දියුණු සමාජයෙන් තුරන් කළයුතු මිනිස් වෙළඳාම

දියුණු සමාජයෙන් තුරන් කළයුතු මිනිස් වෙළඳාම

වර්තමානයේ රට තුළ මහත් ආන්දෝලනාත්මක කතා බහක් මිනිස් වෙළඳාම පිළිබඳව පැන නැගී ඇති අවදියක මිනිස් වෙළඳාම ලෙස හඳුන්වන්නේ කුමක්ද යන්න පිළිබඳව දැණුවත් වීම අතිශය කාලෝචිත දෙයකි.

මුල් කාලයේ මිනිස් වෙළඳාම යන්න හඳුන්වනු ලැබුවේ කූට්ටනය එසේත් නොමැති නම් මානව කූට්ටනය ලෙස වුවත් එම වචනය තේරුම් ගැනීමේ අපහසුතාවය නිසා වර්තමානයේදී එයට මිනිස් වෙළඳාම යන සරළ අර්ථකථනය ලබා දී තිබේ.මෙම වචනය ඉතාමත් සරළ හා ඉතාමත් සමීප වචනයක් නිසා මිනිස් වෙළඳාම යන්න පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා.

ඉතා සරලවම පවසනවා නම් මිනිස් වෙළඳාම සඳහා කාරණා 03ක් අන්තර්ගත විය යුතුයි.

01.සූරාකෑමේ අරමුණක් තිබිය යුතුයි.

02.රැවටීම හා බලහත්කාරය ඒ තුළ තිබිය යුතුයි.

03.රඳවා ගැනීම හා ප්‍රවාහනය

මෙම කාරණා ඒකතු වූ තැන මිනිස් වෙළදාමක් සිදුවූ බව අර්ථ දැක්විය හැකියි.මිනිස් වෙළඳාම රට ඇතුළත ප්‍රදේශයකින් ප්‍රදේශයකට එන්ම රටින් පිටද සිදුවිය හැකි අතර කුමන කාරණයකට වුවත් දියුණු යැයි සම්මත සමාජය තුළ කිසිසේත්ම සිදු නොවිය යුතු මහා අපරාධයක් වෙයි.බොහෝවිට අපට නිතර දක්නට හා අසන්නට ලැබෙන සිදුවීම් දෙස බලන විට පැහැදිලි වන ප්‍රධාන කාරණය වන්නේ මෙම තැනැත්තන් වෙළඳාමේ ප්‍රධාන වින්දිතයින් ලෙස බොහෝවිට පත්වන්නේ සංක්‍රමණික කාන්තාවන්,ළමුන් හා සමස්තයක් ලෙස කාන්තා පාර්ශවයයි.

වර්තමානයේ සමාජයේ වඩාත් කතාබහට ලක්ව ඇති එක්තරා ප්‍රභූවරයෙකුගේ නිවස්සේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සී මිය ගිය අවුරුදු 15යි මාස 11ක් වයසැති ගැහැණු ළමයාගේ සිදුවීම මිනිස් වෙළඳාමේ තවත් එක් අවාසනාවන්ත අවස්ථාවකි.තම මව විසින් ලබාගෙන තිබූ රුපියල් 30,000ක ණය මුදල හිලව් කර ගැනීම සඳහා තැරැව්කරු විසින් මෙම දැරිය අදාළ ප්‍රභූවරයාගේ නිවසට ලබා දී තිබෙන අතර තැනැත්තන් වෙළඳාම හෙවත් මිනිස් වෙළඳාමට නිදර්ශන සපයන මෙන්ම සමාජය තුළ මිනිස් වෙළඳාම සම්බන්ධයෙන් කතිකාවක් ගොඩ නැගුණු අවස්ථාවක් ලෙස හිෂාලිනී නම් මෙම දමිල ගැහැණු ළමයාගේ කතාව හැඳින්විය හැක.මෙවැනි අන්දමේ වතුකරයේ දමිළ ගැහැණු ළමුන් බලහත්කාරයෙන් මෙහෙකාර සේවයේ යොදවා ගන්න ස්ථාන විශාල ප්‍රමාණයක් පිළිබඳව මේ හරහා අනාවරණය කර ගැනීමටද සමත්වී තිබේ.

සමාජය තුළ මේ පිළිබඳව එතරම් දැනුවත් බවක් නොමැති වුවත් මිනිස් වෙළඳාම සිදුවෙන ආකාරයන් කිහිපයක් අපට හඳුනාගත හැකියි.

01.සියළු ආකාරයේ ලිංගික සූරා කෑම

බොහෝවිට මේ සදහා කාන්තාවන් මෙන්ම ගැහැණු දරුවන්ද ගොදුරුවන අවස්ථා ඇත.කිසියම් මුදලක් ලබාදීම හරහා මෙන්ම බලහත්කාරය පෑමෙන්ද මෙය සමාජය තුළ නිතර සිදුවෙන දෙයකි.

