පෞද්ගලික අංශයේ සේවය කරන පුද්ගලයින් සිය රැකියාවෙන් විශ්‍රාම යන විට ඔවුන්ට හිමි වන පාරිතෝෂික දීමනා ඇතුළු විවිධ දීමනා සඳහා බදු ගෙවීමට සිදුව ඇත.
මෙලෙස බදු අය කිරීම අතීතයේ සිට ක්‍රියාත්මක කෙරුණ ද, විශ්‍රාම යන පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා සේවාන්ත ප්‍රතිලාභ නිදහස් කිරීමේදී 2023 වසරේ මාර්තු මස 29 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි එම ප්‍රතිලාභවලින් යම් ප්‍රතිශතයක් රඳවා ගන්නා ලෙස දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ සඳහන්ව තිබේ.
එම චක්‍රලේඛය අනුව රුපියල මිලියන 5ක් ඉක්මවන්නේ නම් සේවාන්ත ප්‍රතිලාභ නිකුත් කිරීමේදී එම මුදලින් යම් ප්‍රතිශතයක් රඳවා තබා ගත යුතු බව ද ආදායම් බදු දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ දක්වා ඇති ලේඛනයේ දැක්වේ.
12%ක රඳවා ගැනීම් සිදු කළ යුතු ගෙවීම් මොනවා ද?
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දක්වා ඇති 'සේවාන්ත ප්‍රතිලාභ නිදහස් කිරීම' යටතේ රුපියල් මිලියන 5කට වඩා වැඩි ප්‍රතිලාභ ගෙවීමකදී පහත දැක්වෙන ගෙවීම් සඳහා 12%ක් රඳවා තබා යුතු බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දක්වා ඇත.
ඒ අනුව,
- විශ්‍රාම වැටුපක් පරිවර්තනය කිරීමේදී ගෙවිය යුතු මුදල් ප්‍රමාණය
- විශ්‍රාම පාරිතෝෂිකයක් වශයෙන් ගෙවිය යුතු මුදල් ප්‍රමාණය
- සියලු ම සේවා නියුක්තිකයින්ට එක හා සමානව අදාළ වන බවට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් අනුමත කරන ලද ක්‍රමයක් යටතේ ධූරය හෝ සේවා නියුක්තිය අහිමිවීම සම්බන්ධයෙන් වන්දි මුදලක් ලෙස ගෙවිය යුතු මුදල් ප්‍රමාණය
- සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් ගෙවිය යුතු ඕනෑ ම මුදලක් (1987.03.31 වන දිනයෙන් පසු ඉපයූ අරමුදලේ ආයෝජන ආදායම් කොටස හැර)
ප්‍රතිලාභයක් මත 36%ක් රඳවා ගත යුතු ගෙවීම් මොනවා ද?
- දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් අනුමත නොකරන ලද යෝජනා ක්‍රමයක් යටතේ ධූරය හෝ සේවා නියුක්තික අහිමි වීම සම්බන්ධයෙන් ගෙවන වන්දි මුදල
- දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් අනුමත නොකරන ලද නියාමනය කළ අර්ථසාධක අරමුදලකින් හැර වෙනත් ගෙවීම්
- වෙනත් යම් ගෙවීමක්.
- මූල්‍යමය නොවන විශ්‍රාම ප්‍රතිලාභ (වෙළෙඳපොළ මිලට අගය නියම කෙරෙන)
ඒ අනුව, සේවා නියුක්තිකයෙකු ලෙස බදු මුදල් රඳවාගත් දින සිට දින 90ක් ඇතුළත අදාළ විධානය ලබා ගැනීම සඳහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිෂ්කාශන හා විධාන අංශය වෙත ජාතික හැඳුනුම්පතේ පිටපතක්, පාරිතෝෂික ගෙවීම සම්බන්ධයෙන් සේවායෝජක විසින් නිකුත් කරන ලද ලිපි, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ දායකත්වය, T-10 සහතික තුනක් යනාදී ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතු බව එහි දක්වා තිබේ.
සේවය අවසන් කරන සේවකයින්ගෙන් 12% සිට 36% දක්වා මුදලක් රඳවා ගන්නා ලෙස දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ කුමන හේතුවක් මත ද යන්න පිළිබඳ බීබීසී සිංහල සේවය සිදුකළ කරුණු විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.
"විශේෂ අවස්ථාවකදී ඒ කියන්නේ වන්දි ගෙවලා සේවකයෙකුගේ සේවය අවසන් කරන අවස්ථාවකදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාගෙන් විශේෂ අවසරයක් ඉල්ලන්න පුළුවන්. ඒ අවස්ථාවේ දී කොමසාරිස් ජනරාල්වරයා පනත අනුව සලකා බලන කරුණු ටිකක් තියෙනවා. ඒ කරුණු සලකා බලලා අවසරයක් ලබා දුන්නොත් සේවකයාට ලබා දෙන වන්දි මුදලින් 12%ක ප්‍රතිශතයක් අදාළ ආයතනය රඳවා ගන්න ඕන. එහෙම අවසරයක් ගන්නේ නැතිව සේවය අවසන් කරන වෙලාවේදී වන්දි මුදලින් 36%ක ප්‍රතිශතයක් රඳවා ගන්නවා.''
