබඳව ඔබ සිතන්නේ නම් කෘතීම බුද්ධිය මඟින් මැතිවරණයක් සංවිධානය සඳහා ගත හැකි පිටුබලය අපමණය.

මීට කදිම නිදසුනක් දැනට අදියර කිහිපයක් ඔස්සේ  ක්‍රියාත්මක ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරණය ඔස්සේ පැහැදිළි කල හැකියි. දැනටමත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ලෝකයේ පැවැත්වෙන පළමු කෘතීම බුද්ධිය ඔස්සේ මෙහෙයවන මැතිවරණය මෙය බවයි. ඇත්තටම මෙහි ප්‍රධානතම ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් දෙදෙනාම සයිබර් අවකාශගත අන්තර්ගත වලට ආදරය කරන්නන්. එබැවින් දෙදෙනාම එනම්  Sergio Massa, සහ Javier Milei, යන දෙදෙනාම ඉතා බහුල ලෙස කෘතීම බුද්ධිය යොදා ගනිමින් සිදුකරන මැතිවරණ ප්‍රචාරය, ඒ ආශ්‍රිත පර්යේෂකයන් පුදුම කරවන සුළුයි. සර්ජියෝ එලෙස AI ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද ප්‍රචාරක පෝස්ටරයක් මෙම සටහන සමඟ එකතු කොට තිබෙනවා).

එම ප්‍රචාරක පෝස්ටරයේ  ඉහළ කෙළවරේ සඳහන් වන්නේ Generated by AI යනුවෙන්. යටත් පිරිසෙන් අපගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ අපි දැනගත යුතු එක් මූලික කරුණක් වන්නේ  කෘතීම බුද්ධිය මඟින් නිපදවා ඇති නිෂ්පාදන මොනවාද යන්නයි. මෙහිදී නිසැකව ම අපගේ   විමසුමට ලක්වන්නේ මෙරටේ මැතිවරණ කොමිෂන් සභාව සතුව AI මෙල්ලකරගනිමින් වැඩ ගැනීමේ විභවතාවක් පවතීද යන්න. මෙහිදී මැතිවරණ නිරීක්ෂකයෙක් ලෙස මා වඩාත් ඇළුම් කරන්නේ ඔවුන් සතුව ඊට අදාළ වැඩබිමක් නොපවතී යන කරුණ මතු කරමින් ඔවුන්ගේ අනෙක් කාර්යයන් පවා අවතක්සේරු කිරීමට නොවෙයි. එවැනි ඉහළ තාක්‍ෂණික එළඹුමක් හමුවේ අවශ්‍යනම් ඔවුන්ප්‍ට රත්‍යාස්ථිතිමය ලෙස (Recelliance) කටයුතු කල හැකියි. එමඟින් අඟවනු ලබන්නේ ඕනෑම ප්‍රතිරෝදයක් හමුවේ සාධනීය ප්‍රතිචාර දැක්වීමේ සමත් යාන්ත්‍රණයක් නිර්මාණය කරගැනීම අපගේ මැතිවරණ කොමිෂන් සභාවට එතරම් අපහසු කාර්යයක් නොවන බවයි.

ඒ සඳහා සුදුසු සරල සුත්‍රයක් මෙහි සඳහන් කරන අතර එය සාර්වත්‍රික නියමයක් සේ නොසැළකිය යුතුයි. මෙහිදී වැදගත්න් නව තාක්‍ෂණික එළඹුම් දෙස සතුරු සිතින් බැලීම නොවෙයි. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ තරම් සම්ප්‍රදාය ගැති අනෙකා කෙරෙහි සැකයෙන් සහ අවිශ්වාසයෙන් බලන අරුම පුදුම යන්ත්‍රණයක් මිහිපිට වෙනත් තැනක පවතීද යන්න සැක සහිතයි. පක්‍ෂ මට්ටමින් සියවසක් පසුපසට යමින් මැතිවරණ කොමිසම ආලෝක වර්ෂයක් පිටිපසින් සිටින්නේ යැයි පැවසීම හාස්‍යජනක බවයි අපගේ හැඟීම.

මෙම විෂය පිළිබඳව අවධානයෙන් පසුවන යමෙක් වේනම් නිරතුරුව විමසිය යුතු යමක් සිදුවෙනවා පාකිස්තානයේ. එහි දැනට සිරගතව සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙනුවෙන් ඔහුගේ මාධ්‍ය සඟයන් එක්ව විනාඩි 04 ක සහ තත්පර 28 ක වීඩියෝ පටයක් නිකුත් කරනවා. තම ජනතාව අමතන මේ වීඩියෝවට ඛාන් යවා ඇත්තේ සිරමැදිරියේ සිට ලියූ සටහන් පමණයි. නමුත් එහි, ඔහුගේ හඬ , රුව සහ හැඟීම් ඉතා කදිමට නිරූපණය කරනවා. මින් පැහැදිළි වන්නේ AI යනු ඕනෑම මැතිවරණයකදී වැඩ ගත හැකි සුන්දර යක්ෂණියක්.

