හඬක් නොමැති වූවන් වෙනුවෙන් හඬ නැඟූ මිනිසෙකුට කරන උපහාරයක් - ලයනල් බෝපගේ

basil-fernando

අනුස්මරණය; සහෝදර බැසිල් ප්‍රනාන්දු (1944–2026)

අපට ආදරණීය මිතුරෙකු සහ සහෝදර සටන් සගයෙකු අහිමි වී ඇත. බැසිල් ප්‍රනාන්දු සැප්තැම්බර් 30 වැනිදා, 81 වැනි වියේදී, හොංකොංහිදී අභාවප්‍රාප්ත විය. නීතිඥයෙකු, නීති විශාරදයෙකු, කවියෙකු, දාර්ශනිකයෙකු සහ මාක්ස්වාදියෙකු වූ ඔහු, අයුක්තිය සමඟ කිසිදා අතරමග සාමයකට නොපැමිණියේය. මානව ගෞරවය වෙනුවෙන් පෙනී සිටි එහි නිර්භීතම සටන්කරුවන්ගෙන් එක් අයෙකු ආසියාවට අහිමි වී ඇත. ඔහුව දැන සිටි අපට අහිමි වී ගොස් ඇත්තේ දුර්ලභ උණුසුම් බවකින්, ප්‍රඥාවකින් සහ සදාචාරාත්මක ධෛර්යයකින් යුත් මිනිසෙකි.

මූලයන්

බැසිල් 1944 ඔක්තෝබර් 14 වැනිදා ශ්‍රී ලංකාවේ වත්තලදී උපත ලැබීය. ඔහු පැමිණියේ දුප්පත් ධීවර ගම්මානයකිනි. කුලය සහ පන්තිය ඔහු ඉදිරියේ තැබූ බාධක ජයගනිමින්, ඔහු උද්‍යෝගිමත් මානව හිමිකම් නීතිඥයෙකු බවට පත්විය. මෙම ආරම්භක අත්දැකීම් ඔහුගේ ජීවිතයේ අවසානය දක්වාම ඔහු තුළ රැඳී තිබිණි. නීතිය පිළිබඳ ලියන්නට බොහෝ කලකට පෙර සිටම, අයුක්තිය යනු කුමක්දැයි ඔහු එය අත්විඳි සැබෑ මිනිසුන්ගේ ජීවිත තුළින්ම අවබෝධ කරගෙන සිටියේය.

තරුණ මාක්ස්වාදියා

බැසිල්ගේ දේශපාලන ගමන ආරම්භ වූයේ වාමාංශයෙනි. තරුණයෙකු ලෙස ඔහු විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ සතිපතා පුවත්පත වූ කම්කරු මාවත වටා එක්රැස් වූ කණ්ඩායමට එක් විය. ඔහුගේ සමකාලීනයෙකු පසුව සිහිපත් කළේ, කොළඹ විශ්වවිද්‍යාල භූමියේ පැවති කම්කරු මාවත විරෝධතා පෙළපාළියකට බැසිල් නායකත්වය දුන් ආකාරයයි.

එම මාක්ස්වාදී දේශපාලන හැඩගැස්ම ඔහුගේ පසුකාලීන සියලු කටයුතු කෙරෙහි බලපෑවේය. බැසිල්ට මානව හිමිකම් කිසි විටෙකත් හුදෙක් වියුක්ත මූලධර්ම වූයේ නැත. ඒවා බලය, පන්තිය සහ සාමාන්‍ය වැඩ කරන ජනතාව ජීවත් වන හා මිය යන තත්ත්වයන් පිළිබඳව වූ කරුණු විය. ඔහුගේ කටයුතු ඔහුව අධිකරණ ශාලාවලටත්, එක්සත් ජාතීන්ගේ මෙහෙයුම්වලටත්, ජාත්‍යන්තර මානව හිමිකම් ව්‍යාපාරයටත් ගෙන ගියද, එම විශ්ලේෂණාත්මක දැක්ම ඔහු කිසිදා අහිමි කර නොගත්තේය.

ඔහු 1972දී ලංකා විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ උපාධිය ලබා ගත්තේය. උපාධියෙන් පසු මුලින්ම විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ඉගැන්වීය. 1980දී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන් ඔහු, 1989 අවසානය දක්වා ශ්‍රී ලංකාවේ නීති වෘත්තියේ නිරත විය. පසුව ඔහු තම ස්වයං චරිතාපදානය වූ A Confession of a Lawyer තුළින් මෙම ගමනේ කතාව විස්තර කළේය.

