වනාන්තර - අපට අහිමි කර ගත නොහැකි ජීවනාලිය - දිග හැරෙන අර්බුදය සහ ප්‍රතිෂ්ඨාපනයට මාවත -(අවසාන කොටස) - ලයනල් බෝපගේ

wild-life-srilanka

මැලවී යන හරිත හදවතක්

ශ්‍රී ලංකාව 1881 දී මරකත (emerald) දූපතක් වූයේය. කඳු නිම්න හරහා නිමක් නොමැතිව විහිදී ගිය වන වියන් සහිත එහි භූමියෙන් සියයට 84ක් වනාන්තරවලින් වැසී තිබිණි. අද වන විට ඉතිරිව ඇත්තේ සියයට 29.7 ක් පමණි. මෙය හුදෙක් සංඛ්‍යාලේඛන පමණක් හෝ ශාස්ත්‍රීය අධ්‍යයනයන්ට සීමා වූවක් ද නොවේ. ඇතැම් විවේචකයෝ මා ලියන කරුණුවලට වඩා මගේ ආචාර්ය උපාධිය ගැන කනස්සල්ලට පත්ව සිටින බව පෙනේ. අප මෙහි සාකච්ඡා කරන්නේ තමන්ගේම ජීවනාලිය සෙමෙන් වෙන් කර දමන ජාතියක කතාව බව ඔවුන් වටහා ගත යුතුය.

1960 සිට 2010 දක්වා කාලය තුළ වනාන්තර හෙක්ටෙයාර් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් අතුරුදහන් විය. කෝපි සහ තේ වතු කඳු බෑවුම් හරහා පැතිරී ගියේය. දැවැන්ත වාරිමාර්ග යෝජනා ක්‍රම, තනි තනි ව්‍යාපෘති මගින් අක්කර 25,000ක් ගිල ගත්තේය. පශ්චාත් යුධ සංචාරක කලාප තවත් අක්කර 17,800 කට හිමිකම් පැවසීය. එළි පෙහෙළි කරන ලද හැම හෙක්ටයාරයක්ම නියෝජනය කලේ අහිමි කරන ලද වෘක්ෂ (ගස්) පමණක් නොව, බිඳ දැමූ වනජීවි මං පෙත්, වියවුල් බවට පත් කල ජල චක්‍ර සහ අනිවාර්ය ගැටුම් දෙසට තල්ලු කර දැමූ ජන ප්‍රජාවන් ය.

බලාපොරොත්තු සුන් වූ වනජීවීන්

2025 දී, සංඛ්‍යාලේඛන පවසන්නේ අතිශය ඛේදජනක කතාවකි. වෙඩි තබා, විදුලි සැර වද්දා, නීති විරෝධී පුපුරණ ද්‍රව්‍ය යොදා පුපුරවා අලි 397ක් මරා දමා තිබේ. මේ මරණ අහම්බෙන් සිදු වූ ඛේදවාචක නොවේ. ඒවා, අතුරුදහන් වෙන වාස භූමිවල සිට ගොවි බිම් කරා ගමන් කරන්නට බල කෙරුණු, යාමට අන් ස්ථානයක් නොමැති සතුන් දක්වන පුරෝකථනය කළ හැකි ප්‍රතිඵලය වේ.

හිවලුන්ගේ ගහනය දශක දෙකක් තුළ සියයට 60කින් පහත වැටී ඇත. මේ ස්වාභාවික විලෝපිකයන් නොමැතිව, වියළි කලාපයෙන් එපිට තෙත් කලාප මොනරුන්ගෙන් ඉතිරී ගොස් ඇති අතර, වසර දහස් ගණනක් තිස්සේ සකස් කරන ලද පාරිසරික සමතුලිතතාව අවුල් කර දමා තිබේ. ඒ අතරවාරයේ, ආක්‍රමණශීලී සත්ව විශේෂීහු වනාන්තර ආහාරවලින් තොර කාන්තාර බවට පත් කර ඇත. අලි ඇතුන් සහ වඳුරන් මිනිස් ජනාවාස දිසාවට තල්ලු කර දමා ඇත්තේ ආක්‍රමණශීලී බව නිසා නොව ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වීම නිසාය.

අරමුදල් සැපයීමේ මායාව

සංරක්ෂණ ආයතන, 2025 සඳහා රුපියල් මිලියන 325ක් ඉල්ලා සිටියේය. මුලින් ඔවුන්ට කිසිවක් ලැබුණේ නැත. ඉහත වසරේ රුපියල් මිලියන 129 ක් ඉල්ලා සිටි විට රුපියල් මිලියන 8ක් ලැබුනේය. විදුලි වැටවල් බාධකවලට වඩා මර උගුල් බවට පත් වෙමින් දිරාපත් වෙයි.