''මේ රඳවා ගැනීමෙන් පස්සේ අදාළ සේවකයා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිශ්කාෂණ අංශයට ඇවිල්ලා තමන්ගේ ලියවිලි ඉදිරිපත් කරන්න ඕන. එතැනදී ලැබෙන වන්දි මුදල සලකා බලලා අවශ්‍ය කරන බදු අය කිරීම සිදුකරනවා. බදු අය කිරීම ගැන අවසන් තීරණය ගත්තට පස්සේ ඉතිරි මුදල සේවකයාට ලබා දීම සිදුකරනවා. මේ දේවල් ඔක්කො ම කරන්න අවශ්‍ය වෙන්නේ පළමු දවස් 90 ඇතුළතදී," එම නිලධාරියා පැවසුවේ ය.
අය කෙරෙන බදු අනුපාත මොනවා ද?
සේවාන්ත ප්‍රතිලාභ සේවකයින්ට නිදහස් කිරීමේදී අය කරනු ලබන බදු ප්‍රමාණය කොපමණ දැයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් බීබීසී සිංහල සේවය විමසීමක් කළේ ය.
එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සේවාන්ත ප්‍රතිලාභ සඳහා බදු අය කිරීමේදී සේවක අර්ථ සාධක අරමුදලෙන් හිමිවන ප්‍රතිලාභ සඳහා බදු නිදහසක් ලබා දී ඇති බව ය.
"සේවක අර්ථ සාධක අරමුදලේ දීමනා නිදහස් කිරීමේදී ඒවා බදුවලින් නිදහස් කරලා තියෙන්නේ. ඒ වගේ ම සේවකයින්ට ලබා දෙන පාරිතෝෂික ලැබීම් බදුවලට යටත් වෙනවා. මේ බදු අය කිරිමෙන් සේවක අර්ථ සාධක අරමුදලෙන් ලැබෙන දීමනාව නිදහස් කරන්න තීරණය කළේ 2011 වසරේදී. මොකද එතැනදී විශ්‍රාම යන කෙනාට ටිකක් ලොකු ගාණක් ලැබෙන නිසා. සේවා යෝජකයා 12%ක් සහ සේවකයා 8%ක් දාලා ආයෝජන සැලසුම් එක්ක බලද්දී ටිකක් ලොකු ගාණක් ලැබෙනවා." එම නිලධාරියා පැවසුවේය.
'සහනදායි බදු ක්‍රමයක් පනවලා තියෙන්නේ'
සේවයෙන් විශ්‍රාම යන පෞද්ගලික අංශයේ සේවකයින් වෙනුවෙන් අය කරනු ලබන්නේ සහනදායි බදු අය කිරීමක් බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසුවේය.
ඔහු වැඩිදුරත් කියා සිටියේ, පෞද්ගලික අංශයේ සේවකයින්ට සේවය අවසානයේදී හිමිවන මුදලින් බදු අය කිරීම නව ක්‍රමයක් නොවන බව යි. එය අතීතයේ සිට ම ක්‍රියාත්මක වූ බව ද ඔහු පැවසුවේය.
"2018 අප්‍රේල් මාසයේ 1 වන දා ඉදලා තමයි මේ අලුත් බදු ක්‍රමය ආවේ. එතැනදී සේවකයින්ගේ සේවා කාලය අනුව තමයි බදු අය කිරීම කළේ. පස්සේ 2020දී ලබා දුන්න සහනදායී බදු අනුපාතයත් එක්ක තමයි අපි දැන් මේ කතා කරන බදු අය කිරීම සිදු කරන්නේ."
"පාරිතෝෂික දීමනාව හිමිවන්නේ පුද්ගලයෙකුගේ රැකියාව ඉවර වෙද්දී. එතනදී පාරිතෝෂික දීමනාව වගේ ම, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලෙන් ලබා දෙන මුදල වගේ ම සේවකයෙක්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන වෙලාවලදී ලබා දෙන වන්දි මුදල මේ බදු අය කිරීමට යටත් වෙනවා."
"මෙතැනදී බදු මුදල් අය කරන්නේ ක්‍රම දෙකක් යටතේ. එතැනදී පළමු මිලියන 10 බදු මුදල්වලින් නිදහස් වෙනවා. ඊට පස්සේ දෙවන මිලියන 10ට 6%ක බද්දක් පනවනවා. එතනින් එහාට ලැබෙන ඕනෑ ම මුදලකට 12%ක බද්දක් තමයි අය කරන්නේ. මේ වගේ සහනදායී පොළී අනුපාත ක්‍රමයක් තමයි අය කරන්නේ," එම නිලධාරියා පැවසුවේ ය.
රාජ්‍ය සේවකයින්ගෙන් බදු අය කරනවා ද?
පෞද්ගලික අංශයේ සේවකයින්ට සිය සේවයෙන් විශ්‍රාම යාමේදී හිමිවන දීමනා බදු මුදලකට යටත් වන්නේ නම් රාජ්‍ය අංශයේ සේවකයින්ට හිමිවන විශ්‍රාම වැටුප් සහ පාරිතෝෂ දීමනා සඳහා බදු පැනවීමක් සිදුවන්නේ ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.
"රාජ්‍ය සේවකයින්ට විශ්‍රාම වැටුප් විතරක් ලැබෙන නිසා එයාලට බදු අය කිරීමක් වෙන්නේ නැහැ. ඒ වගේ ම යම් විදිහකින් රාජ්‍ය සේවකයෙකුට පාරිතෝෂිතයක් ලැබුණොත් එයාලට අර පෞද්ගලික අංශයේ සේවකයින්ට අය කරන විදිහට බදු අය කිරිමට යටත් වෙනවා," ඔහු වැඩිදුරටත් පැවසීය.
(BBC/Sinhala)