ජනාධිපතිවරණය 2024 – ඔබ ජනාධිපතිවරයා බවට පත් වුවහොත් Online Safety Act(OSA) අහෝසි කරනවාද? [ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව පිළිබද ලිට්මස් පරීක්ෂාව]

ජනාධිපතිවරණය 2024 – ඔබ ජනාධිපතිවරයා බවට පත් වුවහොත් Online Safety Act(OSA) අහෝසි කරනවාද? [ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව පිළිබද ලිට්මස් පරීක්ෂාව]

ශ්‍රී ලංකාවේ 9වන විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම සදහා තවත් ඇත්තේ හරියටම මාසකට අඩු කාලයකි. එනම් එළැබෙන සැප්තැම්බර් 21 වනදා “විධායක ජනාධිපතිවරයා” තෝරා පත්කර ගැනීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත. 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු නිල වශයෙන් නාමයෝජනා භාර දී ඇති අතර, ඔවුන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන ඇති බවට මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය සදහන් කරයි.

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහත් 2024 ජනාධිපති අපේක්ෂකයෙක්!

2019 නොවැම්බර් 16 වනදා පැවති, ශ්‍රී ලංකාවේ 7වන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී ගෝඨාබය රාජපක්ෂ විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය. නමුත් ගෝඨාබය රාජපක්ෂගේ ඉතා කෙටි පාලන කාලය තුළ පැන නැගී ආ ලංකා ඉතිහාසයේ දැවැන්ත ම ජනතා විරෝධතාවය හේතුවෙන් ඔහුට සිය ජනාධිපති ධූරය හැරදා රටින් පළායාමට සිදු වූ අතර, පසුව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස (2022 මැයි 12 – 2022 ජූලි 22) රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මංත්‍රීවරයා පත් වූ අතර, පසුව ඔහු ශ්‍රී ලංකාවේ 8වන විධායක ජනාධිපති(අනුප්‍රාප්තික) ලෙස පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කර ගන්නා ලදි.

දැන් අනුප්‍රාප්තික ජනාධිපති වික්‍රමසිංහ ‘ස්වාධීන අපේක්ෂකයෙක්’ ලෙස මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇත.

මර්දන පනත් සහ අනුප්‍රාප්තික ජනාධිපති

ලංකාව සිය ඉතිහාසය තුළ ජනතාව මර්දනය-දණ්ඩනය කිරීම ම අරමුණු කරගත් අන-පනත් ගෙන ඒම සිය දේශපාලන චර්යාවේ ප්‍රදාන කොටසක් ලෙස ප්‍රසිද්ධියට පත් රටකි. එහීදී වඩාත් අනදෝලනාත්මක පනතක් ලෙස විවේචනයට බදුන් වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතයි(PTA).(1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ(තාවකාලික විදිවිදාන) පනතයි). කෙසේ නමුත් 1982 දී මෙම පනතට ගෙන එන ලද සංශෝදනයක් මගින් පනත ස්ථිර පනතක් ලෙස පත් වූ අතර මේ වසර 45 පුරාම මේ පනත යටතේ පීඩාවට ලක් කළ ශ්‍රී ලාංකිකයන්(එහීදි PTA මගින් පීඩාවට පත්කරන ලද දෙමළ සහ මුස්ලිම් ජනයා ප්‍රධාන වෙයි) බොහෝ පිරිසක් වෙති. එබැවින් එම පනතට විරුද්ධව බොහෝ කාලයක සිට දෙස් විදෙස් විරෝධතාවයන් පැන නැගුණි. ඒ අතර එම පනත අහෝසිකර නව පනතක් හදුන්වා දෙන බව කියමින් ත්‍රස්ත විරෝධී/ ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත් පසුගිය වසර කිහිපයේදී ම වික්‍රමසිංහ(අගමැති/ජනාධිපති) නායකත්වය දැරූ ආණ්ඩු විසින් ගෙන එන ලදි. (මෙම සියලු කෙටුම්පත් ජාත්‍යන්තර ප්‍රමීතීන්ට අනුකූළ නොවන බවත්, ඒවා සම්මත වුවහොත් ජනතාවගේ මූළික අයිතිවාසිකම් මර්දනය විය හැකි බවට අනතුරු හගවමින් දෙස් විදෙස් විරෝධතාවයන්ට ලක්විය. කෙසේ නමුත් නැවතත් එහි ආසන්නම පනත් කෙටුම්පත ගැසට් කරන ලද්දේ පසුගිය 2023 වසරේ මාර්තු 22වනදාය. “ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත” නමින් එම ගැසට් පත්‍රයේ පළ කරන ලද පනත් කෙටුම්පත හදුන්වා දෙන ලදී. සුළු සුළු වෙනස්කම් කරමින්, ඓහෙත් පදනම වෙනස් නොකිරිමට ආණ්ඩුව පරිස්සම් විය. එබැවින් මෙම කෙටුම්පතත් පෙර හදුන්වා දුන් පනත් කෙටුම්පත් සේම මර්දනයම අරමුණු කර ගත් පනත් කෙටුම්පතක් ලෙස හදුන්වා දිය හැකිය. එම කරුණු ඇතුලු සියල්ල සලකා බලමින් මෙම පනත් කෙටුම්පතටත් ඇති විරෝධතා හේතුවෙන් එය තවමත් ඇත්තේ “කෙටුම්පතක්” ලෙස පමණි.

