පාර්ලිමේන්තුව  කාන්තා ගෞරවය සුරකින කේන්ද්‍රස්ථානය බවට පත්කළ යුතුය

parliament-of-sri-lanka

ශ්‍රී ලාංකේය දේශපාලන සංදර්භයෙහි වඩාත් කැපී පෙණෙන සුවිශේෂී ලක්‍ෂණයක් වන්නේ දිගුකාලීනව විකාශනය වී ඇති අනගි පාර්ලිමේන්තු සම්ප්‍රදායක් පැවතීමයි. මෙරටේ ස්ථාපිත පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ රටවැසියන් තුළ ඇත්තේ පහසුවෙන් නොනැසෙන ගෞරවනීය ආකල්පයකි. එහෙත් එය මෑත කාලීනව වියැකී යමින් පවතින අතර  ඒ කෙරෙහි ප්‍රබල හා  කර්කශ විවේචන සමුදායක් ද එල්ල වෙමින් පවතී.  කරුණු එසේ වුවත් අප පාර්ලිමේන්තුව තම ආරම්භක කාල සමය තුළ ඉමහත් අභිමානයක් ගොඩනඟා ගනු ලැබුවේ පරම්පරා කිහිපයක පුරවැසි සිතුම්පැතුම් කෙරෙහි ලාලසාත්මක දේශපාලන බැඳීමක් හා ජීවයෙන් පිරුණු ව්‍යවස්ථාදායකයක් උදෙසා ඇදහිය නොහැකි කැපවීමක් කල ව්‍යවස්ථාදායකය සැරසූ  විදග්ධ සාමාජිකයන් පිරිසකගේ මාහැඟි නියෝජනයේ පිහිටෙනි. කලක් අප පාර්ලිමේන්තුව සරසවියක පැවතිය යුතු ප්‍රබුද්ධ හා තර්කානුකුල දේශපාලන දැනුම එක්තැන් කල තෝතැන්නක් වුවද, අද අප සතුව ඇත්තේ එකී අභිමානය  පිළිබඳ මතකාවර්ජනයක් පමණි.

එවන් ඛේදනීය අන්තයක් වෙත අප පාර්ලිමේන්තුව ගමන් කිරීමෙහිලා බලපෑ සාධක ගණනාවක් පැවතියද ඉන් ප්‍රමුඛතම සාධකය වන්නේ පාර්ලිමේන්තුව වෙත ජන්දදායකයන් ඉමහත් හරසරින් තෝරාපත්කොට යවන ලද නියෝජිතයන්ගේ නොගැඹුරු හා ලාමක දේශපාලන භාවිතාව ය යන්න අවිවාදාත්මක කරුණකි. මෙරටේ සෑම සමාජ සංස්ථාවක් ම පාහේ යම් පරිහානිගත ලක්ෂණ විදහාපාන මෙවන් සමයක පාර්ලිමේන්තුව මඟින් පමණක් ආශ්චර්යයක් පැතිය නොහැකි බව සැබෑවකි. එනමුත් ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෙක් තුළ අවශ්‍යයෙන්ම පැවතිය යුතු පාර්ලිමේන්තු සම්ප්‍රදායට එකඟ වීමේ හා සහෝදර මහජන නියෝජිතයන් වෙත  සහෝදරත්වයෙන්  ආමන්ත්‍රණය කිරීමේ උතුම් පිළිවෙත සාහසික ලෙස උල්ලංඝනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ අනිසි හැසිරීම සැබවින්ම ඛේදනීය සමාජ හා දේශපාලන සංසිද්ධියකි. මෙකී කරුණ පිළිබඳව මාර්තු 12 ව්‍යාපාරයේ බලවත් අවධානය යොමුව පවතී.  ඒ කෙරෙහි අප අවධානය වඩාත් යොමුවීමට බලපෑ ආසන්නතම හේතුව වන්නේ අප ස්වේච්ජා ව්‍යාපාරය ඇරඹුමේදී පටන් ප්‍රවර්ධනය කරන ලද එක් මූලික සංකල්පයක් වූයේ පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟිය හැකි යහපත් අපේක්ෂකයන් තෝරා ගන්නා ලෙස ජන්දදායකයන්ගෙන් ඉල්ලා සිටි බැවිනි.

මීට අදාළ ආසන්නතම සිදුවීම නම් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහත්මා  මෙරටේ 76 වැනි අයවැය විවාදය හා එක්වෙමින් පලකළ අදහස් මඟින්  තම සහෝදරමහජන නියෝජිතවරියක් වන මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරී විජේරත්න මහත්මිය කෙරෙහි නිශේධනාත්මක මෙන්ම අවමන්සහගත ප්‍රකාශ කිහිපයක් සිදුකිරීමයි. ඇය පෙරදින ඉදිරිපත් කරන ලද ප්‍රකාශය හමුවේ කවර හෝ පිළිවදනක් දීම තිස්සකුට්ටිආරච්චි මහත්මා සතු පාර්ලිමේන්තු වරප්‍රසාදයක් වුවද, බැලූබැල්මට ඇය කෙරෙහි ද්වේශසහගත ප්‍රතිෂ්ඨාවක් ජනිත වන සේ අවමන්සහගත වදන් භාවිතය ඔහු වැනි ජනතා නියෝජිතත්වය දරන  මන්ත්‍රීවරයෙකුට නොව වෙනත් කිසිදු  පාර්ලිමේන්තු නියෝජනයක් සහිත දේශපාලන පක්‍ෂ නායකයෙක් හෝ පාර්ලිමේන්තුවෙන් ඔබ්බේ සාමාන්‍ය පුරවැසියෙක් හෝ අභ්‍යාස නොකළ යුතු වැරදි භාවිතාවකි.