පිටුවහල් ජීවිතය

එම වසර ශ්‍රී ලංකාවේ අඳුරුතම වසර වූයේය. අධිකරණ පද්ධතියත් නීති වෘත්තියත් ගිල ගනිමින් තිබූ දේශපාලනීකරණයට සහ දූෂණයට බැසිල් එරෙහි විය. 1989 වන විට දස දහස් ගණනක් පුද්ගලයන් අතුරුදන් කර තිබූ අතර, බැසිල්ගේම නම මරණ ලැයිස්තුවක සඳහන් විය. එබැවින් සිය බිරිඳ සහ කුඩා දියණිය සමඟ ඔහුට හොංකොං වෙත පලා යාමට සිදු විය.

රජය විසින් දඩයම් කරනු ලැබීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඔහු තම ජීවිතයෙන්ම දැන සිටියේය. පලා යාමට නොහැකි වූ අය ඔහු කිසිදා අමතක නොකළේය.

පිටුවහල්ව සිටියදී යුක්තිය ගොඩනැඟීම

1989 සිට 1992 දක්වා හොංකොංහිදී, එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) අනුග්‍රහය දැක්වූ ව්‍යාපෘතියක, වියට්නාම සරණාගතයින් වෙනුවෙන් අභියාචනා නීතිඥවරයෙකු ලෙස ඔහු සේවය කළේය. 1992 සිට 1993 දක්වා ඔහු කාම්බෝජයේ එක්සත් ජාතීන්ගේ සංක්‍රාන්ති අධිකාරියේ විමර්ශන ඒකකය භාර ජ්‍යෙෂ්ඨ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිලධාරියා විය. ඉන්පසු 1994 දක්වා කාම්බෝජයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මධ්‍යස්ථානයේ කාර්යාලය තුළ නීති ආධාර කටයුතු මෙහෙයවීය.

1994දී ඔහු ආසියානු මානව හිමිකම් කොමිසමට එක් වූ අතර පසුව එහි විධායක අධ්‍යක්ෂවරයා බවට පත්විය. එම තනතුර භාවිත කරමින් ඔහු මානව හිමිකම් උල්ලංඝනයන් ලේඛනගත කළ අතර, බිම් මට්ටමේ ජන අරගල නීතිමය හා ආයතනික ප්‍රතිසංස්කරණ සඳහා වූ ව්‍යාපාර සමඟ සම්බන්ධ කළේය.

වධහිංසාව, නීති විරෝධී රඳවා තබා ගැනීම්, රාජ්‍ය අපයෝජන සහ මරණයට පත්වීමේ අවදානමෙන් රැඳවියන් ආරක්ෂා කිරීම සඳහා ඔහු “හදිසි අභියාචනා” ක්‍රමය ආරම්භ කිරීමට පුරෝගාමී විය. අපමණ් වූ පවුල් සඳහා හොංකොං සිට පැමිණි එවැනි හදිසි අභියාචනයක්, කොතැනක හෝ කිසිවෙකු ඔවුන්ගේ වේදනාවට සවන් දෙමින් සිටින බවට ලැබුණු පළමු සංඥාව වූයේය.

අතුරුදන් වූවන් වෙනුවෙන් සටන් කිරීම ඔහු කිසිදා නතර කළේ නැත. ශ්‍රී ලංකාවේ අතුරුදන් වූවන්ගේ පවුල් දකුණු කොරියාවේ ග්වාන්ජු නගරයේ මැයි 18 ව්‍යාපාරය සමඟ සම්බන්ධ කළේය. එම සම්බන්ධතාවය බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ගොදුරු වූවන් වෙනුවෙන් ජාතික ස්මාරකයක් ඉදිකිරීමට දිරිගැන්වීමක් විය.

සිය සහෝදර සහෝදරියන් සමඟ එක්ව ඔහු Narrative of Justice in Sri Lanka කෘතිය සකස් කළේය. 1998 සිට 2011 දක්වා කාලය තුළ පොලිස් වධහිංසාවට අදාළ සිද්ධීන් 1,500ක් එහි ලේඛනගත කර තිබිණි. එමෙන්ම ඔහු ත්‍රෛමාසික සඟරාවක් වූ article 2 ද පළ කළේය.