දිත්වා සුළි කුණාටුව සහ ගංවතුර වැනි දිගට සිදු වන දේශගුණික අභියෝග මධ්‍යයේ වුව ද, තීරණාත්මක පාරිසරික අයවැය කප්පාදු කිරීමේ ප්‍රතිඵල මෙයින් ඉස්මතු කෙරේ. පාරිසරික තිරසර බව වෙනුවෙන් දරන තීරණාත්මක සංරක්ෂණ සහ ප්‍රතිසාධන ප්‍රයත්න උදෙසා අරමුදල් සපයා ගැනීමට ආපදා සහන ආධාර සහ ජාත්‍යන්තර සහයෝගය මත විශ්වාසය තබන්නට ආයතනවලට බල කෙරේ.

මේ අසාර්ථකත්වය පිළිබඳ ව්‍යුහ විද්‍යාව යි. මහා පරිමාණ අලි එළවා දැමීම් (drives) වල නිෂ්ඵල බව පිළිබඳව විද්‍යාත්මක සාක්ෂි තිබියදීත්, නිරන්තරයෙන් හැකිළී යන භූමි ප්‍රදේශවලට ඔවුන් තල්ලු කර දමමින්, ඒ එළවා දැමීම් දිගටම කර ගෙන යයි. මෙය, හේතු නොසලකා රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීම, පාරිසරික පද්ධති මට්ටමේ ගැට‍ළුවලට මානව කේන්ද්‍රීය විසඳුම් යෙදීමට උත්සාහ කිරීම සහ සංරක්ෂණය සඳහා යොදන පරිශ්‍රම අතිශයින්ම වැදගත් වන විට දී ඒවා පෝෂණය නොකිරීම හැර අන් කිසිවක් නොවේ.

සොබාදහම සටහන් තැබීම

2024 නොවැම්බරයේ හට ගත් ගංවතුර සහ නායයෑම් හුදෙක් කාලගුණික සිදුවීම් පමණක් නොවේ; ඒවා ගෙවා දැමීමට නියමිත වූ බිල්පත් ය. කඳු බෑවුම්වලින් වනාන්තර අතුරුදහන් වන විට, පසට සෙමෙන් කාන්දු වී උරා ගත යුතු වර්ෂාව විනාශය ගෙන එන ජල ප්‍රවාහ බවට පත් වේ. නායයෑම්, ජන ප්‍රජාවන් වළලා දමයි. අවසාදිත, ගංගාවල හුස්ම හිර කර දමයි. ජල කළමනාකරණය තීරණාත්මක වන විට දීම, ජලාශවල ධාරිතාව නැති වෙයි.

විනාශකාරී ගංවතුර ඇති කරවන වනහරණය විසින් ම, දඬුවම් කරන නියඟයන් ද සහතික කරයි. ජලධර ප්‍රකෘතිමත් බවට පත් කළ යුතු ජලය, සාගරය වෙත වේගයෙන් දිව යයි. පරම්පරාවන් පුරා ජන ප්‍රජාවන් නඩත්තු කළ ගංගා පත්ලට ම වියළී යයි. ස්වාරක්ෂක කලාප අතුරුදහන් වන අතර, සීමාන්තයන් උත්සන්න වේ.

ජීවී පද්ධතිය වටහා ගැනීම

වනාන්තර යනු හුදෙක් වෘක්ෂ (ගස් වල) එකතුවක් නොවේ, ඒවා කොන්ක්‍රීට් සහ වානේවලට වඩා අසීමිතව කාර්යක්ෂම සංකීර්ණ ජල කළමනාකරණ පද්ධති වේ. වර්ෂාපතනයේ විනාශකාරී බලය බිඳ දමන වන වියන්, වර්ෂාපතනය අතර මැද නවතා දමයි. ජලය ගබඩා කර, වියළි කාලවල දී එය ක්‍රමයෙන් මුදා හරින පස ස්වාභාවික ස්පොන්ජ් බවට පත් කරන ගස්වල මූල ජාල (root networks) යටි බිම් ගත දිය පාරවල් නිර්මාණය කරයි.

