කලකට පෙර කිවූ කථාවක්

කලකට පෙර කිවූ කථාවක්

"හීනෙං කියන බෙහෙත් බොරු. වෛරස වලට බෙහෙත් නෑ. සමහරු වෘත්තීය සල්ලාලයන්, ඇතමුන් ඩිජිටල් තෙල් බේත් වෙළෙන්දන්" දේශීයත්වය හෝ අපේකම: "පරිණාමයේ ආපස්සට යාම නොවෙයි"

බටහිර වෛද්‍ය විද්‍යාව හෝ දේශීය වෛද්‍ය ක්‍රම අනුව වැඩිදියුණු කළ ඖෂධයක් මහජනතාව වෙත ලබා දීමට පෙර ඊට අදාළ සෞඛ්‍ය නීති, අනුගමනය කළ යුතු පිළිගත් ක්‍රමවේද සහ මහජන ආරක්ෂාව යන කරුණු සපුරා ලිය යුතු බව වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදී සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ "දේශීයකම හෝ අපේකම විකුණමින් සති දෙකකට වරක් කුමක් හෝ කට ගැස්මක් කරළියට එනවා. සෞඛ්‍ය සේවාවට සම්බන්ධ වගකිවයුතු අයම ඒවා උස්සගෙන ඇවිල්ලා රූපවාහිනී තිර පුරවනවා. අවසානයේ මහජනතාව ඒවායේ ගොදුරු බවට පත්වෙනවා," යනුවෙනි.

"වෛරස් ලෙඩවලට මොන වෛද්‍ය ක්‍රමයේවත් බෙහෙතක් නැහැ. ඒක සිංහල වෙද්දුත් දන්නා, බටහිර වෙද්දුත් දන්න, චීන වෙද්දුත් දන්නා ඇත්තක්. වෛරස් ලෙඩවලට බෙහෙත් අවශ්‍ය නැති බව වැදි යුගයේ හිටපු අපේ මුතුන් මිත්තන් පවා දැන සිටියා. ඔවුන් පවා ඊට පිළියම් කළේ ආශ්චර්යෙන් නෙමෙයි, ස්වභාව ධර්මයට ඉඩ දීලා, රෝගය පාලනය කිරීමෙන්."

"දේශීයත්වය හෝ අපේකම" ආරක්ෂා කිරීම යනු පරිණාමයේ ආපස්සට යෑම නොවන බව පෙන්වා දෙන රවී කුමුදේශ් බටහිර වෛද්‍ය ක්‍රමය නිර්මාණය වී ඇත්තේ සෑම දේශීය ක්‍රමවේදයන්හි ඇතුළත් සිද්ධාන්ත විද්‍යාත්මකව පරිණාමය වීමෙන් බව සඳහන් කරයි.

"අපි බොන පෙති බොහොමයක තිබෙන්නේ සාදික්කාවල, හල් පොතුවල, මී පැණිවල හෝ අපි දන්නා ගහකොල, සතා සිව්පාවාගෙන් වෙන් කරගත්තු රසායනික සංයෝග මිස වෙන යමක් නෙවේ," යනුවෙන් රවී කුමුදේශ් වැඩිදුරටත් පැවසීය.