අර්ධනාරීන් කියන්නේ දේවදරුවෝ... සරලා බායි අපේ වරිගේ ගෞරවනීය චරිතයක් (තුන්වන කොටස)

sarabayi

ලංකාවේ මේ මිනිස්සුන්ට ආවට ගියාට දෙකේ කොළේට දාලා කතා කළාට සැලකුවට ඉන්දියාවේ ඒගොල්ලෝ බොහොම ගරු කටයුතු ප්‍රජාවක්. අපේ රටේ ඔය පොන්නයා කියන වචනේ අපිට සමහරු දැනුවත් හෝ නොදැනුවත්ව කිව්වේ අපේ හැසිරීම්වල තියෙන යම් යම් වැරදි සහගත දේවල් නිසයි.අපි සෑහෙන්න ඒ ගැන වැඩ කරලා දැන් ඒ වචනය  මේ සමාජයේ ශබ්ද කෝෂයෙන් බොහෝ දුරට අයින් කරලා තියෙන්නේ.

(ඉන්දියාවේ අර්ධනාරින් යනු ඉතා ගරු කටයුතු පිරිසක් යන්න සත්‍යයකි. උදෑසන වීදිවල, දුම්රිය බස් නැවතුම්පල ආදී තැන්වල රැඳී සිටින ඔවුහු ජනතාව ගෙන් මූල්‍යමය සහයෝගයක් ඉල්ලා සිටිති. එසේ දුන් කල ඔවුන් කරන ආශිර්වාද දේවාශීර්වාදයත් තරමට ප්‍රබල බවත්, යම් විදියකින් ඔවුන් සාප කළොත් එය ඉතාම නරක ප්‍රතිපල ගෙන දෙන දෙයක් බව ඉන්දියානු ජනයා කියති. විශේෂයෙන් විවාහ අපේක්ෂක අය ද දරුවන් බලාපොරොත්තුව සිටින අය ද මේ අයගේ ආශිර්වාදය තදින්ම අපේක්ෂා කරති. මන්ද ඔවුන් එසේ ආශිර්වාද කරන්නේ හදවතින්ම බවත්, ඔවුන් කවදාවත් තවත් කෙනෙක්ගෙ විවාහයකට හෝ දරු සම්පතක්  ලැබීමට ඉරිසියා නොකරන බවත් ඒ කාරණා දෙකම ඉෂ්ට වෙන්න කියා ඔවුන් අවංකවම ප්‍රාර්ථනා කර ආශිර්වාද කරන බව ඉන්දීය ජනයා විශ්වාස කරති.ඔවුන් මෙසේ ජනතාව ගෙන් යමක් ඉල්ලා ගැනීමට එන්නේ උදෑසන පැය කීපයක් පමණක් වීම ද විශේෂයකි)

නමුත් සමහර මිනිස්සු කරන ජරා වැඩවලටට "පොන්න වැඩ කරන්න එපා" කියන එකට මම විරුද්ධයි. මොකද එවැනි පහත් තලයක චෝදනාවකට උදාහරණයකට ගන්න තරම් අධම හෝ නීච මිනිස්සු නෙමෙයි මේ අය. මේ අය ඊට වඩා ගරුත්වයක් ආත්ම අභිමානයක් හොඳ කොන්දක් තියෙන අය.මොකද මේ අය කියන්න තියෙන දේ මූණට කිව්වා. ගහන්න හිතුණොත් හරි ගහන්න සිද්ධ වුණොත් හරි ගහනවා කන පුපුරන්න. මූණ ඉදිමෙන්න. එච්චරයි කතාව එතනින් ඉවරයි. අපි යකෙක්ටවත් බය නැහැ. ආදරේ නම් ආදරෙයි. ජීවිතේ හරි පණ හරි දෙනවා. එපා නම් එපා. ඕනේ නම් ඕනේ. ඕනෙයි එපායි දෙකක් නැහැ. Double Game  නැහැ. dual Character නැහැ. ඒක තමයි ඒ ප්‍රජාව ගොඩනගා ගෙන තියෙන  සංස්කෘතික අනන්‍යතාවය අභිමානය. Unity Quality එක. අනෙක් පැත්තෙන් මේ අය හරි අවංකයි ඒගොල්ලො හිතන්නේ ඒගොල්ලො වගේම අනිත් අයත් ඒගොල්ලන්ට අවංක වෙනවා කියලා. ඒ නිසා  මහත්වරු කියන අය ඒ අයගෙන් අයුතු ප්‍රයෝජන ගන්න එකත් වැඩියි. සමහරු හිතන්නෙ නැහැ  මේ ඉන්නෙත් ඇට ලේ මස් තියෙන මනුස්ස කොට්ඨාසයක් නේද කියලා. ඒ නිසා ජරා වැඩ කරන අයට මේ අයව සංකේත කරලා බනින එක ඉතාම බාල අපරාධකාරී වැඩක්.

