සෞඛ්‍ය වර්ජන, යළි සිතන්නට...

සෞඛ්‍ය වර්ජන, යළි සිතන්නට...

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද සහ පරිපූරක වෛද්‍ය සේවා ආරම්භ කර ඇති වැඩ වර්ජනය විසඳුම් නොලැබීම නිසා තවදුරටත් ඉදිරියට යන අයුරක් පෙන්නුම් කර ඇත.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිවරයා සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වූ බව වර්ජනයේ නියුතු වෘත්තීය සමිති ප්‍රකාශ කරන අතර සෞඛ්‍ය ඇමතිවරයාගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වන්නේ එම ඉල්ලීම්වලින් බොහොමයකට මේ වනවිටත් විසඳුම් ලබාදී ඇති බව හා ඉතිරි ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට සලකා බලමින් යන බවය.

මෙම වර්ජනයට සහාය නොදක්වන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙහෙයවන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වර්ජනයට සහාය නොදක්වන සිය සමාජිකයින්ට තර්ජන එල්ලවන බව පවසමින් වර්ජනයට එරෙහි ස්ථාවරයක සිට අදහස් පළකරමින් සිටින අතර වර්ජනයේ නිරත වෘත්තීය සමිති ඔහුටද ප්‍රතිචාර දක්වමින් සිටියි.

එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය මෙම වර්ජනය හේතුවෙන් රෝගීන්ගේ අයිතිවාසිකම් කඩවන බවට අදහස් පළකරමින් සිටින අතර ඒ වර්ජනය හේතුවෙන් පීඩා විඳි රෝගීන්ගේ දුක්ගැනවිලිවලට අමතරවය.

සෞඛ්‍ය වැඩවර්ජනයේ ඉල්ලීම් සාධාරණද අසාධාරණද යන්න සලකා බැලීම මෙම සටහනේ අරමුණ නොවන අතර විශේෂයෙන්ම සෞඛ්‍ය සේවාව වැනි රෝගී ජීවිත සමඟ කටයුතු කරන ක්ෂේත්‍රවල ඉල්ලීම් දිනා ගැනීමේ ක්‍රමවේද රෝගීන්ට හානියක් නොවන පරිදි සිදුකළ නොහැකිද යන ප්‍රශ්නය මතු කිරීම සඳහා ගන්නා උත්සහායකි.

අප රට සම්බන්ධයෙන් ගත් කල රජයේ රෝහලකින් ප්‍රතිකාර ගැනීමට එන රෝගීන්ගෙන් අති බහුතරයක් පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට බැරි අසරණ මිනිසුන් බවට විවාදයක් නැත. ඔවුන්ට පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගැනීමට වත්කමක්වත්, රක්ෂණ ක්‍රමයක්වත් නැත. ඒ නිසා මේ රෝගීන්ට දැනෙන්නට වර්ජන කිරීමෙන් ඒ මගින් ආණ්ඩුවට දැනිය හැකිවෙතැයි සිතීම මුලාවකි. ආණ්ඩුවේ සහ ඉන් පිටත සිටින දේශපාලනඥයින් හා ඔවුන්ගේ පවුල්වල උදවිය ප්‍රතිකාර ගන්නට බොහෝ විට රජයේ රෝහල් වෙත පැමිණෙන්නේ නැත. එසේම රජයේ හා පෞද්ගලික අංශයේ ඉහළ නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් රජයේ රෝහල්වලට පැමිණෙන්නේ නැත. ඒ නිසා රජයේ රෝහල්වල ප්‍රතිකාර සේවා අඩාල වූවා කියා ඔවුන්ට හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට දැනෙන්නේ නැත.

එසේ තීන්දු තීරණ ගන්නා පිරිසට දැනෙන්නට නම් ලියුම්කරුට සිතෙනා ආකාරයට කළ යුතු එක දෙයක් වන්නේ පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර සේවා අඩපණ කිරීමට උත්සාහ කිරීමය. ඒ මගින් තීන්දු තීරණ ගන්නා අයට යම් දැනීමක් සිදුවිය හැකිය. එසේ කීමට හේතුව වන්නේ රජයේ වෛද්‍යවරුන්ගෙන් අති බහුතරයක් මෙන්ම හෙද සේවාව හැරුණු විට පරිපූරක වෛද්‍ය සේවාවල අති බහුතරයක්ද පෞද්ගලික රෝහල්වල සේවය කිරීම හෝ පෞද්ගලික රෝහල් වෙනුවෙන් සේවය සලසන අය වන නිසාය.

රජයේ සේවය වෙනුවෙන් කරන ඉල්ලීම් තීන්දු තීරණ ගන්නා අයට වඩා දැනෙන ආකාරයෙන් කළ හැක්කේ එවැනි වෙනස් ක්‍රියාමාර්ගවලින් පමණය. (මීටත් වඩා වෙනස් හා නිර්මාණාත්මක දැනෙන ක්‍රියාමාර්ගද ඔවුන්ට සිතිය හැකිය.)

එවැන්නක් අත්හදා බලන්නට රජයේ සෞඛ්‍ය සේවාවල පිරිස් සූදානම්ද?

ලසන්ත රුහුණගේ (anidda)