මෙවැනි පනත් කෙටුම්පතක් ගෙන ආවේත් අනුප්‍රාප්තික ජනාධිපති(2024 ජනාධිපති අපේක්ෂක) රනිල් වික්‍රමසිංහ ඇතුලු ආණ්ඩුව මගින්ය.

නමුත් මෙම සටහනේ මුඛ්‍ය අරමුණ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත් ගැන පුළුල්ව සාකච්ඡා කිරීම නොවේ. මෙහි අරමුණ, ලංකා ඉතිහාසයේ මෙතෙක් ගෙන ආ මර්දනීය පනත් අතර වික්‍රමසිංහ ආණ්ඩු විසින් පනතක් ලෙස සම්මත කරගත් “Online Safety Act(OSA)” සහ ඔබේ(මහජනතාවගේ) ඡන්දය, මනාපය පිළිබද අදහස්-යෝජනා කිහිපයක් කිරීමය.

Online Safety Act (“මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත”)

මෙම පනත වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව විසින් කෙටුම්පත් කරන ලද අවස්ථාවේ සිටම එයට එරෙහිව සැලකිය යුතු විරෝධතාවයක් මතුවිය. විශේෂයෙන් ලංකාවේ ජනමාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති ඇතුලු සිවිල් සංවිධාන, පුරවැසියන් 47‍ක් විසින් අදාළ පනත් කෙටුම්පත හි යෝජනා කර ඇති විදිවිධාන මගින් සිය මූළික අයිතිවාසකම් උල්ලංඝනය වන බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු කළෝය. එම පෙත්සම් ගොනුකල පුද්ගලයන් සහ සංවිධාන තුළ ලංකාවේ කාටූන් ශිල්පීන් ඇතුලත් වීම සුවිශේෂී තත්ත්වයකි. ඔවුන් ද කියා සිටියේ මෙමගින් ප්‍රකාශනයේ නිදහස ඇතුලු මූලික අයිතිවාසකම් මර්දනයට ලක් විය හැකි බවය. කෙසේ වෙතත් ලංකා ඉතිහාසයේ පනත් කෙටුම්පතකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 47ක ප්‍රමාණයක් ගොනු කල පළමු පනත් කෙටුම්පත මෙය විය හැකිය. එයින්ම පැහැදිලි වන්නේ කෙසේ හෝ දැන් වන විට සම්මත කර ගත් ඔන්ලයන් ආරක්ෂාව නමින් ගෙන එනු ලැබූ පනත කොතරම් මර්දනීය පනතක්ද යන්නය.

