ක්‍රමයක් නැති, අනාගත දැක්මක් නැති, ආර්ථික හයියක් නැති රටකට නිදහස සමරන්න පුළුවන්ද?

ක්‍රමයක් නැති, අනාගත දැක්මක් නැති, ආර්ථික හයියක් නැති රටකට නිදහස සමරන්න පුළුවන්ද?

"අපි මේ සමරමින් සිටින්නේ සැබෑ නිදහස නොවේ"

නිදහස කියලා අපි සමරන්නේ යල් පැන ගිය නිදහසක්. සුද්දාගේ පාලනයෙන් රට නිදහස් වීම විතරක්, නිදහස කියලා සලකන්න බැහැ. මේ පරණ කථාව සමරන එක ඇතුලෙම, මිනිස්සුන්ට සැබෑ නිදහස පිළිබදව හිතන්න තියන නිදහස, හිර කරලා දාලා තියනවා.

නිදහස යනු මනුෂ්‍ය වටිනාකම් ඔසවා තැබෙන සමාජයක තමන්ට බලපාන කරුණු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය සහ ධාරිතාවය පුරවැසියන් සතු වීමයි. එහෙම රටක, සියළුම ආකාරයේ පීඩනයන්, මර්ධනයන් සහ හිංසනයන්ගෙන් මිදී සැබෑ ලෙසින්ම නිදහස් ජීවිතයක් ගත කරන්න පුරවැසියන්ට පුළුවන් වෙන්න ඕනේ. අපි නිදහස් දවසේ අරගල කරන්න ඕනේ, කථා කරන්න ඕනේ එහෙම සමාජ වටපිටාවක් හදා ගන්න.

එවැනි සමාජ වට පිටාවක් හදන්න 'පුද්ගල ධාරිතාවය’ ඉතා වැද ගත් වෙනවා. ණය ගෙවා ගන්න බැරි, ණයක් ඉල්ලා ගැනීමේ හැකියාව නැති රටකට මිනිස්සුන්ට එහෙම නිදහසක් ලැබෙන්නේ නැහැ.

අද රටේ බහුතරයක් මහ ජනතාවට නිදහස් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය ආර්ථික හැකියාව අහිමි කරලා තියෙනවා. දැවැන්ත ජීවන වියධමට ගැලපෙන ආර්ථික ශක්තියක් ඔවුනට නොමැති වීම හේතුවෙන් මනුෂ්‍ය ජීවිතයේ නිදහස විඳිනවා වෙනුවට, හුදෙක් ජීවිතය පවත්වා ගෙන යාමේ ජීවන අරගලයක හිර කරලා තියෙන්නේ.

ඒ නිසා නැවත නැවත පරණ කථාවක් මතක් කරගන්න උත්තසව තියන වෙලේ, රටේ ඇත්ත නිදහස ගැන අදහසක් හදාගන්න අද දවස පාවිච්චි කරන එක ගොඩාක් වැදගත්.

නිදහස් සමරුවට එක් වෙන ජනාධිපතිතුමා කියනවා, එයා හැමෝම කියන දේ කරන්නේ නෑළු, කරන්නේ හරි දේළු. අපිට අහන්න වෙනවා ඒ කාට හරිදේද කියලා. එහෙම තම තමන්ට හරි දේ කියලා කරපු ආණ්ඩු, ජනධිපතිලා නිසා අද රට බංකොලොත් තැනකට ඇවිල්ලා ඉවරයි. ඒකෙන් වැලලිලා තියෙන්නේ රටේ මිනිස්සුන්ගේ ආර්ථික හා දේශපාළණ නිදහස කියන එක ජනාධිපතිතුමා මතක තියා ගන්න එක වටිනවා.

අපි අද ඉන්නේ නූතන මානවයා බිහි වෙච්ච ලෝකයක. නූතන මානවයාගෙන් නිදහස ලබන්න රටවල්, ජාති, කුල, ආගම් වැනි බෙදා ගැනීම් වලට හෝ ඔය යල් පැන ගිය කථා වලට බැහැ. අපි දත්ත හසුරුවන් කිහිප දෙනෙකුගේ අතකොලු විදිහට, නිරුවත් මානවයෝ විදිහට හිරකාරයෝ නොවෙන්නනම්, අළුත් දැනුම, අළුත් ලෝකය එක්ක ගණු දෙණු කරන්න වෙනවා. යල් පැන ගිය සංකල්පවල හිරකාරයෝ වුණොත් අපි නිරුවත් මානවයෝ විදිහට හූරා කෑමට ලක් වෙලා වද වෙලා යන එක නවත්වන්න බැහැ.

රවී කුමුදේශ්, කැදවුම්කරු, වැඩකරන ජන බලය