02. බලහත්කාරයෙන් ශ්‍රම සූරා කෑම.

බොහෝවිට මෙවැනි සිදුවීම් අප අසා ඇත්තේ වෑඩ්වසම් යුගයන් වලදී වුවත් අද දියුණු සමාජය තුළද මෙවැනි වූ තත්ත්වයන් දැකිය හැක. වැටුප් ඉල්ලීමේදි තර්ජනය කිරීම වැනි දේවල් මෙරට තුළ මෙන්ම විදේශයන්හි රැකියාව කිරීමේදීද බහුලව සිදුවෙන සිදුවීමකි.

03.වහල් භාවයෙන් හෝ එවැනි ආකාරයෙන් සේවය ලබා ගැනීම.

මෙහි විශේෂත්වය වන්නේ මෙම පුද්ගලයින්ට තමන්ගේ වැඩ කරන දින ගණන ,පැය ගණන,ලැබිය යුතු නිවාඩු වගේ කාරණා පිළිබඳව කතා කිරීමට අයුතියක් නොමැති වීමයි.කෙටියෙන්ම සඳහන් කළොත් අයිතිවාසිකම් පිළිබඳව හිමිකම් කීමට මේ පිරිසට නොහැකි වීමයි.

04.දාස භාවය

කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දාසයෙකු සේ වැඩ ගැනීමත් ශ්‍රමය සූරා කෑමේ එක් අවස්ථාවක් ලෙස මෙයද හැඳින්විය හැකියි.

05. ශරීරයේ ඉන්ද්‍රියන් ගලවා ගැනීම

අප රට තුළ මෙය එතරම් දැකීමට නොහැකි වුවත් ඉන්දියාව වැනි රටවල ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළෙන  පුද්ගලයින් ඉන්ද්‍රියන් මුදලට හුවමාරු කිරීම බහුලව දැකිය හැකි ක්‍රියාවකි.මෙයද මිනිස් වෙළඳාමේ එක් කොටසකි.

එමෙන්ම දේශීය සමාජය තුළ සංක්‍රමණික සමාජය තුළත් මෙම තැනැත්තන් වෙළඳාම හෙවත් මිනිස් වෙළඳාම විවිධ ස්වභාවයෙන් සිදුකරගෙන යනු ලබන අතර මිනිස් වෙළඳාම නිවැරදිව තේරුම් ගැනීමට මෙම තත්ත්වය නිවැරදිව අවබෝධ කර ගැනීම වඩාත් උචිත වේ.

  • වැටුප් නොගෙවා වැඩ ගැනීම
  • ප්‍රමාණය ඉක්මවා වැඩ ගැනීම
  • ණයට හිලව් වන ලෙස ශ්‍රම සූරා කෑම
  • වැඩ කිරීමට අවශ්‍ය නිශ්චිත තත්ත්වයන් නොතිබෙන තත්ත්වයන් තුළ වැඩ ගැනීම
  • නීත්‍යානුකූල නොවෙන දේ සඳහා යොමුකර ඒවා පෙන්නමින් බියවද්දවා වැඩ ගැනීම
  • වැටුප් ලබා දීමේදී රැවටීම්වලට ලක් කිරීම
  • නිදහසේ එහා මෙහා යාමේ අයිතිය සීමා කීරිම
  • ශාරීරික සහ ලිංගික ප්‍රචණ්ඩත්වය
  • විදේශ ගමන් බලපත්‍රය තමා සන්තකයට ගැනීම (බොහෝ විට මැදපෙරදිග රටවල සේවයට යන කාන්තාවන්ගේ විදේශ ගමන් බලපත්‍රය එම නිවසේ හිමියා විසින් තබා ගැනීම)
  • බිය වැද්දවීම හා තර්ජනය
  • හුදෙකලාකොට වැඩ ගැනීම

මේ කුමන ස්වභාවයකින් සිදු කළත් මිනිස් වෙළඳාම දියුණු සමාජය තුළ සිදු නොවිය යුතු කරුණක් වන අතර කිසියම්  පුද්ගලයෙකු මිනිස් වෙළඳාමට සබන්ධ වී ඇති බවට නීතිය ඉදිරියේ ඔප්පු කිරීමට හැකි නම් ඔහුට හෝ ඇයට අවුරුදු දෙකකට නොඅඩු අවුරුදු 20කට නොවැඩි සිර දඬුවමක් අප රට තුළදී ලබාදිය හැකි අතර මෙම වරද ළමයෙකු සම්බන්ධයෙන් නම් අවම සිරදඬුවම අවුරුදු තුනකට නොඅඩු විය හැකියි.

 සටහන :තුෂාර සේනානායක

සවිය සංවර්ධන පදනම