ඉසුරුපායේ යෝජනා සමග ගුරුවරුන් නොමිලේ අතිකාල කිරීම හා ළමුන් ආතතියට පත්වීම

class-room

පස්වන ශ්‍රේණිය සහ ඉන් ඉහළ පංති ආරම්භ කළ වහා විෂය නිර්දේශ ආවරණය කිරීම වෙනුවෙන් දින 100 ක වැඩ සටහනක් සකස්කර ඇති බවත් ඒ අනුව දිනක පාසල් කාලය පැයකින් දීර්ග කිරීමටත් සෙනසුරාදා දින පාසල් පැවැත්වීමටත් බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ස්වාධීන රූපවාහිනියේ ඔක්තෝම්බර 25 වන දින “හත්වෙනි පැය” වැඩසටහනට සහභාගි වෙමින් පවසා තිබුණි.

පසුගිය 21 වන දින පාසල් විවෘත කිරීමේ පළමු අදියර ආරම්භවීමත් සමග “ගුරු සටන” හේතුවෙන් ඇති විය හැකි යැයි  සිතූ අවුල් තුනී විය. එහෙත් අධ්‍යාපනයෙහි ළමුන්ගේ ප්‍රශ්න තේරුම් ගන්නට නොහැකි, ජීවිතයට වැඩ වර්ජනයක් ගැන අසා නැති මෝඩ රැළක් ඊළගට සිදුවන්නේ කුමක්ද සහ කළ යුත්තේ කුමක්ද කියා සිතන්නේවත් නැතිව උපවාස කළද තවත් අදියර තුනකින් නොවැම්බර මස අවසන් වන විට පාසල් සියල්ල විවෘත කර අවසන් වනු ඇත. ගුරු සටනක් ගැන කතා කළ සාම්ප්‍රදායික ගුරු සංගම් නායකයින් ඉල්ලීම් වලින් පංගුවක් වත් නොලබා ඔවුන්ගේ අධිමානයට ගැලපෙන ලෙස ගෝසාවක් නගමින් දැන් ඔවුන්ගේ තීන්දුවක් මෙන් පාසල් විවෘත කිරීමට හවුල් වෙති.

විධිමත් සමස්ථ අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනයක් වෙනුවෙන් පෙනී නොසිට ගරු වැටුප් වැඩි කිරීම් සඳහා පමණක් කතා කිරීම වෘත්තියක් ලෙස ගුරුවරුන්ගේ තත්ත්වය නගා සිටුවීමට හේතු නොවන බව ගුරුවරුන් සහ ගුරු නායකයින් තේරුම් ගත යුතු මූලික කාරණාවකි. අයිතිවාසිකම් ඉල්ලීමේදී එවැනි පුළුල් යොමුවක් නොමැතිවන හෙයින් ගුරුවරුන්ට පෑන පැන්සලේ සිට හැම දේටම අතින් වියදම් කරමින් රාජකාරි කරන්නටත් ගුරුවරුන්ගේ රාජකාරිය කුමක්ද යන්න ගැන කතාවක් නැතිව ලිපිකාර වැඩ වල සිට දේශපාලන වන්දිභට්ටකම් දක්වා බොහෝ දේ කරන්නටත් සිදුව ඇත. එය ගුරුවරුන්ගේ “කැප කිරීම” යැයි බොරු ගෞරවයක් ආරූඪ කර ගැනීමෙන් වෘත්තීමය දියුණුවක් නොලැබෙන බවද ගුරුවරුන් තේරුම් ගත යුතුව ඇත.

ගුරුවරුන් කරන්නේද රජයේ අනෙකුත් සේවකයින් මෙන් රස්සාවක් බව විවෘතව කියන්නට තරම් ආත්ම ශක්තියක් වෘත්තියක් ලෙස ගුරුවරුන් හදා ගෙන නොතිබීමත් ඔවුන්ගේම ගැටළුවකි. නමුත් බොහෝ කලකට පසු ජෝසෆ් ස්ටාලින් සහ මහින්ද ජයසිංහ ගුරු සංගම් නායකයින් ලෙස මෙතෙක් වූ ඔවුන්ගේ නිවටකමට අභියෝග කරන්නට පටන් ගැනීමේ පෙනුමක් ඇත. මේ ගුරු සටන අසාර්ථකවීම හමුවේද එය ජයග්‍රාහී ප්‍රවේශයක් ලෙසින් මම දකිමි. ඔවුන් ගුරු සටන අත හරින තීන්දුව ප්‍රකාශයට පත් කරන්නේ ළමුන්ගේ අධ්‍යාපන කටයුතු හැර වෙනත් කිසිවක් නොකිරීමේ ඔවුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්ය. පාසල් කාලයෙන් පසු කිසිවකට හවුල් නොවන බව ප්‍රකාශ කරමින්ය.

