මා රජයේ පාසල් ගුරු වෘත්තියෙන් සමුගත්තේ මීට වසර හයකට පමණ පෙරයි. ගුරු වෘත්තියට බැඳුණු අලුත සිටම මම ලංකා ගුරු සංගමයේ ක්‍රියාකාරිකයෙක් වුණෙමි. 2015 වසරේ පවා ගුරු සංගම් කටයුතු වෙනුවෙන් පාසල් ගානේ යනවිට ජෝසප් ස්ටාලින් පැමිණෙන රැස්වීමකට සහභාගී වන්නට පවා ගුරුවරුන් බියක් දැක්වූහ. ලංකා ගුරු සංගමයේ උපකාරයෙන් නඩු කියා විදුහල්පතිකම් ගත් ගුරුවරුන් පවා රැස්වීමකට එන්නැයි කී විට ආවේ නැත. ගුරු වෘත්තියේ වැඩිපුර ඉන්නේ කාන්තාවන්ය. පිරිමින් වඩා එඩිතර යයි සමාජ ඒකාකෘතියක් තිබුණද ගුරු වෘත්තියේ යෙදී සිටින පිරිමි ගුරුවරුන් ද ඉතා භය පක්ෂපාත පිරිසක් බව මගේ වෘත්තීය සමිති අත්දැකීමයි.
අදින් අවුරුදු හයකට පෙර එවැනි දීන තත්වයක සිටිමින් සියලු වෘත්තීය දුක්ගැහැට ඉවසාගෙන කරබාගෙන සිටි ගුරුවරුන් මේ අන්දමින් සටන්කාමී වීම මට නම් අදහාගත නොහැකි තරම් විස්මිත තත්වයකි. කොළඹ ජනාධිපති මන්දිරය වටලන්නට යාමෙන් නතර නොවූ ගුරුවරුන් ප්‍රාදේශීය නගර මට්ටමෙන් පවා පෙළපාලි, රැස්වීම් පවත්වනු දක්නට ලැබේ. එම පෙළපාලිවලට ගුරුවරියන් දහස් ගණනින් සහභාගී වනු දක්නට ලැබීම ඇත්තෙන්ම විස්මිතය. මේ ගුරුවර ගුරුවරියන් බහුතරය පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට පත්කිරීමට ඡන්දය දුන් අයයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සැබෑ වෙනස්කම් රැසකට මුලපිරූ හිටපු අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පාර්ලිමේන්තුවෙන් පවා පන්නා දැමූ අයයි. අකිල විරාජ් මුලපිරූ ඇතැම් ඉදිරිගාමී කටයුතු අතර ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය, පාසල් සිසුන්ට ටැබ් ලබාදීම, දිගු කලක් එකම පාසලේ සිටි ගුරුවරුන්ට ස්ථාන මාරු ලබාදීම සහ ගර්භණී ගුරුවරියන්ට පහසු ඇඳුමක් හඳුන්වාදීම වැනි පියවර තිබිණි. ගුරුවරුන් මේවා පමණක් නොව, යහපාලන රජය විසින් යෝජනා කර කොටස් වශයෙන් රජයේ සේවකයන් සැමට ලබාදෙමින් තිබුණු වැටුප් වර්ධක ද ප්‍රතික්ෂේප කරමින් ඒ ආණ්ඩුව ගෙදරම පන්නා දැමූහ.
වත්මන් ආණ්ඩුව උත්සාහ කරන්නේ ගුරු උද්ඝෝෂණය ගණන් නොගෙන සිටීමෙන් එය කඩාකප්පල් කිරීමටයි. එහෙත්, රට පුරා හැම තැනකම මතුවන උද්ඝෝෂණ රැල්ල හමුවේ ආණ්ඩුව සැලී ඇති බවක් පෙනේ. ගෝඨාභය රාජපක්ෂගේ මිලිටරිකරණ ප්‍රතිපත්තිය අනුව අධ්‍යාපන වෙළඳපොළකරණය තීව්‍ර කිරීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ඉදිරිපත් කිරීම සමග විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා සිසුන් ද සටනට එක්වී තිබේ.