වාෂ්පෝත්ස්වේදනය (evapotranspiration) මගින් වෘක්ෂ (ගස්) වායුගෝලීය තෙතමනයෙන් යුත් "පියාඹන ගංගා" බිහි කරයි. විශාල තනි වෘක්ෂයක් (ගසක්) දිනකට ජල වාෂ්ප ලීටර් සිය ගණනක් මුදා හරී. මුළු මහත් ප්‍රදේශ පුරා වලාකුළු සාදන්නට ද, වර්ෂාපතන රටාවලට ද මෙය දායක වේ. මධ්‍යම කඳුකරයට වර්ෂාව ලැබෙන්නේ හේතුවක් නිසාවෙනි. වියළි කලාප වාසයට සුදුසු ලෙස පවතින බව ද, කෘෂි ඉඩම් ඵලදායී ලෙස පවතින බව ද සහතික කරමින් වෘක්ෂ (ගස්) වැසි උත්පාදනය කරයි.

වනාන්තර පස් පිරිපහදු පහසුකම් නොමැතිව ජලය පිරිසිදු කරන ජීව විද්‍යාත්මක පෙරහන් පද්ධති ලෙස ක්‍රියා කරයි. සෝද පාළුව හා නායයෑම් වලට එරෙහිව ගස්වල මුල්, කඳු බෑවුම්වලට ආරක්ෂාව ලබා දේ. වනාන්තරවල සිසිල් කිරීමේ බලපෑම, උෂ්ණත්ව සීමාන්ත හසුරුවා, බිම් පෙදෙස් දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන තත්වයට පත් කරයි. මෙම පද්ධති නිසි ලෙස ක්‍රියා කරන විට ජන ප්‍රජාවන් සමෘද්ධිමත් වේ. ඒවා බිඳ වැටෙන විට, විපත්ති පසුපස හඹා එයි.

සාර්ථකත්වය සඳහා සැබැවින් අවශ්‍ය දේ

පහත දක්වා ඇති අන්දමට, ඵලදායක විසඳුම්, ගෝලීය වශයෙන් ඔප්පු කර තිබෙන සහ ශ්‍රී ලංකාවේ දැන් ඉස්මතු වන ඇතැම් පොදු අංග බෙදා හදා ගනී:

වනජීවීන්ට ස්වාභාවික ව පවතින්නට ඉඩ සලසා දෙන වාසස්ථාන ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ මං පෙත් සුරැකීම. සැබෑ සහජීවනය උදෙසා පාරිසරික පදනම බිහි කරන අන්දමට, පිරිහී ගිය වෙළඳ වගා විවිධත්වයෙන් යුත් ස්වදේශික වනාන්තර  බවට ආපසු හැරවීම, තන බිම් පිළිසකර කිරීම, සංක්‍රමණික ගමන් මාර්ග ආරක්ෂා කිරීම.

දේශීය පාර්ශ්ව කරුවන් හවුල්කරුවන් ලෙස නිරත කර ගන්නා ප්‍රජා පාදක කළමනාකාරිත්වය. ග්‍රාමීය මට්ටමේ වැටවල්, ප්‍රජාවන් සමඟ කටයුතු කරන පුහුණුව ලද සිවිල් ආරක්‍ෂක නිලධාරීන් සහ කාර්යක්ෂම වන්දි ක්‍රම යොදා ගැනීමෙන්, මෙම අභියෝගයට මුහුණ දීමට ගන්නා ඕනෑම විසඳුමකට වනජීවීන් සමඟ ජීවත් වන ජනතාව තීරණාත්මක වන බව ද, ඔවුන් ජය ගත යුතු බාධක නොවන බව ද හඳුනා ගනු ඇත.

පරිසර පද්ධති මට්ටමෙන් කල්පනා කිරීම, සමස්ත සබඳතා ජාලයට ම ආමන්ත්‍රණය කරයි. සමතුලිතතාව යථා තත්වයට පත් කරන හිවලුන් ‍රැක ගැනීම විසින් මොනර ගහන, මීයන් සහ බෝග පළිබෝධක ස්වාභාවික ව පාලනය කරනු ලැබේ. වනජීවි හානි වාර්තා කිරීම සඳහා වන "1995" ක්ෂණික ඇමතුම් අංකය, කෘතිම බුද්ධි (AI) - සක්‍රීය කරන ලද පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සහ සම්ප්‍රදායික පාරිසරික දැනුම සමඟ ඒකාබද්ධ කළ දත්ත මත පදනම් වූ කළමනාකරණය විසින් ඒ ප්‍රවේශ වෙන වෙනම දක්වන ප්‍රතිචාරවලට වඩා ඵලදායී ප්‍රතිචාර බිහි කරනු ඇත.