එය දසක දෙක තුනකට පසු ගුරු සංගම් නායකයින් වෘත්තිමය වශයෙන් තම රැකියාව කවරක්දැයි තේරුම් ගැනීමේ වැදගත් ඉදිරිගාමී උත්සාහයකි. එහි අඩුව ඇත්තේ එය අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනය සමග එකට ගෙන කතා නොකිරීමෙහිය. මේ ගුරු නායකයින්ට දුර දිග බලා තීන්දු ගැනීමේ පුරුද්දක් හැකියාවක් නොමැති වීමෙහි සහ ඒ හේතුවෙන් ආවේග මත තීන්දු ගැනීමේ අවුල එහි දැකිය හැකිය. එය වඩා හොඳින් පෙනෙන්නේ අධ්‍යාපන ගැටළු වෙනුවෙන් බලධාරීන් තීන්දු ගන්නා විටය. ගුරු සංගම් නායකයින්ගේ ඉදිරිගාමී ප්‍රතිපත්තිමය තීන්දුවෙහි අඩුව මෙවරද අතට ගෙන ඇත්තේ ඉසුරුපායේ අධ්‍යාපන බලධාරීන් යැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ස්වාධීන රූපවාහිනි වැඩසටහනෙහිදී කියූ කතාවෙන් හෙළි වන්නකි.

කෝවිඩ්-19 වසංගතයෙන් අඩාල වූ අධ්‍යාපනය ගැන කිසිදු කතාවක් නැතිව ගුරුවරුන් මින් පසු පාසල් කාලය තුල ළමුන්ගේ අධ්‍යාපන කටයුතු වලට මිස වෙන කිසිවකට හවුල් නොවන බව ප්‍රකාශ කළද, විෂය නිර්දේශ ආවරණය කිරීම පිළිබඳ ලොකු ගැටළුවක් ගුරුවරුන්ට ඉතිරිව තිබෙන බව ගුරු සංගම් නායකයින් තේරුම් ගෙන නැත. ඒ වෙනුවෙන් දින 100 ක වැඩසටහනක් තුල දවසක පාසල් කාලය පැයකින් දීර්ග කළ විට ගුරුවරුන් කළ යුත්තේ කුමක්දැයි ඔවුන් නොසිතූවක් බව ඔවුන්ගේ නිහැඩියාවෙන් කියන්නකි. සෙනසුරාදා දින පාසල් පැවැත් වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් තීන්දු කළ විට ගුරු සංගම් ලෙස ගත යුතු තීන්දුව කුමක්දැයි ඔවුන් සිතන්නේවත් නැති බවද එළෙසින්ම පැහැදිලිය.

දරුවන්ට අහිමි වූ ඉගෙනුම පියවීමේදී ඉතිරිව ඇති නිර්දේශ ආවරණය නොකර ඉදිරියට යා නොහැකි බැව් ගුරුවරුන් පමණක් නොව, ළමුන් හා දෙමාපියන්ද හොඳින්ම දන්නා කාරණාවකි. එනිසාම දිනකට පැය බැගින් සතියකට පැය 05 ක් සහ සෙනසුරාදා දින තව පැය 05 ක්ද වශයෙන් මාසයකට වැඩිපුර පැය 40 ක් ගුරුවරුන් රාජකාරියේ යොදවන්නට ඉසුරුපායේ ලොක්කන් තීන්දු කළ විට, එය අධ්‍යාපනයේ ගැටළුවක් ලෙස තේරුම් ගැනීමට නොදන්නා ගුරු සංගම් නායකයින් සමග එය පරණ පුරුද්දටම නොමිලේ බාර ගන්නා රාජකාරියක් බවට පත් වන බව ඉතාම පැහැදිලි කාරණයකි.