මැතිවරණ කොමිසමේ අවධානයට

01.මැතිවරණ පැමිණිලි නිරාකරණය සඳහා ස්ථාපිත ඒකකයේ නිත්‍ය කාර්යභාරයක් කෘතීම බුද්ධිය උදෙසා වෙන් කල හැකියි. එහෙත් එවැනි ක්ෂේත්‍රයක ප්‍රවීනයන් සඳහා ගෙවනු ලබන රජයේ වේතනය කිසිසේත් හැකියාවට සරිලන එකක් නොවේ. එබැවින් පෞද්ගලික අංශයේ සමාගමක් හෝ වෙනත් සුදුසු ආයතනයක් සමඟ සේවා ගිවිසුමකට එළඹ යම් බාහිර සහයක් ලද හැකියි. එය ජන්ද ප්‍රතිඵල නිකුත් කිරීම දක්වා ක්‍රියාවලියට කොළඹ හෝ කැලණිය විශ්ව විද්‍යාලය  එක් කරගන්නවා හා සමානයි.

02. AI සම්බන්ධව ක්‍රමයෙන් ගොඩ නැගෙමින් පවතින ජාත්‍යන්තර ප්‍රමිතීන් කෙරෙහි ආශක්ත මැතිවරණ සමාජයක් ගොඩ නැගීම සඳහා මැතිවරණ කොමිසමට නායකත්වය දිය හැකියි. මෙහිදී අවශ්‍යනම් කොමිසමේ ඉතිරි හෙවත් පස්වෙනි සාමාජිකයා පත්කිරීමේදී නව මාධ්‍ය සහ සයිබර් දැනුම ඇති සාමාජිකාවක් හෝ සාමාජිකයෙක් ගැන සළකා බැලිය හැකියි.

03. මැතිවරණ පාර්ශවකරුවන් සඳහා අංග සම්පුර්ණ මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දිය හැකියි. ඒ සඳහා ජාත්‍යන්තර සහ දේශීය මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන මෙන්ම අනෙක් සුදුසු ආයතන මඟින් බොහෝ උපකාර ඉල්ලා සිටිය හැකියි.AI භාවිතය පසුගියදා පාර්ලිමේන්තුව අනුමත කල මැතිවරණ ප්‍රචාරක වියදම් නීතිය පවා අභියෝගයට ලක්කළ හැකියි. එබැවින් එවැනි පියවරක් සඳහා කොමිසම ඉදිරියට පැමිණීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බව අවිවාදිත කරුණක්. (පළාත් පාලන ආයතන ජන්ද විමසීම සඳහා රුපියල් 20 සළකා බලන ලද්දේ AI මෙවලම මැතිවරණ ප්‍රචාරය සඳහා යොදා ගන්නා බව නොසිතමින් .එබැවින් එළඹෙන මැතිවරණ වලදී එය සළකා බැලීම අත්‍යවශ්‍යයි).

04. ශ්‍රී ලංකාවේ දැනට ප්‍රචලිත සහ ක්‍රියාත්මක දේශීය මෙන්ම ජාත්‍යන්තර AI සේවා සපයන ආයතන හමුවීම සහ Google ඇතුළු ජාත්‍යන්තර සමාගම් සමඟ යම් නිත්‍ය සබඳතාවක් පවත්වා ගැනීම සඳහා මැතිවරණ කොමිසම සුදුසු නිළධරයෙක් පත් කල යුතුයි. Focul Point ලෙස හඳුන්වන මෙවැනි පත්කිරීම් ඔස්සේ ලබාගත හැකි ප්‍රයෝජන අමිලයි.

මීට අදාළව කල යුතු දේ බොහොමයක් පැවතියත් ඉහත කරුණු හතර ප්‍රතිපූරණය ඉතා වැදගත් පළමුව. මේ පිළිබඳ අවධානයක් යොමු කල නොහැකි නම් මාර්ටින් වික්‍රමසිංහ වරක් ඔහුගේ නව කතාවක ලියන ලද්දක් තමයි උපුටා දක්වන්න වෙන්නේ.

''පරිසරයට අනුකුල වෙයං -නැත්නම් මැරියන් ''

manjula gajanayake 1

| මංජුල ගජනායක