වෘත්තීය සමිති මර්ධනය නවතනු - සාකච්චාවෙන් ගැටලු විසඳනු

වෘත්තීය සමිති මර්ධනය නවතනු - සාකච්චාවෙන් ගැටලු විසඳනු

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටළු දඩමීමා කර ගනිමින්, බොර දියේ මාළු බාමින් මර්ධනය ගෙන ඒමට එරෙහිව සෞඛ්‍ය අරගලය ඉදිරියට

සෞඛ්‍ය ලේකම්වරයා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසදීම වෙනුවට හිතා මතාම නෛතික උගුලක් ඇටවීමට සැලසුම් කර ඇති බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබේ. මාස තුන හමාරක් තිස්සේ සාකච්ඡාමය විසඳුමකට තිබූ සියලු ඉඩ කඩ අහුරා දමමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන් 65000ක් පමණ පාරට  ඇද දමා ඔවුනට එරෙහිව මර්ධනය කැඳවීමට කල් තබා සැලසුම් කර ඇතිබව දැනට පවතින තොරතුරු මගින් තහවුරු වේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් පැවති අසාධාරණ පරිපාලන තීන්දු ඉවසා දරමින් පසු ගිය අගෝස්තු මාසයේ සිට සාකච්ඡාමය අවස්ථාවක් ඉල්ලා නොලැබීම හේතුවෙන්. පසුගිය නොවැම්බර් මාසයේ මුල් සතියේදී සංකේත වර්ජනයක් සිදුකර බලපෑමක් ද සිදුකරන ලදී එදා මෙදා තුර පළාත් සංකේත වර්ජන 10 ක් පමණද උත්ඝෝෂණ සහ වර්ජනය 10 ක් පමණද සිදු කර අඛණ්ඩ වැඩ වර්ජනයකින් තොරව ගැටලු විසඳීමට අවතීර්ණ වන ලෙස බලපෑම් කර ඇත.

නමුත් එම කිසිඳු ඉල්ලීමකට ඇහුම්කන් නොදෙමින් හා ශිෂ්ඨසම්පන්න ප්‍රතිචාරයක් නොදක්වමින් අපව අඛණ්ඩ වැඩ වර්ජනයකට පොලබවාලීම හේතුවෙන් සෞඛ්‍ය සේවාවේ අඛණ්ඩ වැඩ වර්ජනයක් ඇති විය. අඛණ්ඩ වැඩ වර්ජනයට අපව පෙලබවීමෙන් අනතුරුව මාස 3 ට වැඩි කාලයක් තිස්සේ සිදු නොකල සාකච්ඡාව සදහා වෘත්තීය සමිති කැඳවූ නමුත් එය ගැටලු නිරාකරණය කිරීම සදහා සද්භාවයෙන් සිදු කරන ලද සාකච්ඡාවක් නොවන බව ඉන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය්‍යාංශයේ හැසිරීම මගින් තහවුරු වේ.

පෙබරවාරි 7 වර්ජනය ආරම්භ කර පසු පෙබරවාරි 8 සාකච්ඡාවක් පවත්වා එම සාකච්ඡාවේ එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම වෙනුවට සාකච්ඡාවේ සටහන් සහ ඊට අදාල ලියවිලි අධිකරණය වෙත යොමුකර පෙබරවාරි 10 වැනිදා වාරණ නියෝගයක් ලබා ගැනීමට ක⁣ටයුතු කරන ලදී. එම වාරණය සදහා සාවද්‍ය තොරතුරු සපයමින් අධිකරණය නොමග යැවීමට උත්සාහ කර ඇත. නමුත් වෘත්තීයවේදීන් වශයෙන් අප අධිකරණ නියෝගයට අවනත වන අතරවාරයේම අසත්‍ය කරුණු  පිලිබඳව දිවුරුම් ප්‍රකාශයක් සහ පෙත්සමක් මඟින් අධිකරණයට කරුණු ඉදිරිපත් කීමට අපේක්ෂා කරමු.

කෙසේ නමුත් එයින්ද නොනවතින සෞඛ්‍ය අමාත්‍යාංශය සත්කාර සේවාවේ විශාල කඩාවැටීමක් පිලිබදව මවා පාමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට එරෙහිව කළු මාධ්‍ය මෙහෙයුමක් දියත් කර පෙබරවාරි 12 වනිදා අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනයක් නිකුත් කරවා ගැනීමට කටයුතු කරන ලදී.

මෙම ක්‍රියාවලිය පිලිබඳ සැලකිල්ලෙන් බලන ඕනෑම කෙනෙකුට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වෘත්තීයමය ගැටලු විසඳීම සඳහා සාකච්ඡා කර එකඟතාවයට පැමිනීමේ සද්භාවයක් තිබී නොමති බව පැහැදිලි වන අතර ඔවුන්ව මර්ධනය කිරීම සදහා සූක්ෂම ලෙස කටයුතු කර ඇතිබව තහවුරු වේ.

මෙම තත්වය පිලිබදව 2022.02.13 වන දින රැස් වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විශේෂ විධායක සභාව පහත තීරණයන්ට ඒකමතිකව එලඹෙඹන ලදී.

1. කිසිඳු සාධාරණ පදනමකින් තොරව සාකච්ඡාමය එකඟතාවයක් ඇති කර නොගනමින් හා ඉතා පහසුවෙන් වලක්වාගත හැකිව තිබූ වර්ජන ක්‍රියාමාර්ගයක් වලක්වා නොගනමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ව අනවශ්‍ය වර්ජනය ක්‍රියාමාර්ගයකට පෙලඹවීම පිලිබඳව සෞඛ්‍ය ලේකම්ගේ හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ වගකීම ඉටු නොවීමට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීම.

2. සංවිධාන ගත වීමට,  කේවල් කිරීමට හා ජාත්‍යන්තර එකඟතාවයන්ට පටහැනිව කටයුතු කිරීම පිලිබදව ජාත්‍යන්තරව කම්කරු සංවිධානයේ විශ්වීය අධිකරණය යටතේ නඩු පැවරීම  හා එකී හිමිකම් වලට පටහැනිව කටයුතු කිරීම පිලිබදව යුරෝපා සංගමයට පැමිණිලි කිරීම.

3.            සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය දිගින් දිගටම සාකච්ඡාමය අවස්ථාවන් මඟ හැර මර්ධනය කැඳවන්නේ නම් ඊට එරෙහිව අඛණ්ඩව අරගල කිරීම හා ඒ සඳහා රටේ පවතින සියලු දේශපාලන, සිවිල්, වෘත්තීය සමිති කොන්දේසි විරහිතව ඒකාබද්ධව කටයුතු කිරීම

4.            උක්ත තීරණ පිලිබඳව 2021.02.14 වන දින සියලු වෘත්තීයවේදීන් කොළඹට කැඳවා පවත්වන විශේෂ මහා සභාවකදී සියලු සාමාජිකත්වයේ අනුමැතිය ලබා ගැනීම

5. සත්කාර සේවාව පිලිබඳව සහ වෘත්තීයමය වගකීම සැලකිල්ලට ගනිමින් හැකි සෑම අවස්තාවකදීම රෝගී පීඩාවන් හැකි තාක් අවම වන අයුරින් වැඩ වර්ජනය පවත්වා ගැනීම සහ ලැබෙන ඕනෑම සාකච්ඡාමය  අවස්ථාවක් සදහා ධනාත්මකව එලැබීම.

රවී කුමුදේශ් කැදවුම්කරු

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය