ධනවත් විදේශීය රටවල මිනිස්සුන්ගේ පරිභෝජනය සඳහා ඇඳුම්, අත්වැසුම්, සෙල්ලම් බඩු, ළමා නිමිඇඳුම්, ආදී මෙකී නොකී දෑ සියල්ලම නිපදවෙන්නේ අප රට මෙන්ම ආසියාවේ තවත් රටවල් වලය. ඒ සඳහා ශ්‍රමය වැය කරන්නේ විරැකියාවෙන් පෙළෙන බහුතරයක් දිළිඳු රටවල තරුණ කාන්තාවන්ය.
ධනවත් විදේශීය රටවල මිනිසුන් විශාල ඩොලර් ප්‍රමාණයක් ගෙවා ලබා ගන්නා ඇදුම් ඇතුළු ද්‍රව්‍ය නිපදවන්නේ දුප්පත් රටවල ශ්‍රමිකයන් වන අතර ඔවුන්ට ඇත්තේ ඉතා අල්ප වැටුපකි. එමෙන්ම දිග සේවා මුරයකි. කෙසේ වුවත් ඔවුන්ට අයිතිවාසිකම් පිළිබඳව කතා කිරීම රැකියාව අහිමිවීමට හේතුවකි. ඒ නිසාම රැකියාව අහිමිවේ යන බිය හේතුවෙන් ඔවුහු කතා නොකරම රැකියාවේ යෙදෙන අතර තදබල අසාධාරණයන්ට ගොදුරු වෙති .
ඒ නිසාම ඔවුන් හැමදාමත් දුප්පතුන්ය. දරුවන්ගේ අධ්‍යාපනය අඩාලය. සෞඛ්‍ය හා පෝෂණය ඇත්තේම නැත. හිසට සෙවණක්, අයිතියට බිම්අගලක් නැත. සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය සමිති දිගින් දිගටම සේවකයාගේ මෙම තත්ත්වය පිළිබඳව තතු ලොව පුරා උද්ඝෝෂණ මට්ටමෙන් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් එම භාණ්ඩ මිලදී ගන්නා දියුණු රටවල පාරිභෝගිකයින් විසින් වෙළඳ සන්නාම වලට හා ඒවා අලෙවි කරන වෙළඳ සල් වලටද බලපෑම් කරන්නට විය.
ඊට ප්‍රතිචාර ලෙස ලෝකයේ මහා පරිමාණ සමාගම් සේවකයාට හොඳින් සලකන බව පෙන්වීමට චර්යා ධර්ම මාලාවක් අනුගමනය කරන බව පෙන්වීමට උත්සාහ කරති. නිෂ්පාදනය කරන්නන්ගේ උද්ඝෝෂණ හා විවේචනය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය පවා චර්යා ධර්ම පද්ධතියක් සකස් කිරීමට සූදානම් වනවා මෙන්ම ඒ සඳහා අනෙකුත් සමාගම්වලටද අනුබල දෙමින් සිටී.
සමාගම් සේවා තත්වයන් හා සේවා මට්ටම් සහිත චර්යා ධර්ම මාලාවක් අනුගමනය කරන බව ශ්‍රී ලංකාවේ මෙන්ම වෙනත් දුප්පත් රටවල කම්කරුවෝ ද නොදනිති .ඒවගේම අප රටේ කම්කරුවන් තමන් කාගේ ඇඳුමක් මසනවාද, කාට විකුණනවාද ,මිල කීයද යන්න පවා නොදනී. ඔවුන් දන්නේ ඔවුන් මසන කොටස ගැන පමණි.
පාලකයෝ ද දැනුවත් කම්කරුවන් බිහිවීම වැළැක්වීම සඳහා දිගු සේවාමුර, අඩු විවේක තත්වයන්. වෘත්තිය සමිති ගතවීමෙන් වැළැක්වීම. කම්කරුවෝ දැනුවත් වීමෙන් වැළැක්වීම. සංවිධානය වීමෙන් වැළැක්වීම, යන කරුණු සඳහා කම්කරුවනි, ඔබ දන්නවද ? ඉතා හොඳ මනසකින් යුතුව කටයුතු කරති. ඒ වගේම සමාගම්කරුවෝ සංවිධානය වීමේ නිදහස, වෘත්තිය සමිති ගතවීමේ නිදහස ගැන කතා නොකරන සුවච කීකරු කම්කරුවන් සේවය කරන නිෂ්පාදන කර්මාන්ත ඇති තැන් සොයා ලොව පුරා යන්නේය.
H&M, NIKE, ADIDAS¸VICTORIA SECRET, DEKHA THALAN, PUMA, MOOS, NEXT, M&S, REBOOK, POLO , GAP, TOMMYවැනි උසස් ගණයේ ලේබල් සහිත නිෂ්පාදන අප රටේ නිෂ්පාදනය කළත් ඒවා ගැන එහි අයිතිකරුවන් ගැන සන්නාම ගැන ඔවුන්ගේ ආචාරධර්ම පද්ධතීන් ගැන කිසිවක් කම්කරුවෝ නොදන්නා අතර පාලකයන් විසින් හිතාමතාම ඒවා ගැන ඔවුන්ට දැනගන්නට ඉඩ සලස්වන්නේද නැත.
