ළමුන්ගේ අධ්‍යාපනය හා ආහාර වෙනුවෙන් වහාම “අරගලයක්“ ආරම්භ කළ යුතුව ඇත

ළමුන්ගේ අධ්‍යාපනය හා ආහාර වෙනුවෙන් වහාම “අරගලයක්“ ආරම්භ කළ යුතුව ඇත

■          සියල්ලට පෙර ගුරු සංගම් “අරගලය” කළ යුත්තේ අධ්‍යාපනය අහිමිවන ළමුන් වෙනුවෙනි

■          අධ්‍යාපන ලොක්කන් මාසික වැටුප ගත යුත්තේ සැමට වැදගත් අධ්‍යාපනයක් සහතික කිරීමටය

■          පාසල් දිවා ආහාර වියදම කප්පාදු කිරීමට වහා විරුද්ධ විය යුත්තේ ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ය

මෙහි මා උපුටා දක්වන තොරතුරු මේ රටේ අධ්‍යාපන ඇමතිවරයා ඇතුළු පාසල් අධ්‍යාපනය සම්බන්ධ තීන්දු තීරණ ගන්නා ඉහළ බලධාරීන් හා අධ්‍යාපන ආයතන දන්නේදැයි නොදනිමි. යුනෙස්කෝව විසින් ආසියානු කලාපය ඇතුළු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට “කොවිඩ්-19 න් ඇති කළ බලපෑම් හා ඊට දැක්වූ ප්‍රතිචාර සම්බන්ධ ක්ෂේත්‍ර අධ්‍යනයක්” පසුගිය වසරේ අගෝස්තු මාසයේ සම්පූර්ණකර ප්‍රකාශයට පත් කර ඇත. එකී අධ්‍යනය මගින් මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත් ඔවුන් ආවරණය කර තිබේ. 

එහි සඳහන් අයුරු, යුනිසෙෆ් ආයතනයේ අධ්‍යනයකින් කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් 2021 වසරේ නාගරික ගෘහස්ථ ආදායම සියයට 37 කින්ද ග්‍රාමීය ගෘහස්ථ ආදායම සියයට 30 කින්ද තේ වැවිලිකරයේ එම ආදායම සියයට 23 කින්ද අඩු වී ඇතැයි කියැවේ. “මේ ආර්ථික හැකිලීම නිසා දෙමාපියන්ට අසීරු තෝරා ගැනීම් කිරීමට සිදුවන හෙයින් පාසල් ළමුන්ගේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට හා යහ පැවැත්මට සෘජුව හා වක්‍රව එය බලපාති.” යැයි එහි කියන්නේය. එහි නොකීවත් එවැනි අසීරු තෝරා ගැනීම් සඳහා තීන්දු ගැනීමට සිදුවන්නේ සමාජයේ බහුතර දුප්පත් ජනතාවට ය. එහෙයින් අතරමං වන, අනාථවන දරුවන්ගෙන් සැළකිය යුතු ප්‍රතිශතයක් දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ය.

වසර දෙකක පමණ කාලයක් කෝවිඩ්-19 න් බිඳ වැටුණු ඒ සමාජයේ නිතර දෙවේලේ පාසල් වසා තැබීමෙන් අනාථ වූ බහුතර දරුවන්ගේ අධ්‍යාපනය මේ වසර පුරා ඉන්ධන හිගය හා විදුලිය කප්පාදුව හමුවේ වඩාත් බරපතල ලෙස බිඳ වැටී ඇතැයි පෙන්වන තවත් අධ්‍යනයක් වන්නේ ශ්‍රී ලංකා “සේව් ද චිල්ඩ්‍රන්” සංවිධානයෙන් මේ වසරේ (2022) මැයි සහ ජුනි මාසවල දිස්ත්‍රික්ක 09 ක පවුල් 2,309 ක් සහභාගි කරවා ගෙන කරනු ලැබූ අධ්‍යනයකි. එයට අනුව, ශ්‍රී ලංකාවේ පවුල් 03 කින් 02 ට (සියයට 60 ට වැඩි) හරියාකාර අහරක් ගත නොහැක. සියයට 85 ක් ගෘහයන්ගේ ආදායම් බිඳ වැටී ඇත. ඉන් සියයට 50 ක් පමණ සැළකිය යුතු ආදායම් අහිමිවීමකට හසුව ඇති අතර, එවැනි ගෘහයන්ගෙන් දහයෙන් එකක සමස්ථ ආදායම අහෝසිවී ඇත.