ආණ්ඩුවේ මුල් පිරීම්

2025 නොවැම්බර් මස දියත් කරන ලද "වන සුරැකුම" කාර්ය සාධක බලකාය, නීති විරෝධී දැව කැපීම් සහ පාරිසරික අපරාධ මැඩ ලීම සඳහා පවතින විවිධ ආයතන ඒකාබද්ධ කරයි. 30×30 මුල් පිරීමේ අරමුණ, 2030 වන විට පරිසර පද්ධතිවලින් සියයට 30 ක් ආරක්ෂා කිරීම යි. එය වියළි කලාපවල වන හානිය නතර කර දැමීම සහ තෙත් කලාපවල සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.

එක්සත් ජාතීන්ගේ ගෝලීය පිළිසකර කිරීමේ නියාමකයෙක් (UN World Restoration Flagship) ලෙස පිළිගත් කඩොලාන පුනර්ජනනය කිරීමේ වැඩසටහනේ අවධානය යොමු වන්නේ, විද්‍යාව පාදක කර ගත් විධික්‍රම සහ ප්‍රජා සහභාගීත්වය යොදා ගෙන 2030 වන විට හෙක්ටයාර් 10,000ක් ප්‍රතිපාදනය කිරීම වෙතයි. එය, 2004 සුනාමිය විසින් එහි වැදගත්කම ඉස්මතු කිරීමෙන් පසු, අසාර්ථක වුනු මහා පරිමාණ පැල රෝපණය කිරීමේ සිට ස්වාභාවික වර්ධනයට රුකුල් දීම දක්වා වූ විතැන් වීමකි. මෙම වැඩසටහන් විදහා දක්වන්නේ ක්‍රියා කිරීම සඳහා ආණ්ඩුවේ ඇති කැමැත්ත යි. කෙසේ වෙතත්, අවශ්‍ය වන්නේ වැඩසටහන් සඳහා අඛණ්ඩ අරමුදල් සැපයීම සහ ඒවා දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමයි.

තීරණාත්මක කටයුතු

පළමුව, ඉතිරිව තිබෙන ඉතා වැදගත් වනාන්තර, විශේෂයෙන් මධ්‍යම කඳුකරය, අධික බෑවුම් සහ මූල ජල ධාරක ප්‍රදේශ (headwater catchments) ආරක්ෂා කිරීම: සමහර වනාන්තර අහිමි කර නොගන්නට තරම් ඉතා වැදගත් වේ. ජල නියාමනය, සෝදා පාළුව පාලනය කිරීම, සහ දේශගුණය හැසිරවීම අතින් ගත් විට ඒවායේ අගය, ඒවා වෙනස් කිරීමෙන් ලබන යම්කිසි කෙටි කාලීන ආර්ථික ලාභයක් වේ නම්, ඒ ලාභය ඉක්මවා යයි.

දෙවනුව, පිරිහී ගොස් ඇති ඉඩම් සහ ගං ඉවුරුවල පිහිටි වනාන්තර ප්‍රතිෂ්ඨාපනය කිරීම: පාංශු තෙතමනය, ජලය කාන්දු වීම, ගුණාත්මක බව සහ ගංවතුර පාලනය (buffering) සඳහා, ඉවුරු බද කලාප  විශේෂයෙන් ම තීරණාත්මක වේ.

තෙවනුව, සමස්ත බිම් පෙදෙස් පුරා වනාන්තර, ඉඩම් සහ ජල කළමනාකරණය ඒකාබද්ධ කිරීම: ගංගා, කඳුකරයේ සිට වෙරළබඩ මෝය දක්වා ඒකක ලෙසින් ක්‍රියා කරයි. ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා වනාන්තර, කෘෂිකර්මාන්තය, නාගරික සංවර්ධනය සහ ජල සැපයුම යන සියල්ලම වෙන වෙනම නොව එකට ගෙන සැලසුම් කළ යුතුය. මේ සඳහා දිස්ත්‍රික්ක, අමාත්‍යාංශ සහ අංශ අතර සම්බන්ධීකරණය අවශ්‍ය වේ.

අප ඉදිරියේ ඇති මනාපය

ශ්‍රී ලංකාව සන්ධිස්ථානයක සිටී. වනාන්තර නොකඩවා හැකිළී යන, ගැටුම් උත්සන්න වන, පිළිසකර කළ නොහැකි වන තෙක් පරිසර පද්ධති බිඳ වැටෙන සහ මිනිස් ප්‍රජාවන් සහ වනජීවීන් අඛණ්ඩ අර්බුදවලට මුහුණ දෙන අන්දමට, පවතින අයුරින් ම දේවල් පවත්වා ගැනීම එක මනාපයකි.

