ධීවර කර්මාන්තය බිමට සමතලා වෙලා යාත්‍රා 75%ක් මුහුදු යන්නේ නැහැ

ධීවර කර්මාන්තය බිමට සමතලා වෙලා යාත්‍රා 75%ක් මුහුදු යන්නේ නැහැ

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙරට විවිධ ක්ෂේත්‍රවල ගැටලු රැසක් මතු වී ඇති බව නොරහසකි.

සිය යාත්‍රා සඳහා ඉන්ධන සපයා ගැනීමට අපොහොසත් වීමෙන් ධීවර කර්මාන්තය ද මේ වන විට පත් ව ඇත්තේ දැඩි අසීරුතාවකට බව ධීවර ප්‍රජාව පවසයි.

සිය කර්මාන්තය සඳහා අවශ්‍ය පරිදි ඉන්ධන ලබා දෙන ලෙස ධීවරයින් ඉල්ලා සිටින්නේ ඉන්ධන ගැටලුව ආරම්භ වූ වකවානුවේ සිට වුව ද මේ වන තෙක් ඔවුන්ට නිසි විසඳුම් නොලැබුණු බවට ඔවුහු චෝදනා නගති.

මේ පිළිබඳව අනිද්දා වෙත අදහස් දක්වමින් එක්සත් ධීවර හා ධීවර කම්කරුවන්ගේ සමිතියේ ප්‍රධාන ලේකම් එම්. විජේන්ද්‍ර මෙලෙස ප්‍රකාශ කර සිටියේ ය.

‘ධීවර අමාත්‍යාංශයෙන් සියලු ඉන්ධනහල් දැනුවත් කරලා තියෙනවා ධීවරයන්ට නියමිත වෙලාවට ඉන්ධන ටික දෙන්න. මොකද ඒ අය රෑට මුහුදු යන්නෙ. පාන්දරට ගොඩට එන්නෙ, ඒ අයට පෝලිම්වල ඉන්න බැහැ. ඒ නිසා ප්‍රධාන බෙදුම් මධ්‍යස්ථානවලින් ධීවරයන්ට අවශ්‍ය ඉන්ධන යම්කිසි ක්‍රමයකට අනුව වෙනම නිකුත් කරන්න කියලා. නමුත් ඒක මොනම ඉන්ධන පිරවුම්හලකවත් සිද්ධ වුණේ නැහැ.’

ධීවරයන්ට සිදු ව ඇති අසාධාරණකම් සහ ඉන්ධනහල්වල සිදුවන අක්‍රමිකතා පිළිබඳවද ඔහු මෙලෙස සිය අදහස් ප්‍රකාශ කර සිටියේ ය.

‘ඉන්ධන පිරවුම්හල්වල තමයි සියලුම දූෂණ සහ අක්‍රමිකතා සිද්ධ වෙන්නෙ. හේතුව තමයි ඒ අය දැන් ටෝකන් එකක් නිකුත් කරනවා. නිකුත් කරන ටෝකන් එතන ඉන්න පාතාලෙ අයයි, කුඩුකාරයොයි, එකම පවුලෙ කිහිපදෙකුයි අතරෙ බෙදිලා යනවා සහ සමහරු ඒ ටෝකන් එළියෙ විකුණනවා. මේක හැම තැනම දකින්න තියෙන දෙයක්.’

ධීවර කටයුතු සඳහා ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන භූමිතෙල් මිල අනෙකුත් ඉන්ධන වර්ගවලට සාපේක්ෂව ඉහළ නොගිය ද අවශ්‍ය තරමට භූමිතෙල් ලබා ගැනීමට නොහැකි වීමම විශාල ගැටලුවක් බව විජේන්ද්‍රන් වැඩිදුරටත් පවසයි.

‘අපි පාවිච්චි කරන්නෙ භූමිතෙල්, එන්ජිම ක්‍රියාත්මක කරන්න පෙට්‍රල් සහ ලිහිසිකාරකයක් විදිහට යොදනවා එන්ජින් ඔයිල්. භූමිතෙල් මිල දැන් ටික කාලයක් ස්ථාවරව තිබුණාට අනෙක් ඉන්ධන සියල්ල අහස උසට ගණන් ගිහින් තියෙන්නේ. ඒකෙන් විශාල පාඩුවක් තියෙනවා මේ ධීවර කර්මාන්තය කරගෙන යාමට. බහුදින යාත්‍රා ගත්තාම ඒ අයට අවශ්‍ය ඉන්ධන නිසි වෙලාවට ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් මීගමුව වගේ ප්‍රදේශවලට.