Children-meal.jpg

සේව් ද චිල්ඩ්‍රන් සංවිධානය මේ තත්ත්වය හඳුන්වන්නේ “මුළුමණින් වහා පුපුරා යා හැකි මානුෂීය ඛේදවාචකයකට ශ්‍රී ලංකාව හසුව ඇතැයි” කියා ය. එහි ඇතැම් තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික අධ්‍යාපන ආයතනයත් පළාත් අධ්‍යාපන බලධාරීනුත් නොබලන මේ මානුෂීය ඛේදවාචකයේ භය සිතෙන ගැඹුරක් පෙන්වති. පවුල් සියයට 35 ක් කියා තිබුණේ දරුවන්ගේ කෑම අඩු කරන්නටද ඔවුන්ට දැන් සිදුව ඇතැයි කියා ය. තවත් ඛේදවාචකයක් නම්, දුප්පත්ම සියයට 12 ක ජනගහනය ආහාර සපයා ගැනීම සඳහා මුදල් පොලියට ගැනීම, ළමුන් පාසල් යැවීම නතර කිරීම නැතිනම් අලෙවි කළ හැකි හැමකක්ම මුදල්කර ගැනීම ය. අවාසනාවන්තම තත්ත්වය නම්, ඔවුන්ගෙන් සියයට 03 ක් නිවෙස් විකුණා දැමීම, ළමුන් කුලී වැඩට යැවීම, බාල වයස් දියණියන් විවාහකර දීම, හිඟා කෑම වගේම ගණිකා වෘත්තියේ යෙදීම හෝ සොරකම් කිරීම වැනි නීති විරෝධි වැඩවල නිරත වීම ය.

පසුගිය දිනෙක එවැනි කතාවක් මට අසන්නට සිදුවූයේ කොළඹින් බැහැර අර්ධ නාගරික පරිසරයක ගුරුවරයෙකුගෙනි. ඔහුගේ පාසලෙහි 10 වන ශ්‍රේණියෙහි දක්ෂ සිසුවියක් හිටි අඩියේ පාසල් නොපැමිණීම ගැන කණස්සලු වූ පංතිභාර ගුරුවරිය පණිවිඩ යවා ඇයගේ මව පාසලට ගෙන්වා ගැනීමට උත්සාහ කර ඇත. එය සිදු නොවූයෙන් ළමයාගේ පියා ගෙන්වා ගෙන ඇත. කෙටියෙන් කතාව කිවහොත් මේසන් වැඩ කළ ඔහුට දැන් ආදායමක් නැත. එනිසා මව ටවුමට ගොඩ බසින්නේ ආදායම් සෙවීමට ය. දැන් මව නිතර නිවසේ නැත. නිතර කෑමත් ගෙදර නැත. එනිසා ඒ සිසුවිය වැඩිහිටි මනුස්සයෙකු සමග දීග ගොස් ඇතැයි පවසා ඇති පියා “මං මොනවා කරන්නද ටීචර්....කන්න දෙන්නත් බැරිව, යන්න එපා හිටහං කියන්නැයි?” අසා ඇත. එළෙසින්ම නොවුනත් ඒ හා සමාන කතා තව බොහෝ ප්‍රදේශ වලද තිබිය හැකිය.