තමන්ගේ අයිතීන් හා රාජකාරි පිළිබඳව ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙහිදී අධ්‍යාපනය දියුණු කිරීමේ වගකීමද ඊට ඇතුළත් කරගත යුතු යැයි මා කියන්නේ එනිසා ය. විෂය නිර්දේශ ආවරණය කිරීමේ ගැටළුව ගුරුවරුන්ට හා ගුරු සංගම් වලටද මග හැරිය නොහැකි අධ්‍යාපනික ගැටළුවක් බැව් මා කල් තියා කියුවේ ඒ නිසා ය. මීට හරියටම මාසයකට කලින් සැප්තැම්බර 29 වන දින “මේ වසරේ විෂය නිර්දේශ වලට කරන්නේ මොනවද?” කියා අසමින් මා “පාසල් යළි පටන් ගන්නවා කියන්නෙ ළමුන් පංති වලට ගාල් කරන්න ගුරුවරුන් රාජකාරියට යන එක නෙවෙයි. පාසල් යළි පටන් ගත යුත්තේ ළමුන්ගේ අධ්‍යාපනය විධිමත් ලෙස කිරීමටය” කියා ලියුවේ, “ඒ වගකීම ගුරුවරුන්ටද ඇත. ඔවුන්ද මේ වසරේ විෂය නිර්දේශ වලට කුමක් කරන්නේ දැයි ඇසිය යුතුය” යනුවෙන් අවධාරණය කරමින්ය.

ඒ කාරණාවේ ඇති වැදගත්කම මත, සියලු පංති සඳහා විෂය නිර්දේශ ලබන වසර අවසානය දක්වා ඉගැන්වීමට සුදුසු ලෙස සංශෝධනය කිරීමේ යෝජනාවක් අධ්‍යාපන ඇමතිවරයාට පසුගිය ඔක්තෝම්බර 03 වන දින ළමුන්ගේ අධ්‍යාපනය ගැන දියුණු කතිකාවක අවශ්‍යතාව දකින තවත් පිරිසක් සමගින් මම යොමු කළෙමි. එහි යෝජනා කෙරුණේ -

  1.  සෑම ශ්‍රේණියක් (වසරක්) සඳහාවන මේ වසරේ (2021) සහ ලබන 2022 වසරේ විෂය නිර්දේශ දෙක එකතු කර ලබන නොවැම්බරයේ සිට ඉදිරි මාස 14 සඳහා තනි විෂය නිර්දේශ ලෙස සංශෝධනයකර සියලු ශ්‍රේණි සඳහා ඉදිරිපත් කිරීම
  2. මාස 14 ක එම සංශෝධිත නව විෂය නිර්දේශ මෙම නොවැම්බර මස ආරම්භයේ සිට පාසල් සියල්ලෙහි ඉගැන්වීමට අවශ්‍ය පියවර ගැනීම
  3. ඒ සම්බන්ධයෙන් ගුරු සේවාවට අවශ්‍ය අත් පොත් ඇතුලු දැනුවත් කිරීම් කටයුතු සංවිධානය කිරීම වහා ආරම්භකර මෙම මාසය අවසන් වන්නට පෙර සියල්ල සම්පූර්ණ කිරීම

ඒ අනුව ලබන වසර සඳහා ළමුන් උසස් කළ යුතු ශ්‍රේණියට, පාසල් නැවත විවෘත කිරීම සමගින් ඔවුන් උසස් කළ යුතු වන්නේය. ඉන් අදහස් කෙරෙන්නේ වසර දෙකක විෂය නිර්දේශ මාස 14 ක තනි විෂය නිර්දේශ ලෙස සංශෝධනය කිරීමෙන් පසු මේ වසර සහ ලබන වසර එක් පාසල් වසරක් ලෙස සැළකිය හැකි බවය. එසේ කළ විට ළමයාට අහිමි වූ කාලයද නැවත ලබා දිය හැකි වන්නේය” යනුවෙන් අපි අධ්‍යාපන ඇමතිවරයාට ලිඛිතව යෝජනා කළෙමු.

එදා එය ගුරුවරුන් තබා ගුරු සංගම් නායකයින්වත් වැදගත් යැයි නොසැළකූයේ ඔවුන් ඉල්ලූ සුබෝධිනි වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක වූ පසු සියල්ල සම්පූර්ණ වන්නේ යැයි සිතා ගෙන ය. ඒවා නොලැබෙන බවද මා ලියූවේ තෙමසකට පෙර ඉකුත් ජූලි අවසානයේදී ය. ප්‍රශ්නය ඇත්තේ ගුරු ඉල්ලීම් ලැබුණත් විෂය නිර්දේශ ආවරණය කිරීමේ ගැටළුව ඉතිරි වීමෙහි ය.