කෙසේ නමුත් ශ්‍රේඨාධිකරනය විසින් ලබා දුන් සංශෝධන ද දෙස් විදෙස් පුරවැසියන්, සංවිධාන, අන්තර්ජාල සේවා සපයන්නන්, ටෙක් කම්පැනීස්, විෂය පිළිබද ප්‍රාමාණික විද්වතුන් ආදී කිසිවෙක්ගේ කිසිදු අදහසක් තුට්ටුවට මායිම් නොකල ආණ්ඩුව 2023 ජනවාරි 23 හා 24 දෙදින තුල පාර්ලිමේන්තුව තුල පැවති විවාදවලින් අනතුරුව ‘මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිතභාවය පිලිබද පනත’ සම්මත කර ගත් අතර 2023 පෙබරවාරි 01 වන දින කථානායකවරයා විසින් සිය සහතිකය සටහන් කිරීමත් සමග එය අපේ රටේ නීතියක් බවට පත්විය. (මෙම පනතට අත්සන් නොතබන ලෙස ඉල්ලා සිටිමින් ලංකාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය සහ සිවිල් සංවිධාන කතානායකවරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියත් කතානායකවරයා විසින් පනතට අත්සන් තබන ලද්දේ, පනත සරල බහුතරයකින් සම්මත වීමට නම් ආදළ පනතට සංශෝධන 32ක් එකතු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදුකරන ලද නිර්දේශ ද නොසලකාය.)

එසේම 2024 දී ජනාපති අපේක්ෂකයන් ව සිටින අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, විජේදාස රාජපක්ෂ ඇතුලු පිරිසක් ඔන්ලයින් ආරක්ෂක පනත සම්මත කර ගන්නා අවස්තාවේ එවකට ද සිටියේ පාර්ලිමේන්තුවේය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පනතට විරුද්ධව කතා කළ ද, නාමල් රාජපක්ෂ ඇතුලු පිරිසක් පනතට පක්ෂව ක්‍රියා කළහ. නමුත් මේ මර්දන නීතිය පාර්ලිමේන්තුව තුළ පරාජයට පත් කිරීමට ඒ කිසිවෙක්ට නොහැකි විය. නොහැකි වූවා නොව ඒ සදහා දේශපාලන කැපවීමක්, සක්‍රීය උනන්දුවක් ඒ කිසිවෙක් තුළින් පෙන්නුම් කළේ නැත. දැන් ඔවුන් සියලු දෙනා ජනතාවගේ ප්‍රජාත්න්ත්‍රීය අයිතීන් වෙනුවෙන් විධායක ජනාධිපතිවීමට සූදානම්ව සිටියි.

“‘Online Safety Act’ ඇතුලු මර්දන නීති සම්මතකරගත් ජනාධිපති අපේක්ෂකයන්ගෙන් සහ එයට සහය වූ අපේක්ෂකයින් ඇතුලු දේශපාලකයන්ගෙන් ප්‍රවේසම් වන්න!”

ආසියානු අන්තර්ජාල එකතුවත්(AIC) සිය විවේචනාත්මක අවධානය යොමු කරයි.

ආසියානු කලාපයේ අන්තරාජාල සේවා සපයන සහ තාක්ෂණ සමාගම් එකතුවක් වන ආසියානු අන්තර්ජාල එකතුව (Asia Internet Coalition – AIC); ඇපල්, ඇමසන්, ගූගල්, X(Twitter), Meta, LinkedIn ඇතුළු ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සේවා සපයන සමාගම්වල එකතුවක් වන AIC විසින් ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඒමට නියමිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඔවුන්ගේ කණස්සල්ල පළ කරමින් 2023 සැප්තැම්බර් 28 වැනිදා නිවේදනයක් නිකුත් කළේය. ඔවුන් එම නිවේදනයෙන් සදහන් කළේ මෙම පනත(පනත් කෙටුම්පත අවසාථාවේදී) කිසිඳු හවුල්කරුවෙකුගේ හෝ එවැන් කණ්ඩායම්වල උපදේශනයකින් තොරව, විසම්මුතිය හා ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යටපත් කරන කුරිරු තත්ත්වයකට ඇද දැමීමක් බවය.

ආණ්ඩුව සිය මතය වෙනස් නොකර ගනිමින් පනත සම්මත කර ගත්තේය.

වෘත්තීය සමිති 41ක් සිය විරෝධය දක්වයි

එපමණක් ද නොවේ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වෘත්තීය සමිත් 41ක් විසින් “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත” වහාම අහෝසි කරන ලෙස ඉල්ලමින්, පසුගිය අගෝස්තු 02 වනදා (https://x.com/SMDsrilanka/status/1819555012772876519) ජනාධිපතිවරයා ඇතුලු පාර්ලිමේන්තුවේ සෙසු නියෝජිතයන් වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියේ ය.