මෙවැනි පසුබිමක ආණ්ඩුව පාසල් දිවා ආහාර මුදල් බිලියන 02 ක් දක්වා කපා හැර ඇත. බොහෝ පවුල්වල, පහළ නාගරික සමාජයට වඩා අර්ධ නාගරික හා ග්‍රාමීය සමාජයන්හි ළමෝ පාසල් යාමේ  ප්‍රධාන හේතුවක්ව තිබූයේ දවසේ එකම ආහාර වේල පාසලින් ලැබීම ය. එයද අහිමිවන පසුබිමක මේ වසරේ ජනවාරි 01 දා සිට ජුනි 30 දක්වා වූ කාලය ආවරණය කෙරෙන  යුනිසෙෆ් ආයතනයේ “දකුණු ආසිහානු කලාපීය මානුෂීය තත්ත්වයන් සම්බන්ධ වාර්තා අංක 02 හි” ලංකාව ගැන කියන්නේ මිලියන 5.7 ක් වැඩිහිටියන්ට සහ මිලියන 2.3 ක් ළමුන්ට වහා මානුෂික ආධාර අවශ්‍යව ඇති බවය. එයට අනුව මන්දපෝෂිත දරුවන් වැඩිම රටවල් 10 අතර දැන් ශ්‍රී ලංකාවද ඇත. මේ තත්ත්වය තව උග්‍රවන්නට ඉඩ ඇතැයිද යුනිසෙෆ් වාර්තාවේ සඳහන් කෙරෙන්නේය. “වත්මන් අර්බුද හමුවේ පාසල් නොයෑම හා පාසල් අධ්‍යාපනය අතහැර දැමීම වැඩි වීමත්, එවැනි අවදානම් තත්ත්වයන් උග්‍ර කිරීමට හේතු විය හැකිය” යනුවෙන් ලංකාව ගැන එහි සඳහන් වන්නේය.

එහි පෙන්වා ඇත්තේ එවැනි වටපිටාවක ළමුන්ගේ චර්යා රටාද නොදැනුවත්වම වෙනස් වන බවය. දෙමාපියන්ද ආර්ථික අහේනියට හසුව ඒ වෙනුවෙන් දවසේ වැඩි කාලයක් ගත කෙරෙන විට, ඔවුන්ගේ ආතතීන් පිට කෙරෙන්නේද දරුවන් හරහා ය. එවගේම දරුවන් ගැන අවධානය අත හැරෙන්නේය. එවැනි දරුවන් මුරණ්ඩු වන්නේය. ප්‍රචණ්ඩ වන්නේය. නිවසෙන් පිට වන්නට බොහෝ විට උත්සාහ කරන්නාහ. ඇතැමුන් හුදකලා වන්නට කැමැත්තේය. ඔවුන්ගේ මානසික පීඩා සඳහා ආසන්න විසඳුම් සොයන්නට ඔවුහුද පෙළඹෙති. එවැනි දරුවන් නැවත විධිමත් පාසල් අධ්‍යාපනයක රඳවා ගන්නේ කෙසේද යන්න උභතෝකෝටිකයකි. එය වඩාත් බරපතල වන්නේ බොහෝ ගුරුවරුන්ටද පාසල් එන්නට සිදුව ඇත්තේ ඔවුන්ගේ ප්‍රශ්නද කර ගසා ගෙන වීම නිසාය. එබැවින් ඔවුන්ගේ ආතතීන් මානසික පීඩා මේ ළමුන් පිටින් යැවීමත් බොහෝ විට සිදුවන්නකි. විශේෂයෙන් එවැනි තත්ත්වයන් සඳහා උපදේශන සේවා අවශ්‍ය බව විදුහල්පතිවරුන් හා අධ්‍යාපන බලධාරීන්ද නොදන්නා හෙයින් ය.  