ආසියානු මානව හිමිකම් ප්‍රඥප්තියත්, ආසියානු නීතියේ ආධිපත්‍යය පිළිබඳ ප්‍රඥප්තියත් සංවර්ධනය කිරීමට ඔහු දායක විය. 2012දී ඔහු වධහිංසාව සහ අමානුෂික සැලකීම්වලට එරෙහි ආසියානු සන්ධානයේ (Asian Alliance Against Torture and Ill-Treatment) සම-ආරම්භකයෙකු වූයේය.

මේ සියල්ල පුරාම ඔහු විශ්වාස කළේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා ශක්තිමත් හා ස්වාධීන සිවිල් සමාජයක් අත්‍යවශ්‍ය බවය. ආසියාව පුරා තරුණ ක්‍රියාකාරීන් වෙනුවෙන් ඔහු තම කාලය නොමසුරුව කැප කළේය.

කවියා

බැසිල් සැබෑ බලයකින් හෙබි කවියෙකු ද වූයේය. ඔහුගේ Pride and Pain in Difficult Times කාව්‍ය සංග්‍රහය, දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාව වෙළාගත් ගැටුම්වලට ගැඹුරු මානුෂීය හඬක් ලබා දෙයි. එය එක් අතකින් වාර්තාකරණයක් වන අතර, අනෙක් අතින් ඔහුගේ මව්බිම සහ පිටුවහල් ජීවිතය පිළිබඳ ගැඹුරු ආවර්ජනයක් ද විය.

අතුරුදන් වූ තම පුතු සොයා යාම කිසිදා නතර නොකරන දෙමාපියෙකු පිළිබඳ ඔහුගේ Looking for Raju කවිය, ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ ජාත්‍යන්ත්‍ර ක්ෂමා ආයතනය (Amnesty International) පැවැත්වූ Silenced Shadows තරගයේ ජයග්‍රාහී කවි අතරට තෝරා ගන්නා ලදී. පරිවර්තන මඟින් ඔහුගේ නිර්මාණ සිංහල පාඨකයන් වෙතද ළඟා විය.

ගෞරව සහ සම්මාන

2001දී ඔහු මානව හිමිකම් සඳහා වූ ග්වාන්ජු ත්‍යාගයෙන් පිදුම් ලැබීය. 2005දී ඔහු අශෝකා සාමාජිකයෙකු (Ashoka Fellow) ලෙස නම් කෙරිණි. 2014දී “විකල්ප නොබෙල් ත්‍යාගය” ලෙස හැඳින්වෙන Right Livelihood Award සම්මානය ඔහුට පිරිනැමිණි.

එහෙත් ඔහු කිසිදා උඩඟු ලෙස මෙම ගෞරවයන් පැළඳ ගත්තේ නැත. ඔහුගේ මතය අනුව, එම ගෞරවයන් අයිති වූයේ ඔහුගේ ලේඛනවලින් ධෛර්යය ලෝකයට හඳුන්වා දුන් වින්දිතයන්ටය.

මෙල්බර්න්හි බැසිල්

2000 දශකයේ මුල් භාගයේදී අපගේ ආරාධනය පිළිගෙන බැසිල් ඕස්ට්‍රේලියාවට පැමිණියේය. මටද සම්බන්ධ වීමට භාග්‍ය ලැබුණු People for Human Rights and Equality (PHRE) සංවිධානයේ රැස්වීම් ඇතුළු මෙල්බර්න්හි මානව හිමිකම් සමුළු කිහිපයකදී ඔහු අදහස් දැක්වීය.

ඔහුගේ පැහැදිලි බවත්, හාස්‍ය රසයත්, නීතියේ ආධිපත්‍යය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ලියා ඇති වචන පමණක් නොව සමාජයේ අන්ත දුප්පත්ම පුද්ගලයාට පවා සැබෑවක් විය යුතු බවට ඔහු දැක්වූ දැඩි අවධාරණයත් මට අද මෙන් මතකය.

සහයෝගීතාවයට දේශසීමා නොමැති බවත්, ශ්‍රී ලංකාවේ පොලිස් සිර මැදිරියක් යනු අප සියලු දෙනාගේම සැලකිල්ලට භාජනය විය යුතු කරුණක් බවත් ඔහු අපට සිහිපත් කළේය.

