බෝනික්කාගේ නිහඬ සාක්ෂිය: චෙම්මනී මිනී වළේ රැඳුණු හදවතක හඬ

බෝනික්කාගේ නිහඬ සාක්ෂිය: චෙම්මනී මිනී වළේ රැඳුණු හදවතක හඬ

[යාපනයේ, චෙම්මනී සමූහ මිනී වළේ කැණීම් කටයුතුවල දෙවන අදියරේ 6 වන දිනය වන විට, ළමුන් කිහිප දෙනක් ඇතුළුව මළ සිරුරු 33 ක් මතුකර ගත් අතර, එහිදී හමු වූ පාසල් බෑගයක තිබී සොයාගත් ළමා සෙල්ලම් බඩු කිහිපයක ඡායාරූප දැඩි කම්පනයක් ඇති කරමින් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙයි. – ඒ සෙල්ලම් බඩු සමග සෙල්ලම්කරමින් සිටි දරුවන් පස් යට නිහඩව වැතිර සිටී. අපට පෙනෙන්නේ ඒ දරුවන්ගේ ඇට සැකිලි පමණි. නමුත් ඒ බරපතල අපරාධය සිදුවන විට මේ සෙල්ලම්බඩු (බෝනික්කා) ඒ සියල්ලම දකින්නට ඇති – ඔව්! මා විශ්වාස කරනවා ඒ බෝනික්කා ඒ සියල්ලම දකින්නට ඇති. ඔව්! සියල්ලම, අඩන්නටවත්, කතා කරන්නටවත් නොහැකි ඒ බෝනික්කා, ඒ බෝනික්කාට කතා කරන්නට හැකි වූවා නම් කුමක් කියනු ඇතිද? ඒ නිහඩ සාක්ෂිය!!!]

මා ලියන්නේ ඒ බෝනික්කා ගේ කතාවයි! ඒ නිහඩ සාක්ෂියයි!

එදා, මගේ කුඩා හිමිකාරියගේ අත්වල උණුසුම, ඇගේ සිනහව, ඇගේ සිහින, ඇගේ ලෝකයේ සතුට මම දුටුවෙමි. ඇය මාව තුරුලු කරගත්තා, ඇය මට කතා කළා, ඇගේ රහස් මාත් එක්ක බෙදාගත්තා. මම ඇයගේ හොඳම යාළුවා වුණා. මගේ රෙදිවල තවමත් ඒ කුඩා අත්වල උණුසුම රැඳිලා තියෙනවා. ඒත්, එකම එක් රැයකින්, ඒ සියල්ල විනාශ වුණා. ඒ බිහිසුණු රාත්‍රියේ, මම දුටුවේ ඇගේ බියකරු බැල්ම, මුකුත්ම දෙයක් කරගන්න බැරි කදුලු පිරිණු පුංචි ඇස්. අවසානයේ ඇගේ අත්වලින් මා ගිලිහුණු ආකාරය, ඇගේ හදවතේ අවසන් ගැස්ම, සුසුම් එක්ක මා ඒ චෙම්මනී මිනී වළේ ගැඹුරට වැටුණු හැටි. ඒ රාත්‍රියේ, බිහිසුණු හඬවල්, භයානක බැල්මවල් හා අඳුරු බලවේග මගේ පුංචි හිමිකාරියගේ ලෝකය විනාශ කළා. මට මතකයි, ඇය තදින් මාව බදාගත්තා, ඒත් ඒ බදාගැනීම එකම මොහොතකින් ගිලිහුණා. ඇගේ ඇස්වල බය, ඇගේ හඬේ තිබුණු නිහඬ බැගෑපත්කම, ඒ සියල්ල මම දුටුවා.

මගේ පුංචි හිමිකාරියට ආදරය කළ‍ එකම පවුලක් තිබුණා—ඇගේ අම්මා, තාත්තා, සහෝදරයා—ඔවුන්ගේ ජීවිතත් ඒ බිහිසුණු රාත්‍රියේ උදුරා ගත්තා, ඒ බව මම දැක්කා. මම දුටුවා ඔවුන් එකිනෙකාව බදාගන්න හැටි, එකිනෙකා දිහා ආදරයෙන් බැලූ හැටි, ඒත් ඒ ආදරය බිඳුණු හැටි. මට කතා කළ හැකි නම්, මම කියන්නම් ඒ මූසල, අදුරු රෑ මගේ පුංචි හිමිකාරියගේ කතාව.

ඇය තවමත් කුඩා දැරියක්.