මේ අති සංකීර්ණ වටපිටාවකි. ආර්ථික අර්බුදය සඳහා ආසන්න ක්ෂණික විසඳුම් පිළිබඳ කිසිදු අවධානයක් දේශපාලන ක්ෂේත්‍රයේත් ආණ්ඩුවෙත් විශේෂඥ වෘත්තිකයින් අතරත් නැති විටෙක, අනුමාන ගණන් හැදීම් අනුව, මිලියන 4.2 ක් වන පාසල් ළමුන්ගෙන් ගණන් නැති විශාල ළමුන් සංඛ්‍යාවක් පාසල් නොපැමිණෙන හා පාසල් අධ්‍යාපනය අතහැර දමා ඇතැයි කොතැනවත් කතා නොවේ. තවත් මිලියන 02 ට ආසන්න සංඛ්‍යාවක් පාසල් පැමිණියත් පංති කාමරයක විනීතව ඉගෙන ගන්නට හැකි සාමකාමී මානසිකත්වයක ඔවුන් නැති බැව් ගුරුවරුන්ගේත් විදුහල්පතිවරුන්ගේත් අධ්‍යාපන බලධාරීන්ගේත් සැළකිල්ලක් අවධානයක් නොලැබෙන්නකි.

කෝවිඩ්-19 වසංගතය සමග එවැනි සංකීර්ණ ඛේදවාචකයක් වර්ධනය වූයේ නිරන්තරව පාසල් වැසීමෙන් ඉදිරියේ ඇති විය හැකි ගැටළු ගැන සිතන්නට තරම් දැනුවත් අධ්‍යාපනඥයින් හා අධ්‍යාපන පරිපාලකයින් ඊට අදාල වගකිව යුතු ස්ථානවල නොසිටියෙනි. එවැනි වසංගතයක් සමග පාසල් අධ්‍යාපනය සංවිධානයකර කලමනාකරණය කර ගන්නේ කෙසේද යන්න ගැන වැගත් අවධානයක් අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි නොවුනි. කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් පළමු වරට 2020 මාර්තු මාසයේ රටම වසා සියල්ලන් නිවෙස්වල කොටු කළ දින සිට මේ වසර ආරම්භ කරන තෙක් විටින් විට පාසල් වසා තැබුණු කාලය වසරකට ආසන්න යැයි ගණන් බැලෙන්නේය. ඒ හැම විටම අධ්‍යාපන බලධාරීන් තීන්දු ගත්තේ පාසල් වසන්න සහ අරින්න සෞඛ්‍ය උපදෙස් ලබා ගැනීමෙන් පමණි. ආර්ථික අර්බුදය සමග ප්‍රවාහනයද කඩා වැටුණු අතර, මේ වසරේ සිව් වරක් පාසල් වසා තැබුණි.

ඒ අතරතුර පාසල් අධ්‍යාපනය මහා අවුලක් බවට පත් විය. ළමුන්ගේ හා ගුරුවරුන්ගේ පැමිණීම් අවිනිශ්චිත වූ හෙයින් සියලු පාසල්වල විෂය මාලා එකාකාරීව සහ හරියාකාරව ඉගැන්වීමට නොහැකි විය. එයට උත්තරයක් ලෙස 2021 පාසල් ආරම්භ කෙරෙන විට “ඔන්ලයින් ඉගැන්වීම්” ආරම්භ කෙරුණේ නාගරික මැදපංතික වුවමනාවන් හා ඉල්ලුම වෙනුවෙන් පමණ ය. රට පුරා ළමුන් සැමට නිවෙස්වල සිට ඔන්ලයින් ඉගෙන ගැනීමට පහසුකම් හා හැකියාවක් නොතිබිණුත් ඒ ගැන සොයා බලා විසඳුම් ලබා දෙන්නට කිසිවතු උනන්දු වූයේ නැත.