බෝට්ටුවට දැල් පටවලා අයිස් ගහලා සේරම සූදානම් කරලා තියලා තෙල් ගන්න ආවම තෙල් ඉවරයි කියනවා. එතකොට එතනත් අපිට පාඩුයි. තෙල් නැති එක තව පාඩුවක්. මුහුදු යන්න බැරි වෙන එක තවත් පාඩුයි. අනික් අය තෙල් අරන් යන්නෙ ගෙදර. අපි තෙල් අරන් යන්නෙ මුහුදට. අපිට ප්‍රමාණවත් විදිහට ඉන්ධන ලැබෙන්න ඕනෑ. මේක අනිවාර්යයෙන් ම බෙදුම්කරුවන්ගේ ප්‍රශ්නයක්. එක අතකින් තෙල් නැහැ. එක අතකින් තෙල් ආවත් ගන්න විදිහක් නැහැ. සතියට දවස් දෙකයි තුනයි තෙල් ලැබෙන්නේ. ඒ ලැබෙන එකත් දහස් ගණන් පෝලිම් මැද අපිත් ඉන්න ඕනෑ. මේක කිසිම පිළිවෙළක් නැති ක්‍රමවේදයක්. උදේ ඉඳන් හවස් වෙනකන් පෝලිමේ ඉඳලා අපි කොහොමද මුහුදු යන්නෙ. මේකයි දැනට අපිට තියෙන ලොකු ම ගැටලුව.’

නිසි ක්‍රමවේදයකට අනුව ඉන්ධන නිකුත් කරන ලෙස ධීවර අමාත්‍යාංශයෙන් සියලු ඉන්ධන පිරවුම්හල් දැනුවත් කර ඇතත් එය මෙතෙක් සිදු වී නොමැති බවට ඔහු චෝදනා එල්ල කරයි.

‘ධීවර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරු, සහකාර අධ්‍යක්ෂවරු ආදි සියලු නිලධාරීන් සමග අපි සාකච්ඡා කරලා තියෙන්නේ ඉන්ධන නිසි ක්‍රමවේදයකට බෙදා හැරීම ගැන. නමුත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි, ඉන්ධන පිරවුම්හල්වල හිමිකරුවොයි අතේ මේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වීම තියෙන්නේ. අපි අවශ්‍ය ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පිහිටි ඉන්ධනහල් හිමිකරුවන් ගෙනල්ලා දැනුවත් කළා මේ ඉන්ධන අවශ්‍යතාව පිළිබඳ සලකා බලන්න කියලා. නමුත් මේ ඉන්ධනහල් හිමිකරුවන් ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා ධීවරයින්ට වෙනම පෝලිමක් දෙන්න බැහැ කියලා. හැබැයි පෞද්ගලික බස් රථවලට ඉන්ධන නිකුත් කරන එක, ඒ අයගෙ අවශ්‍යතාව පරිදි කෑන්වලට ඉන්ධන ගබඩා කරගන්න ඉඩ දෙන ඒවා සියල්ල හැම පිරවුම්හලක ම අඩු නැතුව සිද්ධ වෙනවා.’

අත්‍යවශ්‍ය සේවා ගණයට ගිලන් රථ පමණක් ඇතුළත් කිරීම නිසා පසුගිය දා ප්‍රාදේශීය ලේකම්වරුන් අත්‍යවශ්‍ය සේවාවන්ට ඉන්ධන ලබා දීමට ඔවුන් සැකසූ ක්‍රමවේදය අතහැර එම කටයුත්තෙන් ඉවත් වීමේ සිදුවීම පිළිබඳව ලේකම්වරයා මෙලෙස අදහස් දැක්වීය.