බොරැල්ලේ ඩෙලිසන් අයියා ඇරුනහම ඒ වගේම හිටපු චරිතයක් තමයි දෙහිවල වැල්ලේ ඔගස්ටින් අයියා. ජම්පටා වීදියේ  හිටියා මුස්ලිම් එක්කෙනෙක්. මට නම මතක නැහැ.මොරටුවැල්ලේ සිරි අයියා හිටියා.සේදවත්තේ (වැල්ලම්පිටිය) පාල. දෙමටගොඩ අසංක මගේ ජීවිතයේ මමත් ජෝගි නටලා තියෙනවා. මේ ජෝගි නැටිල්ල වෙසක් එකට විතරක් නෙමෙයි නත්තලටත් නටනවා. කවුරු හරි චණ්ඩියෙක් එන්න කිව්වොත් ගිහිල්ලා එයාගේ බජව්වලත් නටනවා. සාමාන්‍යයෙන් අපි අපි සෙට් වුණාමත් නටනවා. ඒක හරිම අපූරු සන්තෘෂ්ටිදායක සෞන්දර්ය වැඩක්. ඒ නටන එකෙන් අපිට කීයක් හරි හම්බෙනවා වගේම අපිත් හරි සතුටට පත්වෙනවා. මොකද අපි හරි ආසයි නටන්න.

ඒ කාලේ මට ලොකුම අභියෝගය තිබුණේ මොරටුවේ කට්ටිය ගෙන්. මොරටුවේ හිටිය සිරි අයියා තමයි මොරටුව රන් කළේ. මොරටුව වැල්ලේ තමයි හිටියේ. එයාට දේවාරූඩයකුත් තිබුණා. ඒ නිසා එයා සාත්තරත් කියනවා.එයාගේ ළඟත් මේ කට්ටියක් නතර වෙලා හිටියා. ඒ කියන්නේ මොරටුවේ සිරි  අයියගේ සෙට් එක. එයා එක දවසක් පණිවිඩයක් එවලා තිබුණා, "උඹලා මහලොකු නැට්ටුකාරියෝ නම්, මං කියන තැනට වරෙන් ඇවිල්ලා නටලා හැප්පිලා බලමු" කියලා. මං පණිවිඩය හැරියා හරි "මං ඒ චැලේන්ජ් එක බාර ගන්නවා" කියලා. කොහෙද මේ චැලෙන්ජ් ඩාන්ස් එක තිබ්බේ, වැල්ලවත්තේ මැනින් ප්ලේස් එකේ නොම්බර 83 අපේ මහ ගෙදර ඉස්සරහ පිට. එයා එක දැනගෙන ප්ලෑන් කරලා කළා ද කියන එක මම දන්නේ නැහැ.

දැන් මග අරින්න බැහැ. චැලෙන්ජ් එක බාර ගත්තා නම් අනිවාර්යෙන්ම යන්න ඕනේ මොන ප්‍රශ්න තිබුණත්.

මම  එතකොට හිටියේ ඇන්ඩර්සන් ෆැලැට් එකේ. එදා මම නාරාහේන්පිට ඉඳලා ගිය මයිනර් ටැක්සිය පැද්දේ ජගත්.