අති බහුතරයක් අධ්‍යාපන පරිපාලකයින්ට මෙන්ම ගුරුවරුන්ගෙන් දෙකෙන් පංගුවකට වැඩි පිරිසකටද ඔන්ලයින් ඉගැන්වීමට දැනුමක් අවබෝධයක් නොතිබුණි. පසුගිය දසක දෙක තුනක කාලයේ විද්‍යා පීඨ මගින් පුහුණුකර පත්වීම් ලබා දුන් ගුරුවරුන්ටද එවැනි පුහුණුවක් ලබා දී නැත. පංති කාමරයක ළමුන් ඉදිරියේ ඉගැන්වීම හා කැමරාවක් ඉදිරියේ හුදකලාව පංතියක් කිරීම අතර වෙනස ඒ කවුරුවත් දන්නේ නැත. අවුරුදු 25 ට වැඩි කාලයක් රූපවාහිනි අධ්‍යාපන වැඩ සටහන් විකාශනය කරන රටේ තවමත් ඒවා කෙරෙන්නේ පංති කාමරයේ කලු ලෑල්ල වෙනුවට කැමරාව ඉදිරියේ සුදු මැගි පුවරුවක් තබා ගැනීමෙන් පමණි. එම රූපවාහිනි වැඩසටහන් දියුණු අධ්‍යාපනික වැඩසටහන් ලෙස ඉදිරිපත් කිරීමේදී රූපමය මාධ්‍ය යොදා ගන්නේ කෙසේදැයි අත්හදා බලන්නට ජාතික අධ්‍යාපන ආයතනය උත්සාහ ගත් බවක් හෝ අසන්නට නැත.

එවැනි “ජාතික” අධ්‍යාපනික ආයතනයකින් ඔන්ලයින් ඉගැන්වීම් සඳහා ගුරුවරුන් සූදානම් කිරීමක් බලාපොරොත්තුවීමද අපගේ මෝඩකමක් විය යුතුය. එනිසා නගරයේ කෙරුණු ඔන්ලයින් ඉගැන්වීම් පවා නීරස, අසාර්ථක ඉගැන්වීම් විය. අර්ධ නාගරික හා ග්‍රාමීය සමාජයන්හි ඔන්ලයින් අධ්‍යාපනය ළමුන්ටත් බහුතරයක් ගුරුවරුන්ටත් දෙමාපියන්ටත් මහා විකාරයක් වූවකි.

මේ ඔන්ලයින් ඉගැන්වීම් සම්බන්ධයෙන් ඉකුත් ජනවාරි 23 වන ඉරිදා “ද මෝනිං” පුවත් පතට අදහස් දක්වා තිබූ කලක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරිය වූ සහ වත්මනෙහි “සියලු දරුවන්ගේ අධ්‍යාපනය සඳහාවන ලෝක කොමිසමෙහි” සාමාජිකාවක් වන ආචාර්ය ටාරා ද මෙල් මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඔන්ලයින් ඉගැන්වීම් සම්බන්ධයෙන් කළ සමීක්ෂණයක දත්ත ඉදිරිපත් කරමින් පෙන්වා තිබුණේ ඔන්ලයින් ඉගැන්වීම් අති අසාර්ථක වූ බවය. එමගින් යම් ප්‍රයෝජනයක් ලබා ඇත්තේ ළමුන්ගෙන් සියයට 10 ක් පමණක් බවය. වැදගත් ඉගෙනීමක් නොලැබුණද ඊට සහභාගිව තිබුණේ සියයට 45 කි. එකී සමීක්ෂණයට අනුව මෙරට පරිඝණක හෝ ලැප්ටොප් ඇති නිවාස ප්‍රතිශතය සියයට 22.2 ක් පමණි. රජයේ පාසල්වල ඉගෙන ගන්නා ළමුන්ගෙන් සියයට 75 ට පරිඝණක, ලැප්ටෝප් හෝ ටැබ් භාවිතයට කිසිදු ඉඩක් අවස්ථාවක් නැත.