‘මීට දවස් කිහිපයකට උඩදී තවත් සිදුවීමක් වුණා. ලංකාවෙ සියලුම ප්‍රාදේශීය ලේකම්වරු අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්ගෙ චක්‍රලේඛයකට අනුව ක්‍රමවේදයක් හැදුවා අත්‍යවශ්‍ය සේවාවන්ට ඉන්ධන නිකුත් කරන්න. ඒ යටතට ධීවර, කෘෂිකර්ම, මුද්‍රණ වගේ අංශ අයත් වුණා. ඒ ක්‍රමවේදය සකස් කරමින් යද්දී වර්තමාන ඛනිජ තෙල් අමාත්‍යවරයා කිව්වා අත්‍යවශ්‍ය සේවා යටතට ගැනෙන්නේ ගිලන් රථ පමණයි කියලා. එතකොට ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය මේ වැඩෙන් ඉවත් වුණා, ගිලන් රථවලට විතරක් තෙල් දෙන්න ඒ අය අවශ්‍ය නැහැ සහ ගිලන් රථවලට ඉන්ධන නිකුත් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනම ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරලා.’

අප කළ විමසීමේ දී ධීවර සංවිධාන එකමුතුවේ කාරක සභික ජූඩ් නාමල් දැක්වූයේ මෙවන් අදහසකි.

‘පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් මිල ඉහළ යාමත් භූමිතෙල් ඇතුළු ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුවීමත් නිසා ධීවරයන්ට සිය වෘත්තිය කරගෙන යාමට නොහැකි වෙලා තියෙනවා මේ වෙද්දි. මුහුදු ගියත් තේරුමක් නැහැ විකිණෙන මාළු ප්‍රමාණය වියදම පියවීමට තරම්වත් නොමැති වුණාම. අපි කොහොමද ගොඩට ගේන මාළු ප්‍රවාහනය කරන්නෙ වාහනවලට ඉන්ධන නැතිව. ධීවරයො මුහුදෙත් ගොඩබිමත් දෙතැනම අසරණ වෙලා.’

ඉන්ධන පමණක් නොව ඒ හා සාපේක්ෂව සියලු දේ මිල ඉහළ යාම නිසා ධීවරයින් කබලෙන් ළිපට වැටී ඇති බවත් පවතින රජය මගින් ඔවුනට කිසිදු සහනයක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

‘ආර්ථික බර උසුලන්න බැරි නිසා යෙදවුම්වලට මුදල් වෙන් කරගන්න අපට බැහැ. ප්‍රමිතියෙන් තොර දැල් සහ අනෙකුත් ආම්පන්න දැන් පරණයි සහ පාවිච්චි කළ නොහැකි තත්ත්වයේ තියෙන්නේ. ඒවා මිල දී ගන්න බැහැ මේ තත්ත්වය මත. බහුදින ධීවර යාත්‍රාවල මිල සය ගුණයකින් පමණ ඉහළ ගිහින්. ඒවට අවශ්‍ය ෆයිබර් ගෑස් ගන්න විදිහක් නැහැ. බෝට්ටු නිෂ්පාදන යාත්‍රාංගණවල කටයුතු සම්පූර්ණයෙන් ම නවත්තලා දාලා තියෙන්නේ මේ වෙද්දි. ඒවගේ ම යාත්‍රාවල අලුත්වැඩියා කටයුතු කරන්නත් විශාල මුදලක් වැය කරන්න සිදු වෙනවා පවතින තත්ත්වයත් එක්ක. ඒ හා සාපේක්ෂව අයිස් කර්මාන්තය පවා කඩා වැටීමට ලක්වෙලා. ධීවර කාන්තාවො සහ දරුවො කරකියා ගත නොහැකිව අසරණව ඉන්නෙ. දරුවො පාසල් යන්නෙ කොහොමද. තුන් වේල කන්නෙ කොහොමද?

රාජ්‍ය මේ වෙද්දි ධීවර ජනයා අතහැරලා දාලා ඉවරයි කියලා තමයි අපිට නම් හැඟෙන්නෙ. ධීවර අමාත්‍යාංශ තියෙනවා, ඒ හා අනුබද්ධ කාර්යාලය තියෙනවා ඒවායෙ අධ්‍යක්ෂවරු, නිලධාරීන් ඉන්නවා. නමුත් ධීවර ජනතාවට සැලසුණු සෙතක් නෑ. ධීවර කර්මාන්තය මුළුමනින් ම බිමට සමතලා වෙලා.’

තවදුරටත් අදහස් දක්වමින් එක්සත් ධීවර හා ධීවර කම්කරු සමිති සභාපති වර්ණකුලසූරිය මැක්සිමස් මෙසේ පැවසීය.