“මාධ්‍ය නිදහස මර්දනය කරන හා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ කතිකාවට තර්ජනයක් වන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත (Online Safety Act) පනත වහා අහෝසි කිරීමට කටයුතු කරන්ත්‍න.” ලංකාවේ ප්‍රමුඛ පෙළේ වෘත්තීය සමිති 41කක අත්සන සහිතව ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ සදහන් වෙයි.

නමුත් අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව එම ලිපියට මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

නැවතත් සංශෝධන එක්කරයි.

දැන් නැවතත් ඔන්ලයින් ආරක්ෂාව පිළිබද පනතට සංශෝධන ඉදිරිපත් කර නැවත ඉදිරිපත් කරන බවට පවසමින් පසුගිය ජූලි මස 26වනදා තවත් ගැසට්ටුවක් මගින් ආණ්ඩුව නිවේදනය කළේය. (https://x.com/vikalpavoices/status/1819563224393732208) මෙයින් කියැවෙන්නේ කුමක්ද? කිසිදු සාධනීය විරෝධතාවයක්, විවේචනයක් කිසිදු ආකාරයක සැලකිල්ලට ලක් නොකර අධිකරීවාදී මණසකින් යුතුව සම්මත කරගත් ඔන්ලයින් ආරක්ෂාව පිළිබද පනත සමග ඔවන්ට ඉදිරියට යාමට නොහැකි බව නොවේද? එය එසේ සිදුවූයේ දෙස් විරෝධතාවය නිසා නොවේද? තමන් සන්තකයේ ඇති අධිකාරීවාදී විධායක බලය භාවිතා කරමින් හිතුවක්කාර ලෙස සම්මතකරගත් පනතට නැවතත් සංශෝධන එන බව කියන්නට සිදුවීම ම පනත තුළ අර්බුද ගණනාවක් ඇති බවට හොදම තවත් එක් සාක්ෂියකි.

[“මෙම නීතිය සම්මත වුවහොත්, සිවිල් සමාජය මුහුණ දෙන අවදානම් වැඩි කිරීමටත්, විසම්මුතිය මහා පරිමාණයෙන් යටපත් කිරීමට රජයට තවදුරටත් හැකි වනු ඇත. මෙම නීතිය භාවිතා කිරීමෙන් නීති රාමු විරුද්ධවාදීන් නිහඬ කිරීමේ මෙවලමක් බවට මෙය පත් කළ හැකිය. මෙම පනත් කෙටුම්පත සබැඳි හානි ආමන්ත්‍රණය කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා පදනමක් ලෙස සුදුසු නොවන බව මම විශ්වාස කරමි. එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ඉලක්ක සමඟ නොගැලපෙන අතර රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්, ප්‍රකාශනයේ නිදහස සහ සිවිල් නිදහස ආරක්ෂා කිරීම සඳහා එය අවිවාදයෙන් ප්‍රතික්ෂේප කළ යුතුය.”

– ආචාර්ය සංජන හත්තොටුව/ September 27, 2023/ පනත කෙටුම්පත් අවස්ථාවේ දී පළ කළ අදහසක් – Read in full: https://www.vikalpa.org/article/42790]

2024 ජනාධිපති අපේක්ෂකයන් ට…,

මිනිසුන්ගේ අයිතිවාසිකම්වල පදනම ලෙස සැලකෙන ‘අදහස් පළකිරීමේ නිදහස’ කුරිරු ලෙස මර්දනයට ලක් කරන මෙම ඔන්ලයින් ආරක්ෂාව නමින් සම්මත කරගත් නීතිය වෘත්තීය සමිති වයාපාරයන්ට, මාධ්‍යසේදීන්ට, ප්‍රහසනකරුවන්ට, කාටුන් ශිල්පීන්ට, ඩිජිටල් අන්තර්ගතයන් නිෂ්පාදනය කරන නිර්මාණකරුවන්ට ඇතුලු විසම්මුතික අදහස් ප්‍රකාශ කරන සියලුම පුරවැසියන්ට බරපතල තර්ජනයකි. එබැවින් සමම නීතිය නිසැක ලෙසම රාජ්‍ය අනුමැතිය ලත් විසම්මුතිය මර්දනය කිරීමේ මෙවලමක් බවට පත්වනු ඇත. එසේම එය ඉදිරිපත් සංශෝධනවලින් කිසිසේත්ම නිවැරදි කළ සනාහැකි දෝෂ සහිත මර්දනය සහ දණ්ඩනයම පදනම් කරගත් පනතක් ය.