ජෝගි නටනවා කියන්නේ අපට හරිම සෞන්දර්යාත්මක

ආරියපාලගේ ගෙදර තමයි මේකප් කරන්න දාගෙන තිබුණේ. ආරියපාල අපිට දුන්නේ ඉස්සරහා කාමරය මේකප් කරගන්න. සේදවත්තේ පාලයි වැල්ලම්පිටියේ අසංකයි අපි තුන් දෙනා තමයි කොහේ ගියත් කොයි වෙලාවෙත් එකට හිටියේ. ඒ දෙන්නත් මනාලියන් අන්දන දෙන්නෙක්. මේ ඩාන්ස් එකටත් අපි තුන් දෙනාම ගියා. පාලයි මමයි නැටුවේ අක්කයි නංගියි ඩුවට් එකක්. මම ඇන්දේ දම් පාට සාරියක්. හැට්ටයක් නැහැ. දෙමළ ගෑනියෙක් විදිහට ඇන්දේ. මල් දාලා ගෙජ්ජි බැඳලා. පාල සායයි හැට්ටෙයි ඇන්දා. අසංකත් ත්‍රිකෝටර් සාරියක් ඇන්දා. මම ස්ටේජ් එකට යනකොට මිනිස්සු හූස් ගාලා උඩට ඇද්ද හුස්ම ටික  විනාඩියක් දෙකක්  විතර යනකම් පල්ලෙහාට වැටුනේ නැහැ කියලා මාව එක්කන් ගිය ජගත් කිව්වා එනකොට. නටන්න ගත්ත විතරයි "හ්ම්" කියලා සද්දයක් ආවේ නැහැ. ඇඳුම් දෙකක් මාරු කරලා අයිටම් දෙකක් කළා. එකක් නැටුවේ "මේවා තමයි ජිල් ජිල් ජිල්" සින්දුවට. අනිත් සින්දුව මට මතක නැහැ. ඒක අක්කයි නංගි කියන සිංදුවක්. ඒක ජික්කිගේ සින්දුවක් කියලා මට මතකයි. අපි මේකට යන්න කලින් දහ දොළොස් වතාවක් හොඳටම රිහර්සල් කළා. නටලා මම ස්ටේජ් එකෙන් එකෙන් බැස්ස ගමන්ම එක් කෙනෙක් ඇවිල්ල මට ඔෆර් එකක් දුන්නා. එයා ඒ කාලේ වැල්ලවත්තේ ප්‍රභූ පැලැන්තියේ උඩම එක් කෙනෙක්. මං කිව්වා " නැහැ. බැහැ. මගේ තොලේ ගාලා තියෙන ලිප්ස්ටික් මං මැකෙන්න දෙන්නේ නැහැ" කියලා. "මං යන්නේ කොහොමද" කියලා ඇහුවා මං කිව්වා "මං හැමදාම  යන එන ටැක්සිය තියෙනවා. මං ඒකෙන් යන්නේ" කියලා."මං එහෙනම් මගේ කාර් එකෙන් ඇවිල්ලා ඔයාව ඇරලන්නද" ඇහුවා. මං කිව්වා එපා කියලා.

මං එහෙම එයාව මගහැරියේ එයත් එක්ක මං කාර් එකේ ගියා නම් මග දී  මොනවා කරන්න වෙයිද කියලා කවුද දන්නේ?. ඒක තමයි මං එයාට සුද්ධ සිංහලෙන් කියන්නේ නැතුව තේරෙන්න කිව්වේ මගේ තොලේ තියෙන ලිප්ස්ටික් මැකෙනවට මං කැමති නැහැයි කියලා.

ඩාන්ස් එකෙන් පස්සේ සිරි අයියට කට උත්තර නැතුව ගියා. ඊට පස්සේ මං පෙරහැරවල්වල නැටුවා. වාද්දුව පොතුපිටිය පන්සලේ තමයි මුලින්ම නැටුවේ.

ඊට අමතරව කොළඹ හතේ හෝටල්වල නටන අමුතු ජෝගියක් තියෙනවා. එහෙම සුපිරි පාටි කරන වෙනම ජෝගි මුදලාලිලා ඉන්නවා. එහෙම පාටි ඕගනයිස් කරන බොරැල්ලේ ජෝගි මුදලාලි කෙනෙක්.  ඉන්නවා. මට ඒ ජෝගි මුදලාලිගේ නම මතක නැහැ.එයා තමයි අපිව මේ පාටිවලට ගෙනියන්නේ. ඒ ඩාන්ස් තියන්නේ එම්බර්සඩර්ස්ලාගේ ගෙවල්වලයි ෆයිව්ස්ටාර් හෝටල්වලයි විතරයි. රෑ දොලහට තමයි අපි නටන්න පටන් ගන්නේ. හොඳට කන්න බොන්න දෙනවා. මම විස්කි තමයි බොන්නේ.අපිව හොඳට පරිස්සම් කරනවා ඒ ජෝගි මුදලාලි.

අපේ සෙට් එකෙන් ඒ කාලේ සීල් අරක්කු බිව්වේ මං විතරයි

අපි නටන කොට අපිට එන්විලොප් හම්බ වෙනවා. අපිට හම්බවෙන සේරම එන්විලොප් අපි දෙන්නේ ඒ ජෝගි  මුදලාලිට. මේ හෝටල් ජෝගි නෙමේ නිකන් ජෝගිවලට යනකොට මගේ පස්සෙන් වැටිලා එන පොඩි එවුන් සෙට් එකක් ඉන්නවා. අපේම කට්ටිය. මට හම්බවෙන මාරු සල්ලි ඔක්කොම මං ඒගොල්ලන්ට විසි කරනවා.

