වැඩ කරන පැය ගණනින් පසු 'කාර්යාලයෙන් විසන්ධි වීමට' සේවකයින්ට අයිතියක්

වැඩ කරන පැය ගණනින් පසු 'කාර්යාලයෙන් විසන්ධි වීමට' සේවකයින්ට අයිතියක්

ඔස්ට්‍රේලියාවේ "විසන්ධි වීමේ අයිතිය" නීතියක් බවට පත් කර තිබේ. එම නීතිය අනුව, තමන්ගේ දවසේ වැඩ නිම කිරීමෙන් පසු සේවා යෝජකයන්ගෙන් ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමට හෝ පණිවිඩ කියවීමට බල කෙරෙන සේවකයින්ට සහන සැලසෙනු ඇත.

නව නීතිය මගින් සේවකයින්ට තම ප්‍රධානීන්ගේ දඬුවමකට ලක්වනු ඇතැයි බියකින් තොරව, වැඩ කරන පැය ගණනට පසු සේවා යෝජකයින්ගෙන් හෝ ප්‍රධානීන්ගෙන් ලැබෙන ඇමතුම් නොසලකා හැරීමට ඉඩ සැලසෙයි.

පසුගිය වසරේදී ප්‍රකාශයට පත් කරන ලද, සමීක්ෂණයකින් ඇස්තමේන්තු කර ඇති ආකාරයට වසරකට ගෙවීමක් නොලබන අතිකාල පැය ගණනේ සාමාන්‍යය 281කි.

ප්‍රධාන වශයෙන් යුරෝපයේ සහ ලතින් ඇමෙරිකාවේ රටවල් 20කට අධික සංඛ්‍යාවක මීට සමාන නීති ක්‍රියාත්මක වේ.

Couple lying in bed and using smartphones.

මෙම නීතිය අනුව, වැඩ කරන වේලාවෙන් පසුව සේවකයින් සම්බන්ධ කර ගැනීමට සේවා යෝජකයින්ට තහනමක් පනවා නැත.

ඒ වෙනුවට, ප්‍රතිචාර නොදැක්වීම සාධාරණීකරණය කළ නොහැකි අවස්ථාවකදී හැර, ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වා සිටීමට අයිතියක් ලැබේ.

නව නීතිය අනුව, සේවා යෝජකයන් සහ සේවකයින් තමන් අතර ඇති ආරවුල් විසඳා ගැනීමට උත්සහ ගත යුතු ය. එහිදී, විසඳුමක් ඇති කර ගැනීමට නොහැකි වුවහොත් ඔස්ට්‍රේලියාවේ Fair Work Commission (FWC) නමැති ආයතනයට ප්‍රවේශ විය හැකි ය.

ඉන්පසු, වැඩ කරන පැය ගණනින් පසු සේවකයින් සම්බන්ධ කර ගැනීමට උත්සහ නොකරන ලෙස සේවා යෝජකයාට නියෝග කිරීමට Fair Work Commission ආයතතයට බලය තිබේ.

සේවකයෙකු ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කිරීම අසාධාරණ බව තහවුරු වුවහොත්, ඇමතුමට පිළිතුරු දෙන ලෙස ඔවුන්ට නියෝග කිරීමට ද එම කොමිසමට හැකි ය.

කොමිසමේ නියෝගවලට අනුකූල වීමට අපොහොසත් වුවහොත්, සේවකයෙකු සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් 19,000 දක්වා හෝ සමාගමක් සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් 94,000 දක්වා දඩ මුදලක් ගෙවීමට සිදුවෙයි.

සේවකයින් වෙනුවෙන් පෙනී සිටින සේවක සංගම් මෙම නීතිය සම්බන්ධයෙන් සතුට පළ කර තිබේ.

එය, "වැඩ කරන පැය ගණන අවසන් වීමෙන් පසුව සේවා ආයතනයෙන් ලැබෙන ඇමතුම් ප්‍රතික්ෂේප කිරීමට මෙන් ම වැඩ කිරීම සහ ජීවිතය අතර සමතුලිතතාවක් ඇති කර ගැනීමට සේවකයින්ට බලය ලබා දෙනු ඇත", ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය පවසයි.

