‘සමෘද්ධි – විශ්‍රාම වැටුප් කඹ ඇදීමෙන්‘ වසර හයක් තිස්සේ කොට අදින ‘මවගේ අවනඩුව‘

‘සමෘද්ධි – විශ්‍රාම වැටුප් කඹ ඇදීමෙන්‘ වසර හයක් තිස්සේ කොට අදින ‘මවගේ අවනඩුව‘
  • දිවි නැගුම – විශ්‍රාම වැටුප් බලධරයෙනි, සමෘද්ධි සංවර්ධන නිලධාරී  ඩබ්ලිව්. ඩී. ලයනල් සෝමතිලක මහතාගේ බිරියට යුක්තිය ඉටුවන්නේ කවදාද ?

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එම අඩුපාඩුව සමෘද්ධි අධිකාරියට පවරද්දී සමෘද්ධි සංවර්ධන අධිකාරිය එය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පවරමින් ලිපිවලට පමණක් සීමා කරමින් සමෘද්ධි සංවර්ධන නිලධාරී  ඩබ්ලිව්. ඩී. ලයනල් සෝමතිලක මහතාගේ විශ්‍රාම වැටුප වසර හයක පමණ කාලයක් ලබා නොදීම තිබීම විශේෂත්වයකි.

| මිය ගිය සමෘද්ධි නිලධාරී ලයනල් සෝමතිලක මහතා

පිළිකාවක් වැළදී මිය ගිය සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු වන තම සැමියාගේ විශ්‍රාම වැටුප ලබා ගැනීමට වසර හයක් තිස්සේ රජයේ නිලධාරීන්ගේ පසුපස යන බිරිඳක් පිළිබද තොරතුරක් ගලේවෙල බෙලිගමුව ඔයදෙක කැලේ ගම්මානයෙන් වාර්තාවෙයි.

මාතලේ දිස්ත්‍රික්කයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව හෙවත්  සමෘද්ධි  සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගලේවෙල  ප්‍රදේශයේ  සේවය කරමින් සිටියදී ඩබ්ලිව්. ඩී. ලයනල් සෝමතිලක නැමැති සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයා 2015.10.15 දින පිළිකා රෝගයක් හේතුවෙන් මියගොස් තිබේ.

එදා සිට අද දක්වා වසර හයක කාලයක් ජනාධිපති  වරයාගේ සිට පහළම නිලධාරීන් දක්වා තම සැමියාගේ විශ්‍රාම වැටුප සකසා ගැනීම සඳහා දිව ඇවිද ගිය හා ලිපි ලියූ  සමෘද්ධි සංවර්ධන නිලධාරියා ගේ බිරිද වන තේජාවති ආරියදාස මහත්මියට මෙතෙක් සිය අරමුණ ඉටුකර ගැනීමට හැකි වී නැත.

‘‘ සැමියා මිය ගිය දා සිට, අවුරුදු හයක් තිස්සේ මම මේ අවනඩුව ගැන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, සමෘද්ධි සංවර්ධන අධිකාරිය දීස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙන්ම වර්තමාන ජනාධිපතිවරයාට පවා ලිඛිතව  දැනුම් දුන්නා. නමුත් ඒ සියල්ල ලිපි වලට පමණක් සීමා වුණා‘  ආරියදාස මහත්මිය තම ලිපි ගොනු පෙන්වමින් හඬා වැටෙමින් අප සමඟ පැවසුවාය.

ගැහැණු දරුවන් තිදෙනෙකුගේ මවක් වන ඇය මේ වන විට ලී මෝල් වලට ගස් කොටන්  ලොරි වලට පැටවීමේ  කුලී වැඩ කරමින් සිටින්නීය. ලොරි  රථයකට කොට ලෝඩ් එකක් පැට වූ  විට ඇයට ලැබෙන රුපියල් 500ක මුදලෙන් සිය පවුල ජීවත් කරවන ගමන් උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන තම බාල දියණියගේ අධ්‍යාපන කටයුතු ද කරන බව ඇය පැවසුවාය.

සැමියා මිය යෑමෙන් පසුව තමන්ගේ වැඩිමහල් දියණියන් දෙදෙනා ද විවාහ කර දීමට සිදුවූ බවත් එසේ සිදු වූයේ තමන්ට පවුල් නඩත්තු කර කරගැනීමට නොහැකි වීම නිසාවෙන් බවත් ඇය හඬා වැටෙමින් අප සමග පැවසුවාය.

නොම්මර 60 බි  ඔයදෙකකැලේ, බෙලිගමුව, ගලේවෙල, යන ලිපිනයේ පදිංචි තේජාවති  ආරියදාස මහත්මිය තමාට  සිදුව ඇති මේ අසාධාරණය පිළිබඳව අදාළ පාර්ශ්ව දැනුවත් කර සහනයක් ලබා ගැනීමට උපකාර කරන ලෙස ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියාය.