එබැවින් මේ මොහොතේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය හිමි සියලුම අපේක්ෂකයිනි, අපට ඔවුන්ගෙන් ඇසිය යුතු ප්‍රධාන ප්‍රශ්නයක් ඇත. ඔබ බලයට පත් වුවහොත් ඔන්ලයින් ආරක්ෂාව නමින් ගෙන ආ, මෙම නීතිය වහාම අහෝසි කිරීමට පියවර ගන්නේද යන්නයි. ප්‍රතිපත්තියක් ලෙස මිනිසුන්ගේ අදහස් පළකිරීමේ නිදහස පිළිගන්නේ නම් ඔබ විසින් මෙම නීතිය අහෝසි කරන බවට පොදු මහජනයා ඉදිරියේ ප්‍රතිඥා දිය යුතුවා සේම, සිය ප්‍රතිපත්ති තුළට ද එය අඩංගු කිරීම වැදගත් බව මතක් කළ යුතුය. එසේම ඔබ බලයට පත් වී උපරිම වසරක් ඇතුලත මෙම මර්දන නීතිය අහෝසි කරන මෙන් සහ ජනතාවගේ අදහස් පළ කිරීමේ නිදහස, විසම්මුතික අදහස්වලට ඇති අයිතිය තහවරු කරන බවට දෙනු ලබන ප්‍රතිඥාව ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය පෙන්නුම් කරන එක් සාධකයක් වනු ඇත.

මෙම අදහස වර්තමාන ජනාධිපති(අනුප්‍රාප්තික), ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ වෙත යොමු කිරීම නිශ්පල වෑයමකි. එය එසේ වන්නේ ඔහු දැනටමත් සිය විධායක බලය අපයෝජනය කර ඇති පුද්ගලයෙක් බැවිනි. එසේම ඔන්ලයින් ආරක්ෂාව නමින් පනතක් ගෙන එමින් කඩිමුඩියේ එය සම්මත කරගත් ආකාරය කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව මුලු ලෝකයම දැක්කේය. එවැනි අයෙක් ගෙන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වැනි ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ප්‍රවර්දනය කිරීම සදහා වන ඉල්ලීම් සිදුකිරීම ම තේරුමක් නැති වෑයමකි.

2024 ජනාධිපතිවරණයට ඡන්දය භාවිතා කරන ඡන්දදායක පුරවැසියන්ට…,

මගේ ඡන්දය Online Safety නමින් ගෙන ආ මර්දනීය පනත ඇතුලු මර්දන පනත් ආපසු හරවා ගන්නා අපේක්ෂකයෙක්ට,

මගේ ඡන්දය විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරන අපේක්ෂකයෙක්ට,

මගේ ඡන්දය යුද්ධයෙන් පීඩාවට පත්කරන ලද දෙමළ ජනයා ඇතුලු පීඩිත මිනිසුන්ට යුක්තිය ඉෂ්ට කරන අපේක්ෂකයෙක්ට,

මගේ ඡන්දය දණ්ඩමුක්තිය නඩත්තු නොකරන එය අහෝසි කිරීමට ක්‍රියාකරන අපේක්ෂකයෙක්ට,

Online Safety වැනි මර්දනකාරී පනත් ගෙන ආ, ඒවාට අත ඉස්සු කිසිදු දේශපාලකයෙක්ට රට ඉදිරියට ගෙන යාමට නොහැකියි. ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න.

ඔබේ ඡන්දයට දැවැන්ත වටිනාකමක් ඇත. එය ප්‍රකාශනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් වෙනුවෙන් භාවිතා කරන්න. මර්දනයට එරෙහිව භාවිතා කරන්න.

(vikalpa.org)