වැඩබිම් විශේෂඥයෙකු වන ස්වින්බර්න් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ජෝන් හොප්කින්ස් පැවසුවේ, නව නීති මගින් සේවා යෝජකයින්ට ද උපකාරී වන බව ය.

"වඩා හොඳ විවේකයක් ඇති සහ සමතුලිතතාවක් ඇති කාර්ය මණ්ඩලයක් සිටින ඕනෑ ම ආයතනයකට අසනීප අඩු, සේවයෙන් ඉවත් වීමේ ඉඩකඩ අඩු කාර්ය මණ්ඩලයක් සිටිනු ඇති," ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ තත්ත්වය කෙබඳු ද?

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක සාප්පු සහ කාර්යාල සේවක පනත අනුව සතියකට වැඩෙහි යෙදවිය හැකි උපරිම පැය ගණන 45කි.

එම පැය ගණන ඉක්මවා යන අවස්ථාවකදී, ඉක්මවා යන පැයක් වෙනුවෙන් අතිකාල දීමනාවක් ගෙවිය යුතු වේ.

කෙසේ වෙතත්, අතිකාල දීමනා ගෙවීම සිදු කළ ද, ඇතැම් සේවකයින් අතිකාල සේවාවල නිරත වීමට අකැමැත්තක් දැක්විය හැකි බව ද නීතිඥ ඉසුරු මහේෂ් පණ්ඩිත පවසයි.

"ශ්‍රී ලංකාවේ සේවකයින් තමන්ගේ රැකියාව අහිමි වෙයි කියන බයට අතිකාල සේවාවල නිරත වෙන අවස්ථා තියෙනවා. එවැනි අවස්ථාවල ඔවුන් අතිකාල වැඩවල නිරත වෙන්නේ කැමැත්තෙන් නෙවෙයි. ඔවුන් ඇතැම්විට රැකියාව ගැන අතෘප්තියකින් පසු වෙනවා. අතිකාල දීමනා ලැබීමෙන් සේවකයින්ගේ මානසික සහ ශාරීරික යහපැවැත්ම ආරක්ෂා වෙන්නෙ නෑ."

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය සංශෝධනයකට ලක් කිරීමට කාලය එළඹී ඇති බව ය.

"ශ්‍රී ලංකාවේ සමාගම් ගොඩක් දැන් සේවකයින් ස්ථිර නොවන සේවකයින් විදිහට තමයි බඳවා ගන්නේ. එවැනි සේවකයින්ට තමන්ගේ රැකියාව ගැන සුරක්ෂිතභාවයක් නැහැ. ඔවුන් සේවා යෝජකයාට අවශ්‍ය විදිහට තමන්ගේ කම්කරු අයිතීන් පවා සැලකිල්ලට ගන්නෙ නැතුව වැඩ කරනවා. මේ තත්ත්වය වෙනස් කළ යුතු යි. ඒ වෙනුවෙන්, සේවකයාට වගේ ම සේව්‍යයාටත් සහනයක් ඇති වෙන විදිහට කම්කරු පනත සංශෝධනය කළ යුතු යි. සේවකයා මානසිකව සහ ශාරීරිකව යෝග්‍ය තත්ත්වයක හිටියොත් තමයි සේව්‍යයාට සේවකයාගෙන් උපරිම සේවයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ."

කෙසේ වෙතත්, වෘත්තිකයින්ගේ හෝ සේවකයින්ගේ හිඟය හේතුවෙන් රාජ්‍ය සේවයේ ඇතැම් වෘත්තීන්හි අතිකාල සේවා සැපයීමට බලකෙරෙන අවස්ථා තිබේ.

උදාහරණයක් ලෙස සෞඛ්‍ය සේවාව තුළ වෛද්‍යවරු ඕනෑ ම අවස්ථාවක සේවයට වාර්තා කිරීමට බැඳී සිටිති.

එවැනි අවස්ථාවකදී ද කම්කරු නීති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී දුෂ්කරතා මතු වෙයි.

(bbc/Sinhala)