එමඟින් සිදුවන්නේ මෙරටේ ජනතාව පාර්ලිමේන්තුව නිසරු තැනක් ය යනුවෙන් නිරතුරු නිමන්ත්‍රණය කරන ප්‍රකාශය වැඩිවැඩියෙන් සනාථ කිරීමකි. එහි වඩාත් හාස්‍යජනක මෙන්ම පුදුම සහගත  නිරීක්ෂණය වන්නේ තිස්සකුට්ටිආරච්චි මහත්මා සභාව අමතන කල මුලාසනය අරා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්‍ෂ මහත්මා මන්ත්‍රීවරයා වෙත ලබාදුන් නිහඬ සහයයි. එවැනි නිෂ්ක්‍රිය භාවිතාවන් කෙරෙහි දැඩි ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීම ගරු කතානායකවරයාගේ පරම වගකීමක්  බව මාර්තු 12 ව්‍යාපාරය අවධාරණය කර සිටින අතරම පාර්ලිමේන්තු සම්ප්‍රදාය සුරැකීමේ හා මන්ත්‍රී වරප්‍රසාද ආරක්ෂා කිරීමේ අභිමානවත් කාර්යයට නායකත්වය දිය යුත්තේද එතුමන්මය.

ඒ අනුව මෙය එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ඉලක්ක කරගනිමින් සිදුවු හිංසාකාරී යමක් නොව කලක් තිස්සේ මෙරටේ පාර්ලිමේන්තුව තුළ සිදුවූ ක්‍රමික පරිහානියේ එක් කේන්ද්‍රීය ලක්ෂණයක් බව අපගේ අදහසයි. මෙලෙස වෛරීසහගත මෙන්ම හිස් ප්‍රලාප සමාජගත කිරීම අනාගත මැතිවරණ කෙරෙහි පමණක් නොව සාමාන්‍ය සමාජ චර්යාවන් කෙරෙහිද අහිතකර ලෙස බලපෑ හැකි බැවින් මාර්තු 12 ව්‍යාපාරය පහත දැක්වෙන කරුණු  ත්‍රිත්වය මෙහිලා අවධාරණය කිරීමට තීරණය කොට ඇත.

  1. තම අවමන් සහගත ප්‍රකාශය කොන්දේසි විරහිතව ඉල්ලා අස්කරගැනීමට අදාළ මන්ත්‍රීවරයා වහා පියවර ගත යුතු අතර එම  පරිභව කිරීම වෙනුවෙන් ඊට ඉලක්ක වූ මන්ත්‍රීවරිය  වෙත කණගාටුව පලකළ කිරීමට තරම් ඔහු නිහතමානී විය යුතුය.
  2. එවන් අවාසනාවන්ත මෙන්ම කාන්තා දේශපාලන ක්‍රියාකාරිත්වය දුර්මුඛ කරන ආකාරයේ පිළිවෙත් තමන් අනුමත නොකරන බව ගරු කතානායකතුමන් සිය  ප්‍රායෝගික භාවිතයෙන් ම පාර්ලිමේන්තුව වෙත පෙන්වා දීමට ක්‍රියා කල යුතුය.
  3. අදාළ මන්ත්‍රීවරයා පිළිබඳ නිසි  විනය පරික්ෂණයක් සිදුකොට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි  පක්‍ෂ නායකත්වය හා පොදුවේ පක්‍ෂ සාමාජිකත්වය වහා ඉදිරිපත් විය යුතුය.

ඉහත සඳහන් කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමනය  කිරීමෙන් තොරව මෙරටේ පාර්ලිමේන්තුව කෙරෙහි නිරායාසයෙන් පැවතිය යුතු ජනතා ගෞරවය නැවත දිනාගැනීම එතරම් පහසු නොවන බව නැවතත් අවධාරණය කල යුතුව ඇත. තවද  ශිෂ්ඨසම්පන්න රටක් බිහිකරගැනීම සඳහා වන අඛණ්ඩ පුරවැසි අභිලාශය සමහන් වනු ඇත්තේද එලෙස ගන්නා වූ පූර්වාදර්ශ පදනම් කරගනිමින් බවද මාර්තු 12 ව්‍යාපාරය දැඩිව විශ්වාස කරන බව ද අවධාරණය කිරීමට කැමැත්තෙමු!

රෝහණ හෙට්ටිආරච්චි, මාර්තු 12 ව්‍යාපාරය, කැඳවුම්කරු, (මෙහෙයුම් කමිටුව වෙනුවෙන්)