‘ඉන්දික අනුරුද්ධ හිටපු මන්ත්‍රීවරයා අපිත් එක්ක සාකච්ඡා කරලා තිබුණා සහ තෙල් එවන බවට පොරොන්දු වුණා. නමුත් ඒ කිසිවක් සිදු වුණේ නැහැ. ධීවරයන්ට වෙන් වුණ ඉන්ධන පිරවුම්හල් තියෙනවා. ඒවායෙ අපිට ප්‍රමාණවත් විදියට තෙල් ගන්න නැහැ. මීට දින කිහිපයකට ඉහත බැසියාවත්ත ඉන්ධන පිරවුම්හලට ධීවරයින් පිරිසක් පහර දීලා තියෙනවා මේ තෙල් අර්බුදය නිසා. තමන්ගෙ ජීවිකාව කරගන්න නොහැකිව ඔවුන් ඉන්නෙ දැඩි පීඩනයකින්. මේකට කඩිනමින් විසඳුම් අවශ්‍යයි කියලා තමයි අපිට කියන්න තියෙන්නෙ. සම්පූර්ණ ධීවර කර්මාන්තය ම බිඳ වැටෙනවා විසඳුම් නොලැබුණොත්.’

මේ වන විට කුඩා යාත්‍රා සඳහා ඉන්ධන ලැබෙන්නේ අවශ්‍ය ප්‍රමාණයෙන් 20%ක් පමණ වන බව ද ධීවර යාත්‍රා 12000ක් පමණ මුහුදු ගමන් අතහැර දමා ඇති බව ද ධීවරයෝ ප්‍රකාශ කළහ. මැයි ජූනි ජූලි අගෝස්තු යන මාස ලංකාවේ වැඩිම මත්ස්‍ය අස්වැන්නක් ලබා ගත හැකි කාල වකවානුව බවත් ඛනිජ තෙල් ඇමතිවරයා, ධීවර ඇමතිවරයා සහ අදාළ බලධාරීන් එක් ව මේ කටයුතු හැකි ඉක්මනින් නිරවුල් නොකළහොත් ධීවර කර්මාන්තයේ ඉරණම ඛේදාන්තයක් වනු නොවැළැක්විය හැකි බවත් ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

කෙසේ නමුත් පසුගිය මාර්තු මස ධීවර සම්මේලනයේ ජාතික මහා සභාවට සම්බන්ධ වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ප්‍රකාශ කළේ පවතින ඉන්ධන ගැටලුව නිසා ධීවරයන්ට යම් අපහසුතාවක් මතු වී ඇත්නම් ඒ සඳහා කඩිනම් විසඳුම් දීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට උපදෙස් දුන් බවයි. එමෙන්ම මෙම රජය බලයට පත්වීමෙන් පසු ධීවර මහා සම්මේලනයේ ජාතික සභාව කැඳවීම තුළින් රටේම ධීවර සංවිධානවල නියෝජිතයන් හමු වී සමස්ත ධීවර ජනතාවගේ ගැටලු පිළිබඳ පැහැදිලි අවබෝධයක් තමන්ට ලැබුණ බවද ඇමැතිවරයා කීය. මෙහිදී ධීවර නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලද සියලු ගැටලු පිළිබඳ තමන්ගේ විශේෂ අවධානය යොමු කරන බවත්, ඒවා විසඳීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් පැවැසූ ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ධීවර ජාතික මහා සම්මේලනය ශක්තිමත් සංවිධානයක් ලෙස ගොඩනඟන බවයි. අද මැයි 25 වනදායි. ඊයේ නැවත වතාවක් ධීවර අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසු සිය අමාත්‍යාංශයට පැමිණ පෙරේදා (මැයි 23) පෙරවරුවේ රාජකාරි ආරම්භ කරමින් පැවැසූයේ ද ධීවර ජනතාව මේ වන විට මුහුණ දී ඇති ගැටලු සඳහා කඩිනමින් විසඳුම් දීමට පියවර ගන්නා බවයි. ඒ අනුව අපට විමසීමට ඉතිරිව ඇත්තේ ඇත්තේ ඩග්ලස් දේවානන්ද මහතාගේ ‘කඩිනම් විසඳුම් ලබා දීම’ සිදු වීමට තව කොපමණ මාස ගණනක් ගත වන්නේ ද යන්න පමණි.

ධනුෂි ලිහිණිකඩුව (anidda)