ඔවුන් වැඩ කරන කාලය තුළම ඇඳුමක එක කැබැල්ලක් පමණක් මසමින් කුඩා වැටුපකින් වේලක් කා හෝ නොකා කොහේ හෝ වැටී ජීවත්වන්නට පමණක් සිතයි. ඒවාට හේතුද ඇඟලුම් ඉතිහාසයේ ඇත. කිසියම් අයිතිවාසිකමක් ගැන කතා කරන ක්‍රියාකරන කම්කරුවන් එළියට දමන්නට පාලකයෝ නිරන්තරයෙන්ම සැදී පැහැදී සිටී. ඒ නිසාම කම්කරුවෝ රැකියාව අහිමි විය යැයි බියෙන් මුනිවත රකී.
කම්කරුවා නිහඬ කරවීමේ පාලකයාගේ ක්‍රියා පිළිවෙත හේතුවෙන් අඩු වැටුප්, ශ්‍රම සූරා කෑම, කාන්තාවන් නීතියට පටහැනිව රාත්‍රී සේවයේ යෙදවීම, ළමා ශ්‍රමය ආදී මෙකී නොකී කරුණු බොහෝමයක් ඔස්සේ දුප්පත් රටවල කම්කරුවන්ගෙන් වහලුන් සේ වැඩ ගන්නා බව දැනගත් යුරෝපාකරයේත්, ඇමෙරිකාවෙත් පාරිභෝගීකයින් මීට විරෝධය පළ කරමින් විවිධ උද්ඝෝෂණ පවත්වන්නට විය.
මේවා පිරිසිදු ඇඳුම් බව පවසමින් අලෙවි කරන වෙළඳසැල් වලට පවා මෙම ඇඟලුම් ප්‍රතික්ෂේප කරන ලෙසත් සමාගම් සඳහා ආචාර ධර්ම පද්ධතීන් වහාම සකස් කරන ලෙසත් යෝජනා කරන ලදී.
ලංකාවේ පොදු තත්ත්වය නම් කුමන හෝ නීති මාලාවක් ,ලිපි ලේඛන ආදිය සැකසීමේදී අදාළ පාර්ශ්වකරුවන් සම්බන්ධ කරගන්නේ ඉතාම අඩුවෙනි. ඒ නිසාම කම්කරුවන්ගේ සැබෑම ගැටලු සමාගම් නීති රීතිවලට ඇතුළත් වීම ප්‍රමාණවත් නොවන අතර මේවා පිළිබඳ ව දන්නේද අතලොස්සක් කම්කරුවන් පිරිසකි. යම්කිසි සමාගමක ප්‍රමිතීන් පිළිබඳව කෙරෙන ශ්‍රම ප්‍රතිපත්ති මාලාව ආචාර ධර්ම පද්ධතිය ලෙස හැඳින්වෙයි.
යම්කිසි සමාගමක ආචාර්ය ධර්ම ප්‍රතිපත්ති මාලාව තුලට එහි නිපදවන්නේ කුමක්ද, ප්‍රධාන සමාගම, උප කොන්ත්‍රාත්කරුවන් ,සැපයුම්කරුවන් සන්නාම සහ වෙළෙන්දන්වත් අදාලය. කිසියම් සේවකයෙකුගෙන් බලහත්කාරයෙන් වැඩ ගැනීම නොකළ යුතුය, සිරකරුවෙකු සේ වැඩ ගැනීම නොකළ යුතුය, සෞඛ්‍යා ආරක්ෂක ක්‍රමවේද තිබිය යුතුය, රටේ පවතින නීතියට අනුකූලව වැටුපා ප්‍රතිලාභ ගෙවිය යුතුය. එමෙන්ම ඕනෑම ආයතනයක දැන්වීම් පුවරුවෙහි තමා නිෂ්පාදනය කරන භාණ්ඩය අයත් සමාගමේ ආචාරධර්ම පද්ධතිය ප්‍රදර්ශන කළ යුතුය.
සේවකයකු ලෙස ඔබ, අද නිපදවන භාණ්ඩය පිළිබඳව හඳුනා ගත යුතුය .ලේබලය හඳුනාගත යුතුය. හාම්පුතා කවුද යන්න අමුද්‍රව්‍ය ලැබෙන්නේ කොහෙන්ද නිෂ්පාදනය මිලදී ගන්නා රට කුමක්ද අතරමැදියෝ කවුද පාරිභෝගිකයින් කවුද යන්න පිළිබඳව හඳුනාගෙන තිබිය යුතුය. මේවා නොදැනගෙන ඔබට කිසිවිටකවත් සමාගම විසින් ඔබේ අයිතිවාසිකම් ලබා දෙනු නැත.
ලංකාවේ අද වන විට වැඩ කරන කම්කරුවන්ට ජීවත්වීමට සරිලන වැටුපක් ලැබෙන්නේ නැත. රැකියාවේ සුරක්ෂිතතාවයක් නැත. සමාජ සංරක්ෂණ ක්‍රමයක් නැත. විශේෂයෙන් මෑන් පවර් කම්කරුවන්ට ඇත්තේ අද දවස පමණි.
මේ සියල්ල ජයගන්නට නම් කම්කරුවන් සංවිධානය විය යුතුමය. සාමූහික විය යුතුමය. එවිට ඔබේ ඉල්ලීම් ඉවතලන්නට සමාගම්වලට ලෙහෙසි වන්නේ නැත. වෘත්තීය සමිති සාදාගැනීමේ නිදහස ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇත. ඒ පිළිබඳව මනා අවබෝධයෙන් යුතුව හඳුනාගෙන ආචාර ධර්ම පද්ධතීන් හඳුනාගෙන ඔබේ අයිතීන් කුමක්දැයි හඳුනාගෙන සංවිධානය වී වෘත්තීය සමිති ගත වුවහොත් එය පිළිගන්නට පාලකයාට අනිවාර්යයෙන්ම සිදුවනු ඇත.