ආණ්ඩුව විසින් නොතකා හැරීම නිසා පරාජය වන්නට නියමිතව තිබුණු ගුරු අරගලයේ ජවය වැඩිකරමින් ඉදිරියට ගෙනයාමට ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සමත් වී තිබේ. විදුහල්පති හා ගුරු වෘත්තීය සමිති එක්වීම මෙහිදී ඉතා වැදගත්ය. විදුහල්පතිවරුන්ට ප්‍රධාන පෙළේ පාසල්වල තිබෙන බව ඔවුන් පෙන්වන බලය හේතුවෙන් ඔවුන්ට ගුරුවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ඉවත් කළ හැකිය. විදුහල්පතිවරුන්ට ඇත්තටම එවැනි බලයක් නැතිමුත්, ස්ථානමාරු කරන බවට, කාලසටහන් නොදී අතිරික්ත ගුරුවරුන් බවට පත්කරන බවට හා වෙනත් ක්‍රමවලින් ඔවුහු ගුරුවරුන් පාලනය කරගනිති.
කෙසේ වෙතත්, මෙම ගුරු වෘත්තීය සමගිය අතිශය වැදගත්ය. එය හුදෙක් වැටුප් ඉල්ලීම් මත පදනම්ව සිදුවන්නක් විය හැකිය. එහෙත්, එය එතැනින් එහාට ගෙනයාමේ හැකියාව තිබේ. විශේෂයෙන්ම, රජයට ගුරු ඉල්ලීම් ලබාදිය නොහැකි ආර්ථික හිරවීමක සිටින මේ මොහොත ඒ සඳහා ඉතා යෝග්‍යය.
ගුරු වෘත්තිය යනු අතිශය වැදගත් වෘත්තියකි. රටක අනාගත පරම්පරාවේ චින්තනය හැඩගැසීමේදී ගුරුවරයාගේ භූමිකාව ඉතා වැදගත් වේ. ගුරුවරයාගේ සුදුසුකම්, පුහුණුව හා වෘත්තිකභාවය එහිදී ඉතා වැදගත්ය. දියුණු රටවල ගුරු වෘත්තිකයන්ට ඉහළ වැටුප් ලබාදීමට හේතුව මෙයයි. ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තිය සඳහා බඳවාගැනීමේ සිටම ගැටලු රැසක් පවතී. විශේෂයෙන්ම ගුරු අධ්‍යාපනයේ මට්ටම ගැටලු සහගතය. වෘත්තිකභාවය තිබෙන්නේ පහළ මට්ටමකය. එවැනි පසුබිමක් තුළ ගුරුවරුන්ට ඉහළ වැටුප් ලබාදීමේ ඇත්ත ගැටලුවක් ද තිබේ. ,
ලංකාවේ පාසල්වල අධ්‍යාපනයේ නාමයෙන් සිදුවන්නේ මොනවාද? ඒවා ස්කැන්ඩිනේවියානු රටවල් වැනි දියුණු අධ්‍යාපන ක්‍රම පවතින රටවල් සමග සන්සන්දනය කර බැලූ විට කෙතරම් පසුගාමීද? ලංකාවේ ගුරුවරයා ලෝකය සමග සන්සන්දනය කිරීමේදී සසඳා බැලිය යුත්තේ වැටුප් පමණක් නොවේ. වෘත්තියේ ගුණාත්මකභාවය එහිදී ඉතා වැදගත්ය. වැටුප් වැඩි කළ පමණින් එම ගුණාත්මකභාවය නිර්මාණය වන්නේ නැත. එය නිර්මාණය කරගැනීමේදී ගුරුවරුන්ට ද ඔවුන්ගේ වෘත්තීය සංගම්වලට ද විශාල කාර්යභාරයක් ඉටුකළ හැකිය. ඒ ඔස්සේ ගුරුවරුන්ට ඉහළ වැටුප් ගෙවීමේ අවශ්‍යතාව පිළිබඳ සමාජ කතිකාවක් නිර්මාණය කළ හැකිය.
අලුත් පරම්පරාවල ගුරුවරුන්ට වෘත්තිකභාවය ඉහළ නංවාගැනීමේ අවශ්‍යතාවක් තිබෙන බව ගුරු අරගලය තුළින් නිරූපණය වේ. එය ඉතා හොඳ තත්වයකි. ගුරුවරයාගේ වෘත්තිකභාවය නංවාගැනීම දේශපාලනික වශයෙන් ද ඉතා වැදගත් වේ. අධ්‍යාපනයේ නාමයෙන් වර්තමානයේ කෙරෙන විකාර හා ජාවාරම් වෙනුවට සැබෑ අධ්‍යාපනයක් පිළිබඳ සංවාදයක් ආරම්භ කිරීමට ද මෙය කදිම අවස්ථාවකි. සමාජය සාධනීය අන්දමින් වෙනස් කිරීමේදී අධ්‍යාපනය ඉතා වැදගත්ය.
අජිත් පැරකුම් ජයසිංහ