මේ සතියේ ඉකුත් 02 වන දින විපක්ෂයේ දේශපාලන පක්ෂද හවුල් වූ ඒකාබද්ධ විරෝධයක් පැවැත්වෙන බව ප්‍රකාශයට පත්කර තිබියදී, එදිනම උදයේ ප්‍රධාන වාණිජ මණ්ඩල 06 ක් ඒකාබද්ධව නිකුත් කර තිබූ නිවේදනයකට කෙටියෙන් හෝ මෙසේ පිළිතුරු දිය යුතුය.
ජනතාව සතු අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තමන් පිළිගන්නා බවත් එයට විරුද්ධ නොවන බවත් කියමින් වාණිජ මණ්ඩල නිකුත් කර තිබූ ඒකාබද්ධ නිවේදනයෙහි කියා තිබුණේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ආණ්ඩුව ගන්නා පියවර හමුවේ එවැනි විරෝධතා මගින් රට නැවත අස්ථාවර විය හැකි අතර ආයෝජන කැඳවා ගැනීමටද අපහසු විය හැකි බවය. එබැවින් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ මොහොතේ රට එවැනි අස්ථාවර තත්ත්වයකට පත් නොකර විරෝධතාවය අත හරින්නට යැයි කියා ය.
විපක්ෂ සංවිධානවල එවැනි කට්ටිවාදී විරෝධයකින් මේ ආණ්ඩුවේ බලහත්කාරයට හා කුරිරු මර්දනයට උත්තර දිය හැකි යැයි මා නොසිතන නමුත් ආණ්ඩුවේ උද්දච්ඡ බලහත්කාරයට එරෙහිවන විරෝධතාවකට හවුල් වීමේ ජනතා අයිතිය භාවිත කළ යුත්තේ කවදා කුමකටදැයි කියා උපදෙස් දීමට කිසිදු සුදුසුකමක් වාණිජ මණ්ඩලයට නැත. කවරෙකුට වූවත් ජනතා විරෝධයකට යෝජනා කළ හැකි එකම කොන්දේසිය වන්නේ එය හැකි පමණින් සාමකාමීව ප්‍රකාශයට පත් කරන මෙන් පමණි.
ඒ සමග කිව යුත්තේ මේ රටේ අස්ථාවරත්වයට හා ආර්ථික බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන්ගේ සාමාජිකයින් සියල්ල නොවුනත් මේ රටේ අති බහුතරයක් ව්‍යාපාරිකයින් මිස වැටුප් ලබන සේවක පිරිස් හා සාමාන්‍ය ජනතාව නොවන බව ය. මේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි හැදී වැඩුණු ව්‍යාපාරිකයින් සියලු දෙනම වාගේ හඩු ජාවාරම්කාරයින් මිස දියුණු කලමනාකරණ සම්ප්‍රදායක් ඇති විනීත පිරිසිදු ව්‍යාපාරිකයින් නොවන බව වාණිජ මණ්ඩලය දත යුතුය. ඔවුන් වැනි මේ රටේ නීති උල්ලංඝණය කරන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කරන, නිසියාකාරව බදු නොගෙවන හා ඒ වෙනුවෙන් දූෂණය වගා කරන වෙනත් පිරිසක් නැත.
නිදහස් වෙළඳ කලාප, කර්මාන්ත පුර හා කාර්මික ප්‍රදේශ ආශ්‍රිතව කම්කරු දෙපාර්තමේන්තුව හා ආයෝජන මණ්ඩලය ඇතුළු ප්‍රාදේශීය රජයේ නිලධාරීන් සමග ඔවුන් පවත්වා ගන්නා ගනුදෙනු ගැන වාණිජ මණ්ඩලය සොයා බලන්නේ නම්, රටේ අස්ථාවරත්වයට වගකිව යුත්තේ කවුරුන්දැයි දැනගත හැකිය. ඊට අදාලව නිරන්තරව, විවෘතව ප්‍රකාශවන කාරණා වන්නේ,
ආර්ථිකය කඩා වැටීමේත් රටේ අස්ථාවරත්වයක් ඇතිවීමේත් මූලික හේතුව නම්, නියමාකාරයෙන් රජයට ලැබිය යුතු ආදායම් අහිමි කෙරෙන විට ජාවාරම්කාර ව්‍යාපාරිකයින් වෙනුවෙන් ආණ්ඩු තීන්දු ගැනීම හේතුවෙන් වංචා දූෂණවල බර ජනතාවට උසුලන්නට සිදුව තිබීමය. ඒ බර කර ගැසීමේ යුතු කමක් හෝ වගකීමක් නැති ජනතාවට එය දරාගත නොහැකි බරක් වනවිට ඊට එරෙහිව නැගී සිටීම, ඒ කාරණා සඳහා විසඳුම් කතා නොකරන කවුරුත් බලාපොරොත්තු විය යුත්තකි.
ගෙවිය යුතු බදු නොගෙවා රටක ආර්ථිකයක් ස්ථාවරව පවත්වා ගන්නේ කෙසේදැයි විරෝධතා වලට හවුල් නොවන්නට යැයි ජනතාවට අවවාද කරන වාණිජ මණ්ඩල කිහිපය ඒ ජනතාවට කිව යුතුය. ජනතාවගේ සේවා පහසුකම් හා දේශීය වියදම් වෙනුවෙන් අය කරගත යුතු බදු වලින් සැළකිය යුතු ප්‍රතිශතයක් අපනයන නිෂ්පාදන දිරි ගැන්වීමටයැයි බදු විරාම, බදු සහන සහ බදු ඉවත්කිරීම් ලෙස හැම ආණ්ඩුවක්ම අත හැර ඇති අතර, ඒ සියලු වාසි බුක්ති විඳිමින් ආදායම් බදු ගෙවීම් රුපියල් කෝටි සිය ගණනින් වාර්ෂිකව වංචා කිරීමේ සදාචාරය කුමක්දැයි වාණිජ මණ්ඩල විරෝධතා සඳහා පාරට පැමිණි ජනතාවටත් ජීවත් වීමට සරිලන වැටුපක් ඉල්ලන මිලියන 02 ට වැඩි සේවක සේවිකාවන්ටත් කිව යුතුය.
එවැනි දූෂිත ගැට ගැසීම් සමගින් වර්තමාන ආර්ථික බිඳ වැටීමට හා රට අස්ථාවරත්වයට පත් කිරීමට වගකිව යුත්තේ මේ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් පමණක් නොව වාණිජ මණ්ඩලද බැව් එම ඒකාබද්ධ නිවේදනයට අත්සන් තැබූ වාණිජ මණ්ඩල දැන සිටිය යුතුය. ජාවාරම්කාර ව්‍යාපාරිකයින්ට ඔවුන්ගේ හිඟ බදු සමග ආදායම් බදු නිවැරදිව ගෙවන මෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්නේ නම් ජනතාවට උපදෙස් දෙනවාට වඩා වැදගත් බවත් අවසන් වශයෙන් වාණිජ මණ්ඩල වලට කිව යුතුය.

2022 නොවැම්බර 04