‘‘මෙම කරන්නේ ගෑනියෙකුට කරන්න පුළුවන් රස්සාවක් නෙමෙයි. ඒත් මම කියලා වෙන මොනවා කරන්න ද? ඒ නිසයි සැමියට නීතියෙන් හිමිවිය යුතු විශ්‍රාම වැටුප ලබා ගැනීමට මම උත්සාහා කළේ. ළමයි ඉන්න නිසා ඒක මට තවත් වටිනවා. විශේෂයෙන් පාසල් යන ගැහැනු දරුවෙක් ඉන්නවා. අනෙක් දරුවෝ දෙන්නා විවාහා කරලා දෙන්න වුණෙත් මට කිසිවක් කරකියා ගන්න බැරි වුණ නිසා. මම මේ ගැන කියන්න ඕනෑ හැම නිලධාරියෙකුටම කිව්වා. ආයාචනා කළා. ඔවුන් ළගට ගොස් හඬා  වැටුණා. ඒත් මට ලැබුණේ තරවටු කිරීම් පමණයි‘‘

‘‘තවත් මට කියන්න කෙනෙක් නැහැ. යන්න තැනක් නැහැ. ඒ හැම දෙනාට කිව්වා. ගියා. ඒත් අවුරුදු හයක් පුරා මට ලැබුණේ කොළ කෑලි විතරයි. ඒ නිසා වෙන කියන්න කෙනෙක් නැති නිසා අවසානයේදී මේ අවනඩුව ගැන රටට කියන්න හිතුවා. ඒ හරහාවත් මේ බලධාරීන්ගේ ඇස් අරෙයි කියලා මම හිතනවා‘ ඇය පැවසුවාය.

‘‘මේ කරන්නේ ගෑනියෙකුට කරන්න පුළුවන් රස්සාවක් නෙමෙයි. ඒත් මම කියලා වෙන මොනවා කරන්න ද? ඒ නිසයි සැමියට නීතියෙන් හිමිවිය යුතු විශ්‍රාම වැටුප ලබා ගැනීමට මම උත්සාහා කළේ. ළමයි ඉන්න නිසා ඒක මට තවත් වටිනවා. විශේෂයෙන් පාසල් යන ගැහැනු දරුවෙක් ඉන්නවා. අනෙක් දරුවෝ දෙන්නා විවාහා කරලා දෙන්න වුණෙත් මට කිසිවක් කරකියා ගන්න බැරි වුණ නිසා. මම මේ ගැන කියන්න ඕනෑ හැම නිලධාරියෙකුටම කිව්වා. ආයාචනා කළා. ඔවුන් ළගට ගොස් හඬා  වැටුණා. ඒත් මට ලැබුණේ තරවටු කිරීම් පමණයි‘‘

නිතර නිතර රාජ්‍ය නිලධාරීන්ට සහ වෙනත් දන්නා කියන අයට තම  සැමියාගේ විශ්‍රාම වැටුප් සකසා ගැනීමට උදව් ඉල්ලීම්ට ගිය ද තමාට හිමිවන්නේ තාඩන පීඩන පමණක් බවත් ඇය පැවසුවාය.

වර්තමාන ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතාට ද  මෙම අවනඩුව ගැන ලිඛිතව දැනුම් දී තිබේ. ඊට පිළිතුරු වශයෙන් ජනාධිපතිවරවරයා ගේ නියෝග පරිදි අදාළ අංශ වෙත ජනාධිපති ලේකම් කාර්යාලය ලිඛිතව දැනුම්දී  ඇත්තේ ඇයට සාධාරණය ඉටුකරන ලෙසයි

ආයතන අතර අවුලෙන් සිදුවන පීඩාව

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ වර්තමානයේ සමෘද්ධි සංවර්ධන අධිකාරියේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ලිපි හුවමාරු වලින් දන්වා ඇත්තේ මෙම ආයතන දෙක අතර සබඳතාවල සහ ලිපිගොනු නඩත්තු වේ දී සිදු වූ අඩුපාඩුවක් නිසා මෙම  ප්‍රමාදය සිදුව ඇති බව ය.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එම අඩුපාඩුව සමෘද්ධි අධිකාරියට පවරද්දී සමෘද්ධි සංවර්ධන අධිකාරිය එය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පවරමින් ලිපිවලට පමණක් සීමා කරමින් සමෘද්ධි සංවර්ධන නිලධාරී  ඩබ්ලිව්. ඩී. ලයනල් සෝමතිලක මහතාගේ විශ්‍රාම වැටුප වසර හයක පමණ කාලයක් ලබා නොදීම තිබීම විශේෂත්වයකි.

වර්තමාන ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතාට ද  මෙම අවනඩුව ගැන ලිඛිතව දැනුම් දී තිබේ. ඊට පිළිතුරු වශයෙන් ජනාධිපතිවරවරයා ගේ නියෝග පරිදි අදාළ අංශ වෙත ජනාධිපති ලේකම් කාර්යාලය ලිඛිතව දැනුම්දී  ඇත්තේ ඇයට සාධාරණය ඉටුකරන ලෙසයි. එහෙත් සමෘද්ධි සංවර්ධන අධිකාරිය හෝ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ජනාධිපති ලේකම්වරයාගේ ලිපිය තුට්ටුවකට මායිම් කර නොමැති බව ආරියදාස මහත්මිය අප සමග පැවසුවාය

මෙම  අසාධාරණය පිළිබඳව  විමසීම් සඳහා අප සමෘද්ධි සංවර්ධන අධ්‍යක්ෂක  ජනරාල් බන්දුල තිලකසිරි මහා මහතා  සම්බන්ධ කර ගැනීම් සඳහා දින එක හමාරක පමණ කාලයක් දැඩි උත්සාහයක නිරත වුණෙමු. එහි  දුරකථනය ‍ ලබාගන්නා  නිලධාරියා කළේ තම අධ්‍යක්ෂක ජෙනරාල්වරයා  සම්බන්ධ කර ගැනීම සඳහා විවිධ වේලාවන් ලබාදීම පමණි. ඒ වේලාවන් වලට ඇමතීමේදී නැවතත් වේලාවක් ලබා දීම විශේෂත්වයකි.

බලධරයෙනි, මේ මවට පිළිසරණයක් වන්නේ කවදාද ?

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල (ලංකාඉප්‍රෙස්)