සබැඳි පුවත්

ඒ කාලේ සීල් (ස්කාගාර සංස්ථාවෙන් නිෂ්පාදනය කළ ගල් හෝ පොල් අරක්කු වලට ඒ කාලේ කිව්වේ සීල් අරක්කු කියලා)  බිව්වේ මං විතරයි. අනිත් අය කසිප්පු. මට සීල් අරක්කු කාලක් හම්බවෙනවා. අපිට හොඳට සල්ලි හම්බවෙනවා එවැයින්. සමහර දවස්වලට අපි එක රෑට ගෙවල් දෙක තුනක නටනවා.

මම ඇන්දේ "තාසි". ඒක ඉන්දියානු සම්භවයකින් එන ඩාන්සින් කැරක්ටර් එකක්. ඒකට අඳින්නේ ත්‍රිකෝටර් සාරිය. හැට්ටයක් අඳින්නෙ නැහැ. සාරි පොටෙන් තමයි ඇඟ වහගන්නේ. ගෙජ්ජි බන්දිනවා. තාසි නටන්නෙ තෙමංගුවල. ඒ කියන්නේ තෙමංගු කියන තාලෙට තමයි තාසි නටන්නේ. තෙමංගුවලට අදාළ සින්දු තියෙනවා. මේ වෙලාවෙ මට එකපාරට මතක් වෙන්නේ නැහැ. මම දබර ඇඟිල්ල දික් කළොත් වාදක මණ්ඩලය සිංගල් ප්ලේ කරන්න ඕනේ. ඇඟිලි දෙක දික් කළොත් එයා තෙමංගු ගහන්න ඕනේ. මෙතන වාදක මණ්ඩලය කියන්නේ පපර බෑන්ඩ් එකට. දැන් ඔය පපරේ කියන්නේ ඒකට තමයි. අනික කෝවිල්වල වාදනය කරන නාද සිරක්කම් එනවා. මේවා සෙල්ලං කරපු ඒ කාලේ හිටපු අය දැන් මට මතක නැහැ. හැබැයි මම ඩාන්ස් එකට යන්න කලින් කියනවා මට කැරිනට් දෙකක් ඩ්‍රම් දෙකක් ඕනේ කියලා. මොකද ඒ ඩාන්ස් එකේ ප්‍රධාන චරිතෙත් තාසි නිසා එයාට ඕන විදිහට තමයි වාදක මණ්ඩලයේ හැදෙන්නේ. එතකොට ඒකේ  රෝසා, ලන්සි ගෑනි, උඩරට හා පහතරට මනමාලි සහ තාසි කියන කැරක්ටර් තමයි මේ ඩාන්ස්වලට එන්නේ. මේකෙදි එක ඇඳුමකට චරිතයකට එක්කෙනයි. තාසි තමයි අන්තිමටම එන්නේ. කපල් ඩාන්සුත් තියෙනවා. දැන් රෝසා නටනකොට රෝසත් එක්ක නටන්න වෙනම කොල්ලෙක් එනවා. එය අපේ එක්කෙනෙක් නෙමේ. එයා කොල්ලෙක්. හැබැයි අපිත් එක්ක නටන්න එනවා. උඩරට මනමාලි එක්ක නටන්නත් නිලමේ කිට් එක ඇඳපු කොල්ලෙක් එනවා. පහතරට මනමාලිට ටයිකෝට් ඇඳපු කොල්ලෙක් එනවා. ඒ කොල්ලෝ අපිට පට්ට ආදරෙයි. අදටත් මම කොහේ හරි ගියොත් ලලිත් අයියේ කියලා ඒගොල්ලො මාව වට කරගන්නවා මිසක් වෙන කතන්දරයක් නැහැ.

මම තාසි නැටුවේ තෙමංගුතාලෙට

අපේ ලොකු කට්ටියක් හිටිය නුවර පෙරහැරේ නටන. ඒගොල්ලෝ හිටියේ නුවරමයි. එකල ගොඩක් වෙලාවට හිටියේ නාථ දේවාලය ගාව. මේ නුවර කට්ටියත් කොළඹ ඇවිල්ල මාව හම්බවෙලා තියෙනවා.

අපේ වරිගේ අපිට හිටියා බොහොම ගෞරවනීය චරිතයක් තමයි සරලා බායි. එයා බොහෝම පැරණි ටවර් හෝල් රංග ශිල්පිනියක්. එයා ඒ කාලේ නටන කොට ගිනි දල්ලක් වගේ කියලා තමයි අපේ වැඩිහිටි අය කියන්නේ. මම එයාට හරි ආදරෙයි. මම හරියට එයාට ගරු කරනවා. මම එයාව කීප වතාවක්  පෞද්ගලිකව ගිහිල්ලා හම්බවෙලා කතා කරලා තියෙනවා.මම ගියහම "ආ දරුවා එන්න" කියලා මගේ අතින් අල්ලා ගෙන කතා කරන්නේ.

| උපුල් ජනක ජයසිංහ