එහෙත් සුභෝධිනි වැටුප් වැඩිවීම් ඉල්ලා නෙකෙරෙන ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනය කරනවා යැයි ගුරු සංගම් කෑ ගසන්නට වූයෙන් ඔන්ලයින් ඉගැන්වීම් සඳහා නාගරික මැදපංතියේ ඉල්ලුම වෙනුවෙන් නැති සුජාත බවක් ඊට ලැබිණ. එහෙත් ප්‍රශ්නය වන්නේ ජාතික අධ්‍යාපන ආයතනය හෝ අධ්‍යාපන අමාත්‍යාංශය 2,40,000 ක් ගුරුවරුන් අතර ඔන්ලයින් ඉගැන්වීම් සඳහා අවශ්‍ය අන්තර්ජාල සාක්ෂරතාව පිළිබඳව සමීක්ෂණයක් ඇගයුමක් නොකර ඔන්ලයින් ඉගැන්වීම් ගැන කතා කරන්නේ කෙසේද යන්නය.

දැනට සියල්ල සිදුවන්නේ එළෙසිනි. පාසල් විවෘත කළ නමුත් ඒ පාසල් සඳහා ළමුන් හා ගුරුවරුන් එන්නේ කෙසේදැයි කිසිදු සෙවිල්ලක් නැත. සියයට 50 ක් දෙමාපියන්ට තම දරුවන්ට ආහාර දීමත් බරපතල ප්‍රශ්නයක් වනවිට, තවමත් හරියාකාර බස් ප්‍රවාහනයක් නොමැති නමුත් දෙතුන් ගුණයකින් ඉහළ දැමුනු බස් ගාස්තු ගෙවා දරුවන් පාසල් යවන්නේ කෙසේදැයි අසන්නට කිසිවකුට වුවමනාවක් නැත. අසීරුවෙන් හෝ පාසල් පැමිණෙන ළමුන් මුහුණ දැන ගැටළු ගැන සොයා බලන්නට කිසිවකු නැත. ඒ ළමුන් පාසල් එන්නේ අවම තරමින් කලින් දින හෝ ආහාර වේලක් කාලා දැයි අසන්නට තරම් සානුකම්පිත ගුරුවරුන් අත්නම් ඒ ඉඳහිට හමුවන අහඹුවකි.

ගුරුවරුන්ගේ පැත්තෙන්ද සේවා වාර්තා කිරීමේ අපහසුතා ඇති ගුරුවර ගුරුවරියන්ට ප්‍රවාහන පහසුකම් ඇති පාසල් සඳහා ස්ථාන මාරුවීම් ඉල්ලන්න යැයි දැනුම් දුන්නත් එය දේශපාලකයින්ගේ සහ බලධාරීන්ගේ හිතවතුන්ට ස්ථාන මාරුවීම් ලබා ගැනීමේ තවත් දේශපාලන ගැටයක් පමණි. ප්‍රවාහන අපහසුකම් මත ගුරුවර ගුරුවරියනට තමන්ගේ පහසුව වෙනුවෙන් පාසල් 05 ක් නම්කර ස්ථාන මාරු සඳහා අයැදුම් කිරීමට අමාත්‍යාංශය දැනුම් දුන් පසු එම අයැදුම් පත් විදුහල්පති මගින් ඉදිරිපත් කිරීම නිවැරදි වූවත් ඒ සඳහා විදුහල්පතිගේ නිර්දේශ ඉල්ලීම, ස්ථාන මාරු පදනමම අහෝසි කෙරෙන්නකි. මේ වාර්ෂික ස්ථාන මාරුවීම් කෙරෙන පදනම නොවන බව විදුහල්පතිවරුන්ද තේරුම් නොගෙන ඇත.

පාසල් විවෘතකර විභාග පවත්වමින් සියල්ල දැන් යථා තත්ත්වයට පත් කෙරෙන්නේ යැයි ලෝකයට පෙන්වීමට ආණ්ඩුව හා බලධාරීන් ගන්නා උත්සාහය මොණර නැටුමක් වැනිය. නැටුම පෙනෙන්නේ ඉදිරිපසින් පමණක් නොව, පිටුපසින්ද බැව් මේ මොණරුන් දන්නේ නැත. ළමුන්ගේ පාසල් අධ්‍යාපනය බරපතල අර්බුද වලට හසුව ඇති බව එහෙත් ලොවම දන්නා කරුණකි.