අනෙක් මනාපය, සංරක්ෂණය සඳහා ප්‍රමාණවත් පරිදි ආයෝජනය කරන, වාසස්ථාන සහ මං පෙත් පිළිසකර කරන, ජන ප්‍රජාවන් හවුල්කරුවන් ලෙස නිරත කර ගන්නා, සොබාදහමට එරෙහිව නොව, සොබාදහම සමඟ එකට කටයුතු කිරීම යනුවෙන් සංවර්ධනය ගැන මූලික වශයෙන් යලි කල්පනා කරන සනාථ කල විසඳුම් ක්‍රියාත්මක කරයි.

සැබැඳි පුවත්

හැම ආහාර වේලක් ම වනාන්තර ජල පෝෂක ප්‍රදේශවලින් ලැබෙන ජලය මත රඳා පවතී. ජල විදුලියේ හැම කිලෝවොට් පැයක් ම ආරම්භ වන්නේ වනාන්තර සෙවන ලත් කඳුකරයට ඇද හැලෙන වැසි පතනයෙනි. හැම ජන ප්‍රජාවකම සුවය, වනයේ පස් විසින් පෙරහන් කරන ලද පිරිසිදු ජලය මත රඳා පවතියි. වනාන්තර විනාශයට ලක් කල විට, සියළු දේ අසාර්ථක වේ.

ශ්‍රී ලංකාවේ වනාන්තර යනු හුදෙක් අයුතු ලෙස ප්‍රයෝජන ගැනීමට තිබෙන සම්පත් හෝ සංවර්ධනයට පවතින බාධක හෝ නොවේ. ඒවා ජලය නියාමනය කරන, පස ස්ථාවර කරන, දේශගුණය හසුරුවන, වන සතුන් නඩත්තු කරන සහ අවසානයේ දිවයිනේ මානව සභ්‍යත්වය පවත්වා ගත හැකි කරවන ජීවමාන පද්ධතීන් වේ.

ශ්‍රී ලංකාව සතුව තිබෙන තෝරා ගැනීම ඉතා පැහැදිලි ය. ඒ තෝරා ගැනීම සඳහා දැන් කාලය එළඹ ඇත. ක්‍රියාවට නැංවීමේ වියදම සැලකිය යුතු වන නමුත් එය කළමනාකරණය කර ගත හැකි වේ. ක්‍රියාත්මක නොවීමේ වියදම ඉතා විනාශකාරී මෙන්ම ආපසු හැරවිය නොහැක්කේ ද වේ.

ශ්‍රී ලංකාවේ වනාන්තර අපට අහිමි කර ගත නොහැකි ජීවනාලිය වන්නේය. අපට ඒවා රැක ගන්නට පවතින කාලය නිමාවට පත් වෙමින් ඇත.

Lionel Bopage 1

| ලයනල් බෝපගේ

2026 ජනවාරි 5 වන දා

  1. ස්වදේශික වනාන්තරයක් යනු මූලිකවම, දේශීය වනජීවීන් සහ පරිසර පද්ධති සමඟ සංකීර්ණ, දිගු කාලීන සබඳතා වර්ධනය කර ගත් ස්වදේශික, ස්වාභාවික ව හට ගන්නා ගස් විශේෂ වලින් සමන්විත වනාන්තරයකි. දේශීය ගස් යොදා ගන්නේ වුවද, එය විසින් ම, එය වෙළඳ වගාවන් ගෙන් වෙන් කර හඳුනා ගැනේ.
  2. "1995" ක්ෂණික ඇමතුම් අංකය, ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතියට හෝ පරිසරයට කෙරෙන හානිය වාර්තා කිරීම සඳහා යොදා ගැනෙන නිශ්චිත අංකයකි. වනාන්තර සහ වනජීවි ආශ්‍රිත අපරාධ වහා විසඳීම සඳහා ආරක්ෂක හමුදා සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින්,මෙම තොරතුරු භාවිතා කරනු ලැබේ.
  3. ඉවුරු කලාපයක් යනු ගංගා, ඇළ දොළ, විල් සහ තෙත් බිම් අසල ඇති අත්‍යවශ්‍ය, සාරවත් ප්‍රදේශයකි. තෙතමනය සහිත තත්වයන්ට අනුවර්තනය වූ අද්විතීය ගස් වැල්වලින් නිරූපණය වන එය, ජලය සහ වියළි පෙදෙස අතර ස්වාභාවික සංක්‍රාන්තියක් ලෙස ක්‍රියා කරයි. එය, අපවිත්‍රතාව පෙරහන් කිරීම, ඉවුරු ස්ථාවර කිරීම, ගංවතුර පාලනය කිරීම සහ විවිධ වන ජීවීන්ට ආහාර සහ වාසස්ථාන ලබා දීම වැනි තීරණාත්මක කාර්යයන් සපයා දෙයි.