එනිසා ගුරුවරුන්ට පමණක් නොව ළමුන්ටද වෙහෙසකර ඉසිළිය නොහැකි බරක් නොවන්නට එයට ස්ථාවර ප්‍රායෝගික විසඳුම් සෙවීමේ අවශ්‍යතාවක් මුල සිටම ගොඩ නැගුණකි. ඉසුරුපායේ ලොක්කන් එයට සුපුරුදු සරළ උත්තර ඉදිරිපත් කිරීමේ අවධානම අපි අධ්‍යාපන ඇමතිවරයා ඇමතූ යෝජනාවෙහි අනතුරු ඇගවීම් ලෙස තැබුවේ එළෙසින් මෙදා මේ අර්බූදය අත හැර දැමිය නොහැකි හෙයිනි. එහෙත් අවුරුද්දකුත් මාස 06 ක කාලයකදී කෝවිඩ්-19 වසංගතයෙන් අත හැරුණු විෂය නිර්දේශ දින 100 ක් තුල වැඩිපුර පැය 40 ක් එකතු කෙරුණු සති 14 කින් ආවරණය කරන්නට හැකි යැයි ඉසුරුපායේ ලොක්කෝ යෝජනා කරති. 

මෙදා පාසල් ආරම්භ කළ විට පාසල් පැමිණියේ 2020 වසරේ පාසල් වසා දැමෙන විට පාසල් පැමිණි ළමුන් නොවන බව පළමුවෙන්ම තේරුම් ගත යුතුව ඇත. දෙමාපියන් පමණක් නොව, පාසල් නැවත විවෘත කිරීමේ අවිනිශ්චිතතාව සමග දිගු කලක් නිවසට කොටුවූ ළමුන්ද, බරපතල ආතතීන් සමගින් වූහ. දෙමාපියන් අතර පමණක් නොව, දෙමාපියන් හා ළමුන් අතරත් එබැවින් ප්‍රතිවිරෝධ හා ගැටුම් ඇතිවූ බොහෝ අවස්ථා ඇත. ඒ අතර ජීවිතය සුපුරුදු පරිදි පාලනය කරගත නොහැකිව සිය දිවි නසාගත් ළමුයෙකු ගැනද වාර්තා විය. සිය දිවි නසා නොගත්තාට ජීවිතයේ අවුල් වලට මුහුණ දෙන තව ළමුන් දහස් ගණන් සිටිය හැකිය. එබැවින් පාසල් විවෘත කළ යුත්තේ ඉසුරුපායේ ලොක්කන් යෝජනා කරන ආකාරයට ළමුන් වැඩිපුර කාලයක් පංති කාමර වලට කොටු කරමින් නොවේ. පංති කාමරයේ ඉගෙන ගැනීම සමග ඔවුන්ගේ ආතතීන්ද තුනී කර ගැනීමේ අවකාශයන් සඳහා පහසුකම් ඇතිවය.

සුපුරුදු පාසල් කාලය තුල විෂය නිර්දේශ සම්පූර්ණ කිරීම වෙනුවෙන් ඉදිරි කාලය සඳහා මේ තියෙන විෂය නිර්දේශ සංශෝධනයකර ක්‍රියාවට නැගීමට අප යෝජනා කෙරුවේ ළමුන්ගේ සහ ගුරුවරුන්ගේද අපහසුතා සහ ආතතීන්ද සැළකීමට ගැනීමෙනි.

ගුරු සංගම් නායකයින් බාර ගත යුතු වගකීම වන්නේ පාසල් විවෘත කිරීමේදී ඇතිවන මේ සංකීර්ණ ගැටළුවට ඉසුරුපායේ ලොක්කන් ඔවුන්ගේ පහසුවට ඉදිරිපත් කරන යෝජනා සතු අගතීන් පැහැදිලි කරමින් විශේෂයෙන් ළමුන්ට හා ගුරුවරුන්ට සාධාරණයක් වන විකල්ප විසඳුම් ඉදිරිපත් කිරීමය. ඇත්තම තත්ත්වය නම්, අප ඉහතින් ඉදිරිපත් කළ යෝජනාවන්ට ළමුන්ගේ හා ගුරුවරුන්ගේ සහායට මානසික උපදේශන ලබා ගැනීමේ සේවාවක්ද එකතු කළ යුතුව තිබීමය.

මේ කාරණා වහා විවෘත සංවාදයකට තබා ස්ථාවර විසඳුම් ලබා ගැනීමට ගුරු සංගම් ඉදිරිපත් නොවන්නේ නම් ගුරුවරුන් නොමිලේ අතිකාල වැඩ කිරීමට අමතරව, ළමුන් වැඩි ආතතීන් සමගින් පාසල් අධ්‍යාපනයෙන් ඉවත් වීමත් ඉදිරි වසරේදී ගණන් හදන්නට සිදුවන ඛේදවාචකයක් වනු ඇත.    

kusal perera

2021 ඔක්තෝම්බර 29 වන දින