මෙම 2022 වසරේ ළමුන්ගේ නව වසර පාසල් අධ්‍යාපනය සඳහා “විෂයමාලා ආවරණය සඳහා යෝජිත වැඩසටහන්” ඉදිරිපත් කරමින් ජාතික අධ්‍යාපන ආයතනය ඔවුන්ගේ “යෝජිත වැඩසටහන සඳහා උපදෙස් මාලාව” ආරම්භ කරමින් කියන්නේ “2022 පාසල් වර්ෂය සඳහා පාසල්වල දෛනික පරිපාලන කටයුතු හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම උදෙසා කඩිනම් පියවර ගැනීමට සිදු වී තිබේ. ඒ අනුව මෙම අධ්‍යයන වර්ෂය තුළ දී අනිවාර්යයෙන්ම අත්පත් කරගත යුතු අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගත හඳුනා ගෙන ඊට අනුව කාලය වෙන් කර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම මෙමගින් අපේක්ෂිත ය.” යනුවෙන් ය.

ඔවුන්ගේ විෂයමාලා ආවරණය සඳහා වැඩසටහන ඔවුන්ගේ උපදෙස් අනුව පාසල්වල ක්‍රියාත්මක කිරීමෙන් “පාසල්වල දෛනික පරිපාලන කටයුතු හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම උදෙසා” ඉවහල් වන්නේ යැයි ඔවුහු සිතති. ඔවුන් මේ කතා කරන්නේ මොන ලංකාවක් ගැන දැයි මම නොදනිමි.

මේ ඔවුන්ගේ “මොණර නැටුම්” වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට, හැකි කාලයක් නොවේ. පළමු ශ්‍රේණියේ සිට 13 දක්වා පාසල් ළමුන් මිලියන 04 ට වැඩි පිරිසක් නියෝජනය කරන්නේ මෙතැන් සිට ඉදිරියට නව පරම්පරා තුනකි. මේ අධ්‍යාපන බලධාරීන්ට ඔවුන්ගේ මනාපයට අනුව වැඩ කිීමට ඉඩ තැබුවහොත් ඔවුන් මේ ඉදිරි පරම්පරා තුනම විනාශ කරනු ඇත. එනිසා දැන් අවශ්‍ය වන්නේ ළමුන්ටත් දෙමාපියන්ටත් ගුරුවරුන්ටත් ආතතියකින් තොර, සාමකාමී සංවර පරිසරයක් ඇති පාසල් අධ්‍යාපනයකට පසුබිම හදා ගැනීමට ය. ඒ වෙනුවෙන් පළමු පියවර වන්නේ පාසල් ළමුන්ගේ දිවා ආහාර ප්‍රශ්නය සඳහා ස්ථාවර විසඳුමක් සමග ජනගහනයෙන් දුප්පත්ම සියයට 20 සඳහා අවම ආදායමක් සහතික නොවෙන්නේ නම්, මාසික අත්‍යාවශ්‍ය භාණ්ඩ මල්ලක් සහතික කර ගැනීමකි. එය ලිච්ඡවී නුවර කෙසේ සිදුවූයේදැයි නොදනිමි. එහෙත් එවැනි පියවර ලබන 30 වන අඟහරුවාදා දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති වශයෙන් ඉදිරිපත් කිරීමට සූදානම්ව ඇති “රට යළි ගොඩ දැමීමේ” අයවැය මගින් ඉටුකරවා ගැනීමට සිදුවන්නකි. ජනතාවගේ අරගලයක අවශ්‍යතාව ඇත්තේ ඒ වෙනුවෙනි.     

kusal perera       

“අරුණ” 2022 අගෝ.28