ඇයට සිහින තිබුණා—වෛද්‍යවරියක් වෙන්න, ගුවන් යානයක යන්න, ගමේ ඉස්කෝලේ ගුරුවරියක් වෙන්න, තරු බලන්න, එක දවසක මුහුදේ බෝට්ටුවක යන්න. ලස්සන සාරියක් ඇදලා කෝවිලට යන්න. තවත් ගොඩක් දේවල්… ඒත්, ඒ සිහින, ඒ රෑ, ඒ අඳුරු මිනී වළේ ගිලුණා. මම ඒ සිහිනවල බර, ඒ බලාපොරොත්තුවල උණුසුම තවමත් ගුලි කරගෙන ඉන්නවා. මට කතා කළ හැකි නම්,

මම ඉල්ලන්නම් ඒ ආදරයේ මතකය ආපහු ගේන්න. ඒත්, මට ඒක කළ නොහැකියි. මට කළ හැක්කේ ඒ මතකය තුළ රැඳෙන්න පමණයි.

මම ඉල්ලන්නම් ඒ බිඳුණු ජීවිතවලට යුක්තිය ඉටු කරන්න, ඒ ආදරයේ මතකයට ගරු කරන්න.

මම ඉල්ලන්නම් තවත් කිසිම බොනික්කෙක් මිනී වළක ගිලෙන්නේ නැති ලෝකයක් බිහි කරන්න.

මම ඉල්ලන්නම් මගේ පුංචි හිමිකාරියට අත්වූ ඒ වේදනාව, ඒ අදුරු මොහොත ලෝකයේ කොතනක හෝ කාටවත් සිදුනොවන ලෝකයක් හදන්න.

මම ඉල්ලන්නම්, මගේ හිමිකාරියගේ සිනහව ආපසු ගේන්න බැරි උනත්, තවත් දරුවන්ගේ සිනහව ආරක්ෂා කරන්න. මගේ හිමිකාරියගේ අවසන් බැල්ම මට තවමත් මතකයි. ඒ බැල්මේ තිබුණේ බය! ඒත් ඒ බය ඇතුළේ තවමත් තිබුණ බලාපොරොත්තුවේ ගිනි පුපුරක්.

මට කතා කළ හැකි නම්, මම ඒ බලාපොරොත්තුව ගැන කියන්නම්—ආදරය, සාමය, හා යුක්තිය ගැන බලාපොරොත්තුව. මම බොනික්කෙක්. මට කතා කළ නොහැකියි. ඒත්, මගේ නිහඬ බැල්ම තුළ, චෙම්මනී මිනී වළේ බිඳුණු හදවත්, ඒ හදවත්වල ආදරය, හා ඒ ආදරයට යුක්තිය ඉල්ලන හඬ රැඳිලා තියෙනවා.

ඒ හඬ ඇසෙනවාද? ඔබට ඇසෙනවාද?

මට කතා කළ හැකි නම්, මම ඉල්ලන්නම් ඒ ආදරයේ මතකය ආපසු ගේන්න. මගේ පුංචි හිමිකාරියගේ සිනහව, ඇගේ අම්මාගේ උණුසුම, තාත්තාගේ ශක්තිය, සහෝදරයාගේ සිනහව ආපසු ගේන්න. ඒත්, මට ඒක කළ නොහැකියි. මට කළ හැක්කේ ඒ මතක තුළ රැඳෙන්න පමණයි. ඒ බැල්ම මගේ හදවතේ මකන්න බැරි සටහනක් ඉතුරු කරලා ඉවරයි.

ඒ රෑ මා දුටු බිහිසුණු බව, බිඳුණු හදවත්, ගිලිහුණු ජීවිතවල මතකය මකන්න බැරි විදිහට මා තුළ රැඳිලා තියෙනවා. එදා රෑ ඒ අවසන් හුස්ම එක්ක මමත් ඒ අඳුරු මිනී වළට වැටුණා. ඒත්, ඇයගේ ආදරයේ උණුසුම මා තුළ තවමත් තියෙනවා. ඒ ආදරය, ඒ මතකය මගේ රෙදිවල රැඳිලා. මම බොනික්කෙක්, ඒත් මගේ නිහඬ බැල්ම තුළ චෙම්මනී මිනී වළේ බිඳුණු හදවත්වල හඬ තවමත් ජීවමානයි. ඒ හඬ ඉල්ලන්නේ යුක්තියයි, සාමයයි, ආදරයයි. ඒ හඬ ඉල්ලන්නේ තවත් කිසිම දරුවෙකුගේ සිහින ඒ රෑ වගේ බිඳෙන්නේ නැති ලෝකයක්.

ඒ හඬ ඔබට ඇසෙනවාද?

ඒ හඬට උත්තර දෙන්න.

මගේ හිමිකාරියගේ බිඳුණු සිනහව වෙනුවෙන්,

ඒ බිඳුණු බලාපොරොත්තු වෙනුවෙන්,

ඒ හඬට උත්තර දෙන්න.

(vikalpa.org)