අතුරුදන් වූවන් වෙනුවෙන් කරන ආයාචනය

බැසිල් දශක ගණනාවක් පුරා අතුරුදන් වූවන්ගේ පවුල් සමඟ උරෙන් උර ගැටී සිටියේය. ශ්‍රී ලංකාව පුරා—උතුර, නැගෙනහිර සහ දකුණේත්—මව්වරු, බිරින්දෑවරු සහ දරුවෝ තවමත් තම ආදරණීයයන්ට සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට මග බලා සිටිති.

බොහෝ දෙනා එසේ බලා සිටිමින්ම වියපත් වී ඇත. ඇතැමෙක් කිසිදු පිළිතුරක් නොලබාම මිය ගොස් ඇත. ඔහුගේ Looking for Raju කවියේ දක්වා ඇති දෙමව්පියන් මෙන්, ඔවුහු කිසිදා තම ප්‍රශ්නය ඇසීම නතර කලේ නැත.

බැසිල්ට දක්වන ගෞරවයක් ලෙස, මෙම පවුල්වලට යුක්තිය ඉටු කරන ලෙස මම ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි.

එයින් අදහස් වන්නේ අතුරුදන් වූවන්ගේ ඉරණම සහ සිටින ස්ථානය පිළිබඳ සත්‍යය ඔවුන්ට පැවසීමය; වගකිවයුත්තන් ස්වාධීන හා විශ්වසනීය පරීක්ෂණ සහ නඩු පැවරීම් මඟින් වගවීමට යටත් බවට පත් කිරීමය; අර්ථවත් වන්දි ලබා දීමය; එමෙන්ම රාජ්‍යයේ නියෝජිතයන් විසින් රැගෙන ගිය තම ආදරණීයයෙකු සොයා යාමට ශ්‍රී ලංකාවේ කිසිදු පවුලකට යළිත් කිසිදා සිදු නොවන බවට සහතික කිරීමය.

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (Office on Missing Persons) ශක්තිමත් කිරීමත්, දීර්ඝ කාලයක් පුරා පැවති දඬුවම් නොලැබීමේ සංස්කෘතිය අවසන් කිරීමත්, මෙම ප්‍රශ්න වෙනුවෙන් කිසිදා තම හඬ නිහඬ නොකළ මිනිසෙකුට ලබා දිය හැකි වඩාත්ම අර්ථවත් ස්මාරකය වනු ඇත.

සමුගැනීම

ඔහුගේ ආදරණීය බිරිඳටත් දියණියටත් අපගේ ගැඹුරු ශෝකය පිරිනමමි. ඔහුගේ පිටුවහල් ජීවිතයත්, අරගලයත්, දිගුකාලීන සේවයත් ඔවුහු ඔහු සමඟ බෙදා හදා ගත්හ.

ආසියානු මානව හිමිකම් කොමිසමේත්, ආසියානු නීති සම්පත් මධ්‍යස්ථානයේත් ඔහු සමඟ කටයුතු කළ ඔහුගේ සහෝදර සටන් සගයන් සහ සහකාරයන් සමඟද, ඕස්ට්‍රේලියාවේ PHRE සහ Australian Advocacy for Good Governance in Sri Lanka (AAGGSL) හි අපේ මිතුරන් සමඟද, ඔහුගේ මඟ පෙන්වීමෙන් හා ආදර්ශයෙන් ශක්තිය ලැබූ ආසියාව පුරා සිටින අසංඛ්‍යාත මානව හිමිකම් රක්ෂකයන් සමඟද අපි මේ ශෝකය බෙදා ගනිමු.

යුක්තිය ඉවසීමෙන් ගොඩනැඟිය යුතු දෙයක් බව බැසිල් විශ්වාස කළේය—සිද්ධියෙන් සිද්ධියටත්, හඬකින් හඬකටත් යුක්තිය ගොඩනැඟිය යුතුය.

ඔහුට ගෞරව දැක්විය හැකි හොඳම ආකාරය වන්නේ ඔහු ආරම්භ කළ එම කාර්යය ඉදිරියට ගෙන යාමය.

සමුගන්නෙමු, ආදරණීය සහෝදරය. ඔබේ හඬ කිසිදා නිහඬ කළ නොහැකිය.

2026 ඔක්තෝබර් 1

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image